Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය


රත්මලානේ
සුනීත නා හිමියෝ

නුවර යුගය අග භාගයේ ආරම්භ කරන ලද රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය බස්නාහිර පළාතේ ඇති පැරැණි විහාරස්ථානයකි.

මෙම විහාරස්ථානය පිහිටුවන ලද්දේ වසර 1795 – 1800 වැනි කාල පරාසයකදී ය. වැලිවිට ශ්‍රී සරණංකර මහා සංඝ රාජයාණන්ගේ අනුශිෂ්‍ය පරම්පරාවේ බලපිටියේ ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානය ආරම්භ කළ බව සඳහන් වේ.

නුවර යුගයේ අගභාගයේ ආරම්භ වී පසුව එළඹි වසර 100 කටත් වැඩි කාලයක් රට පාලනය කළ ඉංගී‍්‍රසි යුගයේ නියෝජනයද නිසා මෙහි සමහර ඉදිකිරීම් බටහිර ගෘහනිර්මාණ ශිල්පීය ලක්‍ෂණයන්ට සමීපව ඇති බවක් පෙනේ.


සායම් මැකී යමින් පවත්නා පැරැණි සිතුවම්

අපගේ ආගමට ජාතියට විනකළ පරගැතියන්ගේ හස්තයෙන් මිදී වෙහෙර විහාර ආරක්‍ෂා කරගනිමින් පවත්වාගෙන යෑමේ වුවමනාව නිසා ඒ ඒ යුගයන්හි දී රට පාලනය කළ ජාතීන්ගේ රටවලට ආවේනික ලක්‍ෂණයන් සහිතව විහාරස්ථාන බහුතරයක් ඉදිකරන ලද්දේ ඔවුන්ගෙන් වන හානියෙන් හිරිහැර වලින් මිදීමට කළ උපක්‍රමයක් වශයෙනි. අක්කර 2ක පමණ භූමියක පිහිටා ඇති මෙම විහාරස්ථානයේ අද දක්නට ඇති විහාර මන්දිරය අපගේ බෞද්ධ සංස්කෘතික ලක්‍ෂණයන්ගෙන් පෝෂිත පැරැණි විහාර ආකාරය මෙන්ම ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පීය ආකෘතියේ සම්මිශ්‍රණයකින් ඉදිවී ඇත්තේ ඒ නිසා ය. නමුත් මෙවන් ලක්‍ෂණයන් ඉතිහාසයට එකතු වී වර්තමානය කරා පැමිනෙන විට එහි වෙනස් ආකෘතිමය ලක්‍ෂණයන්ගෙන් හෙබි අපූර්වත්වයක් අද අපට වින්දනය කළ හැක.


විහාර මන්දිරය

කෝට්ටේ රජ මහා විහාරය කරනම්පිටියේ සුබෝධාරාමය වැනි ඓතිහාසික විහාර මන්දිරයන්ගේ ආකෘතියේද මෙවන් සමානතා දැක ගත හැකි බව විහාරාධිපති රත්මලානේ සුනීත නාහිමියෝ පවසති. වර්තමාන විහාරාධිපති සුනීත නාහිමියෝ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක තනතුර හොබවනු ලබති.

මෙහි ඇති විහාර මන්දිරය සාදා ඇත්තේ මීට වසර 150 කට පමණ පෙරදී රත්මලානේ විමලතිස්ස නායක හිමියන්ගේ යුගයේදී ය. මේ තුළ ඔත් පිළිම වහන්සේ හිටි පිළිම වහන්සේ මෙන්ම රියන් 18 කින් සමන්විත සැතපෙන පිළිම වහන්සේගේ ප්‍රතිමා ත්‍රිත්වයක් දැක ගැනීමට පුළුවන. එමෙන්ම අසූ මහා ශ්‍රාවක රූප පිට මාලයේ සූවිසිවිවරණය පිළිබිබු කරන ප්‍රතිමා නෙළුම් මල් රටාවෙන් යුතු විචිත්‍රවත් වියන් සිතුවම් ආදිය අපගේ විහාර සිතුවම් ශිල්පයේ විචිත්‍රවත් බව විදහා දක්වයි.

