Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සමය ලොවට දුන් දායාදය

බුදුන් වහන්සේගේ දහම ගූඪවාදී හෝ සංශයවාදී නොවේ. එය මනෝ විද්‍යාව හා ආචාර ධර්ම විද්‍යාව පදනම් කොට පවතී. බුදු දහම මිනිස් මනසින් පටන් ගෙන, විවිධ මානසික ක්‍රියාකාරකම් විශ්ලේෂණය කරමින්, ඒවා නොයෙක් ධර්මස්කන්ධ හෙවත් විඥාන ධාරාවනට බෙදා, කුසල පාක්‍ෂීක චින්තනය තෙක් සංවර්ධනය කරන්නේ කෙසේදැ’යි පෙන්වයි.

(Mahabodhi Centenary Commeorative Volume – SAMBHASHA) කලාපයේ පළ කරන ලද ආචාර්ය එන්.කේ. භාග්වත්ගේ Buddhism and its Contribution to Universal Religion ලිපියේ පරිවර්තනයකි)

බුදුන් වහන්සේ සිය දහම හෙවත් සත්‍යය අවබෝධ කර ගැනීමෙන් පසු බරණැසට ගොස් එය පස්වග මහණුනට දේශනා කළහ. මෙසේ කන් ඇත්තවුනට අසනු පිණිස අමරණීයත්වයේ දොරටු විවෘත කරන ලදී. පස්වග මහණුනට දෙසන ලද දහම “ධම්මචක්ක පවත්තන” නමින් හැඳින්වේ. එනම්, ලෝක ධර්ම නියාම චක්‍රය යනුයි.

මෙසේ දහම් දෙසීමේ කාරිය පටන් ගත් උන්වහන්සේ සිය සංඝ සංවිධානය ලොවට හඳුන්වා දුන්හ. එනම් ආරාමික ජීවිතයයි.

එය විහාරය හෝ ආරාමය කේන්ද්‍රගතව සංවිධානය වූයේ ය. එතැන් සිට අසූ වසරක් සපුරා, කුසිනාරාවේ සල් රුක් දෙකක් අතර පිරිනිවන් පාන තෙක් ම නොකඩවා දහම් දෙසූහ. සංඝ සංවිධානය සමඟ පවත්වාගෙන ගිය මේ සත් ව්‍යාපාරය විවිධ විද්වතුන් විසින් පසස්නා ලද්දේ ද, උපරිමයෙන් අගයන ලද්දේ ද විය. බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම වචන තුනකට සම්පිණ්ඩනය කළ හැකි ය. එනම් සීල, සමාධි, පඤ්ඤා යනුයි. අපේ කය, සිත හා වචනය චිත්තවේග හෙවත් හැඟීම් උත්සන්තාවෙන් සපුරා නිදහස් වන තුරු, එයින් සපුරා ආරක්‍ෂා කර ගන්නා තුරු, පාලනය කර ගන්නා තුරු, ඒ පිළිබඳ ක්‍රියාවලීන්ගේ පාරිශුද්ධිය සහතික වනතුරු සහ ඉන් තොරව සීල විශුද්ධිය සාක්ෂාත් කළ නොහැකි ය.

බුද්ධඝෝෂ හිමියෝ මෙසේ කියති. ‘චින්තනය, වින්දනය සහ චෙචනාවේ පාරිශුද්ධිය තහවුරු වීමෙන් තොරව කිසිදු ප්‍රගතියක් සාධනය කර ගනු නොහැකි ය.” මේ ශ්‍රේෂ්ඨ හැසිරීම පදනම් කරගෙන සිත ශික්‍ෂණයෙන් ඉදිරියට යන අතර දූෂිත සහ අකුසල පාක්‍ෂික ගති ලක්‍ෂණයෙන් මිදෙයි. පරිපූර්ණ සමාධිය සහ සිතෙහි දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් සිත මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්‍ෂා යන සතරාකාර ශ්‍රේෂ්ඨ විහරණයෙන් පිරිසයි. සමාධිගත සිත තුළ ප්‍රඥාලෝකය දැල්වෙන්නට පටන් ගනී.

