UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය - බුදු දහමට අනුව ‘අසාරේ සාරමතිනො සාරේචාසාර දස්සිනො’ මිථ්‍යා සංකල්පනාවකි. ජීවිතය අවනතිය කරා ගෙනයන කල්පනාවකි. ‘සාරංච සාරතො ඤත්වා අසාරංච අසාරතො’ හොඳ හා නරක වෙන්කොට හඳුනා ගැනීමකි. එම කරුණු දෙකින් ඉහතින් සඳහන් කළ මිථ්‍යා සංකල්පනාවට (වැරැදි අවබෝධයට) හේතු කාරක කිහිපයක්. අං. නි. තික නිපාතයෙහි දේශනාවක අන්තර්ගත වෙයි. එය පැහැදිලි කරන්න.

පිළිතුරු- එම සුත්‍රාගත පෙල දහමට අනුව පුද්ගලයා කරුණු තුනකින් දිවි පෙවෙත අවනතිය (පිරිහීම) කරා ගෙන යයි.

(තමා වරූස නොදිස්නේ) තම වරද වටහා ගැනීමට නොහැකිවීම (අච්චයං අච්චයතො න පස්සති)

වරදින් නිදහස් වීම සඳහා සංකල්පනාවක් හෝ වරද හඳුනා ගැනීමට උත්සාහයක් ද නැත. (යථා ධම්මං පටිකරොති)

අනෙකෙකු ගේ් උපදෙස් ලබා ගැනීමට නිහතමානියකු නොවී මානයෙන් උදම් වී පිරිහීමට පත්වීම (පරස්ස ඛො පන අච්චියං දො සෙන්තස්ස යථා ධම්මං න පති ගණ්හාති)

උන්නතිකාමී තැනැත්තා (උත්සාහවන්තයා) හේතුකාරක තුනකින් යුක්තව නුවනේ වරද නිවරද හඳුනා ගනී. (අච්චයං අච්චියතො පස්සති)

වරදෙහි සාවද්‍ය බව හඳුනාගෙන දහම්නය තෝරාගෙන නිවැරැදි කරගනී.

වරද පෙන්වාදෙන තැනැත්තා (නිර්‍ධනං වපවත්නාරං) කල්‍යාණ මිත්‍රයෙකු සේ සලකා ගරු බුහුමන් කරයි.


ප්‍රශ්නය - ලාංකේය ශාසන ඉතිහාසයේ අනුරාධපුර අභයගිරි විහාරය සුවිශේෂ කොට ගෙන ශාසනික සම්ප්‍රදායයක් බිහිවිය. අභයගිරි විහාරය සහ අභයගිරි ශාසනික සම්ප්‍රදාය පිළිබඳව තොරතුරු පැහැදිලි කරන්න.

පිළිතුර - සිංහල බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍ර ස්ථානය වූ අනුරාධපුර ශුද්ධ නගරයෙහි උතුරු දිසාවෙහි අඩි 238.19 ක් උස මහාපරිමාණ ස්ථුපය ප්‍රධාන කොට සංඝාරාම විසිහතකින් පමණ සමන්විත විහාර සංකීර්ණය අභය ගිරි විහාරයයි. විජයාරාමය පංකුලිය හා කිරිබත් වෙහෙරද මෙයට ඇතුලත් විය යුතුය. එය මධ්‍යස්ථාන කොටගෙන ඇතිවූ බෞද්ධ නිකාය ධම්මරුචි නිකායයි.

අභයගිරි විහාරය වට්ටගාමිණි රජතුමා විසින් කරවන ලද්දකි. වංසකථා වලට අනුව අභයාරාම, අබයුත්තර විහාර, අභයගිරි විහාර උත්තර විහාර යනුවෙන් ද ශිලා ලිපි වල අබගිරි විහාරි යනුවෙන් ද හඳුන්වා ඇත.


ප්‍රශ්නය - මාර දේවපුත්ත වශයෙන් මාරයා දෙවියකු වශයෙන් ඉදිරිපත් වී ඇති නමුත් බුදුදහමට අනුව ‘මාර’ යන්න වඩා විහිදුන අර්ථ මෙම සංකල්පනය ඇසුර ලබා ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර - පෙල දහමට අනුව ‘පුද්ගල මාර’ හෙවත් මාර සංකල්පනයට පෞර්ෂෝස (පුරුෂ) අදහස එකතුව හැදී වැඩුනේ බෞද්ධ සන්දර්භය තුළමය. විද්වත් මතයට අනුව ‘සදාචාර’ පාර්ශ්වය බුදුන්වහන්සේ නම් ‘මාරයා’ දුරාචාර පාර්ශ්වය නියෝජනය කරයි. ඒ අනුව සදාචාර සංකල්පනය බුදුන් වහන්සේ වටා ඒකරාශි වූ අතර නරක හෙවත් දුරාචාර සංකල්පනයන් මාර සංකල්පනය මත විහිදී යයි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මාර පරාජය කොට බුද්ධත්වයට පත් වූ බව නිරූපණය වී ඇත්තේ බුද්ධත්වය සාක්ෂාත් කිරීමට බුදුන් වහන්සේ සහ මාරයා අතර මූලික සටනක් ඇතිවූ චිත්‍රනය කිරීමටයි.

