ජාතික ගීයට
භික්ෂූන් වහන්සේ
නැගිටීම සුදුසු ද?
ඕමල්පේ සෝභිත හිමි
ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කරන අවස්ථාවලදී සියලුම පුරවැසියන්
හුනස්නෙන් නැගී සිටීම පිළිගත් සම්ප්‍රදායයි. එයින් අදහස් කෙරෙන්නේ
සමස්ත ශ්‍රී ලංකික ජාතියටම ගෞරව ආචාරය පිරිනැමීමයි.
එහෙත් භික්ෂූන් වහන්සේ සහභාගිවන එබඳු අවස්ථාවලදී මතභේදාත්මක
සංසිද්ධියක් දක්නට ලැබෙන බව පැහැදිලි ය. එය ගිහි පින්වතුන්ගේ දැඩි
අවධානයට යොමුවනු ද පෙනෙයි.මේ මතභේදය නම්, ජාතික ගීය ගායනා කෙරෙන
අවස්ථාවේ ඇතැම් භික්ෂූහු හුනස්නෙන් නැඟී සිටින අතර අනෙකුත් භික්ෂූහු
හුනස්නේම වැඩ සිටිති.
මේ දෙපිළිවෙතින් නිවැරැදි කුමක් ද යන්න පිළිබඳ නිහඬ සංවාදයක් කලක පටන්
පැවතිණ. පෞද්ගලිකවත්, සංඝ සභා මට්ටමෙනුත් විවිධ අදහස් පළ කෙරුණු අතර
ස්ථිරසාර නිගමනයකට එළැඹීමට නොහැකි විය. මේ අතර අදාළ ප්‍රශ්නයට ශාසනික
වශයෙන් විසඳුමක් දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය වෙතින්
ඉල්ලීම් කෙරිණි. මේ ප්‍රශ්නය විශේෂයෙන්ම පිරිවෙන්හි අධ්‍යාපනය ලබන
අනාගත ශාසන භාරධාරි පැවිදි සිසුන්ට දැඩි ලෙස බලපාන බැවින් එහිලා
නිගමනයකට පැමිණීමේ අත්‍යවශ්‍ය වගකීම පිරිවෙන් ඒකකයට පැවරී ඇති බව විවාද
රහිත බැවිනි.
මේ අනුව ක්‍රියාත්මක වූ පිරිවෙන් අධ්‍යක්ෂ හිමිපාණන් වහන්සේ පිරිවෙන්
උපදේශක මණ්ඩලයට ප්‍රශ්නය ඉදිරිපත් කොට එහිද නියමය පරිදි අතිපූජ්‍ය
මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවධානය අයැද සිටියහ. ඒ අනුව, අස්ගිරි ,
මල්වතු දෙපාර්ශ්වයේත් අමරපුර , රාමඤ්ඤ දෙනිකායයේත් මහා නාහිමිපාණන්
වහන්සේ සිවුනමම විසින් ඒකමතිකව ගන්නා ලද තීරණය පිරිවෙන් අංශයේ බලධාරි
මණ්ඩලය මගින් ද අනුමත කරනු ලැබ සියලුම පිරිවෙන් වෙත 2008.04.28 දාතමින්
එවන ලද ලිපියෙහි මෙසේ සඳහන් වෙයි.
1.ජාතික ගීය පිළිබඳ වූ ලාංකික භික්ෂූන් වහන්සේ විසින් අනුගමනය කළ යුතු
ශාසනිකවත කවාරාකාර විය යුතු දැයි පිරිවෙන් අධ්‍යාපන ආයතනවල
කෘත්‍යාධිකාරි හිමිවරුන් විසින් කරන ලද විමසීම් කෙරෙහි අවධානය යොමු කළ
පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තෛ‍්‍රනිකායික මහා නාහිමි
වහන්සේගේ උපදෙස් ලබා ගැනීම සුදුසු බව තීරණය කළේය.
