Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තිසරණ හැර අන් සරණක් නැත

පූර්ණ වශයෙන් විවෘත වූ ඇස් හා සිත් ඇත්තෝ, මේ කෙටි වූ මඳ සැනසිල්ලෙන් යුත් අවස්ථාවලින් හෝ මුලා නොවන්නේ ය. කුණාටුවට හසු වූ මුහුදේ ඇති රෞද්‍ර ස්වභාවය ඔවුහු හොඳින් දනිත්. මේ මුහුදේ ඇති භයානක දිය වැල් දිය සුළි හා ගැඹුරු මුහුද වාස භූමි කොටගත් අමනුෂ්‍ය රාක්‍ෂසාදීන් ගැන ද ඔවුහු දනිත්.

බෞද්ධයාට අති උතුම් අමිල වස්තුව වනුයේ, තිසරණයයි. තිසරණය අතිශය නිර්මල හා අතිශය ශ්‍රේෂ්ඨ බැවින් ‘ත්‍රිවිධ රත්නය’ නමින් ද හැඳින්වෙයි. තිසරණය, අසමසම බැවින් රත්න නමින් හැඳින්වෙයි.

මිනිසත් බව ලැබීම, අති දුර්ලභ දෙයකි. මෙවන් දුර්ලබ මිනිසත් බවක් ලැබූවද, බුද්ධ, ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ අවබෝධයක් ලබාගනුයේ, ස්වල්ප දෙනෙක් පමණකි. ලෝභ, ද්වේෂ, මෝහයෙන් වෙලී පවත්නා මේ ලෝකයේ දුක් කරදර වධ, බන්ධන, හිංසා, පීඩා යනාදිය මැඬ පැවැත්වීමේ ලා ආධාර වන බැවින්ද මෙය ත්‍රිවිධරත්නය නමින් අගයනු ලැබේ.

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිසුන් අතර සමන්තභද්‍ර, සර්ව සම්පූර්ණ උත්තමයාණන් වහන්සේ වෙති. මිනිස් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ උතුමකු විසින් දේශනා කොට වදාරන ලද ඉතා යහපත් දේශනය මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි. ආර්ය සංඝ රත්නය වනාහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ආදර්ශවත්, උත්තම පිරිසයි. ප්‍රඥාව මූලිකව ඇති කරගන්නා වූ දැක්ම හා ආධ්‍යාත්මික තත්ත්වය වනාහි බුද්ධ ශ්‍රාවකයා විසින් සරණ යනු ලබන තිසරණයයි.

‘තැති ගත් මිනිස්සු පර්වත, කැළෑ ආරාම, ගස්, චෛත්‍ය ආදියේ පිහිට සොයා යති. මෙසේ පර්වත කැළෑ ආදියේ සරණ සොයා යෑමෙන් භය නැති කළ නොහැකි ය. ඒවායේ පිහිට සොයා යෑම උතුම් ද නොවේ. මේවායේ පිහිට පැතීමෙන් සියලු දුකින් මිදීමට නොහැකි ය. යමෙක් බුදුරජාණන් වහන්සේ ද උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ද අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය ද සරණ ගියේ නම් හෙතෙම දුක ද, දුකට හේතුව ද දුක නැති කිරීම හා දුක් නැති කිරීමේ මාර්ගය ද යන චතුරාර්යය සත්‍ය නුවණින් දකියි. මේ වනාහි නිර්භය සරණයි. එහෙයින්, මේ සරණ උතුම් වෙයි. මේ සරණයට පැමිණි තැනැත්තා දුකින් මිදී නිවන සාක්‍ෂාත් කර ගනියි. සත්වයා අකුසල් කෙරෙන් ඈත් කිරීම මගින් තථාගතයන් වහන්සේ සත්වයා තුළ පවත්නා බිය දුරු කොට සුවපත් කරන සේක. කුණාටු සහිත වූ බිය ජනක සසර සයුර තරණය කිරීමට ආධාර කිරීම මඟින් ධර්මය මිනිසා තුළ ශ්‍රද්ධාව ඇති කරයි. දන් දීම් පුද සත්කාර කිරීම් ආදී කුසල ක්‍රියාවන්හි යෙදෙන සැදැහැතියාට එම කුසල පක්‍ෂයේ කටයුතු වර්ධනය කර ගැනීමට මහා සංඝරත්නය ආධාර වෙයි.

