ගොඩාමුණේ චුල්ලනාග හිමි
පරිසරය මිනිසාටත් මිනිසා පරිසරයටත් අන්‍යොන්‍ය වශයෙන් සාපේක්ෂව බලපාන
බව බුදු දහමේ සූත්‍ර ධර්ම රාශියකින් විග්‍රහ කැරෙයි. ඉන් එක් සූත්‍රයක්
ලෙස දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය දැක්විය හැකිය. එහි දැක්වෙන පරිදි මුල්
යුගයේ මිහිතලයෙහි විසූ මිනිසා උසස් ආයු වර්ණනාදිය ඇතිව පී‍්‍රතිමත්ව
සමාජ විසමතාවලින් තොරව විසීය . නමුත් කල් යෑමේ දී විසමතා ඇති විය.
පාරිසරික සම්පත් තණ්හාවෙන් පරිභෝග කිරීම හා පසුව එම කෙත්වතු සීමා සම්මත
කොට බෙදා ගැනීමද නිසා සමාජය තුළ ප්‍රශ්න ඇතිවිය. මෙසේ පරිසරය අනිසි ලෙස
හා කෑදර ලෙස භාවිතා කිරීම නිසා, ඊර්ෂ්‍යාව, වෛරය, ආත්මාර්ථකාමිබව,
සොරකම, බොරුව ආදී සමාජ දුබලතා හා අපචාර ඇති වූ බව එම සූත්‍රය විග්‍රහ
කරයි.
අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රයට අනුව රජුන් අදහැමි වූ කල නිලදරු
සේවකාදීහුද අදැහැමි වෙති. ඉන්පසු නිගම ජනපදවාසීහුද අදැහැමි වෙති. මෙසේ
සමාජයේ බහුතරය විසම හැසිරීම් සහිත ආධාර්මිකයන් වූ කල එය පරිසරයටද
බලපායි. වායුව විසම ලෙස හමා යයි. ඉර හඳ නැකැත් විසම ලෙස බලපායි. වැස්ස
අනිසි ලෙස ලැබෙයි. එවිට ධාන්‍යයද අනිසි ලෙස පැසෙයි.
ඒවා අනුභව කරන මිනිස්සු දුර්වර්ණ ද දුර්වල ද වෙති. බොහෝ ආබාධ ඇත්තෝ
වෙති. විශේෂයෙන් ස්වභාවික විපත් හට ගනියි. මෙම සූත්‍ර ධර්මය විග්‍රහ
කිරීමේදී පැහැදිලි වනුයේ මිනිස් හැසිරීම් පරිසරයටත්, පාරිසරික
ක්‍රියාකාරිත්වය මිනිසාටත් බලපාන අයුරු මැනවින් එහි විග්‍රහ කැරෙන
බවයි.
පංච නියාම ධර්ම තුළින් ද පරිසරය මිනිසාට බලපාන හැටි පෙන්නුම් කැරෙයි. ඒ
අනුව උතු නියාම හෙවත් කාලගුණ විද්‍යාත්මක හේතු අනුව මිනිසුන්ට දුක හෝ
සැප ලැබෙයි. බීජ නියාම හෙවත් උද්භිද විද්‍යාත්මක නියමයෙන් දුකසැප
ලැබෙයි.
තුරුලතා වනාහි පරිසරයට අයත් සාධක අතර මූලිකම සාධකය වේ. සුන්දරත්වයේ
සංකේතය සේ සැලකෙන මල් හට ගන්නා, පෝෂණයේ වැදගත්ම සාධකය වන ගෙඩි ද හට
ගන්නා තුªරුලතා ආරක්ෂා කර ගැනීම, මනුෂ්‍ය ප්‍රජාවගේ යහපත පිණිසම පවතී.