2. ඒ අනුව කළ විමසීමට පිළිතුරක් වශයෙන් ශාසනික ප්‍රතිපත්ති හා භික්ෂු
ආචාරධර්මයන්ට අනුකූලව ජාතික ගීය ගායනා කෙරෙන හෝ වාදනය ;කරෙන අවස්ථාවේ
දී භික්ෂූන් වහන්සේ නැඟී සිටීම හෝ විශේෂිත ඉරියව් ප්‍රකාශ කිරීම හෝ
කිසිසේත්ම අවශ්‍ය නොවන අතර තමන් වහන්සේ වැඩ සිටි ආකාරයෙන්ම නිහඬතාව
පළකිරීම පමණක් සෑහෙන බව ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ
නා හිමියන් ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමියන්
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නාහිමියන් අමරපුර මහානිකායේ මහ නා
හිමියන් යන නිකායත්‍රයේ මහා නා හිමියන් වහන්සේ 2008.02.25 දිනැති තමන්
වහන්සේලාගේ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් අවධාරණය කර ඇත.
3. අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උපදෙස් වලට අනුව
ක්‍රියාකිරීම සුදුසු බව 2008.03.25 දින රැස් වූ පිරිවෙන් අධ්‍යාපන
මණ්ඩලය තීරණය කරන ලදී.
4.බෞද්ධ ජන සංසදයේ මුදුන් මල් කඩ වන බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ
රත්නයට අයත් වන ගෞරවණීය මහා සංඝ රත්නය මෙම ත්‍රිවිධ රත්නය විෂයෙහි හැර
කිසිම පුද්ගලයෙකු හෝ වස්තුවක් හෝ ධර්මතාව හෝ කෙරෙහි ගෞරවාචාරයක්
දැක්වීම සඳහා යොමු කරවීම නුසුදුසුය. එය උත්තරීතර ත්‍රිවිධ රත්නය
සැහැල්ලුවකට ලක් කිරීමක් වන බැවිනි.
5.එසේ හෙයින්
ජාතික ගීය ගායනා කෙරෙන හෝ වාදනය කෙරෙන අවස්ථාවලදී නැඟී සිටීම හෝ
විශේෂිත ඉරියව් ප්‍රකාශ කිරීමෙන් වැළකී භික්ෂූන් වහන්සේ තමන් වහන්සේ
වැඩ සිටි ආකාරයෙන්ම නිහඬතාව පළකොට ජාතික ගීය විෂයෙහි පවත්නා තම ගෞරවය
ප්‍රකාශ කළ යුතුය.
අපගේ මේ උත්සාහය පිරිවෙන් ඒකකයේ ඉල්ලීම පරිදි මේ රටේ ශාසන භාරධාරි
වගකිවයුතු සංඝපිතෘන් වහන්සේ වන මහනා හිමි වහන්සේ විසින් ජාතික ගීය
සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය කෙතෙක්දුරට යුක්ති යුක්තද යන්න කෙටියෙන්
විමසා බැලීමයි. ජාතික ගීය ගැයෙන අවස්ථාවන්හි නැගීසිට ගෞරව දැක්වීම
ලෝකයේ සෑම ශිෂ්ට ජනකොටසකම අනුගත සත් චාරිත්‍රයක් වන බැවින් භික්ෂුව ද
එයට අනුයෝගීව ක්‍රියා කළ යුතුය යන්න ඇතැම් පාර්ශ්වයන් වෙතින් දැක්වෙන
ප්‍රබල කරුණකි. එසේම “ අනෙකුත් සියලුම පූජකවරු ඒ අවස්ථාවන්හි නැගී
සිටිති. බෞද්ධයන්ගේම තවත් පාර්ශ්වයක් වූ මහායාන නිකායන්හි හිමිවරු ද
එසේමය. එහෙයින් සියලුම භික්ෂූන් නැගී සිටිය යුතුය “ යනු එහිලා දැක්වෙන
අදහස්ය.