බෞද්ධ උපාසකයා, ‘බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි,’ කියත්ම, තිසරණයෙහි සරණාගත වන්නේ ය. මේ පාඨය, පාලි ත්‍රිපිටකයෙහි ඛුද්දක වග්ගයෙහි දක්නට ලැබෙයි. තිසරණ සරණ යෑම, ඈත අතීතයේ පටන්, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ පටන් පැවැත එන්නකි. චිත්ත ප්‍රබෝධය ඇති කරනු ලබන්නා වූද, උපදේශාත්මක වූද ධර්ම දේශනයට සවන් දීමෙන් පසු, නව අනුගාමික තම හදවත නැගි පී‍්‍රති ප්‍රමෝදය මෙසේ ප්‍රකාශ කරන්නේ ය. අද පටන් මම බුදුරජාණන් වහන්සේ සරණ කොට යමි. ධර්මය සරණකොට යමි. ආර්ය සංඝයා වහන්සේ සරණකොට යමි. ගෞතමයාණන් වහන්සේ මා අනුගාමිකයකු ලෙස ගිහි ශ්‍රාවකයකු ලෙස, ජීවිතාන්තය තෙක් සළකන සේක්වා!.

තිසරණ සරණ යෑමෙහි ඇති වැදගත්කම පිළිබඳ දැන් අපි සළකා බලමු. අප දිගු කලක් සසර සැරි සරා ඇති අතර, බුදුරජාණන් වහන්සේ විසින් අප මෙසේ නැවත නැවත මැරි මැරී ඉපදෙන සසර අනන්ත අප්‍රමාණ සයුරට සමාන කොට දක්වා ඇත. දස සංයෝජත නමැති ගංවතුරෙත් පිරුණු ගංගා මේ සයුරට ගලාවිත්, එය කළඹයි. මේ සයුර පතුලේ දක්නට ලැබෙනුයේ අපාය වන අතර, මතුපිට දක්නට ලැබෙනුයේ සෝතාපත්ති මාර්ගයයි. ලෝභය හා ද්වේෂය හේතුවෙන් පැන නගින්නා වූ, අඩු වැදගත්කමින් යුතු පහරක කැළඹිලි, මේ සයුරේ ඇතිවන කුණාටු ය. දිය පහරක පළමු දක්නට ලැබෙන පරුෂ රළු ස්වභාවය, මෝහයට සමාන කළ හැකි ය. සක්කාය දෘෂ්ටිය වනාහි බියපත් රළ පහරයි. කොතරම් දිය ගැලුවත් සෑහීමට පත් නොවන දිය සුළි වනාහි පසිඳුරන් ය. මිථ්‍යා දෘෂ්ටිය වනාහි, පර්වත යනාදිය උපමා කළ හැකි ය. කාම රාගය වනාහි, සයුර පතුළෙහි දක්නට ලැබෙන දේය.

භව චක්‍රයේ බිය ජනක ස්වභාවය දකින ප්‍රඥාවන්ත පුද්ගලයා, එයින් මිදීමට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය වෙත හඹා ගොස්, (ධම්මපදයේ දැක්වෙන එක් ගාථා රත්නයකින් ප්‍රකාශිත අදහස් පරිදි) මේ භූමිය සරණකොට ගෙන ඝෝර දිය පහරින් ආරක්‍ෂිත වූ දීපයක් තමා වෙනුවෙන් ගොඩනඟා ගත්තේ ය.

ඥානවන්ත පුද්ගලයා විසින් වීර්යයෙන් මහත් උනන්දුවෙන් හා ආත්ම දමනයෙන් යුතුව කිසි දිය පහරකට සෙලවිය නොහැක. රැකවරණයක් සාදා ගනු ලබන්නේ ය. එවන් ක්ක්‍ෂේම භූමියක් බලාපොරොත්තු නොවන පුද්ගලයන් සංඛ්‍යාව විශාලය. මේ තාවකාලික ලෝකයේ තාවකාලික සැපවලින් උදම් වී සිටින මොවුහු තාවකාලික දෙයම සතුටුදායක ලෙස පිළිගනිමින් සෑහීමට පත්වෙති. මෝඩයන්ගේ පාරාදීසයේ කල්ගෙවන මොවුහු තමන්ගේ පටු මානසික තීරයෙන් පිටත බලන්නේ හෝ බැලීමට සූදානම් වන්නේ හෝ නැත. මෙවැනි පුද්ගලයන්ට සසර දුකින් විමුක්තිය ලබාදීමට බුදු කෙනෙකුට හෝ ආගමික ශාස්තෘවරයකුට හෝ නුපුළුවන.