මාර දිව්‍ය පුත්‍රයා වශයෙන් මාරයා දෙවියකු ලෙස ඉදිරිපත් වුවත් ඊට අමතරව තවත් තුන් ආකාරයක මාරයන් ගැන සඳහන් වෙයි. එනම් ‘මච්චු මාර’ හෙවත් ‘මරණය’ මාරයා වශයෙන් සැලකීම ‘ඛන්ධ මාර’ හෙවත් පංචස්ඛන්ධයන්ද මාරයා වශයෙන් සැලකීම, ‘කිලෙස මාර’ කෙලෙස් මාරයා වශයෙන් සැලකීම යනුවෙනි. මෙම තුන් ආකාරයේ මාරයන් දේවපුත්ත මාරයාගේ අණසක යටතේ ක්‍රියාකරන ආකාරයද සමහර අවස්ථාවලදී සලකා ඇත. එම තුන් ආකාරයේ මාරයන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කළේ මාරයාගේ් ඇති සංදෘෂ්ඨිකමය (සමීපදැකීම) අර්ථය සහ වැදගත්කමයි. තවද මාරයා හමුවීමක් හා ඔහුගේ බල ප්‍රදේශය පිළිබඳ සටහනක් ඛන්ධ මාර බුදුන් වහන්සේ මෙසේ විග්‍රහ කරති. ‘මාර’ යනු කිමෙක්ද? ‘මාර’ යනු රූපයයි. මෙම මාරයාට ඔබේ ඇති බැඳීමෙන් ඔබ ඔබ්බට යා යුතුයි. ‘මාර’ යනු වේදනාවයි. මාර’ යනු සඤ්ඤාවයි. මාර යනු සංස්කාරයි. මාර යනු විඤ්ඤාණයයි. මෙම මාරයාට ඔබේ ඇති බැඳීමෙන් ඔබ්බට යා යුතුයි. (සං.නි. 3)

මාරයාට ඔරොත්තු දීමට හොඳම ක්‍රමය නම් ‘සතිය’ බව බුදුන් වහන්සේ නිතරම අවධාරණය කළහ. එමනිසා මාරයාගේ ග්‍රහණයෙන් නිදහස්ව සිටීමට නම් කෙනෙකු තමා යනු පංචස්ඛන්ධය නොවන බව මනා අවබෝධයකින් සිටිය යුතුය. බුදුහු මෙසේ වදාළහ. (දී.නි. 111 55 පිටුව)

මහණෙනි! ඔබගේ ගොදුරු බිම් වලටම වී සිටින්න. ඔබගේ් නිජභූමි වලම හැසිරෙන්න. ඔබ ඒ ආකාරයට ඒවායේ හැසිරෙන්නේ නම් මාරයාට ගොඩ බැසීමට තැනක් ඇතිවන්නේ නැත. පහරදීමට ඉඩක් ඇතිවන්නේ් නැත. තමාට හිමි තමා විසින් හැසිරිය යුතු ක්‍ෂේත්‍රය ලෙස පැහැදිලි කර ඇත්තේ සතර සතිපට්ඨානයට අයිති ක්‍ෂේත්‍රයයි.


ප්‍රශ්නය - මහණෙනි! තථාගත බුදුරදුන්ගේ් ශරීරය මුලින් සිඳිනා ලද භව තෘෂ්ණා ඇත්තේ සිටී. යම්තාක් කල් ඒ බුදුහුගේ කය, සිටින්නේද ඒ තාක් දෙවි මිනිස්සු උන්වහන්සේ දක්නාහ. කය බිඳීමෙන් ජීවිතය විනාශ වීමෙන් මතු දෙවි මිනිස්සු බුදුනු නොදක්නාහ. (දී.නි. බ්‍රහ්මජාල සූත්‍ර)