ශ්‍රී ලංකාවේදී මේ පිළිවෙත කෙසේ වෙතත් වෙනත් රටවලදී නම් නැඟී සිටීම
අනිවාර්ය වන බවත් එසේ නොකළහොත් භික්ෂුව ඒ රටවල මිනිසුන්ගේ නින්දාවටත්,
ඇතැම්විට දඬුවම් ආදියට ගොදුරුවීමටත් හේතුවනු ඇත යන්න තවත් ප්‍රබල
තර්කයකි. කෙසේ වෙතත් විනය පැනවීම් ආදියෙහි මෙවැනි කරුණක් ගැන සාකච්ඡා
නොවන්නේ ඒ කාලයේ මෙබඳු චාරිත්‍ර සමාජයෙහි නොපැවතීම නිසයි. එසේ වුවත්
භික්ෂුවද නවීන සමාජයෙහි අනිවාර්ය සමාජිකයෙකු වන බැවින් උන්වහන්සේ ද
නවීන සමාජ චාරිත්‍ර හා සමාචාර විෂයෙහි අනුයෝගීව සිටිය යුතුය. එමෙන්ම
ජාතියට ගෞරව දැක්වීම ද කළ යුතු චාරිත්‍රයකි. එනිසා නැගී සිටීම යෝග්‍යය
යන්න ද ඇතැම් අය අතර තහවුරු වූ මතයකි. මෙහිදි අප පළමුව හා දැඩිවම
සිහිතබා ගත යුතු කරුණු නම්, ගැටලුව පැන නැගී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ
ජාතික ගීය සම්බන්ධයෙන් පමණක් බව ය. ඒ අනුව සාකච්ඡා කෙරෙන්නේ ද අප රටේ
සිරිතක් ගැනයි. අපේ ජාතික ගීය ගැනයි.
පිටරටවල ජාතික ගීය හෝ වෙනත් සමාජ චාරිත්‍රයක් ගැන කිසිදු විවාදයක් පැන
නගින්නේ නැත. “දේසේ හැටියට බාසේ “ කීවා සේ ඒ ඒ රටවල රාජ්‍ය නීති, සමාජ
චාරිත්‍ර, දේශගුණය ආදිය සලකා බලා ඒවාට අනුයෝගීව සෑම පිටරැටියෙකුම
හැසිරිය යුතුවාක් මෙන්ම භික්ෂුව ද එහිලා නම්‍යශීලි විය යුතුමය. එසේ
නැතිව අපේ සිරිතේ හැටියට ඉන්න කියන්න. හැසිරෙන්න, කතාබහ කරන්න ඒ ඒ
පරිසරවලදී ඉඩ නොලැබෙන බැවිනි. නිදසුන් ලෙසින් සිංගප්පූරුව වැනි රටක
පිඬුසිඟා ගියොත් පොලිසියෙන් අල්ලාගෙන ගොස් ඇතැම්විට දඬුවම් ද නියම කරනු
ඇත. හේතුව ඒ රටවල සිඟාකෑම සපුරා තහනම් බැවිනි. අපි‍්‍රකානු ගෝත්‍රික
සමාජවල හැර බොහෝ රටවල අපේ රටේ සම්භාවිත ඒකාංශ පාරුපනය ද බැහැර කෙරෙයි.
එමෙන්ම එය සීතල දේශගුණයට ද ඔරොත්තු නොදෙයි. එයින් ඒ ඒ තන්හි විනය
විරෝධි නොවන පරිදි ඇඟ වැසෙන අයුරින් හැඳ පෙරවීම සිදු කළ යුතු වෙයි.
එමෙන්ම ඒ ඒ රටවල යම් උත්සව ආදියට සහභාගිවන අවස්ථාවලදී ජාතික ගීය ගායනා
කෙරෙන විට අන් සියලු දෙනා සමග ලාංකික භික්ෂුව ද නැඟී සිටිය යුතුම ය.
එපමණක් නොව ප්‍රධාන අමුත්තා සභා ගැබට පිවිසෙන අවස්ථාවල දී ද ගෞරවයෙන්
නැගී සිටිය යුතුම ය. ඇතැම් විට ඒ අමුත්තා රාජ්‍ය නායකයා විය හැකිය.
නොඑසේනම් උගතෙක්, ව්‍යාපාරිකයෙක්, ආගමික නායකයෙක් මෙන්ම ගැහැණියක් හෝ
පිරිමියෙක් ද විය හැකිය. කිසිදු භේදයකින් තොරව සියල්ලෝම නැගී සිටින විට
“අපි අපේ රටේ ජනාධිපතිටවත් නැගී සිටින්නේ නැහැ “ කියමින් ලාංකීය
භික්ෂුව හුනස්නෙන් හිඳගෙන ඉන්නට ඒ රටේ සිරිත මගින් කිසි ඉඩක් නොලැබෙයි.
ඒනිසා ඒ රටේ ක්‍රමය අනුව අනිකුත් පුජකවරුන්ද සම¼ග අපි ද නැගී සිටිය
යුතුම යි.