ආගමික වතාවත් හා විශ්වාස ඔවුනට පෙනෙනුයේ, උන්මත්තකයකු විසින් විටින් විට ගනු ලබන රෝග සමනය කරන බෙහෙත් මෙනි. මරණින් මතු මොවුන්ගේ ජීවිත සැපවත් නොවන බව, වැඩිදෙනා දනිති. තවත් සමහරු හොඳින් ජීවත්ව අය දෙස පරීක්‍ෂාවෙන් බලා ස්වකීය අත්දැකීම්වලට ඔවුන්ගේ ආදර්ශ එකතු කර ගනිති. තවත් ස්වල්ප දෙනෙක් අත්දැකීම් හා පරීක්‍ෂණය ඔස්සේ ප්‍රඥාවත් අන්දමින් මෙනෙහි කරති. අවසාන වශයෙන් සඳහන් කරනු ලැබූ ස්වල්ප දෙනා වනාහි මඳ වශයෙන් කෙලෙස් දූවිල්ලෙන් වැසුණු ඇස් ඇති අය වෙති. ජීවිතය වනාහි දුක් ගොඩක් ලෙස ද, සත්ත්වයා වනාහි මේ ලෝකය නමැති අනන්ත අප්‍රමාණ සාගරය මතුපිට සුළු කාලයක් පහිනනු ලබන අය මෙන්ද ඔහුට දිස් වෙයි. නිශ්චල මුහුදේ පිහිනමින් එම දිගු පිහිනීමේ දී ස්වකීය ශරීර ශක්තිය මෙහෙයවා විනෝදවන අවස්ථාවල දී කැළඹුණු ජලයෙහි නිශ්චල තැන්ද හසු වෙයි.

පූර්ණ වශයෙන් විවෘත වූ ඇස් හා සිත් ඇත්තෝ, මේ කෙටි වූ මඳ සැනසිල්ලෙන් යුත් අවස්ථාවලින් හෝ මුලා නොවන්නේ ය. කුණාටුවට හසු වූ මුහුදේ ඇති රෞද්‍ර ස්වභාවය ඔවුහු හොඳින් දනිත්. මේ මුහුදේ ඇති භයානක දිය වැල් දිය සුළි හා ගැඹුරු මුහුද වාසභූමි කොටගත් අමනුෂ්‍ය රාක්‍ෂසාදීන් ගැන ද ඔවුහු දනිත්. සියලු සැප සම්පත් මධ්‍යයේ වූව ද ජීවිතය කෙරෙහි බලපානු ලබන අටලෝ දහම ඉදිරියේ මිනිසාගේ ශක්තිය වැය වන්නේ ය. සැබවින්ම මේ අවස්ථාවේ දී සියලු දෙනාටම බෙහෙවින් පිළිසරණක් අවශ්‍ය වන අතර, එම පිළිසරණ කල් ඇතිව සකස් කර ගැනීම, ප්‍රඥා ගෝචර වූද, කල්පනාකාරී වූ ද පිළිවෙතකි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් දැක්වෙනුයේ කුමක් ද?

බුද්ධො සම්බඤඤුතො ඥාතො
ධම්මො ලොකුත්තරෙ නව
සංසො මග්ග ඵලත්තොච
ඉති එතං රත්තාතයං

බුදුරජාණන් වහන්සේ වනාහි සර්වඥතා ඥානයෙන් යුතු උතුමාණන් වහන්සේ වේ. ධර්මය වනාහි නව ලෝකෝත්තර ය. ආර්ය සංඝරත්නයට මාර්ගඵල ලාභීය මේ වනාහී ත්‍රිවිධ රත්නය යි.

තුන් සරණයෙන් පළමු වන සරණ, බුදුරජාණන් වහන්සේ ය. බුදුන් වහන්සේ සර්වඥ වන සේක. අසම සම මහා කාරුණිකයාණන් වන සේක. තුන් ලෝකය පිළිබඳ දත යුතු සියලු දේ බුදුන් වහන්සේගේ සර්වඥතා ඥානයට ගෝචර විය. ඒ වනාහි පංච විධ ඥාය මණ්ඩලයයි. මේ පංචවිධ ඥාය මණ්ඩලයෙන් පළමුවැන්න වනුයේ, සංඛාර ය. දෙවැන්න වනුයේ, විකාර යනු හේතුවකින් හටගත් දේ පිළිබඳ බිඳී යන ස්වභාවය හෙවත් අනිත්‍ය ස්වභාවයයි. තුන් වැන්න වනුයේ ලක්ඛණ හෙවත් ඒ ඒ දෑ පිළිබඳ පවත්නා ලක්‍ෂණ ය. නිර්වාණය හෙවත් අවසාන විමුක්තිය සතර වැන්න වන අතර, පස්වැන්න වනුයේ, ප්‍රඥප්ති හෙවත් සම්මුති සත්‍ය වේ.

