Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.

මේ බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනයයි. දිග් විජය අත්හළ ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවුඩය මුර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන් ලංකාවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පවුවට වැඩ වදාළහ. ජම්බුද්වීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇතිවුණ මහා වෙනස මෙනෙහි කිරිම අපට පොසොන් දිනයේ කළ හැකි හොඳම පොසොන් භාවනාවයි. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ නිසා ම ජම්බුද්වීපයේ ගංගා නිම්නයේ පැතිර පැවැති ධර්මය ලංකාවට අසහාය ශාන්තිකර වූ අතිවිශිෂ්ට ධර්ම සම්ප්‍රදායයක් බවට පත්විය.

අනුබුදු මිහිඳු මහරහත් මාහිමියන් වහන්සේ ලංකාවට වැඩමවීමට ප්‍රථමයෙන් මෙරට පැවති ආගමික තත්ත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අපට මහාචාර්ය සහ දීපවංසයත් මුඛ පරම්පරාගත ජන කථාත් පුරා විද්‍යාවත් සහාය වෙයි. පුරාණ ලංකාවේ සභ්‍යත්වය හා සංස්කෘතිය පිළිබඳ තිබෙන හැම දෙයක් ම මහින්දාගමනයෙන් පසු ව ඇතිවුණු ඒවා බව ස්ථිර වශයෙන් අපට නිගමනය කළ හැකිය. පුරා විද්‍යාව - වාස්තු විද්‍යාව- ප්‍රතිමා ශිල්පය හා චිත්‍ර කලාව ආදී කලාත්මක අංශයන් දෙස බැලුවත් පුරාණතම ශිලා ලේඛන දෙස විමසුවත් අපට හමුවන්නේ දෙවන පෑතිස් රජු සමයේ මිහිඳු මාහිමියන්ගේ ලංකාවතරණයෙන් පසුව ආරම්භ වුණු බෞද්ධ සංස්කෘතිය යි.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධය තිබුණු බව යම් යම් සිද්ධීන් දෙස විමසන කල්හි පැහැදිලි වෙයි. ඈත අතීතයේ ලංකාවත් එකට එක්වී \බුණු බවට ඉන්දියාවේ ධනුස්කොඩියත් ලංකාවේ තලෙයිමන්නාරමත් අතර පිහිටි ‘ආදම් ගේ් පාලම’ සාක්ෂ්‍යයක් වශයෙන් භූ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කොට තිබේ. ලංකාව මුහුදෙන් වෙන් වූවාට පසු ඉන්දියාවේ ඇතිවුණු හැම විපර්යාසයක් ම ලංකාවේ ද බලපෑවේ ය. භාරතයේ ආභාසය ආදියේ සිට ම ලංකාවට ලැබුණු නමුදු එය නියම වශයෙන්ම ක්‍රමානුකූලව බලපාන ලද්දේ මිහිඳු මහා හිමියන් ගේ වැඩමවීමෙන් පසුවය. බෞද්ධ සංස්කෘතියක නියම ලක්ෂණ අපට දක්නට ලැබෙන්නේ දෙවනපෑතිස් නිරිඳුන් ගේ රාජ්‍ය කාලයේ පටන් ය. විජය රජු ගේ ලංකාවට පැමිණීමත් සමග ම සිංහල ඉතිහාසය ආරම්භ විය. විජය කුමරු ලක්දිවට පැමිණෙන අවධියේ මෙහි යක්ෂ ගෝත්‍රිකයන් ද වාසය කළ බව හෙළි වෙයි. විජය කුමරු ඇතුළු පිරිස ගොඩ බසින ලද්දේ යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළ පෙදෙසට ය.

විජයාවතරණයේ සිට මහින්දාගමනය දක්වා ලංකාවේ පැවැති සාමයික ඇදහිලි ක්‍රම ගැන වංශකථාවන්හි හා සමන්තපාසාදිකා විනයට්ඨකථාවෙහිත් ස්වල්ප වශයෙන් සඳහන් ව ඇත. ප්‍රාග් යුගයේ එනම්, බුද්ධාගමට කලින් මෙහි පැවැති ප්‍රධාන ලබ්ධි වශයෙන් බ්‍රාහ්මණ, ආගම -ෙෙ ජනාගම - යක්ෂයන් සහ වෘක්ෂ දේවතාවන් පිදීම යන ඇදහිලි ක්‍රම දැක්විය හැකිය. අපේ වංශ කථා ආදියෙහි සඳහන් වන හැටියට විජය කුමරු ඇතුළු පිරිස ගේ් ලංකාවතරණය සිදුවූයේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවුණු දිනයේ ය. එදා පටන් ලක්දිව බ්‍රහ්මාගමය පැවැති බව සිතිය හැකිය. විජය කුමරුන් සමග පැමිණි පිරිස අතර බමුණෝ ද සිටිය හ. විජය රජුගේ පුරෝහිතයා වූ ද කලක් ලංකාවේ අගනුවර වශයෙන් පැවැති උපතිස්ස ගම ඉදිකරන ලද මූලිකයා ද වූ උපතිස්ස එයින් කෙනෙකි.

