Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මොන තරම් උගත් වුණත්, මොන තරම් වත් පොහොසත්කම් තිබුණත් සිරිත්- විරිත් නොතකන පුද්ගලයන්ගෙන් යුත් සමාජයක් කිසි දවසක යහපත් සමාජයක් වෙන්නෙ නෑ. සිරිත්-විරිත් උගන්නන පිරිස විදියට වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියනව.

කොළඹ ප්‍රදේශයේ නිවසක හත්දවසෙ ධර්ම දේශනාවකට මම වරක් සහභාගි වුණා. ධර්ම දේශනය පවත්වමින් ඉන්නා අවස්ථාවෙ එක්වරම මහ ගාලගෝට්ටියක් ඇහුණා. “මොකද්ද ඒ කලබලේ?” බණ අහමින් සිටි අයගෙන් මම ඇහුව. කවුරුත් කැමැති උනේ නෑ උත්තර දෙන්න. ඒ අය මගඅරින බව තේරුණා. හොයල බැලුවම බණ ගෙදර තරුණ පිරිසක් බීමත්ව කාඩ් සෙල්ලම් කර කර ඉඳල රණ්ඩුවක් පටන්ගෙන!

බලන්න! ආගමික කටයුත්තකට සම්බන්ධ වෙලා ඉන්න පිරිසට මොනතරම් බාධාවක්ද ඒ අය කළේ කියල.

අපි මිනිස්සු! අපි මිනිස්සු බව ඔප්පු කරන්න පුළුවන් හැසිරීමෙනුයි. අපි සතුව පවතින විවිධ සිරිත් විරිත් මේ චර්යා අනුව බණ ගෙදරකදි, දානෙ ගෙදරකදි, මඟුල් ගෙදරකදි, මළ ගෙදරකදි හැසිරෙන විදියක් තියනව. සංස්කෘතියෙන් සංස්කෘතියට මේ හැසිරීම් රටා වෙනස් වෙන්න පුළුවන්. එහෙම උනත් සෑම සංස්කෘතියකම පිළිගත් පොදු හර පද්ධතියක් තියනව. පරම්පරා ගණනක් තිස්සෙ රැකගෙන එන වටිනා සිරිත්විරිත් අප සතුව තියනව.

ඒත්... දන්නෙම නැතුව අපි සංකර වෙලා නේද? අද වන විට අප සතුව පැවැති වටින සිරිත් – විරිත් ඈත්වෙමින් පවතින්නෙ. අපට අපේ කම අහිමිවෙලා. මේ වටින සිරිත්-විරිත් විවිධ බලවේග විසින් නැති කරල! තැනකට ගිහිල්ල හැසිරෙන්න දන්නෙ නෑ. ඥාතිත්වය, මිත්‍රත්වය, අසල්වැසි බව නිසා සුහදතාව තවදුරටත් තහවුරු කරගැනීමේ පිවිතුරු යහපත් හැඟීමෙන් නෙවෙයි බොහෝ විට මානව සම්බන්ධකම් පවත්වන්නෙ, සිරිත්-විරිත් අනුගමනය කරන්නෙ.

බලන්න, සිංහල අලුත් අවුරුද්ද අපිට මොන තරම් සතුට සාමය සමගිය ගෙන එන දවසක්ද! එදා දවස අපි කාගෙත් සිත් සතන් පී‍්‍රතියෙන් සතුටින් ඉපිලෙනව. ලොකු කුඩා කාගෙත් මූණු හරියට පිපුණු මල් වගේ. කැවිලි- පෙවිලි, තෑගි-බෝග, ගරු-සැලකිලි ඉවරයක් නෑ. ඒත් අද වන විට අසල්වැසියෙක් නිවසකට යන්නෙත් ඒ නිවසෙත් කෙනෙක් ආවොත් පමණයි. ‘අපෙ ගෙදරත් ආපු නිසා අපි යන්න ඕනෑ.’ යන අදහසින් වෙන්න පුළුවන්.

ආගමික, මංගල, අවමංගල ඕනෑම කටයුත්තක් කෙරෙන තැනක සුලබව දකින්න තියෙන්නෙ කාඩ් සෙල්ලම, කැරම් ගැහිල්ල, දාම් ඇදිල්ල, සුරා පානය, දුම් ඉරීම සහ සිනාසෙමින් ශබ්ද පූජා පැවැත්වීම ආදියම යි. කෙරෙන කටයුත්තට බාධා වන සේ හැසිරීම තමයි දක්වන අනුග්‍රහය වෙලා තියෙන්නෙ. තමනුත් අපහාසයට ලක්වෙමින්, ඒ කටයුත්තත් අපහාසයට ලක් කරනව.

සමාජ ජීවිතයක් ගතකරන අපි කවුරුත් යම් අරමුණකින් යම් කටයුත්තක් සිදුවන තැනකට ගියොත් එයට අනුගත වෙන්න ඕනෙ. තමන්ගෙ ගෞරවයත් ස්ථානයෙ හා අනෙක් පුද්ගලයන්ගෙ ගෞරවයත් ආරක්‍ෂා වෙන්නෙ, සුහද පරිසරයක් ගොඩ නැගෙන්නෙ එවිටයි.

