Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අටුවා ග්‍රන්ථයන්හි අඩංගු ඇතැම් කරුණු බුදුරදුන්ගේ ශ්‍රී‍්‍ර මුඛ දේශනාව හා බලන විට විශ්වාස ගත නොහෙන තැන්ද වෙයි. එබඳු කරුණු එක එල්ලේ පිළිගැනීම නොව කාලාම සූත්‍රයෙහි දැක් වූ පරිදි විමසා බලා සොයා බලා පැහැදිලි නිර්මිතව පෙනේ නම් පමණක් පිළිගත යුතුය. ශාසනයේ ආයුෂ මෙපමණයැයි ඇඟිලි ගනිමින් සිටිනවාට වඩා කලෙකින් උපත ලද බුදු හිමියන්ගේ දහම පවත්නා මෙකල දුකකින් ලබාගත් මිනිසත්භාවය, ඒ දහමට අනුව පිළිපදිමින් අර්ථවත් කර ගැනීම වටනේය.

සම්බුද්ධ ශාසනයේ ආයුෂ මෙපමණ යැයි ඇතැමුන් අදහස් දරතත් බුදුරජාණන් වහන්සේ විසින් ශාසනයේ ආයුෂය මෙ පමණ වන්නේ යැයි පැවසූ බවක් නොපෙනේ. බුදුන්වහන්සේ ගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිපත්ති පිරීමේ උනන්දුව හෝ කුසීතකම මත ශාසනයේ බොහෝ කල් පැවැත්ම හෝ නොපැවැත්ම පවත්නා බවත් බුදුන්වහන්සේගේ අධිෂ්ඨාන බලයකින්වත් අන් ප්‍රාතිහාර්ය බලයකින්වත් එය නොවන බවත් යනුවෙන් විනය පිටකයේ භික්ෂූ විභංගයේ සඳහන් වෙයි.

ඉධ කස්සප භික්ඛු භික්ඛුණියෝ උපාසක උපාසිකායෝ සත්ථාරි අගාරවා විහරන්ති අප්පතිස්සා

ධම්මෙ.... සංඝ.... භික්ඛාය.... සමාධිස්මිං....ඉමෙ ඛො කස්සප පංච මක්කමණියා ධම්ම සද්ධම්මාන්ත සම්මොසායා අන්තරධානාය සංවත්තන්ති. (කස්සප සංයුක්ත)

බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය කෙරෙහිත් ශික්ෂාව හා සමාධිය කෙරෙහිත් සිවුවණක් පිරිස ගෞරව රහිතව අකීකරුව වාසය කිරීම සද්ධර්මයේ අතුරුදන්වීමට හා පරිහානියට හේතුවන බව දේශනා කළහ. බුදුරදුන්ගේ පිරිනිවීමෙන් බුද්ධ ශාසනය බොහෝ කල් පැවැත්මට හෝ නොපැවැත්මට හෝ හේතු කවරේදැයි කිම්බල භික්ෂුව බුදුරදුන්ගෙන් විචාල කල්හි ඊට පිළිතුරු වශයෙන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුපිරිස තුළ තුණුරුවන් කෙරෙහි පවත්නා ගෞරවය ද බුදුදහමට අනුව ප්‍රතිපත්ති පිරීමෙහි ඇති උනන්දුව ද යන කරුණු දෙක උඩ ශාසනායුෂය පවත්නේය යැයි (අංගුත්තර නිකාය - කිම්බල පඤ්හ සූත්‍රය) බුදුරදුන් වදාළහ. බුදුසසුන පවත්නේ් කෙතරම් කල් ද යන පැනයට බුදුහිමියන්ගේ එකම පිළිතුර මගේ් ධර්මයට අනුව ප්‍රතිපත්ති පුරන ශ්‍රාවකයන් සිටින තාක් කල් ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් නොවේ යන්නය. ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් නම් ඒ කාලයේවත් ධර්මයේවත් වරද නොව පුද්ගලයින්ගේ් වරදය. ශාසනායුෂය අසවල් දිනයැයි නොව බුදු දහමේ ප්‍රතිපත්ති පිරීම ඔස්සේ වන්නක් බැව් යන්න ශාසන ආයුෂය ගැන අදහස් දක්වන්නවුනට පෙනී යා යුතුය.

