Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සෑම නිවසකටම බුද්ධාලම්බන පී‍්‍රතිය ගෙන ආ

 

අත්හදා බැලීමක් ලෙස පළමුවෙන්ම නිම කළ සීවලී මහ රහතන් වහන්සේගේ චිත්‍රය ජර්මනියට යවා එකල ‍තිබූ ඉහළම තාක්‍ෂණික ක්‍රම ශිල්ප යොදා මුද්‍රණය කර මෙරටට ගෙන්වා ගැනිණි. රාමු කරගත හැකි මට්ටමට ඉතා ප්‍රශස්ත මට්ටමේ වූ මෙම සිතුවම් කොළඹ වෙළෙඳපොළට නිකුත් කළ සැනින් විකිණී අවසන් විය.

භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ දැහැමි වෙළඳාම කෙසේ වෙතත් “ වැඩි වැඩියෙන් ලැබේවා! “ යන ප්‍රාර්ථනය පෙරදැරි කරගෙන සිල්ලර කඩේ මුදලාලි උදේ සවස නොවරදවාම කට්ටකුමංජල් දුම් අල්ලන සීවලී මහ රහතන් වහන්සේගේ පින්තූරය දුටු විගසම අප කාටත් මේ මහ සිත්තරා සිහියට නැඟෙයි. එදා වේල පිරිමසා ගන්නා කටු මැටි ගෙපැළේ මෙන්ම සියලු සම්පතින් ආඪ්‍ය ධනවතුනගේ මහ මන්දිරයේද බිත්ති අලංකාර කළ ඒ පැරැණි බෞද්ධ සිතුවම් පෙළෙහි නිර්මාතෘවරයා අන් කිසිවෙක් නොව එම්. සාර්ලිස් මාස්ටර් ය.


එම්. සාර්ලිස්ගේ චිත්‍රයක්

බෞද්ධ විහාර බිතු සිතුවම් සම්ප්‍රදාය නව ආරකට යොමු කරමින් මහත් විප්ලවයක් කළ මේ මහ සිත්තරා නිම කළ විහාර බිතුසිතුවම් වලටත් වඩා අප සිහියට නැගෙනුයේ පැරැණි නිවෙස් වල මෙන්ම වර්තමානයේ ඇතැම් නිවෙස්වලත් ප්‍රදර්ශනය වන මෙම බෞද්ධ බිතුසිතුවම් පෙළයි . මෙම ශිල්පියා පිළිබඳව අපි මඳක් විමසා බලමු.

වර්ෂ 1880 ජුනි මස 25 වැනි දින දකුණු ලක අම්බලන්ගොඩ , ආඳාදොළ නම් සුන්දර ගම්මානයේ සිත්තර පවුලක ප්‍රකට දෛවඥයෙකු වූ මාළිගාවගේ නන්දෝරිස් මහත්මාට දාව මාළිගාවගේ සාර්ලිස් ජන්මලාභය ලැබීය. ගමේ පන්සලේ පිරිවෙනට ගොස් වැලිතර සරණංකර මාහිමිපාණන් වහන්සේ වෙතින් කුඩා සාර්ලිස් මූලික අධ්‍යාපනය ලැබීය.

මුල් අකුරු කියවීමේ පටන් බොහෝ දේ පන්සල් ඇසුරේ ම දැන කියාගත් සාර්ලිස් ශිෂ්‍යයා නම් පොත, බුද්ධ ගජ්ජය , සකස්කඩය , ගණදෙවිහෑල්ල, ආදි පොත්පත් පරිශීලනය කරමින් සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබඳව මූලික දැනුමක් ලබාගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ , මාළිගාකන්ද පිරිවෙනට ඇතුළු විය . එම විදාස්ථානයේදී පෙරදිග භාෂා පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීමට ඔහුට ඉඩකඩ සැලසිණ, බෞද්ධ පොත, පත ද පරිශීලනය කිරීමට භාග්‍යය උදාවිය. මේ සඳහා මඟ පෙන් වූ සිරිලක සුපතල, දැවැන්ත චරිතයක් සාර්ලිස් පිටුපසින් විය. ඒ සමස්ත ලංකා අමරපුර චූලගණ්ඨි මහා නිකායයේ නිර්මාතෘවර වැලිතර, ඒ.යූ.ඒ. ඤාණතිලක යතිවරයන් වහන්සේය. ආර්ථික අගහිඟතාවලින් පීඩිත වූ සාර්ලිස් ගේ සහජ දක්‍ෂතා දියුණු කරගන්නට ෂෂධ ආකාරයෙන් ඤාණතිලක හිමියෝ උපකාර කළහ.