එමඟින් සමාධිගත වූ පුද්ගලයා උපත, මරණය, ලෙඩදුක්, ක්ලේශ, අනිත්‍යතාව ආදිය හඳුනා ගෙන අවචනීයවූ නිර්වාණ ශාන්තියට පැමිණේ. එවිට ඔහුගේ භව සන්තතිය නිමා වූයේ ය. ඔහුගේ නික්ලේශී ජීවිතය යථා පරිදි නිමාවට ගොස් ඇත. ඔහු කළ යුත්ත කර අවසන් ය. ඔහු සඳහා යළිත් කෙලෙස් බර ලෝකික ජීවිතයක් නැත. “සිතෙහි ;නාසැලෙන විමුක්තියැ” යි කියැවෙන යමක් වේද ඔහු එතැනට එළඹ සිටී. මෙසේ බුදුන් වහන්සේ මිනිසාගේ මානසික සංවර්ධනය හා ප්‍රගතිය පිළිබඳ ආචාර විද්‍යාත්මක සංක්ෂිප්ත සැලසුම ලොවට ඉදිරිපත් කර එය සිය ධර්මය හෙවත් න්‍යාය ලෙස නම් කළහ. හේතුඵලවාදී න්‍යාය සහ කර්ම න්‍යාය පිළිබඳ සොයා ගැනීම උන්වහන්සේගේ ප්‍රඥා මහිමයේ විජයග්‍රහණයකි. ගෞතමයන් වහන්සේගේ ඉගැන්වීම් ඉන්දියානු ජීවිතයේ දේශපාලනික, සමාජයීය, සදාචාරාත්මක, බුද්ධිවිෂයක, ආගමික සහ සෞන්දර්යාත්මක අංශ විෂයයෙහි මහත් බලපෑමක් කළේ ය. ඒවා අපට මෙසේ සලකා බැලිය හැකි ය.

දේශපාලනික වශයෙන් බුදුන් වහන්සේ නියෝජිත ආයතන කෙරෙහි බලපෑමේලා උපදේශකයෝ වූහ. භික්‍ෂූන් පිළිබඳ කටයුතු කළමනාකරණයෙහිලා අනුගමනය කරන ලද ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය විෂයයෙහි හොඳම උදාහරණය වන්නේ සංඝයා හෙවත් ආරාමික සංසදයයි.

එය හඳුන්වන ලද්දේ සිවුවනක් පිරිස හෙවත් සංඝ නමිනි. සංඝයා පිළිබඳ සියලු රැස්වීම් වලදී, සුදුසුකම් ලත් හැම සාමාජිකයකුට ම සහභාගි වීමට අවස්ථාව සැලසිණ. එහිදී පැන නැඟුණු හැම ප්‍රශ්නයක් ම සාකච්ඡාවට බඳුන් කැරිණ. ඉක්බිති තීරණයට එළඹුණේ වැඩි ඡන්දයෙනි. බුදුන් වහන්සේ විසින් සමූහාණ්ඩු සංකල්පය දිරිගැන්විණ. කෙසේ වත් කුඩා සහ බලයෙන් අඩු සමූහාණ්ඩු වලට හානිදායක වන පරිදි මහා පරිමාණ රාජධානී ගොඩනැගීමේ අපේක්‍ෂාවට අනුබලයක් නොලැබිණ.

සමාජයීය වශයෙන් ගත් කල උන්වහන්සේට වුවමනා වූයේ තත්කාලීන සමාජය වෙනස් පදනමක් මත සංස්කරණයටයි. උන්වහන්සේ පළමුවෙන්ම බ්‍රාහ්මණ ධර්මයට දැඩි කම්පනයක් ඇති කළහ. එහිදී සමාජය කුල සතරකට බෙදීම තර්කානුකූල නොවන බව ප්‍රකාශ කැරිණ. එය මනුෂ්‍යත්වයේ ස්වාභාවික හෙවත් ජන්ම සාමූහිකත්වයට එරෙහි වී එය උල්ලංඝනය කරන්නක් බව දැක්විණ. බ්‍රාහ්මණයා, ක්ෂත්‍රියයා, වෛශ්‍යයා හෝ ශුද්‍රයා බව තීරණය වන්නේ කර්මය හෙවත් ක්‍රියාවෙන් මිස උපතින් හෙවත් ජාතියෙන් නොවන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