සම්බුද්ධ ශාසනයේ මෙහෙණි සස්න පිහිටුවීමේදී බුදුහිමි තෙවරක්ම ප්‍රතික්ෂේප කළ අයුරුත්, ඒ පිළිබඳව උනන්දු නොවන ලෙස ආනන්ද හිමියනට පැවසූ අයුරුත් කියැවෙයි. භික්ෂුණි ශාසනය නොපිහිටෙව්වා නම් සද්ධර්මය බුද්ධ ශාසනය බොහෝ කල් පවත්නා බවත් දහසක් අවුරුදු පවත්නා බවත් භික්ෂුණී ශාසනය පිහිටුවීම නිසා දැන් සද්ධර්මය බුද්ධ ශාසනය දැන් පවතින්නේ අවුරුදු පන්සියයක් පමණක් බවත් ඒ වළක්වා ලීමට වැවක ජලය රඳවා ගැනීම පිණිස පළමුකොටම බැම්මක් බඳින්නාක් මෙන් ආරක්ෂාව පිණිස පළමු කොටම ගරු ධර්ම අටක් පැන වූ බවත් යන අදහස් චුල්ලවග්ග පාලියේ භික්ඛුණී ඛන්ධකයේ එයි.

බුදු සසුනේ ආයුෂය වර්ෂ දහසකට සීමා කිරීමේ කථා පුවත බලනවිට බුදුහිමි උපමාවක් වශයෙන් කරන ලද කථාවක එල්බ ගැනීමක් බව පෙනේ. බුදුපියාණන් වහන්සේ බැලුයේ භික්ෂූණී ශාසනය පිහිටුවීමේ නොපිහිටුවීමේ අවස්ථාව විනා ශාසනයට ආයුෂ නියම කිරීමක් ගැන නොවේ. ඒ බව වඩාත් ශාසනය බොහෝ කල් පවත්නේය යන්න මුලින්ම ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේය. පසුව පැවසුයේ ශාසන ආයුෂය නියම කිරීමට නොව ස්ත්‍රීන් පැවිදි වූවහොත් ශාසන ආයුෂය අඩකින් අඩුවෙතැයි පෙන්වාලීමට උපමාවක් ලෙසින් දහසක්, පන්සියයක් කථාව දැක්වූ බවය. දීපංකර බුද්ධ පාමුල අතට පත් නිවන් සුව සකල සත්වග වෙත පතළ කරුණාවෙන් ඉවතලා අපමණ කාලයක් සසර සැරිසරමින් පෙරුම් දම් පුරා, අනේක දුක් විඳ මහත් වීර්යය වඩා ස්වයම්භුඤාණයෙන් අවබෝධකරගත් උතුම් වූ බුද්ධත්වය ලබමින් බිහි කළ සම්බුද්ධ ශාසනය අවුරුදු දහසක් තරම් කෙටි කාලයකට පවත්නේ යැයි පැවසීම ප්‍රඥාගෝචර ලෙසින් පිළිගත හැකිවේද? සාර්වාත්‍රික, විශ්ව සාධාරණ, සනාතන, නිර්මල නෛර්යානික ශ්‍රී සද්ධර්මය අවුරුදු දහසකින් කෙළවර වන්නේ යැයි යන්න නොව ශාසනයේ පැවත්ම බොහෝ කල්ය. ශ්‍රාවකයින්ගේ ප්‍රතිපත්ති පිරීම උඩ ශාසන පැවැත්ම වන්නේය යන්න පිළිගැනීමට සිදුවේ.

අෂ්ටගරු ධර්ම පැනවීම නිසා සද්ධර්මය මුලින් කියන ලද අවුරුදු දහසම පවතින බව පවසන මහානාම රජුන් දවස (බු.ව. 953 - 975) ලක්දිව වැඩ සිටි හෙළමුවා පාලියට නැඟූ® බුද්ධඝෝෂ හිමියෝ මුල් අවුරුදු දහස තුළ සිව් පිළිසිඹියා පත් ක්ෂිණාශ්‍රාවයන් වහන්සේ ඇතිවන බව පවසති. ශුෂ්ක විදර්ශක ක්ෂිණාශ්‍රවයන් (හුදු විදසුන් වැඩූ) වශයෙන්, අනාගාමින් වශයෙන්, සකෘදාගාමින් වශයෙන්, සෝතාපන්නයන් වශයෙන් පිළිවෙළින් දහසක් අවුරුදු වශයෙන් හාරදහසක් අවුරුදු පෙන්වමින් මුළුමනින් පන්දහසක් කල් ප්‍රතිවේධ ශාසනය පවතින්නේ යැයි ද පර්යප්තියත් එපමණ කල් පවතින අතර ශ්‍රමණභාවය පර්යප්තිය නැතිවී ද බොහෝ කල් පවතින්නේ යැයි පවසති.