ක්‍රි. පූ. සතරවැනි ශත වර්ෂයේ රජ කළ පණ්ඩුකාභය රජතුමා කුඩා කාලයේ ශාස්ත්‍රොද්ග්‍රහණය කෙළේ පණ්ඩුල නම් බ්‍රහ්මණයා යටතේ් බව මහාවංසයෙහි සඳහන් වේ. එම බ්‍රාහ්මණයා ගේ් පුත්‍රයා පසුව පණ්ඩුකාභය රජතුමා ගේ් පුරෝහිත තනතුරට ද පත් වූයේ ය. දෙවනපෑතිස් නිරිඳුන් අශෝක චක්‍රවර්තීන් හට තුඩු පඬුරු යවන විට අරිට්ඨ කුමරුන් සමග ගිය දූත පිරිසෙහි බ්‍රාහ්මණයකුª විසූ බව අපේ මහාවංසයෙහි දැක්වෙයි. ලංකාවේ බුද්ධාගම පිහිටුවන්නට කලින් බ්‍රාහ්මණ බලය ශක්තිමත් ව තිබුණු බව මේ කරුණු වලින් පැහැදිලි වෙයි.

ධර්මදූත සේවය

රාජ්‍ය පාලනයේ දී දස රජ දහමින් යුතුව කටයුතු කළ අශෝකයන් ගේ දර්ශනය ‘අශෝක ධර්මය’ යනුවෙන් ඉතිහාසඥයන් විසින් නම් කොට තිබේ. එතෙක් ලොව කිසිදු රජ කෙනෙකුන් නොකළ විරූ අන්දමින් මහජන ශුභ සිද්ධිය තකා කටයුතු කළ අශෝකයන් ‘සියලු මිනිස්සු මගේ දරුවෝ ය’ රාජ්‍ය පාලනයෙහි දී වෙහෙසට පැමිණෙන පාලකයා උසස් පාලකයෙක් නො වේ. නීතිය හා දඬුවම හැම දෙනාටම සම විය යුතුය. යනාදී උසස් අදහස් දැරූ බව අශෝක සෙල් ලිපි වල සඳහන් වී ඇත. බුද්ධ ධර්මයේ සඳහන් ගිහියන් ට සුදුසු වූ කරුණු අනුව වැසියන් හික්මවීමට අදහස් කළ අශෝක රජු අරියවංස අනාගත භය, මුනි, මොනෙය්‍ය සාරිපුත්ත- රාහුලොවාද යන සූත්‍රයන් ගුරු තන්හි තබාගෙන කටයුතු කළ බවත්, ඒ අනුව අවවාද අනුශාසනා කළ බවත් සෙල් ලිපි වල සඳහන් වෙයි. අනෙක් රාජ්‍යයන් හා යුද්ධ කොට ඒවා දිනා ගැනීම වෙනුවට එම රාජ්‍යයන් හා මිත්‍ර සම්බන්ධතා ඇතිකරගෙන සුහදව සිටීමට උත්සාහ ගත් අශෝක රජ තම රාජ්‍යය තුළ පැවැති ප්‍රත්‍යන්ත ජනපදවල දූෂිත පාලනයන් නැතිකොට ඒවා ක්‍රමවත්ව සකස් කෙළේය.