තුරු ලතා පිට කරන වාතය මිනිස්සු ආශ්වාස කරති. මිනිසුන් පිට කරන
කාබන්ඩයොක්සයිඩ් වායුව තුරුලතා විසින් උරා ගනු ලැබේ. ඒ අනුව එක් අතකින්
මිනිසාට ආහාරපාන ද, තවත් අතකින් ඖෂධ ද, තවත් අතකින් සුන්දරත්වයද ලබා
දෙන තුරුලතා කෙරෙහි භක්තිමත් වීමට ද ඒවා ආරක්ෂා කර ගැනීමට ද බුදු සමය
මඟින් ලැබෙන අනුබලය ඉතා විශාල ය.
නූතන විශ්ව සමාජය තුළ වඩාත් සංකීර්ණ වූ ගැටලුවක්නම් පරිසරය ඉතා වේගයෙන්
දූෂණය වීම යි. කාර්මිකකරණය නාගරිකරණය, අධික ජනගහනය, විද්‍යාත්මක හා
තාක්ෂණික දියුණුව ආදී හේතු සාධක නිසා නූතන ලෝකයේ භෞතික පරිසරය ඉතා
වේගයෙන් දූෂණය වෙමින් පවතී. මෙම පෘථිවිය මිනිස් වාසයට නුසුදුසු
ස්ථානයක් බවට අනුක්‍රමිකව පත්වෙමින් පවතියි. වායු දූෂණය, ජල දූෂණය,
ශබ්ද දූෂණය තුරුලතා විනාශය ආදී වශයෙන් පරිසර දූෂණය විවිධාකාරයෙන් අප
ඉදිරියේ දිනෙන් දින වැඩි වෙමින් පවතියි. ලොව වෙසෙසින් දියුණු යැයි
සම්මත රටවල් පරිසර දූෂණය වෙත (අනෙකුත් නොදියුණු යැයි සම්මත රටවල් හා
ගැනෙන විට) දරන දායකත්වය බෙහෙවින් වැඩිය විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස
අප, පරිසර සංරක්ෂණය අතින් බොහෝ ඉදිරියෙන් සිටින බවට සතුටු විය හැකි
වුවත්, කැලි කසල ඉවත් කිරීම හා ඒවා විනාශ කිරීම කෙරෙහි දක්වන සාධනීය
වැඩ පිළිවෙළ බොහෝ මන්දගාමී බවක් පෙන්නුම් කරයි.
මිනිසාගෙන් පරිසරයට අනිසි ලෙස බලපෑම් දැක්වුවහොත් නැවත මිනිසාට ඉන්
ලැබෙන අයහපත් ප්‍රතිචාරවලට මුහුණ පෑමට සිදුවන අයුරු වර්තමානයේ ඇතැම්
සිදුවීම්වලින් දැක ගන්නට ලැබිණි. බුද්ධ දේශගාවේ මූලික ඉගැන්වීමක් වූ
‘පටිච්ච සමුප්පාද’ දේශනාවෙන් ලොව සියල්ල එකිනෙකාට සාපේක්ෂව බලපාන අයුරු
මැනවින් පැහැදිලි කෙරේ.
බුදුන් වහන්සේ තරම් පරිසරය සමග සම්බධන්ධව ජීවත්වූ වෙනත් ශාස්තෘවරයකු
ලොව නොමැත. උන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය ස්වභාවික
රමණීය පරිසරය ඇසුරෙහිම සිදු වී තිබේ. බුදුන් වහන්සේ වැඩිපුරම වැඩ
සිටියේ දහම් දෙසුවේ රමණීය වූ ස්වභාවික පරිසරය ඇසුරෙහි ය.
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදුකළේ බරණැස ඉසිපතන මිගදායේදී ය. පළමු
ධර්ම දේශනාවටම උන්වහන්සේ එබඳු වූ රමණීය සුන්දර ස්වභාවික පරිසරයක් යොදා
ගත් හ. මහා මොග්ගල්ලානෙත්‍ථර බොජ්ඣංග සූත්‍රය දේශනා කළේ රජගහනුවර
වේළුවන නම් වූ උණ කැලෑවකදීය. ඉසිගිලි සූත්‍රය දේශනා කළේ රජගහනුවර
ගිජ්ජකූට පර්වතයේ සිටය.