පන්ති විරහිත සමාජයකට පරමාදර්ශී මූර්තිය වූයේ භික්‍ෂූන් වහන්සේ ය. ස්වීයත්වය මූර්තිමත් කොට ආත්ම සංවර්ධනය සඳහා බ්‍රාහ්මණයාට සේම චණ්ඩාලයාටත් එක සේ අවස්ථාවක් සැලසිණ. එහිලා බුදුන් වහන්සේගේ ප්‍රකාශය එවක සමාජ ප්‍රගතියට ශ්‍රේෂ්ඨ ඉදිරි පියවරක් විය. සත්තකින් ම මේ මහා පුරුෂයාණෝ තත්කාලීනව සමාජ විප්ලවයක් කළෝ ය.

සදාචාරාත්මක වශයෙන්, මිනිසාගේ සමානත්වය විෂයයෙහි බුදුන් වහන්සේගේ දැක්ම, ජීවිතය පිළිබඳ සාර්ථකත්වය හෙවත් ජයග්‍රහණය හෝ යුතුකම් ඉටුකිරීම සම්බන්ධයෙන් එක ම මිනුම් දඬුව ලෙස සදාචාරාත්මක පදනම පිණිස මඟ පෙන්වන්නක් විය. උන්වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජීවිතය පිළිබඳ අන්තගාමී ප්‍රතිපත්තිවාදය, ආධානග්‍රාහි දෘෂ්ටිවාදය සහ හුදු බාහිර කායික විභූෂණවාදයට කණකොකා හැඬීමක් වැනි ය. උන්වහන්සේ අවධාරණය කළ සත්‍යය නම්, දිනා ගත යුතු ප්‍රධානතම අරමුණ වන්නේ ආධ්‍යාත්මික විසුද්ධිය බවයි.

සමාජ කටයුතු විෂයයෙහි අන්‍යෝන්‍ය සබඳතාවෙන් බැඳුණු වංශාධිපතියෝත්, අම්බපාලි වැනි ගණිකාවෝත් සාපේක්‍ෂ තත්ත්වයෙන් පිළිගනු ලැබූහ. අවි ආයුධයෙන් තොරව අංගුලිමාල වැනි මංපහරන සොර දෙටුවකු යහමඟට ගන්නට බුදුන් වහන්සේට හැකි විය. උන්වහන්සේගේ දහම පිඬු කොට ගත් කළ “සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියෝදපනං ...” ආදී විසින් “සියලු පව් නොකිරීම ද, කුසල් රැස් කිරීම ද, සිත පිරිසිදු කිරීම ද....” යනුයි.

බුදුන් වහන්සේගේ දහමගූඪවාදී හෝ සංශයවාදී නොවේ. එය මනෝ විද්‍යාව හා ආචාර ධර්ම විද්‍යාව පදනම් කොට පවතී. බුදු දහම මිනිස් මනසින් පටන් ගෙන, විවිධ මානසික ක්‍රියාකාරකම් විශ්ලේෂණය කරමින්, ඒවා නොයෙක් ධර්මස්කන්ධ හෙවත් විඥාන ධාරාවනට බෙදා, කුසල පාක්‍ෂීක චින්තනය තෙක් සංවර්ධනය කරන්නේ කෙසේදැයි පෙන්වයි.

බුදුන් වහන්සේ දීඝනිකායේ, කූටදන්ත සූත්‍රයේ දී සත්ත්ව බිලිපූජාවේ නිෂ්ඵලත්වය පෙන්වා දෙන අතර, අහිංසක සත්ත්ව සන්තතිය මත පැටවෙන නිර්දය ඝාතනය සහ එමඟින් සියලු ජීව පද්ධතිය කෙරෙහි බලපාන මහා ජාතික විපත ද විවරණය කරන සේක. උන්වහන්සේ එමඟින් සත්ත්ව ලෝකය කෙරෙහි කරුණාව දැක්වීමේ අවශ්‍යතාව පැහැදිලි ලෙස කියාපාති. එමඟින් සමස්ත ජීවලෝකය කෙරෙහි උන්වහන්සේගේ මෛත්‍රී සහගත චින්තනය ව්‍යාප්ත කරනු ලැබේ. මෙත්ත සූත්‍රයේ දී සියලු සත්ත්වයන් කෙරෙහි අපරිමානයෙන් මෛත්‍රී සිතුවිලි වැඩිය යුතු බව දැක්වේ.

