Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


අවුකන ප්‍රතිමාෙවි අනුරුව

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් පැවැත එන කැලණිය පෙතියාගොඩ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය බිහිවන්නේ 1806 වසරේදී පමණ ය.


රන් වැටෙන් අලංකාරව ඇති බෝධීන් වහන්සේ

මඩගල්ලේ සිද්ධාර්ථ මා හිමිපාණන්ගෙන් ඇරඹෙන වසර 193 ක් වැනි එනම් නුවර රාජ්‍ය යුගය දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන මෙම වටිනා විහාරස්ථානයේ, එම යුගය නියෝජනය කරනා වටිනා බොදු උරුමයක ලකුණු වත්මන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ඉතිරිව තිබීම සුවිශේෂී වෙයි.

කාලවිපත් මෙන්ම අභ්‍යන්තර බාහිර ආපදා නිසා ඒවායේ පිරිපුන් ලක්‍ෂණ වියැකී අද යම් ශේෂ පත්‍රයක් ඉතිරිව ඇතත් ඒ ඉතිරිව ඇති දෙයින් අපට අධ්‍යයනය කළ හැකි නිගමනයන්ට එළඹිය හැකි බොහෝ දෑ තවමත් ඇස්පනාපිට තිබීම වාසනාවකි.

මේ විහාරස්ථානයේ ඇති පැරැණි විහාර මන්දිරය එදා ඉදි කළේ ටැම්පිට විහාරයක් වශයෙනි. විහාර භූමියේ සමීපයෙන් ගලා බසිනා කැලණි ගඟේ ජල ගැලීම්වලට ඔරොත්තු දෙන පරිදි සැලසුම් සහගතව එදා මෙහි උස් වු ටැම් පිට විහාරයක් ඉදි කරන්නට ඇත.

නමුත් එම ටැම්පිට විහාරයේ මූලික පෙනුම අද අපට දැක ගැනීමට නොමැතිවීම අභාගයකි. දිගින් අඩි 17 කට ආසන්න පළල අඩි 9 ක් පමණ වන මේ කුඩා ප්‍රමාණයේ විහාරය තුළ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව සැතපෙන පිළිමයකි. වම් පසින් දිස්වන්නේ කුඩා ප්‍රමාණයේ සමාධි ප්‍රතිමාවකි. ප්‍රදේශයට අධිගෘහිත විභීෂණ දේව ප්‍රතිමාවක් දකුණු පසින් නෙලා තිබේ. ප්‍රතිමාවන්ගේ හැඩ තල ළංව පිහිටි රැලි සහිත සිවුරේ ස්වරූපය ආදිය නුවර යුගයේ පිළිම කලාවේ හැඩතල පෙන්නුම් කරයි.


පැරැණි බුදු මැදුර


දොම්පේ ඉන්ද්‍රසිරි හිමි

සැතපෙන පිළිමය ඉහළින් සිතුවම් කර ඇති සත් සතිය, ත්‍රිවිධ චෛත්‍යය, පස්වග මහනුන්ගේ සිතුවම් සහ අනෙකුත් පැති බිත්ති හා උළුවහු බිත්තියේ සිතුවම් අතර ඇති සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ආනන්ද තෙරුන් වහන්සේ සහ අසූ මහා ශ්‍රාවකයන්ගෙන් කොටසක් සිතුවම්ද දැක ගත හැක. මෙහි ඇති ආනන්ද තෙරුන් වහන්සේගේ දෑස් සිත්තම් කර ඇත්තේ කළු ඉංගිරියාව නොමැතිවය. එය විශේෂයකි.

එයින් සිත්තරා අදහස් කර ඇත්තේ උන්වහන්සේ ඒ වන විට මාර්ගඵලයක් නොලද බව යැයි වියතුන්ගේ මතයයි. උන්වහන්සේ අත ඇති කඩුපුල් වැනි මල ද දහම පිළිබඳ යමක් සංකේතවත් කරයි. බිත්තියේ ඉහළ සිතුවම් කර ඇති රහතුන් වහන්සේගේ දෑස් හොඳින් ඇඳ තිබේ. උන්වහන්සේ අත ඇත්තේ මනාව විකසිත වූ නෙළුම් මල් ය.

මින් ගම්‍ය වන්නේ රහත් භාවයයි. තවත් තැනක නෙළුම් පොහොට්ටුව හා අඩක් පිපි නෙළුම් මල් ඇතැතිව වැඩ හිඳිනා භික්‍ෂූන් වහන්සේ සංකේතවත් කරන්නේ සෝවාන් සකෘදාගාමී වැනි ඵලයන් ලද බවකැයි හැඟේ.