බුද්ධ රූපය පිළිබඳ මේ ආගමානුකූල හා දාර්ශනික අවබෝධය ලබා සිටි පැරණි කලාකරුවා එය නිර්මාණය කිරීමට උත්සාහ නො කළේය. මේබදු පාඨයන්ද උපයෝගී කරගනිමින් බුද්ධ ප්‍රතිමා කලාවේ සමාරම්භය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් පහක් පමණ ඉක්ම යනතුරු විවිධ හේතූන් නිසා බුද්ධ රූපය මිනිස් ආකෘතියට නො නැගිණි. බුදුන් වහන්සේ වූ කලී ‘සුවිශේෂ උත්තමයන් වහන්සේ නමකි. යන සංකල්පය නිසා මිස භාරතීය කලා ශිල්පීන්ගේ අපොහොසත්කම නිසා හෝ දේශනා පාලියෙහි එන වාරණයක් නිසා සිදු වූවක් නොවන බව විද්වත් මතයයි. පැරණි බෞද්ධ ධර්ම ග්‍රන්ථ අනුව ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ මනුෂ්‍ය ශාස්තෘවරයාණ නමකි. සකල විධ පදාර්ථයෙන්ම ලේ මස් සහිත මිනිසෙකි. එහෙත් බුදුබවට පත්වීමෙන් අනතුරුව සියලු ලෞකික අභිලාෂයන් හා තෘෂ්ණාවන් ‘අශේෂ නිරෝධයෙන්’ අවසන් වුවත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හා දේශිත ශුද්ධ ධර්මයත් සමග ජීවමාන නියෝජිතයෙකු හඳුනාගත යුතු බව ශ්‍රාවක බහුජන මතයයි. ඒ බව පෙළ දහම් පාඨවලින් ද අනුමාන කළ හැකිය. සංයුක්ත නිකායාගත මෙම පාඨයට අනුව පරිනිර්වාණයෙන් පසු උත්තම පුරුෂ වූ උතුම් ඵලයට පැමිණි තථාගතයන් වහන්සේ ‘හොති තථාගතො පරම්මරණ’ ආදී වශයෙන් විද්‍යාමානද නැද්ද නො එසේ නම් ඒ දෙකම නොවේද හෝ ඉන් එකක් වේද? නොවේද? (නෙවහොති න නගෝතිච තථාගතො පරම්මරණ) යන සතර තැන් උන්වහන්සේ විෂයෙහි අදාළ නොවේ.

මේ හේතුකොට ගෙන බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පැන නැගුණු ප්‍රශ්න යටතේ බුද්ධ රූපය ආකෘතියට නැගීම මුල් කාලයෙහි දී සිද්ධ නොවීය. උන්වහන්සේ සියලු කෙලෙස් සංසිඳුවා නිවන් පසක් කළ උතුමකු නිසා එබඳු රුවක් මිනිස් දර්ශන පථයට ලක් කිරීම දුෂ්කර කරුණක් විය. මිනිස් රූ සටහන් නෙලීමෙහි ලා මනා කුසලතාවයන්ගෙන් පරිපූර්ණ කලාකරුවන් ඇසට ලක්වන මිනිස් රූ සටහනින් බුද්ධ රූපය මවා පෑමට කිසි විටකත් උත්සාහ නොකරන ලද බව ඔප්පු කිරීමට සාංචි හා භාරුත් කූට යම් පැහැදිලි සාක්ෂි ලෙස ඉදිරිපත් කරයි.


ප්‍රශ්නය - බුද්ධ ප්‍රතිමා කලා නිර්මාණයෙහිදී ‘මුද්‍රා’ නමින් හැඳින්වෙන මූලික අංගය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - ‘මුද්‍රා’ යනු විවිධ අර්ථවල යෙදෙන වචනයෙකි. සන්නස, පුවරුව, වලංගුබව හඟවන ලකුණ ලාංඡනය ආදී රාශියක් පෙරදිග භාෂා ශාස්ත්‍රයන්හි යෙදී ඇත. රාජමුද්දා යන තැන්හි රාජකීය ලාංඡනය හෙවත් රාජ්‍ය මුද්‍රාව අදහස් කෙරේ. ‘හත්ථ’ මුද්‍රා යනුවෙන් යෙදී ඇති තැන්වල අර්ථ දෙකක් දැක්විය හැකිය. එනම් වලංගු භාවය දක්වන ඇඟිලි සලකුණ හා අත්වලින් හඟවන සංඥාව හෙවත් සන්නිවේදනයයි. ප්‍රතිමා කලාවට ‘මුද්‍රා’ යන්න යොදාගනු ලැබුවේ අවසානයට සඳහන් කළ අත් සහ අත්වල ඇඟිලි වලින් දැක්විය හැකි සංකේතාත්මක අදහස් මුල්කරගෙනය.

මුද්‍රා වලදී මූලිකත්වය ලැබෙන්නේ අත් සහ ඇඟිලි වලින් දැක්වෙන අභිනයන් නිසා මුද්‍රා යන්නට හස්ත යන්නද යෙදී ඇත. හින්දු ප්‍රතිමා විෂයෙහි මුද්‍රා 64 ක් දක්වා ඇතත් බුද්ධ ප්‍රතිමා වලින් දැකගත හැක්කේ ධ්‍යාන හෙවත් සමාධි, ධර්ම චක්‍ර, අභය, විතර්ක වරද හා භූමිස්පර්ශ යන මුද්‍රා සයයි.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]