මෙම විහාර මන්දිරයේ ඇති පැරැණි හා විශේෂත්වය නිසා එය අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂණයට යටත්ව පවතී. විහාරස්ථානයේ ඇති ඝන්ටා කුළුණ ද වසර 100 කට වඩා පැරැණිය. වඩාත් සුවිශල් නොවුනද සිත් බැදනාසුළු චෛත්‍යය ද ශතවර්ෂයකට එපිට තනන ලද්දකි.

පසෙකින් එන කුඩා මලසුන් ගෙයද අලංකාර ආකෘතියකින් හෙබි ශතවර්ෂයකට වඩා පැරණි තවත් වැදගත් ඉදිකිරීමක් ලෙස පෙනෙයි.

ධර්ම මන්දිරයේ ඇති ධර්මාසනය පවා අපගේ පැරැණි වඩු නිර්මාණ ශිල්පීන්ගේ ඇති සුවිශේෂී ලී කැටයම් කලාවෙන් ඔපවත්ව නෙත් පිනවන දසුනක් ජනිත කරවයි. මෙම විහාරස්ථානය මුලින් සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත්ව තිබුණද 1903 වසරේ දී අමරපුර සමාගමට එක්ව අද අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායට අනුබද්ධව පවතී.

බලපිටියේ ධීරානන්ද මාහිමියන්ගෙන් ඇරඹි සංඝ පරම්පරාවේ සිට බලපිටින් අත්ත කුසල මාහිමි පින්වත්තේ විමලබුද්ධි, රත්මලානේ විමලතිස්ස නාහිමි වරුන් කොළඹ හලාවත සංඝනායක මාදම්පේ ධම්මාධර මා හිමි, මාදම්පේ සිරිරතන මාහිමි, රත්මලානේ මහින්දාලෝක මාහිමි මෙම විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ ලෙස කටයුතු කර ඇත.


විහාර මන්දිරය තුළ ඇති පිළිම වහන්සේ

ඒ අතර අභිධර්මය පිළිබඳ හසල ඥාණයකින් හෙබි මාදම්පේ ධම්මාධර මාහිමියන් ධර්ම දේශනයේ දී ද සුවිශේෂී දක්‍ෂතා දැක් වූ හිමිනමක් ලෙස ප්‍රකටය. 1928 වැනි කාලයක බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන්ගේ අභිධර්ම දැනුම ප්‍රවර්ධනය කර ගැනීම උදෙසා ගුරුවරයකු වශයෙන් ධම්මධර හිමියන් කටයුතු කර තිබීම සුවිශේෂී කරුණක් වශයෙන් සඳහන් කළ හැක.

ධම්මධර හිමියන්ගේ කීර්තිමත් නාමයට උපහාර පිණිස ඒ නමින් වර්තමානයේ මෙහි ප්‍රකට දහම් පාසලක් ද පවත්වාගෙන යයි. ප්‍රදේශයේ සමාජ සත්කාරයට දායක වෙමින් අද මෙහි පෙර පාසලක් ද ස්ථාපිතව තිබේ. දාන ශීල භාවනාදී ශාසනාලෝකය උදෙසා කෙරෙන වැඩසටහන් මෙන්ම සමාජ සත්කාර්යය වෙනුවෙන් ද නොයෙකුත් ව්‍යාපෘතීන් ද මේ විහාරස්ථානයේ මූලිකත්වයෙන් සිදු කෙරෙමින් පවතී.

රත්මලාන ප්‍රදේශයේ කීර්තියක් දිනා ගෙන ඇති ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය හා බැඳි ඉතිහාසය නිසා මෙම විහාරස්ථානය ඓතිහාසික වශයෙන් ද පොහොසත් වූ වැදගත් පූජනීය ස්ථානයකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.