කසීභාරද්වාජ සූත්‍රය අලංකාරවත් වූ කෙත්යායක් අසල දී දේශනා කර ඇත. ධනිය
සූත්‍රය මහීගංගා තීරයෙහි සිට දේශිතය. මෙසේ නිරන්තරයෙන් එළිමහනේ විවෘත
පරිසරය ඇසුරු කොට වාසය කිරීමත්, ධර්මය දේශනා කිරීමත් බුදුන්වහන්සේගේ
පිළිවෙත විය.
බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයාට දහම් දේශනා කිරීමේදී නිරතුරුවම පරිසරය
තුළින් තෝරාගත් උපමා රූපක භාවිතා කර තිබේ. මජ්ඣිම නිකායේ මහා සාරූපම
සූත්‍රය තුළින් ධර්ම කරුණු විග්‍රහ කෙරෙනුයේ ගසක් උපමා කොට ගෙනය.
කසීභාරද්වාජ සූත්‍රය සුන්දර වූ කෙත්යායක් උපමා කොට දේශනා කළහ.
ධම්මපදයේදී ද බොහොමයක් ගාථා සුන්දර වූ පාරිසරික වස්තූ®න් දේශනා කර
තිබේ. පාරිසරික සෞන්දර්යයේ විශිෂ්ටතම වූ සංකේතය පුෂ්පයයි. දර්ශනිය වූ
සුවඳවත් වූ මල් උපමා කොට නොයෙක් ස්ථානවල දහම් කරුණු පැහැදිලි කර තිබෙන
අයුරු ත්‍රිපිටකය තුළ දක්නට ලැබේ.
සමාජය පොකුණක් ලෙසත්, මිනිසුන් එහි හටගත් නෙළුම්මල් ලෙසත් දක්වා තිබේ.
ධම්මපදයේ පුප්ඵ වග්ගය තුළ විවිධ දහම් කරුණු මල් උපමා කොට දේශනා කර ඇති
බව පෙනෙයි. අංගුත්තර නිකායේ රුක්ඛ සූත්‍රයට අනුව සමාජය සිවු ආකාරයකින්
ගස් වලට උපමා කර ඇත.
බුදු දහම තුළ පරිසරය පිළිබඳ ඉගැන්වීම් අතර පරිසර සංරක්ෂණය පිළිබඳ කරුණු
ද දක්නට ලැබේ. සංයුත්ත නිකායේ වහරෝප සූත්‍රයේදී යමෙක් මල්වතු, උයන් වතු
වවන්නේද, වන වගා කරයි ද ඒදඬු පාලම් පොකුණු නිවාස තනා දෙයිද ඔහුට දිවා
රෑ පින් වැඩෙන බව දේශනා කර ඇත. තුරලතා වැනසීම ඒවාට හානි කිරීම උපසපන්
භික්ෂුවකට තහනම් ය. අග්ගිකභාරද්වාජ නම් බමුණා බුදුරදුන්ට පිළිගැන් වූ
අකැප ආහාරයට කුමක් කළ යුතුදැයි ඇසූ විට නිල් තණ නැති පොළොවෙහි හෝ
ප්‍රාණීන් නැති ජලයෙහි එය බහාලන ලෙස බුදුහිමියෝ පැවසූහ. පරිසරය
සුරැකීමට බුදුන් වහන්සේ තුළ වූ උනන්දුව ඉන් වටහාගත හැකි ය. වස් විසීමේ
ශික්ෂාපදය පැනවීමට තුඩුදුන් හේතු අතර, වැසි කාලයේ සංචාරය කරන භික්ෂූන්
කුඩා, ළා දළු ඇති තණකොළ වැනසීම් ආදිය වැළැක්වීමේ අවශ්‍යතාවද, එක්
හේතුවකි.
වැසිකල හටගන්නා මෙම කුඩා ශාක වුවද නොපෙළිය යුතු ය යන පණිවිඩය එමඟින්
ලබා දී ඇත භික්ෂූන් වහන්සේ උදෙසා දේශිත සේඛියා ධර්ම අතර ද, පරිසර
සංරක්ෂණයට උපකාරී වන ශික්ෂාපද දක්නට ලැබේ.
