Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලාංකීය සමාජයේ සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික, දේශපාලනික හා ආර්ථික ආදී සෑම අංශයක් තුළම සුවිශාල පෙරළියක් සිදුවිය. බුදුදහම මෙරටට ලැබීමත් සමඟ දඹදිව පැවති විවිධ ආගමික, සංස්කෘතික සංකේතයන්ද ලාංකීය සමාජයට දායාද විය. ඒ අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව, දළදා වහන්සේ, සර්වඥ ධාතුන් වහන්සේලා, වෙහෙර වහන්සේ හෙවත් ස්ථූපය , ධර්ම චක්‍රය , බුද්ධ ප්‍රතිමා , බෞද්ධ ධජය යනාදී බෞද්ධ සංකේතවලට ප්‍රමුඛස්ථානයක් හිමිවේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවේ රෝපණය කිරීම මෙරට ජන ජීවිතයේ සුවිශේෂ වෙනස්කම් රැසකට මඟ පාදන්නක් විය.

ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩම කරවන ලද අවස්ථාවේ ඉන්දීය සංස්කෘතියේ විවිධ ලක්ෂණ හෙළි කරන සොළොස් කුලයකට අයත් පිරිසක් මෙහි පැමිණියහ.

මේ කුලිකයන් අතර විවිධ ශිල්පීය කුලයන්ද තිබීම හේතුවෙන් මෙතෙක් පැවති ලාංකීය සංස්කෘතිය නව මුහුණුවරක් ගන්නට විය. සිංහල බෝධි වංශයට අනුව බෝධින් වහන්සේ සමග දඹදිවින් රාජකුමාරවරු අට දෙනෙක් මෙහි පැමිණ ඇත. ඒ ඒ කුමාරවරුන්ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ විවිධ තනතුරු හිමි විය.

1.බෝධි ගුප්ත කුමරු - ශ්‍රී මහා බෝධි පෙරහර කටයුතු භාර ලේකම් තනතුරට පත් වූයේ බෝධිගුප්ත කුමරුයි. මෙම තනතුර “ලක්දිව ජය මහ ලේනාවෝ “ නමින් හැඳීන්විය.

2. සුමිත්ත කුමරු - බෝධිගුප්ත කුමරුගේද සහාය ඇතිව පෙරහර පැවැත්වීම මොහුට භාරවිය. ඇතුපිටහිඳ පෙරහරින් මංගල මහා වීථියේ නුවර ප්‍රදක්ෂිණා කොට බෝධීන් වහන්සේ වෙත පැමිණීමද ඔහුගේ ප්‍රධාන කාර්යයක් විය.

3. චන්ද්‍රගුප්ත කුමරු - මහබෝ මඟුලෙහි රණබෙර වැයීම බාර වූයේ චන්ද්‍රගුප්ත කුමාරයාටය.

4.දේවගුප්ත කුමරු – මහාබෝධි මූලයට ඉසින පිරිත්පැන් පිරවූ රන් කෙණ්ඩිය මඟුලැතු පිටතබා නුවර පැදකුණු කොට ගෙන ඒම මොහුට පැවරිණි. මේ තනතුර “ මහරැටි “ නම් විය.

5.ධර්මගුප්ත කුමරු - මෞය¸ වංශිකයෙක් වූ මේ කුමරුට භාර වූයේ මහ බෝ මගුල් හීසක් පිඹීමේ කාර්යයි.

6.සූරිය ගුප්ත කුමරු - මහාබෝ මඟුල් හි රන්කෙණ්ඩිය මගින් පැන් ඉසීමේ කර්තව්‍යය මොහුට හිමි වී ඇත.

7.ගෝතම කුමරු - මහබෝ මුදුනට ධවලච්ඡත්‍රය දැරීමේ නිලබලය මොහුට හිමි විය.

8.ජුතින්ධර කුමරු - මහබෝ මගුල් හා ආරක්‍ෂක කටයුතු භාර ප්‍රධානියා වූයේ මොහුයි. මෙම තනතුර “ අරක්මේනා “ නම් විය.

මෙම කුමාරවරුන් අටදෙනා මිහිඳු මාහිමියන්ගේ මෑණියන් වූ වේඨිය දේවිය ගේ සොහොයුරන් වන බවද සඳහන්ය. බෝධි වංශයට අනුව මේ කුමාරවරු අට දෙනාට පැවරුණු කාර්යයන්ට අමතරව මෙහි පැමිණි කුලයන්ට බෝධිය ආශි‍්‍රතව විවිධ තනතුරු හා නම්බුනාම ද ප්‍රදානය කොට තිබේ.

උයන්ගොව් වැදෑරුම් නා තනතුර , සැත්කරු නා තනතුර, මහ පෙලවිනා තනතුර, මුදුන් කරුනා තනතුර, ලක්දිව මහා ඇඳුරුනා තනතුර, අත්තුලෙනා තනතුර, ලෝකුරුනා තනතුර, කුඹුරුනා තනතුර, මුළු රකිනා තනතුර, මහසිනා තනතුර, ගඳකරු නා තනතුර, මල්කරුනා තනතුර, කුඹල්කරු නා තනතුර, පෙහෙර කරුණා තනතුර, දොරවරනා තනතුර, කපුනා තනතුර, කිලිඟු නාතනතුර, සරස්නා තනතුර, මහබෝ රකිනා තනතුර, වෙළෙඳ නා තනතුර , උතුරු පස්නා තනතුර, බමුණු නා තනතුර, කඩුපසඟනා තනතුර යනාදිය ඒ අතර ප්‍රධාන වේ.

මෙලෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමග ලක්දිවට පැමිණි සියලුම කුලයන්ට දෙවන පෑතිස් රජතුමා විසින් විවිධ තනතුරු ප්‍රදානය කරන ලදී. එම තනතුරු වලදී අදාළ පුද්ගලයන්ට පැවරුණු රාජකාරී කටයුතු ඉටු කිරීමේදී බෝධිගුප්ත සහ සුමිත්ත යන කුමාරවරුන්ගේද මාර්ගෝපදේශකත්වය ලබා ගැනීමද අනිවාර්ය වී ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.