පැරැණි සංඝා වාසය

මෙහි එන සෑම සිතුවමක්ම නිර්මාණය කර ඇති නම නොදත් සිත්තරාගේ චින්තනයේ වන අපූර්වත්වය හා ඉන් අදටත් විඳගත හැකි නැවුම් බව, මෙන්ම බෞද්ධ චින්තනයේ ගැඹුරුතේමාවන් සිත්තරා විසින් සංකේතාත්මකව අපට පෙන්වන ආකාරය ගවේෂණාත්මකව විමසා බැලීමටත් එසේම නුවර යුගයේ සිතුවම් ප්‍රතිමා කලාව අධ්‍යයනය කිරීමටත් යුග යුග බෞද්ධ කලා නිර්මාණයන් ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමටත් මේ කුඩා විහාරගෙය දොර කවුළු විවරකර තබයි. සිතුවම් කලාව මනා ලෙස අධ්‍යයනය කරන පාසල් මෙන්ම විශ්වවිද්‍යාලය සිසුන්ටත් සහෘද කලාකාමීන්ටත් මෙවන් තැන් මහඟු කෞතුකාගාර බඳු ය. අද මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂණයට අයත්ව පවතී.


පැරැණි බිතු සිතුවම්

අක්කර 3 1/2 ක් පමණ වපසරියකින් යුතු විහාර භූමියට ඇතුල් වන විට එකහෙලා දෑස් ගැටෙන්නේ අවුකන බුද්ධ ප්‍රතිමාවේ යෝධ අනුරුවක් ය. එය ඉදිකර ඇත්තේ වසර 2005 දි වාද්දුව සුනිල් ‍ෙසනෙවිරත්න නම් ප්‍රතිමා ශිල්පියා විසිනි. විහාරයට ඇතුල් වන වත්මන් වාහල්කඩද ඉදිකර ඇත්තේ එම වසරේදීමය. මෙම වාහල්කඩින් ඇතුල් වී ඉදිරියට එනවිට දෙවනුව දකින්නට ලැබෙන්නේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියනා සංඝාවාසයයි. මෙහි වැඩ අවසන් කර ඇත්තේ 1930 දී පමණය.

ඉන් ආසන්නයේ වන නව දෙමහල් විහාර මන්දිරය තුළද සමාධි බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබෙයි. එහි ඇති නව බිතු සිතුවම් බුදු සිරිතේ අවස්ථා, ලංකාශාසන ඉතිහාසයේ ප්‍රබල අවස්ථා ආදියෙන් සමන්විතව තිබේ.

භූමියේ ඉඩකඩට උචිත ලෙස ගොඩනඟා ඇති චෛත්‍යයත් වසර 100 කට වැඩි ආයුෂ විඳිනා බෝධීන් වහන්සේත් විහාරස්ථානයේ පරිපූර්ණත්වයට දක්වන්නේ නොමඳ දායකත්වයකි.

බෝධීන් වහන්සේ වටා මාල දෙකක රන් වැට දිත්වයක් දක්නට ලැබෙයි. මෙම රන්වැට සහිත බෝධි ප්‍රාකාරය, අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ හා නව සංඝාවාසය සහිත දාන ශාලාවත් මෙම මස 18 වැනි දින සවස තුනට විවෘත වේ.

මෙම ඓතිහාසික වටිනාකමකින් හෙබි විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති දොම්පේ ඉන්ද්‍රසිරි හිමි විහාරස්ථානයේ වර්තමාන ප්‍රගතිය වෙනුවෙන් කර ඇති කාර්ය භාරයද සුවිසල් වෙයි. අද වන් කාල වකවානුවක මෙවන් අභියෝගාත්මක දැවැන්ත කාර්යයන් ඉටුකිරීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

තවමත් තරුණ වයස ඉක්මවා නොමැති උන්වහන්සේ සතු තුරුණු සවිය, අධිෂ්ඨානය මත විහාරස්ථානයේ ප්‍රවර්ධනය අලංකාරවත් බව රැඳී තිබේ.

ඉතිහාසය පිළිබඳ බොහෝ දේ විචාරය කිරීමට සමත් පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ වර්තමානයද අනාගතයට බොහෝ දෑ රැගෙන යනු ඇත. එය එසේ විය යුතු වන්නේ මේ ධර්මදීපයේ මහා පොදු ගුණාලංකාරය වූ විහාරස්ථානය, බොදු උරුමය සුරකින ප්‍රබල සාධකයක් වන බැවිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.