උපන් සතුන් කෙරෙහි පමණක් නොව උපදින්නට සිටින සතුන් කෙරෙහි ද මෙත් සිත වැඩිය යුතු ය. “ගව සම්පත වනාහි අපේ අනගිතම මිතුරෝය” යි බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ දී බුදු හිමියෝ වදාළහ. ඇයි ද යත්, ඔවුන් විසින් මානව සංහතියට අවශ්‍ය පෝෂණයත්, ඖෂධත් සපයන හෙයිනි. අශෝක අධිරාජයාගේ සමයේ රාජකීය මුළුතැන්ගෙහි බොහෝ සතුන් ඝාතනය කරනු ලැබිණි. එහෙත් ඔහු පසුව ඒ සියලු ඝාතන නැවැත්වීය. එපමණක් නොව පසුව මිනිසුන් සහ සතුන් ද සඳහා ගිලන්හල් පිහිටුවනු ලැබී ය.

බුදුන් වහන්සේ හැම විටම අවිචාරාත්මක දෘෂ්ටි අනුමත නොකළහ. උන්වහන්සේ විසූ සමයේ සාකච්ඡාවට බඳුන් වූයේ ඉපදීමට මූලික හේතුව, ලෝකය සහ එහි පරිමිත හෝ අපරිමිත ලක්‍ෂණය, ජීවිතය සහ ආත්මය, පුද්ගලයෙක් වන්නේ ද හෝ නොවන්නේ ද නොහොත් වන්නේත් වේද නොවන්නේත් වේද යන දෙක මද ආදියට අදාළ මාතෘකා ය. බ්‍රහ්මජාල සූත්‍රයෙහි ආත්මය පිළිබඳ දෘෂ්ටිවාද හෙවත් අවිචාරාත්මක මතවාද දෙසැටක් විස්තර කරනු ලැබේ. බුදුන් වහන්සේ ඒවා මිනිසා ශික්‍ෂණය වෙත මෙහෙවන ප්‍රශ්න නොවෙති යි ඔප්පු කරන්නට යත්න දරා තිබිණ. සුත්ත නිපාතයෙහි වෙනත් ආගමික නිකායිකයන්ගේ මතවාද දක්වා, ඔවුන් වෙත අනෙක් අයගේ මතවාද විෂයෙහි ඇති විශාරදත්වය කෙරෙහි ඇති පැහැදීම සඳහන් කර ඇත. උන්වහන්සේගේ සරල ඉගැන්වීම් තුළ යථාර්ථ නිරූපණයේලා දැඩි අවධානයක් යොමු කරනු ලැබේ. උන්වහන්සේ වෙත යථාර්ථ නිරූපිත හේතුධර්මවාදී චින්තනයක් විය. හැම සංසිද්ධියක්ම මේ චින්තනය තුළ පරීක්‍ෂණයට බඳුන් කරන්නට යොමු කර ඇති බව පෙනේ.