බලිබිලි පිදීම සුරා පානෝත්සව ආදිය හෙළා දුටු ඔහු සත්ත්වයන් මැරීම හා උනට වධහිංසා කිරීම වළක්වා ලීමට උත්සහ ගති. මෛත්‍රීයට කරුණාවට හා අහිංසාවට අනුව දිවි මග සකස් කර ගැනුමට උත්සාහ වත්වන ලෙස තම රට වැසියනට උපදෙස් දුන්නේ්ය. තම රාජ්‍යය තුළ ධර්මය පැතිර වීමට දූතයන් පිටත්කළ හෙතෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දූෂණ ආදිය මැඩලීම සඳහා පස් වසරකට වරක් නිලධාරි මණ්ඩලයක් යැ වී ය. එසේ ම අධිකරණය වඩාත් සර්ව සාධාරණ කරනු පිණිස හා යුක්ති සහගත කරනු පිණිස ‘ධර්ම මහාමාත්‍ර’ නමින් නිලධාරි පිරිසක් පත් කළේය. අධිකරණය මගින් වරදකරුවන් කරනු ලැබූ පුද්ගලයන්ට ද අශෝකයන් කාරුණික ලෙස සැලකුවේය. පාලනය පිළිබඳ කාර්යයන් සඳහා ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකදී තමා හමුවීමට අශෝක රජතුමා ඇමැතියන්ට අවසර දී තිබුණේ ය. වර්තමාන ශුභ සාධක රාජ්‍යයෙකින් කෙරෙන සියලු ක්‍රියාවන් අශෝකයන් ගේ පාලනයෙන් භාරත වැසියනට භුක්ති විඳීමට ඉඩ ලැබුණි.

තම රාජ්‍යය තුළ ශිලාලිපි කොටවා ඒ මගින් ධර්මය පිළිබඳ අවබෝධයක් දිගු කලකට ලබා දීමට උත්සාහ කළ රජතෙමේ තම රාජකීය චාරිකාවන් නවතා ධර්මය ප්‍රචාරය කරමින් වන්දනා චාරිකාවන්හි යෙදුණේය. දිග් විජය නවතා ධර්ම විජයේ යෙදී සිටි එතුමා කලින් ප්‍රාන්තීය රාජ්‍ය කිහිපයක පැතිර තිබුණු බුද්ධ ධර්මය ලොව ව්‍යාප්ත කරනු සඳහා විදේශ රටවලට ද ධර්ම දූතයන් යැවී ය. ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයකු වශයෙන් හා කාරුණික පාලකයකු වශයෙන් අශෝක රජතුමා මුළු ලෝකයේ ම ප්‍රසිද්ධ විය. අශෝක සෙල්ලිපි කියවන විට එතුමා ගේ් චරිතයේ ඇති ශ්‍රේෂ්ඨත්වය මැනැවින් පිළිබිඹු වෙයි. එතුමා රටවැසියා ස්වකීය දරුවන් ලෙසත් තමා ඔවුන්ගේ් පියා ලෙසත් සලකා ක්‍රියා කළේය.

එතුමා ශාසන ශුද්ධියත්, ධර්ම සංගීතියත් ධර්ම ප්‍රචාරය සඳහා ධර්මදූතයන් වහන්සේලා නොයෙක් රටවලට යැවීමත් සඳහා මහත් උත්සාහයකින් ක්‍රියාකළේ ධර්ම විජය ඇති කර ගනු සඳහා ය. රටක් ධාර්මික ව පාලනය කරන්නට නම් රට වැසියා ගුණ නුවණින් හෙබි මිනිස් වගක් කිරීමට නම් රාජ්‍ය නායකයා ආදර්ශ සම්පන්න විය යුතු බව එතුමා හොඳහැටි දැන සිටියේ ය. ධර්මාශෝක රජතුමා වැනි ආදර්ශවත් පාලකයෝ ලොව දුර්ලභ වෙති. අශෝක රජතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන කිසිදු රාජ්‍ය පාලකයෙකු නො කළ තරම් ධන පරිත්‍යාගයක්, උදාර සේවාවක් සිදු කළේය. තම රාජ්‍යයෙන් ලැබෙන ශුද්ධ ලාභය තුන් ලක්ෂයක් ධනය මහා සංඝයා ගේ ප්‍රයෝජනය පිණිස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස යෙදවී ය. සුවාසු දහසක් ධර්මස්කන්ධයට උපහාර වශයෙන් අනුහය කෝටියක් ධනය යොදවා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා පූජා කරන ලදී. ශාසනයෙහි බන්ධුත්වය ලබාගනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහරහත් හිමියන් ගේ අනුදැනීම අනුව අවසානයේ සිය දරු දෙදෙනා සසුන්ගත කරනු පිණිස ක්‍රියා කෙළේ ය.

මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ගේ උපාධ්‍යයත්වයෙන් හා මහාදේව මහරහතන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් මහින්ද කුමාරයා සසුන්හි පැවිදි විය. විසි වයස් සම්පූර්ණව සිටි මිහිඳු හිමියෝ පැවිදි වූ දින යේ ම සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. මෙයට ප්‍රථමයෙන් තිස්ස යුව රජ තුමා ද සසුන් හි පැවිදි විය. යුව රජතුමා ගේ පැවිද්ද ගැන ඇසූ සංඝමිත්තා කුමරියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වූ අග්ගිබ්‍රහ්ම කුමාරයා ද දෙවන දිනයෙහි මහ පිරිවරින් යුතුව මහණ වූයේය. සිය සැමියාණන් ගේ සසුන්හි පැවිදි බවට සංඝමිත්තාවන් ගෙන් සම්පූර්ණ අනුමැතිය ලැබුණි. සංඝමිත්තාවන් ගේ් ආදරණීය පුතණුවන් වූ සුමන කුමාරයෝ ද සත් හැවිරිදි වියේදී ම බුදු සසුන් හි උතුම් පැවිද්ද ලැබූහ. මේ සියලුම රාජකීයයෝ සියලු කෙලෙසුන් නසා රහත් බවට පත් වූහ. රාජකීයයන් ගේ පැවිදිවීම හේතුකොට ගෙන බුද්ධ ශාසනය වෙත බෞද්ධ මහජනයාගේ ප්‍රසාද භක්තිය දිනෙන් දින ම දියුණු වන්නට විය. බුදු සසුන වෙත ලාභ සත්කාර සිවු දිගින් ම ගලා එන්නට විය. ධර්මාශෝක චක්‍රවර්තීහු ද ලක්ෂ ගණන් ධනය දිනපතා වැය කරන්නට වූහ. මේ හේතු කොට ගෙන ලාභ සත්කාරයන් ගෙන් පිරිහී ගිය තීර්ථකයෝ ද ශාසනයෙහි පැවිදි වන්නට වූහ. සමහරු තමන් ම සිවුරු දා ගත්හ. අශෝකාරාමයෙහි පොහොය නො කොට සත් වර්ෂයක් ගත විය. දුසිලුන්ගෙන් සසුන කෙලෙසී ඇති බව දැනගත් ධර්මාශෝක චක්‍රවර්තීහු මොග්ගලීපුත්ත තිස්ස මහ රහත් මාහිමියන් ගේ මෙහෙයීම අනුව සසුන් සෝදුවක් කොට සංඝායනාවක් කිරීමට කටයුතු සංවිධානය කර වූහ.

තෘතීය ධර්ම සංගීතිය

සසුනට හොර රහසේ ඇතුළු වී සිටි සැට දහසක් පමණ තීර්ථක සමූහයා සසුනෙන් බැහැර කොට සසුන පිරිසුදු කෙළේ අශෝක අධිරාජයා ය. අනතුරුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වැන්නෙහි දී පැළැලුප් නුවර අශෝකාරාමයේ දී ධර්මාශෝක අධිරාජයා ගේ දායකත්වය හා ආරක්‍ෂා සංවිධානත්වයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහත් මාහිමියන් ප්‍රධාන දහසක් රහතන් වහන්සේලා විසින් තෘතීය ධර්ම සංගායනවා නව මාසයකින් කොට නිමවන ලදී. නව රට සසුන් පිහිටුවනු සඳහා ප්‍රබල බහුශ්‍රැත භික්‍ෂූන් වහන්සේලා යැවීමට කටයුතු අරඹන ලදී. කාශ්මීරයට හා ගාන්ධාර දෙරටට මජ්ඣන්තික තෙරුන් ද, මහිස මණ්ඩලයට මහාදේව තෙරුන් ද, වනවාසී රටට රක්ඛිත තෙරුන් ද, අපරන්ත දේශයට යෝනක ධම්මරක්ඛිත තෙරුන් ද, මහා රාෂ්ට්‍රයට මහා ධම්මරක්ඛිත තෙරුන් ද, යවන ලෝකයට මහා ධම්මරක්ඛිත තෙරුන් ද, හිමවත් පෙදෙසට මජ්ඣිම තෙරුන් ද ස්වර්ණ භූමියට සොණ – උත්තර තෙරවරුන් ද, හෙළදිවට මහා මහින්ද මාහිමියන් ප්‍රධාන ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරවරුන් සතර නම ද යැවූහ. මිහිඳු හිමියෝ ලංකා ශාසන ප්‍රතිෂ්ඨාපනය පිණිස සුදුසු කාලය උදාවනතුරු වේදිස ගිරිනගරයට වැඩම කොට සිටියහ.