වස්ස සහස්සන්ති චෙතං පටිසම්භිදාප්පභේදප්පත්ත ඛීණාසව වසෙනව වුත්තං, තතො පන උත්තරම්පි සුක්ඛ විපස්සක ඛිණාසව වසෙනව වස්ස සහස්සං, අනාගාමීවසෙන වස්ස සහස්සං සකදාගාමිවසෙන වස්ස සහස්සං, සොතාපන්න වසෙන වස්ස සහස්සන්ති එවං පඤ්මවස්ස සහස්සාති පටිවෙධ සද්ධම්මා ඨස්සතා, පරියත්ති ධම්මො, ජිනාති යෙව, නහී පරියන්තියා අසති පටිවෙධො නහොති ලිංග පන පරියන්තියා අන්තර හිතාය යි චිරං පවත්තිස්සතී (සමන්තපාසාදිකා ජනයට්ඨ කථා) යනාදී ලෙසින් දක්වති. බුදුහිමි ප්‍රකාශයත්, මේ විධානයත් වෙනස් බව කිව යුතුය.

බුද්ධාගමේ ආයුෂය අවුරුදු පන්දාහක් පමණකැයි යන අදහස බොහෝ දෙනා අතර පවත්නේය. බුදුරදුන් සොයාගත්තේ ලොවෙහි නොවෙනස්ව පවත්නා සත්‍ය ධර්ම සතරෙකි. ඒ චතුරාර්ය සත්‍යය බලනවිට ලෝකයේ ජීවිතය පවත්නා තෙක් දුක පවතින බව පෙනේ. බුදුදහම තුළ දුක පිළිබඳ විග්‍රහ කොට සැප ලැබීම ගැන කියැවෙයි. දුකට මුල ඉපදීම ය. බුදුදහම මේ සත්‍යය පෙන්වා දෙයි. සත්‍යය වටහාගෙන දුක දුරුකර ගත හැකි වෙයි. සැපය එයයි. එසේ නම් බුදු සමයේ ආයුෂය මෙපමණ යැයි කීම අපහසුය.

ඉදං මහා කස්සපත්ථෙරෙන දසබලස්ස සාසනං පඤ්චවස්ස සහස්ස පරිමාණං කාලං පවත්තනසමත්ථං කතං’ති සඤ්ජාතප්ප මෝහ සාධුකාරං විය දදමානා අයං මහා පඨවි උදකපරියන්නං කත්වා අනෙප්පකාරං කම්පි. සංකම්පි. සම්පකම්පි. සම්පවෙධි (සමන්ත පාසාදිකා)

යනාදි වශයෙන් බුද්ධඝෝෂ හිමියෝ මහා කාශ්‍යප හිමියන් ශ්‍රී‍්‍ර සද්ධර්මය පන්දහසක් කල් පවත්වා ගැනීමට සමත් විශිෂ්ඨ කාර්යයක් කළ බවත්, ඊට සාධුකාර දෙන්නාක් සේ මේ මහා පොළොව නොයෙක් අයුරින් කම්පා වූ බවත්, මනා කොට කම්පා වූ බවත් පවසා සිටිති. මේ වනාහි බුදු සසුන අවුරුදු පන්දහසකට සීමා කිරීමක් ගැන කියන්නක් නොවේ. මහා කාශ්‍යප හිමියන් පළමු ධර්ම සංඝායනාව කිරීම උදාර කර්තව්‍යයකි. එය විශිෂ්ඨ වූ සේවාවකි. මහත් වූ අගයක් ඇත්තකි. ඉතා දුර දක්නා නුවණින් කළ සද් ව්‍යාපාරයකි. අවුරුදු දහස් ගණන් යනතුරු ධර්ම විනය නොනැසී පවත්නා බවත් සඳහන් විය. එසේ දීර්ඝ කාලයක් පවත්නා බව පැවසීමක් විනා අවුරුදු පන්දහසක සීමාවක් නොකියැවෙයි. මහා කාශ්‍යප හිමියන් කළ උදාර කාර්යයයේ විශිෂ්ඨත්වයත්, ඒ නිසා ධර්ම විනය දිගු කල් පවත්නා බවත්, එයට ප්‍රමෝදිත මහපොළොව කම්පාවූ බවත් අදහස් කළ යුතුය.