එහෙත් උන්වහන්සේ සිය විශ්ලේෂණ ක්‍රමවේදයේදී ජීවය පිළිබඳ ආවේණික ගුණාංග තුනක් වෙතියි ඔප්පු කළහ. එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්‍ෂණ සිද්ධාන්තයයි. උන්වහන්සේ දක්වන පරිදි ජීවීහු වනාහි, අඛණ්ඩව සන්තතිගතව ඇති ප්‍රවාහී තත්ත්වයක් තුළ මූල ද්‍රව්‍යයන්ගෙන් සංස්කරණය වූවාහු ය. උන්වහන්සේ නිරන්තරයෙන් ප්‍රකාශ කළේ මිනිසා යනු ස්ථාවර ජීවියකු නොව භව සන්තතියක් හෙවත් ක්ෂණ භංගූර සිද්ධි ප්‍රවාහයක් බවයි. බුදුන් වහන්සේගේ අහිංසාවාදී දර්ශනය හෝ සහජීවනයට පදනම් වී ඇත්තේ ආත්මෝපමා මූලධර්මයයි. හැම කෙනෙකුටම ජීවත්වීමේ අයිතියක් ඇත. එසේම රසාස්වාදයට හා සතුටු වන්නටත් අයිතියක් තිබේ. සියල්ලෝ දණ්ඩනයට බිය ඇත්තෝ ය. එබැවින් ආදරය වනාහි එකම ජීව නියාමයයි. බුදුන් වහන්සේ විසින් පුනර්භවය හා කර්ම ප්‍රඥප්තියේ ක්‍රියාකාරීත්වය අනුමත කළසේක. කෙලෙස් තවන වෙර හා සත්‍යය පිළිබඳ යථාවබෝධය උන්වහන්සේගේ ඉගැන්වීම්හි මුදුන්ගල හෙවත් මුඛ්‍යාර්ථයයි. එතුළ උඩුයටි කරණම් හෝ ව්‍යග්‍යාර්ථ දනවන සංකේතාලංකාරවාදී කලාරසාස්වාද නැත. මේ මහ පුරුෂයා පරීක්‍ෂණය හා නිරීක්‍ෂණය නමැති පදනම මත පරිමේය හෙවත් තර්කානුසාරී චින්තනයට මංපෙත් හෙළි කළේ ය.

ආගමික අංශයෙන් බලන විට බුදුන් වහන්සේ, තත්කාලීන ආගමික චින්තාව තුළ අරටු බැස තිබුණු ගූඪාර්ථය අර්ථකනය කළහ. උන්වහන්සේ මිනිසා සහ ගෝඩ් හෙවත් ගූඪ අතර පැවති ඥාතිත්වය පිළිගත්තේ නැත. දෙවියන් පිළිබඳ උන්වහන්සේගේ අදහස වූයේ කර්මඵල න්‍යායේ පැවැත්ම යනුයි. එනම් හේතුඵලවාදී දර්ශනයයි. උන්වහන්සේ සිය චින්තනයට මුල පිරුවේ දුක යන්නෙහි පැවැත්මක් ඇතැයි පිළිගනිමිනි. ඉක්බිති උන්වහන්සේගේ විමර්ශනය වූයේ මනුෂ්‍යත්වය හා මානව සබඳතා පිළිබඳවයි. එබැවින් උන්වහන්සේ දෙවියන් අහස්කුසින් මිහිමඬලට බැස්ස වූහ. උන්වහන්සේගේ දැක්මට අනුව හැම මානව ජීවියෙක් ම දුකින් මුදාගත හැක්කේ ද, සංවර්ධනය කළ හැක්කේ ද වෙයි. මේ මනුෂ්‍යත්වය දුකින් මුදාගන්නේ කෙසේද? එහිලා උන්වහන්සේගේ කාරිය වූයේ කිසිදු වර්ගයක්, ආගමක්, ජාතියක්, වර්ණයක් ;හී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, නමුත් මානවයා පුළුල් වපසරියක් තුළ ආවරණය කිරීම යි.