ලක් බුදු සසුන පිහිටුවීම

මුටසීව රජුගේ ඇවෑමෙන් බුදු වසින් 236 වැන්නෙහි දෙවැනි තිස්සකුමරා රජ විය. හෙතෙමේ රජ වී නොබෝ දිනකින් කුඩා කළ සිටම තමාගේ අදෘෂ්ට මිත්‍ර ව සිටි දඹදිව දම්සෝ නිරිඳුන් වෙත අගනා මුතු මැණික් පඬුරු රාජ දූතයන් අත යැවී ය. එයට පිළිපඬුරු වශයෙන් ධර්මාශෝක රජතුමා අභිෂේකයට අවශ්‍ය ඉතා වටිනා උපකරණ එවී ය. තමන් බෞද්ධෝපාසකව ඉන්නා බවත් තම මිතුරාත් තුනුරුවන් සරණ ගියොත් යහපත් බවත් දහම් පඬුරක් වශයෙන් කියා එවී ය. එසේ ම තමා එවූ අභිෂේක භාණ්ඩ වලින් යළිත් ස්වකීය මිත්‍රයා අභිෂේක ලබන ලෙසද ඉල්ලා සිටියේ ය. මේ හසුන් පත ලත් තිස්ස රජතුමා මිතුරාගේ වචනයට සැලකිලි වශයෙන් එතුමා එම් පඤ්චකකුධ භාණ්ඩයන් සහිත ව වෙසක් පුනු පොහෝ දිනයෙහි දෙවන වරටත් අභිෂේක ලැබී ය. නොබෝ කලකින් මිහිඳු මහ රහතන් වහන්සේත් ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිවු නමත් ෂඩ් අභිඥලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමී රාජ උපාසකයාත් යන රාජකීය ධර්මදූත පිරිස සමඟ දඹදිව ;ව්දිස ගිරි නුවරින් ලක්දිව අනුරාධපුර මිස්සක පවුවට වැඩම කළහ. මේ ධර්ම දූත පිරිසගේ ලංකා ගමන සිදු වූයේ බු.ව. 236 වැන්නෙහි පොසොන් පුනු පොහෝ දිනයක ය. මෙයට අවුරුදු දෙදහස් ගණනකට පෙර ලක්දිව දෙවනපෑතිස් නිරිඳුගේ රාජ්‍ය සමයේ පොසොන් පොහෝදා, පොසොන් සැණකෙළිය නම් උත්සවයක් විය. මෙය ලංකාවේ පැවැති පැරණි උත්සව විශේෂයෙකි. එදින සතළිස් දහසක් පිරිස පිරිවරාගෙන තිස්ස රජතුමා මුව දඩ කෙළිය පිණිස මිස්සක පර්වතයට ගියේ ය. පස් හා ගල් දෙකින් මිශ්‍ර ව සෑදුණු හෙයින් මිස්සක පබ්බතය යන නම ව්‍යවහාර කරනු ලැබේ. මිහිඳු හිමියන් ගේ ආගමනයෙන් පසු මිහින්තලය, සෑගිරිය යන නම් වලින් හඳුන්වනු ලැබේ. මේ සුන්දර වන පියසෙහි මුව දඩයම් පිණිස පැමිණි පිරිස් සහිත රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ සම්මුඛ විය.