මහාවංශය සහ කතිකාවත් ආදියේද මේ අදහස් දක්නට විය.

සංඝායනා අවසානයේ මහා කාශ්‍යප හිමියන් විසින් බුදුසසුන පන්දහසක් අවුරුදු පවතින්ට පොහොසත් කරන ලදැයි සතුටු වුණාක් මෙන් මහපොළොව සවරක් කම්පා විය. (මහාවංශය තුන්වන පරිච්ඡේදය)

‘පස්වාන් දහසක් බුදුවන්ඩ දේවයන් වහන්ස’ ආදි ලෙස ‘පස්වාන් දහසක්’ යන්න සම්බන්ධිතව කියැවෙයැයි පැවසේ. එසේ නොයෙක් තන්හි කියැවුණේ ද යටබදු සටහන් හෙයිනි. වටහා ගත යුත්තේ කරන ලද ‘උදාර කාර්යයේ අගය කියන්නට එය දිගු කල් පවත්න බව හැඟී යන අයුරින් පන්දහසක් අවුරුදු යන්න යෙදුවා විනා කාල සීමාවක් පෙන්වීම නොවන බවයි.

රේරුකානේ චන්දවිමල මහා නාහිමියෝ සිය ‘විදර්ශනා භාවනා ක්‍රමය’ ග්‍රන්ථයේදී බුදුරදුන්ගේ් නෛර්යානික ශ්‍රී සද්ධර්මය අවුරුදු පන්දහසකින් අවලංගු වන්නක් නොවන බව පෙන්වති. නාවලපිටියේ කවීශ්වර ස්වාමින් වහන්සේගේ ‘අධිගම විනිශ්චය’, අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහා නාහිමියන්ගේ අටුවා පරීක්ෂණය හා අටුවා කථාවත්ත’ ආදි ග්‍රන්ථ බුද්ධ ශාසනයේ ආයුෂය පන්දහසක් අවුරුදු වලට සීමා කළ නොහැක්කක් බව පැහැදිලි කරයි.

බුද්ධ ධර්මයෙහි එකිනෙකට පටහැනි යමක් නැත. බු.ව. 455 දී ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කෙරිණි. ඒ පැහැදිලි කිරීමේදී පසුකාලීනව අටුවා ටිකා අනුටිකා ආදි ග්‍රන්ථ ලියැවිණි. අටුවා ග්‍රන්ථයන්හි අඩංගු ඇතැම් කරුණු බුදුරදුන්ගේ ශ්‍රී‍්‍ර මුඛ දේශනාව හා බලන විට විශ්වාස ගත නොහෙන තැන්ද වෙයි. එබඳු කරුණු එක එල්ලේ පිළිගැනීම නොව කාලාම සූත්‍රයෙහි දැක් වූ පරිදි විමසා බලා සොයා බලා පැහැදිලි නිර්මිතව පෙනේ නම් පමණක් පිළිගත යුතුය. බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී වදාරන ලද්දේ තමන් වහන්සේගේ ශ්‍රී‍්‍ර මුඛ දේශනාවට විරුද්ධ මතයක් යම් තැනක වේ නම් එය භාර නොගන්නා ලෙසය.

වටහා ගත යුත්තේ ධර්මානුකූ®ලව ප්‍රතිපත්ති පුරන තෙක් ලොව රහතන් වහන්සේගෙන් ශූන්‍ය නොවේ යන බුද්ධ වචනය පෙර ද දැක් වූ පරිදි සිව්වණක් පිරිස්හි තෙරුවන් පිළිබඳ ගෞරවයද බුද්ධ ධර්මානුකූ®ල ප්‍රතිපත්ති පිරීමේ උනන්දුවද මත ශාසනයේ ආයුෂ පවත්නා බව යනු හේ පැවසු කරුණුය.

ශාසනයේ ආයුෂ මෙපමණයැයි ඇඟිලි ගනිමින් සිටිනවාට වඩා කලෙකින් උපත ලද බුදුහිමියන්ගේ දහම පවත්නා මෙකල දුකකින් ලබාගත් මිනිසත්භාවය, ඒ දහමට අනුව පිළිපදිමින් අර්ථවත් කර ගැනීම වටනේය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.