අපේ සංස්කෘතියෙ ලක්‍ෂණයන් තමයි මළ ගෙදරක නිහඬ බව රැකීම, එය සතුටු සාමීචියෙ යෙදෙන තැනක් නෙවෙයි. එහෙත් මළගෙදර මඟුල් ගෙදරක් කරගන්න අවස්ථා තියනව. දින හතක් යනකං අසල්වැසියො රැස්වෙනව පාළුමකන්න. මේ යහපත් සිරිත පෝෂණ සතියක් කරගන්නව. කෙනෙකුගෙ විපත තව කෙනෙකු පෝෂණය කරන දෙයක් බවට පත්වෙලා! රාත්‍රී කාලයේ මත්පැන් – දුම් පානය කරමින්, කෑ-කෝ ගසමින් බූරුගැසීම ඔවුන්ට සැණකෙළියක්! මළ ගෙවල්වල මිනීමැරුම් සිදුවූ අවස්ථාත් තිබෙනව. මළගෙදර මරණගෙයක් වීමයි එයින් සිදුවෙන්නෙ.

සදාචාරයේ සංකේතයක් විදියට සලකන විවාහ මංගල්‍යය අද අසංවර බව ප්‍රදර්ශනය කරන අවස්ථා බවට පත්වෙලා. විජය රජු ලංකාවට පැමිණි පසු, මෙරටේ ශිෂ්ට ජනතාවක් විසූ බවට සාධකයක් විදියට පෙන්වන්නෙ සිරීසවත්‍ථු පුරේ යක් සෙනෙවියාගෙ විවාහ මංගල්‍ය උත්සවය. අද අපි විජයාගමනයටත් එහා අශිෂ්ට ජාතියක සංකේත බවට පත්වෙමින් සිටිනවා.

මනාල යුවල යන මංගල රථය පිටුපස ලියා තිබෙන දේවල් පාරෙ යන අයට ඇස් කොණින් වත් බලන්න පුළුවන් දේවල් නෙවෙයි. අලුත් සංස්කෘතිය කියල බොහෝ දෙනා අන්ධ අනුකාරකයො වෙලා, මනාල යුවලට නොයෙක් වධ හිංසා පමුණුවනව. සමහරවිට මංගල්‍ය උත්සවය අවසන් වෙන්නෙ මේ වධහිංසා නිසා මනමාලය මියගිහින්. එබඳු අවස්ථා පුවත්පත්වල දැකගන්න ලැබෙනව.

මොනතරම් අවාසනාවන්ත සිදුවීම්ද! මේ සියල්ලම පුහු විලාසිතා විදියට එන නව සිරිත්-විරිත්වල ප්‍රතිඵල නේද! මංගල අවස්ථාවක් කියන්නෙ බොහොම උත්තරීතර දෙයක්. ජාතියක් ගොඩනැගෙන්නෙ විවාහය නිසා. එය අපේ මහා සංස්කෘතියත් සමඟ බැඳිල තියෙන දෙයක්. හිත මිත්‍රයන් කරන අශිෂ්ට විහිළු, තහළු නිසා මනාල යුවල විතරක් නෙවෙයි, වැඩිහිටියන් පවා කෙතරම් අපහසුවකට පත්වෙනවද? බාල පරපුර මෙබඳු දේ දැකීමෙන් ඒ අය තුළ මොනවගේ ආකල්ප ද ඇතිවෙන්නෙ කියල මොහොතක්වත් හිතල බලන්න බැරි තරමට මේ අනුකාරක සිරිත්-විරිත් අපෙ අයගෙ මනස විකෘති කරල තියෙන්නෙ.

මොනතරම් උගත් වුණත්, මොනතරම් වත් පොහොසත්කම් තිබුණත් සිරිත්- විරිත් නොතකන පුද්ගලයන්ගෙන් යුත් සමාජයක් කිසි දවසක යහපත් සමාජයක් වෙන්නෙ නෑ. සිරිත්-විරිත් උගන්නන පිරිස විදියට වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියනව. නමුත් අවාසනාවට වැඩිහිටියන් ම සිරිත්-විරිත් නො තැකීම නිසා, ඊළඟ පරම්පරාවට ඒවා හුරු-පුරුදු වෙන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. මේකට වැඩිහිටියො වගකිව යුතුයි කියල චෝදනා කරල නිහඬ වෙන්න බෑ.

ඔබට හොඳින් යහපත් සමාජයක ජීවත් වෙන්න ඕනෙ නම් සිරිත්-විරිත් ගැන හිතල මතල කටයුතු කරන්න. යහපත් සිරිත්-විරිත් ඔබේ ජීවිතයේ චරිතයේ අගය වැඩි කරගැනීමට උපකාරී කරගන්න. දැන්වත් අපි වැරැදි නිවැරැදි කරගනිමු.

බුදුදහමෙ ශීලය විදියට හඳුන්වන්නෙ මේ සිරිත්-විරිත් කියන එකයි. තම දැනුම මෙහෙයවා සිරිත්-විරිත් හුරු කරන පුද්ගලයාට මනුෂ්‍යත්වයේ උපරිම තලයට ළඟාවිය හැකියි.

ඒත් ඒ සියල්ලට වඩා වැදගත් අපට පුළුවන් තැනින් පටන්ගන්න එක. ඒ නිසා තමන්ටත් සමාජයටත් හානිදායක, යහපැවැත්මට, සතුටට බාධක වන සිරිත් – විරිත් හුරු කරගැනීම ගැන පළමුවෙන්ම හිත යොමු කරන්න තීරණය කරමු.

ඔබ දැනටමත් යහපත් සිරිත්-විරිත් ගැන උනන්දුවක් දක්වනව. එය සහතිකයි. එහෙම නැතිනම් ඔබ මේ ලිපිය අවසන් වෙනතුරු කියවන්නෙ නැහැ නේද?


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.