“තිස්ස තිස්ස, මෙහි එන්න” යනුවෙන් හඬක් ඇසෙන්නට විය. රජතුමා මිහිඳු හිමියන්ගේ වචනය අසා මවිත විය. එතුමාට මේ දිවයිනේ මෙසේ නමින් කථා කිරීමට සමත් වෙතත් කෙනෙක් නැත්තාහ. එබැවින් පුදුමයට පත් ව ඒ මේ අත විමසමින් බලමින් සිටින විට ශාන්ත වූ ශ්‍රමණ රූපයක් දක්නට ලැබුණි. ඒ දුටු රජතුමා ඔබ කවරෙක් දැයි විමසී ය. එයට පිළිතුරු වශයෙන් මිහිඳු මාහිමියෝ මහරජ! අපි ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම් හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණි යම් හයි වදාළ හ. රජුගේ බිය හා සැක දුරු විය. ඒ සමඟ ම තම මිතුරු දම්සෝ නිරිඳුන් විසින් එවන ලද පණිවුඩය රජුට සිහි විය. අශෝක රජු ගේ ලිපියෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු බව නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා මිහිඳු හිමියන් ළඟ හිඳ ගත්තේ ය. රජතුමා සමග ගිය පිරිස ද අවුත් එතුමා පිරිවරා ගත් හ. මිහිඳු මාහිමියෝ තමන් සමග පැමිණි අනෙක් සදෙනා ද දැක්වූහ. රජතුමා උන්වහන්සේ ලා දැක මොහු කවර වේලාවක ආවාහු දැයි විචාළේ ය. ‘මා සමඟයැ’ යි මිහිඳු හිමියෝ වදාළහ. මෙබඳු වූ තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත් දැයි රජතුමා ප්‍රශ්න කෙළේ ය. මහ රජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබළන්නේ ය. එහි ත්‍රිවිද්‍යාධාරී, සෘද්ධි බලධාරී පරසිත් දන්නා මහ රහතන් වහන්සේලා බොහෝ වෙති යි මිහිඳු හිමියෝ වදාළහ. නැවැත රජතුමා ඔබ වහන්සේලා වැඩියේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු මා හිමියෝ ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ යි ප්‍රකාශ කළ හ. මෙයින් රජතුමා අහසින් වැඩි බව දැන ගත්තේ ය.

නුවණ විමසීම

දෙවනපෑතිස් නිරිඳුන් සසුන්හි පැහැදවීම සඳහා මිහිඳු මාහිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ආදර්ශ සම්පන්න ය. උන්වහන්සේ දේශනා කරන්නට යන ධර්මයට රජහු සිත තියුණු ලෙස යොමු කරවනු පිණිස අඹරුක් උවමින් හා නෑ උවමින් පළමු කොට මෙසේ නුවණ විමසූ හ.

මහරජ – ‘මේ ගසේ නම කුමක්දැයි’ ළඟ තිබුණු අඹ ගසක් පෙන්වා මිහිඳු මාහිමියෝ රජුගෙන් ප්‍රශ්න කළහ.

රජතුමා - ‘මෙය අඹ ගසෙකියි පිළිතුරු දුන්නේ ය.’

මිහිඳු මාහිමි – ‘මේ හැර තවත් අඹ ගස් තිබේද?’

රජතුමා - ‘එසේ ය, ස්වාමීනී! බොහෝ අඹ ගස් ඇත.’

මිහිඳු මාහිමි – ‘මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද?’

රජතුමා - ‘ස්වාමීනී, බොහෝ ගස් ඇත. එහෙත් ඒ ගස් අඹ නොවේ’.

මිහිඳු මාහිමි – ‘මහරජ, ඒ අඹත් නො අඹත් හැර තව ගස් තිබේද?’

රජතුමා - ‘ඇයි ස්වාමිනි, මේ අඹ ගස?’

මිහිඳු මා හිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’

මිහිඳු මාහිමි – මහරජ!. තොපට නෑයෝ සිටිත් ද?’

රජතුමා - ‘එසේ ය, ස්වාමීනි, බොහෝ නෑයෝ සිටිත්’

මිහිඳු මාහිමි – ‘මහරජ, තොපට නො නෑයෝත් සිටිත්ද?

රජතුමා - එසේ ය, ස්වාමීනි! බොහෝ නො නෑයෝත් සිටිති.’

හිඳු මාහිමි –ඒ නෑයෝත් නො නෑයෝත් හැර තවත් අය සිටිත්ද?

රජතුමා - ‘ඇයි ස්වාමීනි, මම?’

මිහිඳු මාහිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’

මෙසේ පරීක්‍ෂා කොට බැලූ මිහිඳු මාහිමියනට තිස්ස රජතුමා හොඳ නුවණැතියකු බව අවබෝධ විය. මිහිඳු මාහිමියෝ පසුව පිරිස් සහිත රජතුමාට චුල්ල හත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. දේශනාව අවසානයෙහි රජතුමා සතළිස් දහසක් පිරිස සමඟ තිසරණ පන්සිල් හි පිහිටුවීමෙන් බෞද්ධයෙක් විය.