සැට නමක් රහතුන් වහන්සේට උන්වහන්සේගේ දිරි ගන්වනසුළු පණිවිඩය වූයේ, බොහෝ දෙනාගේ හිතසුව පිණිස ගම්දනවු පුරා සැරිසරන්න. බොහෝ දෙනාගේ සතුට පිණිස, යහපත පිණිස, දෙව් මිනිසුනට වැඩ පිණිස චාරිකා කරන්න යනුයි. උන්වහන්සේගේ දහම සතුට ගෙනෙන, තෘප්තිජනක සහ දුකින් නිදහස් කරන්නක් විය. බුදුන් වහන්සේ විවරණය කර දැක් වූ භාරතීය සංස්කෘතිය යථා ස්වරූපයෙන් ම මානව ප්‍රජාවට පමණක් අදාළ වූවක් නොවිණ. එය සමස්ත ජීව ලෝකයටම හිතසුව පිණිස වූවකි. බුදුන් වහන්සේ මිනිස් ජීවයේ සංවර්ධනය, විශ්වය නිර්මාණය වී ඇති මූල ද්‍රව්‍යයන්ගේ සාර්වභෞමිකත්වයට සමාන කළ හැකි බවට විවරණය කර දක්වා ඇත. බුදුහු රාහුලෝවාද සූත්‍රයේ දී රාහුල හිමියනට පොළොව, ජලය, ගින්න සහ වාතය (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) සේ වන්නැයි අනුශාසනා කරති. තවද ස්වීයත්වය හෙවත් අස්මිතාව, සමස්ත ජීව ප්‍රජාව ආවරණය වනතාක් දුරට ව්‍යාප්ත කළ යුත්තකි. තව දුරටත් මානසික ආකල්පය කවර ආකාරයක බන්ධනයකින් හෝ තහනමකින් තොරව විශ්ව සාධාරණ විය යුතු ය. මෙකී විශ්ව සාධාරණ ආකල්පයෙන් යුතු බෞද්ධයෝ පොදුජන සුවසෙත පිණිස වඩවඩාත් ඇපකැප වූහ. එහිලා මංමාවත් තැනූහ. රුක් රෝපණය කළහ. ගිලන්හල්, පාසල්, පොත්ගුල් හා ගවමඩු ඉදි කළහ, ප්‍රාණීයත්වයට ගෞරවය පුද කරන ආකාරය පෙන්වූහ. දිව්‍ය ලෝකයට සහ දිව්‍ය ලෝක සැප සම්පත් කෙරෙහි බලාපොරොත්තු තබනවාට වඩා සැබෑ ආගම වූයේ මානව ජීවියාට සහ සමස්ත ජීව සංහතියට සේවාව කිරීම යි. බුදුන් වහන්සේගේ අනුශාසනය පරිදි එකී සේවාව කළ හැක්කක් විය.

ඇයි ද යත්, මිනිසා තුළ නැණැස පෑදීමත්, චිත්තවේග සංවර්ධනයත් නිසා ආදරය, කරුණාව ආත්ම විශ්වාසය, යුතුකම හා පරාර්ථ සේවාව සඳහා අවශ්‍ය අවකාශය තුළ එහි ව්‍යාප්තිය සහ ප්‍රකාශනය පිණිස ඉඩ සැලසෙන හෙයිනි. සෞන්දර්යාත්මක විසින් සලකා බලන කළ බුදුන් වහන්සේ ආගමික අරමුණු සඳහා කලාව හඳුන්වා දෙමින් ඉදිරි පියවරක් තැබූහ. සාංචි, අජන්තා, එල්ලෝරා, කර්ලා සහ අමරාවතියේ මහේශාක්‍ය ලෙස වැජඹෙන විශිෂ්ට පූජ්‍යස්තාන කලා රසාස්වාදයේලා විශිෂ්ට නිර්මාණයෝ ය. මේ නිර්මාණයෝ උදාරත්වයෙන් හා සුන්දරත්වයෙන් අනූනව බෞද්ධයන් විසින් ප්‍රත්‍යක්‍ෂ අවබෝධය සඳහා අරමුණු කර ගැනෙති. බුදුන් වහන්සේ විසින් දුක පිළිබඳ ධර්මතාව ඉගැන්වුණා විය හැකි ය. එහෙත් උන්වහන්සේ කිසිදාක ඒ සමඟ සිය සිත ලුහු කරනු ලැබීමට හෝ නොසන්සුන් කරනු ලැබීමට ඉඩ සැලසුවේ නැත. යථාවාදී බෞද්ධයා, මානව ජීවියා සෞන්දර්යයෙන් ද, අල්පේච්ඡ ප්‍රසන්නත්වයෙන් ද සංවේදී බවට පත් කළේ ය. එයින් හික්මීම ලද ඔහු සෝමනස්ස සහගත ජීවිතය සහ පරාර්ථකාමී චර්යාවක වැදගත්කම පිළිබිඹු කරමින් සිය සදාචාරාත්මක ගුණාංග සංවර්ධනයට යත්න දැරී ය. අඛණ්ඩ දානශාලා සම්ප්‍රදායයෙන් ආගමික ජීවිතය තුළ පරිත්‍යාගයට හිමි තැන පැහැදිලි වෙයි. විශ්ව සාධාරණ පරමාදර්ශී ආගම විෂයයෙහි බුදුන් වහන්සේගේ දායකත්වය මෙසේ සාරාංශ කර දැක්විය හැකි ය.

