Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංශ සාමාගී‍්‍ර සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ භික්‍ෂු පරම්පරාවට වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගෙන් පැවැත එන්නකි. නිකායේ ආදි කර්තෘන් වහන්සේ ලෙස බෝගහ පිටියේ ධම්මජෝති හිමිපාණන් වහන්සේ පත්විය. ඉන් පසුව ‘නිබ්බාන’ උපසම්පදාව සිදු කළ නිසාත් සබරගමුවේ පිහිටු වන ලද අමරපුර නිකායට සිරි සද්ධම්මවංශ යන නාමය ව්‍යවහාර කරන ලදී. මුල් කාලයේ දී සබරගමුවේ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායික භික්‍ෂූන් වහන්සේ උපසම්පදා විනය කර්මය කිරීම සඳහා බලපිටියට වැඩම කළත්, පසු කළ ගමන් බිමන් දුෂ්කර නිසා සිය පළාතේම සීමා සම්මත කර ගෙන විනය කර්ම කිරීම ඇරඹිනි. මුල් කාලයේ කුරුවිට එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ භික්‍ෂූන් වහන්සේ කුරු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ විනය කර්ම කටයුතු කළ අතර පසු කාලයේ නිකායික භික්‍ෂූන් වහන්සේගේ වර්ධනය නිසා සබරගමුවේ සිසාරා විහාරස්ථාන බිහි විය. මෙහිදී එවකට සිටිය පාලකයන් හා ප්‍රභූන්ගේ දායකත්වය මත මූලස්ථාන කිහිපයක් බිහි විය. එක්නැලිගොඩ, අභයතිලකරත්නාරාමය, මහවලතැන්න අදිකාරම් තුමාගේ දායකත්වයෙන් ගොඩනැඟුණු මහවලතැන්නේ චන්ද්‍රසේකර මුදලින්දාරාමයත්, පැල්මඩුල්ලේ ශ්‍රී සුධර්මෝදය විහාරස්ථානයත් ප්‍රමුඛ ස්ථානයක් ගත්හ. මේ අනුව කාලයාගේ ඇවෑමෙන් සබරගමුව අමරපුර සිරි සද්ධම්මවංශ නිකායත්‍රයක් ඇතිවිය.

අමතරව අමරපුර සිරි සද්ධම්මවංශ රාස්සගල විහාර පාර්ශ්වය ඇති විය. මින් ශත වර්ෂ දෙකකට පෙර බළන්ගොඩ රාස්සගල ආරණ්‍ය වාසීහු වැඩ විසූ බෝසත් ගුණැති සළකුණුආරේ සුමංගල මහා යතිවරයාණන් වහන්සේ ගේ පුරෝගාමීත්වය මත උන්වහන්සේගේ සෙවෙනෙහි හැදුණු වැඩුණු භික්‍ෂූන් වහන්සේත්, විහාරස්ථානත් පළාතේ බොදුණු කාගේත් සිත් ඇදගැනීමට හේතු වූවා පමණක් නොව විශාල ශාසනික ප්‍රගතියක් ද ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ නමක් වන මහවලතැන්න චන්ද්‍රසේකර මුදලින්දාරාමාධිපතිව වැඩ විසූ දාමහන ශ්‍රී ධම්මානන්ද මහ නා හිමිපාණන් වහන්සේ සඳහන් කළ හැකි ය. උන්වහන්සේ එවක සිටි වියත් තෙරණමක් ලෙස ප්‍රදේශයේ ලොකු කුඩා සියලු දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර විය. පසු කළ දාමහණ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ මහානායක ධූරයට පත්විය. මෙම කාලයේ නිකායේ අභිවෘද්ධිය සඳහා බළන්ගොඩ ප්‍රදේශයේ ප්‍රභූන් ලෙස කටයුතු කළ බාන්ස් රත්වත්තේ රටේ මැතිතුමා, සික්නි එල්ලාවල, ටිකිරි බණ්ඩාරමුල්ගම, ආදීන් ගේ සහාය නොමදව ලැබුණි. නිකායේ ප්‍රථම මහානායක ධූරය හෙබ වූ ද්‍රමහන ධම්මානන්ද මහානා හිමිපාණෝ 1922 දී පමණ අපවත් වූහ.

අනතුරුව නිකායික සියලු දෙනා වහන්සේම ඒකමතිකත්වයෙන් 1954 දී පමණ එවකට බළන්ගොඩ ශ්‍රී ධම්මානන්ද පිරුවනෙහි නිර්මාතෘව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත සාහිත්‍යශූරී බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමිපාණන් වහන්සේට නිකායේ මහානායක පදවිය පිරිනමන ලදී. මුල් කාලයේ දී මෙම නිකාය ‘මුම්ම’ යන නාමයෙන් හැඳින්වූවත්, පසු කල ‘සුධම්ම නිකාය’ යන්න ව්‍යවහාර කරන ලදී. පසු කාලයේ දී එම නාමය ද වෙනස් කොට සබරගමුව අමරපුර සිරි සදධම්මවංශ නිකායේ රාස්සගල විහාර පාර්ශ්වය යන නාමය භාවිතයට ගන්නා ලදී.

අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානාහිමිපාණන් වහන්සේ නිසා විහාරස්ථානය හා සේනාසන ලක්දිව නානාවිධ ප්‍රදේශ පැතිර යන්නට විය. භික්‍ෂූන් වහන්සේගේද වර්ධනයක් ඇති විය. මහානාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව බෙලිහුල්ඔය ශ්‍රී සුවිසුද්ධාරාමාධිපතිව වැඩ විසූ විනයවිශාරද, ගැටඅරළුවේ ශ්‍රී ධම්මරතන අනුනාහිමිපාණන් වහන්සේ නිතරගයෙන් ස්ව නිකායික මහානායක ධූරයට පත්විය. මෙකළ විනය කර්ම කටයුතු හා අධ්‍යාපන සඳහාත් බළන්ගොඩ ශ්‍රී ධම්මානන්ද පරිවේනස්ථානය මූලික තැනක් ගනී.

2004 සැප්තැම්බර් මස 20 වන දින මහානාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව නිකායේ මහානායක ධූරය සඳහා බළන්ගොඩ ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවනෙහි අධ්‍යක්‍ෂ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමිපාණන් වහන්සේ පත්විය.

මෙම වර්ෂයෙහි ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංශ සාමගී‍්‍ර සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්මය එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක කුරුවිට සරණංකර මාහිමිපාණන් වහන්සේගේත්, ඉද්දමල්ගොඩ විහාර පාර්ශ්වයේ මහානායක මඩලගම වජිරබුද්ධි මාහිමිපාණන් වහන්සේගේ, හා රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් බළන්ගොඩ ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවනෙහි බද්ධ සීමා මාලකයේ දී සිදු කරන බව රාස්සගල විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී බස්නාහිර සබරගමුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක කුඹල්ගම මේධංකර හිමිපාණන් වහන්සේ දැනුම් දෙනු ඇත. මේ නිමිති කරගෙන 27 වන දින කුල දරුවන් පැවිදි කිරීමත්, ඉන් අනතුරුව විසි නමකට අධික පිරිසක් උපසම්පදා භූමියට පත්වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.