එයින් තුනුරුවනෙහි උසස්කම ද භික්‍ෂුවගේ චාම් ජීවිත පැවැත්ම ද ශ්‍රේෂ්ඨ ගුණ ගරුක ජීවිතය ද අවසානයෙහි සිවුසස් දහම් ද ප්‍රකාශ කරන ලදී. දෙවන දිනයෙහි රජගෙදර දී පේතවත්ථු - විමානවත්ථු සච්චසංයුත්ත යන මෙයින් ධර්ම දේශනා කළ හ. අනුලා බිසව ඇතුළු පන්සියයක් ස්ත්‍රීහු ඒ ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පැමිණිය හ. ‘පේතවත්ථු - විමානවත්ථු දෙකින් වදාළ ධර්මය පරලෝ ගැනත් දෙවියන් හා භූතයන් ගැනත් හැඟීමක් විශ්වාසයක් ඇතිව සිටි ඒ පිරිසට තදින් සිත් හි කා වැදී ගියේ ය. තමන් පිළිගෙන ඇති මතයට ද විරුද්ධ නැතැයි යනුවෙන් අසන්නන් තුළ හැඟීමක් ඇති වූ පසු ඔවුහු වඩ වඩාත් එයට කන් යොමු කළහ. සච්ච සංයුත්තයෙන් වදාළ ධර්මයෙන් සසර දුකත් එයින් නික්මෙන ම¼ගත් දැක්වූ හ.

මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට දැන්වීම නිසා දෙවන දිනයෙහි දහස් ගණනින් ජනයා රජ මාලිගය අසලට රැස් වූ හ. ඒ සියලු දෙනාට ම ඇතුළු පුර අවකාශ මද බව දැන ගත් රජ තෙමේ මඟුලැත්හල සරසා එහි අසුන් පනවන්නට නියම කෙළේ ය. අසුන් පිළියෙළ වූ පසු මිහිඳු මා හිමියෝ සහ පිරිවරින් එහි වැඩම කොට දේවදූත සූත්‍රය දේශනා කළ හ. දේශනාවසානයෙහි දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටිය හ.

පසුව එය ද ඉඩ මද වූයෙන් නන්දන වනෝද්‍යානයෙහි අසුන් පැනවූ හ. මිහිඳු හිමියෝ එහි දී ඔවුනට බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්ම දේශනා කළ හ. බාලපණ්ඩිත සූත්‍රයෙන් නුවණින් පව් කොට දෙලොව ම පිරිහෙන සැටිත් නුවණින් ක්‍රියා කොට දෙලොවින් ම දිනන සැටිත් ප්‍රකාශ කළ හ. මේ හැම සූත්‍ර දේශනාවකින් ම වාසනාවන්ත ගුණ ගරුක ජීව්තයක් ගත කරනු පිණිස මිනිසකු විසින් ජීවිතය පැවැත්විය යුතු ආකාරය ඉගැන්වූ හ. බුද්ධ ධර්මය අනුව ලක්වැසි ජනතාව ගේ ජීවිත හැඩ ගස්වාලීමෙහි මේ සූත්‍ර ධර්ම මහත්සේ උපකාරී විය. පසුව දෙවනපෑතිස් රජතුමා විසින් මහමෙවුනා උයන සංඝයාට පූජා කළ පසු එය ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. ථෙරවාදයේ බලකොටුව වූ මහාවිහාරයේ ප්‍රතිෂ්ඨාපනය මහමෙවුනා උයනින් ආරම්භ විය. උපෝසථ සංඝ කර්මාදිය කරනු පිණිස සීමාවක් අවශ්‍ය ය. සංඝ සම්මතයෙන් මහමෙවුනා උයන උපෝසථාගාරයක් බවට පත් විය.

දෙ තිසක් ඛණ්ඩ සීමාවන් සම්මත කිරීමෙන් පසු සීමා බන්ධනය අවසානයේ මහ පොළොව කම්පා වූවා ය. මිහිඳු මාහිමිපාණන් වහන්සේ ක්‍රමයෙන් තුන්වන, සිවුවන, පස්වන, සවන, සත්වන දිනයන්හි ආසිවිසෝපම – අනමතග්ගිය – ඛජ්ජනීයක ගි ගෝමයපිණ්ඩික – ධම්මචක්කප්පවත්තන යන සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ග ඵලාවබෝධයට පත්කර වූ හ. මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝයා ශාසනය බබුළුවමින් වැඩ විසූ හෙයින් නන්දන වනය පසුව ‘ජෝතිය වන’ නමින් ප්‍රසිද්ධ විය. රජු සමග මහමෙවුනා උයන වටා ඇවිද සීමාමාලකාදිය පිහිටු විය යුතු තැන් නියම කොට පසුව සමන් මල් පිදීමෙන් අටමස්ථානයන් පිහිටන තැන් සම්මත කරන ලදී. 1. මාලක සීමාව, 2. ජත්තාඝර පොකුණ, 3. මහාබෝධිය 4. ලෝවාමහපාය 5. සංඝ ලාභ භාජනස්ථානය 6. චතුස්සාලාව පිහිටි තැන 7. රත්නපාලි චෛත්‍ය පිහිටි තැන 8. තිස්සමහාරාමය යන ස්ථානත් ථූපාරාමය, මිරිසවැටිය, ඉසුරුමුණිය හා වෙස්සගිරිය යන පූජනීය ස්ථානත් මහමෙවුනා උයනෙහි පිහිටුවන ලදී.