“ජාතියක්ම ගෞරව කරන ජාතිකත්වයේ සංකේතය වූ ජාතික ගීයට භික්ෂුව ද ගෞරව කළ
යුතුය. එනිසා නැගී සිටීම අනිවාර්ය විය යුතුය යන්න ද එක් මතයකි. මෙහිදී
ගෞරව කිරීම වෙනුවට උපහාර කිරීම හෝ සම්භාවනාවට යොමු කිරීම ආදී යෙදුමක්
වඩාත් යෝගය වනු ඇත. එහෙත් නැගී සිට ගෞරව කිරීම අත්‍යවශ්‍ය නොවේ. උපහාර
පුර්වකව වෙනත් ඉරියව් පැවැත්ම ද කළ හැකි වන බැවිනි. තවත් කෙනෙකුට උපහාර
හෝ ගෞරව පිණිස ඒ ඒ පිරිස්වල පිළිගත් චාරිත්‍ර අනුව පවත්වන ඉරියව් ක්‍රම
කීපයක් අපේ සූත්‍ර දේශනාවල ද සඳහන් ය. එනම්,
1.අභිවාදෙත්වා - නමස්කාර කිරීමෙන්
.පදක්ඛිණං කත්වා - ප්‍රදක්ෂිණා කිරීමෙන්
3.සම්මෝදනියං කථං සාරාණීයං විතිසාරෙත්වා - සතුටු සිතින් කතාබහ කිරීමෙන්
4.නාමගොත්තං සාවෙත්වා - තමා හඳුන්වාදෙනු ලැබීමෙන්
5.තෙනඤ්ජලිං පනාමෙත්වා - දොහොත්මුදුනේ තැබීමෙන්
6.තුණ්හීභූතා - නිහඬව නිසලව සිටීමෙන්
7.වේඨනං ඔමුඤ්චෙය්‍ය - හිස්වැසුම ඉවතට ගැනීමෙන් ආදි වශයෙනි .
මේ ක්‍රම අතරින් තුණ්හීභූතා ක්‍රමයෙන් උපහාර දැක්වීම භික්‍ෂුවකට යෝග්‍ය
වූ හොඳම ක්‍රමයයි.
වරෙක එක්තරා රාජ්‍ය උත්සවයක අවසානයේ ජාතික ගීය ගැයෙන විට ඇතැම්
භික්ෂූන් වහන්සේ නමක් නැගී සිටි අතර වේදිකාවේ සිටින අතිපූජ්‍ය මහානායක
මාහිමාපාණන් වහන්සේ නිසොල්මන්ව හුනස්නේම පසුවනු දක්නට ලැබිණි. එවෙලේම
අතිපුජ්‍ය පොත්තේවෙල පඤ්ඤාසාර මහානායක මාහිමියන් වෙත ළංවූ මම “ නැගී
නොසිටියේ මන්දැ යි” යටහත්ව විමසා සිටියෙමි. “ නැගී සිටින එක අපට
ගැළපෙන්නෙ නෑ. ඒ වෙලාවෙ මම නිහඬව ඉඳගෙන රටේ හැම දෙනාටම සෙත් පැතුව “
යන්න මාහිමියන්ගේ පිළිතුරු විය.
අනිකුත් ආගමික වල පූජාකතුමන්ලා රාජ්‍ය නායකයා ඉදිරියේ නැගී සිට ආචාර
දැක්වීම ප්‍රකටව පෙනෙන සිරිතයි. හින්දු ආගමික සංකල්පය අනුව රජු (හෙවත්
පාලකයා) යනු දෙවියන්ගේ නියෝජිතයායි (දෘෂ්‍යමාන දේවතා - භූ සුර )
ක්‍රිස්තියානි සමාජයේ ද පවත්නේ මෙබඳු ම අදහසකි. 17 වන සියවසේදී
එංගලන්තය හා ස්කොට්ලන්තය එක්සේසත් කළ 1 වැනි ජේම්ස් රජු තමන් හා බැඳුණු
දිව්‍යත්වය පිළිබඳ සංකල්පය වඩාත් ඉදිරියට ගෙනැවිත් එයින් බොහෝ වැඩගත්
පාලකයෙකි. ඔහු ඉදිරියට ගත්තේ “රජු දෙවියන්ගෙනි, නීතිය රජුගෙනි” යන
පැරැණි ක්‍රිස්තියානි මතවාදයයි.