01. විශ්වය පරිණාමයට පත් එකක් මිස කිසිවකු විසින් මවන ලද්දක් නොවන බව බුදුන් වහන්සේ උගන්වා ඇත. විශ්වය ක්‍රියාත්මක වන්නේ විශ්ව නියාම ධර්ම අනුව මිස කිසියම් ගූඪත්වයක චපල, හිතුවක්කාර කැමැත්තට අනුව නොවේ.

02. බුදුන් වහන්සේගේ ඉගැන්වීමට පදනම් වූ සත්‍යයෝ ප්‍රකෘතියට එකඟ නිර්ව්‍යාජ වූවෝ ය. ඒවා උගන්වනු ලැබ ඇත්තේ එකකට පසු එකක් එළඹෙන කල්ප හෙවත් යුග ලෙස, බුද්ධ යැයි කියනු ලබන, ප්‍රඥාලෝකය දල්වන එක්තරා මහා පුරුෂ ගණයක් විසිනි.

03. සියලු මිනිසුන් එක සමාන බවට බුදුහු විනිවිද දුටහ. උන්වහන්සේ තමන් අත්දුටු කුලක්‍රමය ව්‍යාජ සමාජ අහංකාරයක ආකෘතියක් ලෙස සැලකූහ. එහි ප්‍රතිඵලය වූයේ උන්වහන්සේගේ මතය අනුව ගිය සියලු ආගම් හැම මිනිසකුගේම සමානත්වය අවධාරණය කිරීමයි. හැම පුද්ගලයකුට ම මේ ලබා උපන් ජීවිතයේ දී ම සිය සිත තුළ මුල් බැස ගත් තෘෂ්ණාව සහ සකල ක්ලේශ මුලිනුපුටා දැමීමෙන් වාගාර්ථ සීමා ඉක්මවන නිර්වාණ තත්ත්වයට එළඹිය හැකි ය.

04. බුද්ධ දේශනාවේ මුඛ්‍ය තේමාව වන්නේ පුද්ගලයා පරිපූර්ණ සදාචාරාත්මක ජීවන මාර්ගයට යොමු කිරීමයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙන් භික්‍ෂූනට සහ ගිහියනටත් අවධාරණය කැරෙන්නේ අන් කිසිවක් නොව බුද්ධ ප්‍රඥප්තිය තේරුම් ගැනීම සහ නිර්ව්‍යාජ ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීමයි.

06. පරාධීන උත්පත්තිය කෙරෙහි අවදානය යොමු කළත්, දුසිරිතින් වැළකීමට හෝ දෙව්ලොව අත්කර ගන්නට කෙනෙකුට ස්වීයත්වයෙන් පරිබාහිර අන් කිසිදු බලයක් වුවමනා වන්නේ නොවේ.