දෙව් මිනිසුන්ගේ ශාස්තෘවරයාණන් වූ ද, අච්න්ත්‍ය ගුණ සමුදායකින් යුක්තවද? බුදුරජාණන් වහන්සේ ද ධර්මය හා සංඝ රත්නය ද යන ත්‍රිවිධ රත්නයේ සරණ යන පුද්ගලයාට අප්‍රමාණ කුසල සම්භාරයක් රැස් වෙයි.

ඒවං අචින්ත්‍යයං බුද්ධො
බුද්ධ ධම්මා අචින්තියා
අචින්තියේසු පසං නාමං
විපාකො හොති අචිත්තයො

බුදුරජාණන් වහන්සේ අචින්ත්‍ය වේ. ධම්ම රතනය අචින්ත්‍ය වේ. මේ කෙරෙහි පහත් සිත් ඇත්තෝ අචින්තය සංඛ්‍යාත කුසල් රැස් කරන්නේ ය.

ආර්ය පර්යේෂණ සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ මෙසේ වදාරා ඇත. ක්ලේශ ප්‍රහීණ කළ තැනැත්තේ, මා මෙත් ජයග්‍රාහක වෙයි.

දෙවන සරණ වනුයේ, නව ලොවුතුරා දහම යි. ඒ වනාහි පුහුදන් ජනයාගේ සිත් තුළ පිළිබිඹු වී පවත්නා විකෘති වූ ඡේදනය වූ අඳුරු නොපැහැදිලි ධර්මයක් පිළිබඳ සිතුවමක් නොවේ. ධර්මය යනුවෙන් මෙහි අදහස් කැරෙනුයේ නිර්වාණය, සතර මඟ හා සතර ඵලයන්ගෙන් සැදුම් ලත් නව ලොවුතුරා ශ්‍රී සද්ධර්මයයි. ත්‍රිපිටකයේ දක්නට ලැබෙන පර්යාපති දේශනය කෙනකු අපායගාමී වීමෙන් වළක්වන හේතු සාධකයකි. ත්‍රිපිටකයේ දැක්වෙන පරිදි මේ ධර්මය සුපරිශුද්ධය, සමසම ය, සාධාරණ ය.

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ අනුශාසනා කොට වදාරා ඇත.

නුඹලා තම තමාටම දීපයක් මෙන් වාසය කළ යුතුයි.

තමාට පිහිට තමාම ය. අන් පිහිටක් නැත. ධර්මයම ඔබගේ පිහිට කොට ගන්න. අන් සරණක් නොසොයන්න.

තෙවන සරණ වනුයේ සංඝරත්නයයි. මේ වනාහි අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයයි. ආදර්ශවත් උතුමන් ය. ආර්ය සංඝ රත්නයේ සරණ යෑමට අත්තිවාරම වනුයේ, මේ අෂ්ටාර්ය පුද්ගල, මහා සංඝරත්නයේ කෙනකුවීමට සෑම තැනැත්තා තුළම පවත්නා හැකියාවයි. අප මේ තිසරණයෙහි සරණ යා යුතු කෙසේ ද? කෙනකු මේ සරණාගමනයෙහි පිහිට යුතු වන්නේ, අවබෝධය මත ගොඩනැඟුණු පහත් සිතිනි. කිසිම අන්ධ විශ්වාසයක් මෙහි දී අදහස් නොකැරෙයි. අපගේ පවුලේ වෛද්‍යවරයා කෙරෙහි අප විශ්වාසය තබන්නාක් මෙන් බෞද්ධයන් වු අප, බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතු ය. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ, දේශනා කොට වදාරන ලද ධර්මයේ ඇති සත්‍යතාව බලය, උන්වහන්සේ පෙන්වා දී ඇති මාර්ගයේ ගමන් කිරීමෙන් අපට අවබෝධ කර ගත හැකි බැවිනි.

අපගේ ශාස්තෘන් වහන්සේ විසින් දක්වා වදාරන ලද ගැඹුරු දහම අප වැඩිදෙනාට අවබෝධ නොවන බැවින්, එම දහම අසත්‍ය වේයැයි මුළා නොවිය යුතු යි.එයට නිදසුනක් මෙසේ දැක්විය හැකි ය. අයින්ස්ටයින්තුමාගේ ගණිත ගැටලුවක් විසඳීමට සාමාන්‍ය කෙනෙකුට නොහැකි වූ පමණින් එම ගැටලුව විසඳීමෙන් ප්‍රයෝජනයක් නැතැයි සිතා එය ඉවතලීම ඥානාන්විත නොවේ. දහම ගැන ද කීම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන ලද චතුරාර්ය සත්‍ය පිළිබඳ වැදගත්කම අපට වැටහෙනුයේ අපගේ බුද්ධිය මුහුකුරා ගොස් අප තුළ ප්‍රඥාලෝකය උදාවීමත් සමග ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.