ඒ සෑම තැනකම රාජ්‍යත්වය පවතින්නේ ඉහළ තලයකය. පුරෝහිත පදවියක්
ක්‍රියාත්මක වුවද එයත් රජුට සේවාකම්කරන ගරු නිලයක් විය. රටක ජාතික
කොඩිය සහ ජාතික ගීය, කිරීටය හෙවත් ඔටුන්න වැනි අංගයන්ගෙන්ද ප්‍රකට
;කරෙන්නේත්, නියෝජනය කෙරෙන්නේත් රාජ්‍යත්වය යි. ඒ අංගයන්ට ගෞරව කිරීම
පොදුවේ රටවැසියන් විසින් ඉටුකළ යුතුසේ සැළකෙන චාරිත්‍රයයි.
බෞද්ධ සංකල්පයට අනුව උත්තරීතර වස්තූන් තුනකි. ඒ බුද්ධ, ධම්ම, සංඝ යන
ත්‍රිවිධ රත්නය යි. ඉන් තුන්වැනි වූ සංඝ රත්නය ජීවමාන ධර්මයේ
ප්‍රවාහකයායි. “ සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා “ ආදි ආකල්පයන් මගින්
ලෞකිකත්වය ඉක්මවා සිටින සංඝරත්නය “අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය “ වශයෙන්ද
පූජාව්හය.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය තහවුරු වූ සෑම සමාජයකම
ඉහළම ගෞරවයට හෝ සම්භාවනාවට යොමු වුයේ ත්‍රිවිධ රත්නයයි. නිදසුන් වශයෙන්
තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය යන රටවල් දැක්විය හැකිය. ඒ එකම
සමාජයකවත් රජතුමා හෝ පාලකයා. ඉදිරියේවත් ජාතික ගීය ගැයෙන අවස්ථාවලදී
වත් භික්ෂූන් වහන්සේ හුනස්නෙන් නැගී නොසිටිති. ඒ වෙනුවට උන් වහන්සේලා
හුනස්නේම තුෂ්නීම්භූතව සුසංවුතව වැඩ සිටිති.
අප රටේ දැනට සම්භාවිත නිකායත්‍රය සම්භවයට පත්වූයේ තායි, මියන්මාර් දෙරට
මුල්කරගෙනය. ඒ අනුව ඒ රටවල අනුගත භික්ෂු චර්යාවම අපට ද මැනවින්
ගැළපෙයි. මෙසේ කරුණු සලකා බලන විට ප්‍රශ්නයට සරලවම විසඳුම සැපයෙන බව
පැහැදිලිය.
කෙසේ වෙතත් ජාතික ගීය පිළිබඳ ප්‍රශ්නයට මහා නා හිමි වහන්සේ වෙතින්
නිගමනයක් ඉදිරිපත් වී ඇත. මාහිමිවරුන් සිවුනමකගේම අස්සනින් නිකුත්
කෙරුණු ඒ නිගමනය වනාහි ඓතිහාසික වූවකි.
එසේම එම නිගමනය අප රටේ ඓතිහාසික උරුමය සංස්කෘතික පසුබිම් හා ධර්ම
විනයානුකූල පැවැත්ම ආදි සියලුම කරුණු පුළුල් ලෙස විමර්ශනය කොට ගන්නා
ලද්දක් බව ද ඉතා පැහැදිළිය.
මේ රටේ සෑම භික්ෂූන් වහන්සේ නමක්ම කුමන හෝ නිකායක සම්ප්‍රදායකට බැඳී
සිටින බැවින් ඉහත කී නිගමනයට අවනත වීම ස්වකීය ශාසනික සම්ප්‍රදායානුගත
වීමකි.
එමෙන්ම එය නිකාය ගරුකත්වය මෙන්ම භික්ෂු නායකත්වය කෙරේ නම්‍යශීලි වීමක්ද
වෙයි. අවසාන වශයෙන් කිවයුතු වන්නේ ජාතික ගීය සම්බන්ධයෙන් මහා නාහිමි
වහන්සේ විසින් ගන්නා ලද තීරණය තුන්කල් බලා ගන්නා ලද ශාසනාභිවෘද්ධිදායක
නිගමනයක් බවය. |