Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මානය කරණකොටගෙන මවුපියන්ට ගුරුවරුන්ට, සිල්වත් භික්‍ෂූන්ට , වැඩිහිටියන්ට අනාදර කිරීම් නිසා ඔවුනට වැඳීම් පිදීම් ආදියෙන් ලද හැකි පින් ලබා ගත නොහැකි වෙයි. අවමන් ලද අන්‍යයෝ , මානය ඇති අයට සතුරු වෙති. මිතුරෝ අඩු වෙති. තමාට ප්‍රමාණ නොවෙතැයි සළකා තමන් විසින් කළ යුතු දේ අනුන් ලවා කරවන්නට යෑම, පමණ ඉක්මවා වියදම් කිරීම ආදියෙන් අධික මානය ඇත්තාගේ ධනය ද පිරිහෙයි.

බුදු රජාණන් වහන්සේ විසින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා බුද්ධත්වයට පත් වී දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය නූගත් මිනිසුන්ට නොව, ප්‍රඥාවන්ත සත්පුරුෂයන් සඳහාම ය. (පඤ්ඤාවන්තස්සා යං ධම්මෝ )ප්‍රඥාවන්තයින් විසින් භගවත් සම්බුදුන් වහන්සේ දෙසූ ධර්මය පිළිපදිමින් වාසය කළ යුතු ය.

ඒ සඳහා දුරු කළ යුතු හා වඩා දියුණු කරගත යුතු කරුණු කිහිපයක් දහමෙහි දැක්වෙයි. දුරු කළ යුතු දේ දුරු කර වැඩිය යුතු දේ වඩමින් ජීවත්වන සත්පුරුෂයෝ එළියෙන් එළියට එන්නා වූ (ජොති ජොති පරායන ) පුද්ගලයෝ ය.

අරහත් භාවය සාක්ෂාත් කිරීම සඳහා මානය (මැනීම) නමැති ක්ලේශ ධර්මය දුරු කළ යුතු ය. (මානං භික්ඛවෙ, එකධම්මං පජහථ )

මානය යනු ජාති කුල ඓශ්වය¸දිය නිසා හෝ ශීල ශ්‍රැත ලාභ සත්කාරාදිය නිසා හෝ ධනය , රූපය , බලය , දැනුම නිසා හෝ මම ශ්‍රේෂ්ඨ වෙමි. උතුම් වෙමි. යනුවෙන් සිතේ ඇති වන මැන ගන්නා ස්වභාවයයි. මානය උමතුවක් බව සඳහන්ය. එය තමාගේ අනුවණකම නිසා පවතින්නකි. මානය තෙවැදෑරුම් වෙයි. එනම්,

1.සෙය්‍ය මාන - තමා උසස් කොට සළකන මානය
2. සදිස මාන - තමා යමෙකුට සමාන බව සළකන මානය
3.හීන මාන - තමා යමෙකුට වඩා පහත් බව සළකන මානය යනුවෙනි.

මානය යනු තමා අනෙකාට වඩා උසස් කොට සැළකීම පමණක් නොවේ. තමා යමෙකුට වඩා පහත් හා සමාන ලෙස සැළකීම ද ඊට අයත්ය.

බුද්ධ කාලීන සමාජය දෙස විපරම් කොට බලන කල මානය නිසා පිරිහුණු පුද්ගලයෝ බොහෝ වූහ.

ජාති‍ෙත්‍ථදේධා ධනත්‍ථදේධා
ගොත්තත්‍ථදේධා ච යො නරො
සඤ්ඤාතිං අතිමඤේඤති
තං පරාභවතො මුඛං

මම ජාති සම්පන්න යෙමි ‘යි යන තද මානය ඇති, ධන මානය ඇති යමෙක් , තමන්ගේ නෑයන්ට නොසළකා හරින්නේ ද , එය පිරිහීමට හේතු වෙයි.