අධ්‍යාපනික කටයුතු වල නිරතවන අතරතුරම එම්. සාර්ලිස් ස්වකීය බාප්පා වෙතින් චිත්‍ර හා මූර්ති පිළිබඳව මනා දැනුමක් ලැබී ය. බාප්පා ද තමා දත් සියල්ල මේ දරුවාට මැනවින් ඉගැන්වූ අතර, සාර්ලිස් ද තම බාප්පාගෙන් ලද සිප් නැණ, මනාසේ ප්‍රගුණ කළේය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ සාර්ලිස් දරුවාගේ ශක්‍යතා දැන හඳුනාගෙන මාළිගාකන්ද විහාරයේ බුද්ධ ප්‍රතිමා මන්දිරය සිතුවම් කරමින් සිටි චිත්‍ර ශිල්පී, රිචඩ් හෙන්රිකස් මහත්මාට එම්. සාර්ලිස් හඳුන්වා දීමට කටයුතු කළ හ.

රිචඩ් හෙන්රිකස් මහත්මාගේ සිත්තර කණ්ඩායමට වැටුණු සාර්ලිස් චිත්‍ර ශිල්පියා හරි හරියට වැඩ කළේය. කුඹුරේ, ලන්දේ, ඇළේ දොළේ අසිරිය විඳි සාර්ලිස් මහත්මා මේ නවමු බටහිර චිත්‍ර සම්ප්‍රදාය පූර්ණ වශයෙන් ග්‍රහණය කරගත්තේය. එහෙත් තමනට හුරුපුරුදු ගැමි සිත්තම් ආර වියැකෙන්නට නොදී ඒවාද වඩ වඩාත් හැඩ වැඩ කරගන්නට උත්සුක විය.

මාළිගාකන්ද , විද්‍යෝදය පිරිවෙනෙහි බිතු තලයෙන් සුමංගල හිමියන්ගේ මඟ පෙන්වීමෙන් හා රිචඩ් හෙන්රිකස් මහත්මාගේ ශිල්පීය ඤාණයෙන් පන්නරය ලද එම්. සාර්ලිස් මහත්මා චිත්‍ර හා මූර්ති ශිල්පය අතින් කරදිය වළල්ලෙන් ඔබ්බට සිය කීර්තිනාමය පතුරුවාලන දේශ, දේශාන්තරයන්හි සුපතල සිත්තරෙක් බවට පත්විය.

මේ සිත්තරාණන්ගේ බිතු සිතුවම් වලින් හැඩ, වැඩවුණු විහාරස්ථාන බෞද්ධ සැදැහැවතුන් අතර බෙහෙවින්ම ජනපි‍්‍රය වූයෙන් බොහෝ විහාරස්ථානවල විහාරාධිපතීන් වහන්සේ සාර්ලිස් මාස්ටර් ලවා ස්වකීය විහාරස්ථාන වල බුදුමැඳුරු අලංකාර කර ගත්හ. මේ නිසාම කොළඹ මෙන්ම පිට පළාත් වල ප්‍රධාන පෙළේ විහාරස්ථාන රැසක් එතුමන්ගේ තෙළිකූරු පහරින් හැඩ ගැන්විණි. ඒ අතර , කොළඹ ජේතවනාරාමය, කොළඹ ඉසිපතනාරාමය , තිඹිරිගස්යාය අශෝකාරාමය, දෙමටගොඩ වේළුවනාරාමය , බෝමිරිය ගනේවත්ත විහාරය , පොතුපිටියේ පූජාරාමය, කිරිබත්ගොඩ ඊරියවැටිය ශ්‍රී සුදර්ශනාරාමය, ඉඳුරුවේ කයිකාවල යාලේගම විහාරය, මතුගම ශ්‍රී මංගල විහාරය ආදිය කිහිපයක් පමණි. මාලිගාකන්ද විහාරයේ බිත්ති බෞද්ධ සිතුවම් වලින් හැඩ වැඩ කරමින් සිටි සාර්ලිස් චිත්‍ර ශිල්පියාට එහි නිතර ආව ගිය එවකට ප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයෙකුව සිටි විලියම් පේද්‍රිස් මහත්මා දැන හඳුනාගන්නට ලැබීම ස්වකීය ජීවන මං පෙතෙහි නවතම කඩඉමකි. කෙදිනක හෝ බෞද්ධ චිත්‍රයක් මුද්‍රණය කර ගැනීමේ සිහින දකිමින් සිටි මේ සිංහල වෙළෙඳ ව්‍යාපාරික මහත්මාට එම්. සාර්ලිස් මාස්ටර් ගේ චිත්‍ර මහත් අස්වැසිල්ලක් විය.