07. බුදුන් වහන්සේ සමස්ත ලෝකය පාලනය කරන කර්ම නියාමය කෙරෙහි මහත්ම අවධානය යොමු කර ඇත. බුදුදහම තුළ කර්මය පිළිබඳ මතවාදය දෙවියන්ගේ හෙවත් ගූඪත්වයේ තැන ගෙන ඇත. කිසිවකුට තමාගේ කර්මය විනාශ කළ නොහැකි ය. (සාමාන්‍ය ජන වහරෙහි බොහෝ දෙනා විසින් ප්‍රමාණවත් තරම් වගකීමකින් නොකියතත් “කළ කළ දේ පල පල දේ” යන්න අර්ථවත් වන්නේ මෙවන් තැනකදී ය – පරිවර්තක) ආදී ආගම් සහ ආදී ගුරුවරුන් ද විසින් “කර්මය” ගැන කතා කර \ධඛ. එහෙත් ඒ ගැන අවධාරණය කර තිබුණේ හෙවත් ගැඹුරින් සාකච්ඡා කර තිබුණේ නැත. ඔවුන් හඳුන්වාදී තිබුණේ දයාව, කරුණාව හෝ අනුකම්පාව පිළිබඳ ධර්මතාවයි. එහි බොහෝ විට තිබුණේ කර්මය පිළිබඳ කලින් දුන් නියෝග අවලංගු කිරීමයි. කර්මය පිළිබඳ බුදුන් වහන්සේගේ විවරණය එයට හාත්පසින් වෙනස් ය. උන්වහන්සේ විවරණය කළ පරිදි එක් එක් පුද්ගලයා තමාගේ ඉරණම විෂයයෙහි තමා වගකිය යුතු ය. තමාගේ සමෘද්ධියේ නිර්මාණ ශිල්පියා තමාම ය. “අත්තාහි අත්තනෝ නාථෝ”

08. බුදුන් වහන්සේ චිරත්තන දෘෂ්ටි සිද්ධාන්ත සහ එසේම ආධිපත්‍යය සහ දේවත්වය (ගෝඩ් හෙවත් ගූඪ) ගැන කතා කිරීමෙන් වැළකී සිටියහ. අන්තිමට සඳහන් දේවත්වයේ පැවැත්ම සම්බන්ධයෙන් උන්වහන්සේ දැරුවේ, නැතැයි ද නොකියන, ඇතැයි ද නොකියන අඥෙයවාදී ආකල්පයකි.

09. ආදරය සහ සද්ධාව පිළිබඳ බුදුන් වහන්සේගේ විවරණය මානව ජීවියාට පමණක් සීමා වූවක් නොවේ. එය සත්ත්ව ලෝකය සහ අතිමානුෂ්‍යය හෝ අර්ධ ජීවීන් තෙක් පවා ව්‍යාප්ත වූයේ ය.

10. බුදුදහම ප්‍රගතිගාමී ආගමකි. එය එහි ප්‍රගතිගාමී ගමන් මගේ බුද්ධි විෂයයාත්මක විග්‍රහයේ සිට බෝධිසත්ව පරමාදර්ශය හා ජපානයේත්, චීනයේත් භක්තිවාදී බුදුදහමට මඟ පෑදු විශ්ව සාධාරණ පදනම මත චිත්තවේගවාදය ගොඩනැඟීමට අදාළ අර්හත් පරමාදර්ශය තෙක් බොහෝ දුර ඉදිරියට ගොස් ඇත. මෙලොව දුක් විඳින සකල සත්ත්වයන් සසර කතරින් එතෙර කරවා මිස තමා නිර්වාණ ප්‍රාප්තිය සාක්‍ෂාත් නොකරන බව බෝධිසත්ත්වයෝ දිවුරුම් දුන්හ.

සමස්ත ජනතාව ආදරයෙන් වැළඳ ගනු ලබන මේ ආකල්පය ව්‍යාප්ත වූයේ අශෝක අධිරාජයාගේ ධර්ම විජය පිළිවෙතිනි. එයින් මානව ඉතිහාසය තුළ බුදුන් වහන්සේ විසින් සන්නිවේදනය කරන ලද සත්ත්ව කරුණාවෙන් අනූන පරාර්ථකාමී පණිවිඩයට මඟ පෑදිණ. සත්තකින්ම විශ්ව ආගම් මන්දිරය ගොඩනැඟිය හැකි මූලාධාරකය මෙය විය යුතු ය.

11. බුදුදහම අඩු වරප්‍රසාද සහිත ජනතාව දිරි ගන්වා ඔසොවා තබමින් පූර්ණ සංවර්ධිත පිරිස් සමග සම තත්ත්වයට ගෙන එන අතර, මානව සංහතියේ ජීවන ප්‍රමිතිය ඉහළ තලයකට ගෙන එන්නට මඟ පෙන්වයි.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මඟින් අවධානය යොමු කළ ගැටලුව වන්නේ, මානව සංහතිය උපරිමයෙන් උසස් තලයකට ගෙන ඒමයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.