හැදෙන වැඩෙන දරුවන්ට අග්‍ර ශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේගේ නිවාත ගුණය ඉතා ආදර්ශවත්ය. උන්වහන්සේ දිනක් විහාරයෙහි වැඩ සිටින විට අඳනයෙහි කොණක් පහළට එල්ලෙමින් තිබිණි. එය දුටු සත් හැවිරිදි සාමණේර නමක් “ ස්වාමීනි, ඔබ වහන්සේගේ අඳනයෙහි කොණක් එල්ලෙන්නේ ය. එය පරිමණ්ඩල සික පදයට විරුද්ධ බැවින් එය වරදකැ ‘යි කීය. එම වරද සැරියුත් තෙරණුවෝ නිවැරැදි කොට, කුඩා සාමණේරයන් සමීපයට ගොස් ඇදලි බැඳ දැන් හොඳදැ යි අසා මෙසේ කීහ.

තදනු පබ්බජිතො සනේතා
ජාතියා සත්ත වස්සිකො
සො පි මං අනුසාසෙය්‍ය
සම්පටිච්ඡාමි මත්‍ථකෙ

පැවිදි වී අවුරුදු හතක් වුව ද , යමෙක් මට අවවාද කරයි ද මම එය හිස මුදුනින් පිළිගනිමි’යි සාමණේර නමගේ අවවාදයට පිළිතුරු දුන්හ. අරහත් වූ බුදුරදුන්ගේ අග්‍ර ශ්‍රාවක තෙරණුවන් වූ සැරියුත් මහ රහතන් වහන්සේ එසේ කළේ නම් , අපට එසේ කිරීමට ඇති බාධාව කුමක්ද?

කෙලෙස් නැති කිරීමෙන් ලබන පරම සුන්දර අරහත් ඵලය ලබා ගැනීම සඳහා බුදු හිමියෝ මානය නමැති ළාමක ක්ලේශය දුරු කළ යුතු බව පෙන්වා දුන්හ. ානය නිසා අනාගත ආත්ම පරලොව පිරිහීමට හේතුවක් වන බැවින්, අවමංගලයකි. මානය නොයෙක් පව් ඇති වීමට ද ලැබිය හැකි පින් නොලැබ යෑමට ද , සතුරන් ඇති වීමට වස්තු විනාශයට ද , ජීවිත විනාශයටද, නෑයන්ට ද මිතුරන්ට අපි‍්‍රය අයකු වීමට ද හේතු වෙයි.

මානය කරණකොටගෙන මවුපියන්ට ගුරුවරුන්ට, සිල්වත් භික්‍ෂූන්ට , වැඩිහිටියන්ට අනාදර කිරීම් නිසා ඔවුනට වැඳීම් පිදීම් ආදියෙන් ලද හැකි පින් ලබා ගත නොහැකි වෙයි. අවමන් ලද අන්‍යයෝ , මානය ඇති අයට සතුරු වෙති. මිතුරෝ අඩු වෙති. තමාට ප්‍රමාණ නොවෙතැයි සළකා තමන් විසින් කළ යුතු දේ අනුන් ලවා කරවන්නට යෑම, පමණ ඉක්මවා වියදම් කිරීම ආදියෙන් අධික මානය ඇත්තාගේ ධනය ද පිරිහෙයි. උඬගු තැනැත්තාට රක්‍ෂාව දීමට හෝ ඔහු යටතේ රක්‍ෂාවකට බැඳීමට හෝ එක්ව රක්‍ෂාවක් කිරීමට හෝ අන්‍යයෝ නොකැමැති වෙති. එයින් ඔහුට ධන ලාභයට ද බාධා වෙයි. නොකළ යුතු දෑ කිරීම් ආදියෙන් සතුරු උවදුරුද ජීවිත හානි ද වෙයි. එබැවින් මෙසේ නිවනට බාධා පමුණුවන , මෙලොව පරලොව දුකට හේතු වන නොයෙක් අනර්ථයන්ට හේතු වන මානය තුනී කර ගැනීමට සියල්ලන් විසින් ප්‍රමාද නොවී වෑයම් කළ යුතු යි. එසේ කිරීමට අපි සියලු දෙනා අධිෂ්ඨාන කර ගනිමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.