ඒ අනුව නිල්වන් තණ කොළ මත මළමුත්‍රා කිරීම, කෙළ ගැසීම නොකළ යුතු යැයි
දක්වා තිබේ. ජල දූෂණය ද වර්තමානයෙහි විශාල ගැටලුවක් වී තිබේ. මිනිසාට
අත්‍යවශ්‍ය ජලය විවිධාකාරයෙන් දූෂණය වීම ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් වෙමින්
පවතී. විශේෂයෙන් කොළඹ වැනි නගරාශි‍්‍රතව මේ ප්‍රශ්නය උග්‍ර වෙමින් බොහෝ
ලෙඩ රෝග ඇති කරන හේතුවක් වෙමින් තිබේ.
අනාගතයේ දී පොළොවෙහි ඇති ස්වභාවික ජලය බීමට හෝ වෙනත් අවශ්‍යතා සඳහා
යොදාගත නොහැකි තරමට දූෂණය වනු ඇතැයි බියක් පවතී. බුදු සමය ජල දූෂණයට
කවර ලෙසකින්වත් එකඟ නොවේ.
මවක් තම පුතකු පෝෂණය කරන්නාක් මෙන් වැස්ස මිනිසුන් පෝෂණය කරන බව
සංයුක්ත නිකායේ පජ්ජෝත සූත්‍රය පෙන්වා දෙයි. හික්ෂු විනය තුළ පානීය ජලය
සෞඛ්‍ය සම්පන්න ලෙස පරිභෝජනය කිරීමට අදාළ නීතිරීති රැසක් පනවා තිබේ.
පානීය ජලය හොඳින් පෙරා භාවිතා කළ යුතු යැයි එහි සඳහන් වෙයි.
පානීය පරිභෝජනීය ජලය රැස්ව ඇති වැව, පොකුණු, ගලා යන ගංගා ආදියෙහි
සමීපයෙහි සෙනසුන් ඉදි නොකළ යුතු යැයි චුල්ලවග්ග පාළියේ දක්වා තිබේ.
මෙසේ ජල දූෂණය වැලැක්වීමට බුදු සමයෙහි විවිධ උපදෙස් සඳහන් වෙයි.
වායු ගෝලය දූෂණය වීම ද වර්තමාන මිනිසා ඉදිරියේ ඇති විශාල ගැටලුවකි.
සියලු ජීවින්ගේ පැවැත්මට පිරිසුදු වායුව පැවතීම ඉතා වැදගත් ය. භෞතික
දියුණු වෙමින් පවතින නූතන සමාජය තුළ වායු ඤෂණය හේතුකොට ගෙන ප්‍රශ්න
රාශියක් ඇති වී තිබේ.
කර්මාන්ත ශාලාවලින් පිටවන අහිතකර වායු මගින් බරපතල සෞඛ්‍ය ප්‍රශ්න
ඇතිකර හමාරය. මෙම කරුණු සැලකිල්ලට ගෙන බුදුදහම තුළ ද වායු දූෂණය
වැළැක්වීමට පනවන ලද විනය නීතිරීති තිබේදැයි විමසා බලමු. පාචිත්තිය
පාලියෙහි සෙනසුන් පිරිසුදු කිරීමේදී උඩු සුළඟට හෝ යටි සුළඟට දූවිලි
ආදිය එක් නො වන පරිදි එය කළයුතු බව දක්වා තිබේ.
දූවිලි සහිත වායුව හමයි නම්, එම දිසාවල ඇති ජල බඳුන් වසා තැබිය යුතුය.
සිවුරු ආදිය සෙනසුන් තුළදී ගසා දැමීම නො කළ යුතු යැයි දක්වා තිබේ.
එළිමහණෙහි වුව ද සුළං හමන දිසාව බලා සුදුසු පරිදි එය කළ යුතු ය. මෙසේ
පරිසුදු වාතාශ්‍රය තුළ ජීවත්වීමේ අවශ්‍යතාව සලකා භික්ෂූන්ට විනය
නීතිරීති හා උපදෙස් ලබා දී තිබේ.
|