අත්හදා බැලීමක් ලෙස පළමුවෙන්ම නිම කළ සීවලී මහ රහතන් වහන්සේගේ චිත්‍රය ජර්මනියට යවා එකල තිබූ ඉහළම තාක්‍ෂණික ක්‍රම ශිල්ප යොදා මුද්‍රණය කර මෙරටට ගෙන්වා ගැනිණි. රාමු කරගත හැකි මට්ටමට ඉතා ප්‍රශස්ත මට්ටමේ වූ මෙම සිතුවම් කොළඹ වෙළඳපොළට නිකුත් කළ සැනින් විකිණී අවසන් විය. විලියම් පේද්‍රිස් මහත්මාට ආර්ථික වාසියක් මෙන් ම මානසික තෘප්තියක්ද ලබා දුන් මෙම කාර්යය නිසා සාර්ලිස් මාස්ටර් තව තවත් උනන්දු කරවමින් බුදු සිරිතෙහි විවිධ අවස්ථා චිත්‍රයට නංවාගෙන ජර්මනියට යවා මුද්‍රණය කරවා ගෙනැවිත් විලියම් පේද්‍රිස් සමාගම හා එච්. දොන් බැස්ටියන් සමාගම එක්ව අලෙවි කරමින් මහත් බෞද්ධ පුනර්ජීවන කාර්යයකට දායක වූහ.

දොන් බැස්ටියන් සමාගම එක්ව අලෙවි කරමින් මහත් බෞද්ධ පුනර්ජීවන කාර්යයකට දායක වූහ.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට නතුව මෙරට බෞද්ධ චින්තනය මුළු වැදුණු සමයක් වික්ටෝරියා මහරැජිණ, එඩ්වඩ් රජු, ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ පින්තූර, විදේශීය දර්ශන ආදි පින්තූර නිවෙස්වල ප්‍රදර්ශනය විය. එකල බෞද්ධ පින්තූරයක් පවා සොයා ගැනීම උගහට කරුණක් විය. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ඕල්කට්තුමා , බ්‍රහ්මචාරි , වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා වැනි බලගතු චරිත සංයුතියෙන් ගොඩනැඟුණු බෞද්ධ පුනරුදය නිසා මේ තත්ත්වය පූර්ණ වෙනසකට භාජනය විය. සාර්ලිස් මාස්ටර් තෙළිතුඩ ඇතැතිව පෙරමුණට එන්නේ මේ අවධියේය.

වෙසතුරු සිරිත, නියත විවරණය, දේවාරාධනය, මහ මායා දේවිය දුටු සිහිනය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ,නම් තැබීම, මහා ප්‍රජාපතී ගෝතමී දේවිය, සිදුහත් කුමරු හදාවඩා ගැනීම, වප් මඟුල, ශිල්ප දැක්වීම , සිදුහත් කුමරුවන්ගේ සරණ බන්ධනය, උයන් කෙළියට යාම, අභිනිෂ්ක්‍රමණය , නේරංජනාවෙන් එතෙරවීම, කේශ ඡේදනය, සුජාතාවගේ කිරිපිඬුදානය, සත්සතිය, පාරිලෙය්‍ය වනයට වැඩීම, ආදි චිත්‍ර මේ බෞද්ධ සිතුවම් සමූහයට අයත් වූ අතර මුද්‍රිත පිටපත් දහස් ගණනින් අලෙවිවත්ම බෞද්ධ චිත්‍ර සෑම නිවසකම ප්‍රදර්ශනය විය. සාර්ලිස් මාස්ටර් කී සැනින් නිතැතින්ම අප සිහියට නැඟෙනුයේ මේ සිතුවම් පෙළයි.

මූර්ති ශිල්පයේ ද හසළ දස්කම් පෑ මේ මහා කලා ශිල්පියා අතින් මාතර වෙහෙරහේනේ අසූ අට රියන්, සුප්‍රකට බුද්ධ ප්‍රතිමාව සැලසුම් කොට ඉදිකිරීම ආරම්භ කෙරිණ, ස්වකීය ජීවිතයේ අවසන් කාල වකවානුවේ ඇරැඹූ නිර්මාණයක් බැවින් එම බුද්ධ ප්‍රතිමාවේ නිමාව දකින්නට අවස්ථාවක් නොලැබිණ, අනගාරික ධර්මපාල , දොස්තර , සී.ඒ. හේවාවිතාරණ ආදි පුද්ගල උඩුකය මූර්ති ද විශිෂ්ඨ අන්දමින් නිමකර ලීය. එසේම එතුමන් සතුව පැවැති ව්‍යක්ත කාව්‍ය හැකියාව තවත් පාර්ශ්වයකි. “කවීන්ද්‍රයා “ , “ සිංහල කවි කිරුළ” ආදි සඟරාවලට මෙන්ම පුවත්පත් කිහිපයකට ම කාව්‍ය ප්‍රබන්ධ සැපයී ය. වේදිකා සැරසිලි සඳහා ද හෙතෙම දස්කම් පෑවේ මනා පරිචියෙකි.

සාර්ලිස් මාස්ටර් අතිනත ගත් කොරනේලියා ප්‍රනාන්දු මහත්මියගේ කුසින් උපන් සුසිල් පේ‍්‍රමරත්න මහත්මා සුවිශේෂී වේ. එතුමන් ද චිත්‍ර නිර්මාණයට මෙන්ම ගීත ගායනයෙහිලා ද වෙසෙසි කුසලතා ඇත්තෙකි.

එතුමාගේ ගෝල පරපුර අතර ජී.එල්. ගෞතමදාස, හෙන්රි ධර්මසේන , සෝමබන්ධු විද්‍යාපති , ජී.එස්. ප්‍රනාන්දු , එම්.නෝබට් ,එම්. සිරිනේරිස් හා එම්.තෝමස් මහත්වරු කැපී පෙනෙති. පිටකොටුවේ බෞද්ධ මන්දිරයේදි දෙමටගොඩ ලංකා චිත්‍ර කර්ම විද්‍යාලය නමින් එම්.සාර්ලිස් මාස්ටර්ගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය කලායතනයෙන් බිහි වූ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පීන් පිරිසක් ලෙස මේ සියලුදෙනා හැඳින්විය හැක.

ජීවිත කාලයම සිතුවම් කලාව වෙනුවෙන් කැප කොට බෞද්ධ සිතුවම් කලා ඉතිහාසයේ සදානුස්මරණීය සටහන් තැබූ එම්. සාර්ලිස් මහා කලා ශිල්පියා ව්‍යවහාර වර්ෂ 1955 නොවැම්බර් මස 21 වන දින ජන්මාන්තරගත වීය.

පාදක සටහන්

01.ජයවර්ධන නිරෝෂා ප්‍රියදර්ශනී - සිත්තර තොරතුරු - 1 ජයවර්ධන ග්‍රන්ථ කේන්ද්‍රය (2003 ) 7.10 පිටු

02.ප්‍රේමානන්ද සොලමන් පූජිත සිත්තරු - එස්. ගොඩගේ සහ සහෝදරයෝ (2008 ) 113 - 118 පිටු

(විශේෂ - මාතර , අකුරුගොඩ , සූල්තානාගොඩ, ඒ .එච්. දයානන්ද මහත්මා මවෙත සැපයූ 1955 නොවැම්බර් මස 23 වන බදාදා ජනතා පුවත්පතෙහි පළවූ ලිපියක් හා එම්.සාර්ලිස් මාස්ටර්ගේ අත් පිටපත් මෙම ලිපිය රචනය සඳහා මහෝපකාරී වූ බව කෘතවේදීව සටහන් කරමි).


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.