සමාජ විපර්යාසය

මිහිඳු මාහිමියන්ගෙන් උදාවුණු අභිනව සංස්කෘතිය හේතුකොටගෙන විශාලතම සමාජ විපර්යාසයක්, ආධ්‍යාත්මික විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක් ලක්වැසියන් අතර ඇති විය. මිහිඳු හිමියන් විසින් ඉගැන් වූ පිළිවෙත් මඟ සාමකාමී එකක් විය. චාම් දිවි පෙවෙතකට ආධාර විය. භික්‍ෂූන් වහන්සේ රටට ආදර්ශයක් විය. රට හදන උපදෙස් මාර්ගය කියාදෙන භික්‍ෂූන් වහන්සේ රජු ඇතුළු සියලු රටවැසියාට ම මහඟු ආදර්ශයක් විය.ලක්දිව හැම ගමකම ෂහාරාරාමයන් පිහිටුවන ලදී. ඒවා සිංහල සංස්කෘතියේ කේන්ද්‍රස්තානය බවට පත් විය.

අනුරපුර මිහින්තලා කන්දෙන් පැන නැගී ලංකාවේ දශ දිශාවට ගලා ගිය නිර්මල ධර්ම ගංගාව නිසා සියලු සිංහලයෝ, බෞද්ධයන් බවට පත් වූහ. අධර්මයෙන් වෙළී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් මුලා වී පැවැති මේ දිවයිනේ උපබුදු මිහිඳු මාහිමියන් විසින් සදහම් මිණි පහන දල්වා සියලු ගනඳුරු නැති කොට අපේ රට සද්ධර්මාලෝකයෙන් ඒකාලෝක කරන ලදී. සිංහලයාගේ ඇස් ඇරුණේ, නුවණැස පහළ වූයේ, සත්‍ය ධර්මාලෝකය උදා වූයේ, සමස්ත ලංකා ධරණී තලය ම සදහම් ආලෝකයෙන් එළිය වැටුණේ මේ උත්තරීතර ඓතිහාසික මහින්දාගමනයෙන් පසුව ය. ගස් ගල් පර්වතවලට පුද පූජා කරන්නවුන්, මළවුන්, යකුන් අදහන්නවුන්, ක්‍රමයෙන් තුරන් වෙද්දී බමුණන් හින්දු ධර්මයත් සමග ද ජෛනයන් ජෛනාගමයත් සමගද ලක් පොළොවින් බැහැර වී යද්දී, සදහම් අමා පණිවුඩය ලංකාවේ අස්සක් මුල්ලක් නො හැර පැතුරුණේ ය. බෞද්ධ ප්‍රතිපත්තීන් මත සැකැසුණු බෞද්ධ ශිෂ්ටාචාරයක් පැන නැගී ස්ථිර පදනමක් අනුව බුද්ධාගමය හෙළදිව මුල් බැස ගියේ ය. මෙසේ සත්‍ය ධර්මයෙන් ආශිර්වාද ලත් සිංහලයෝ ක්‍රමයෙන් ප්‍රබුද්ධ පිරිසක් බවට පත් වූහ.

හෙළ කලාවේ උපත

ලක්දිව තිබෙන ජාතික හා ආගමික නෂ්ටාවශේෂයන්ගෙන් අපට ප්‍රදර්ශනය වන්නේ හෙළ කලාවේ උපත බුදුසමයෙන් එනම්, මිහිඳු යුගයෙන් පසුව ආරම්භ වුණු බව ය. සිංහ, කොටි වැනි බිහිසුණු සතුන්ගේ වාස භූමීන් බවට පත් ව තිබුණු විශාල ගල්ගුහා ලොව්තුරා මිහිර කැවුණු විහාර ලෙන් බවට පත් වූයේත්, වනයේ තිබෙන මහ කළු ගල්වලට කරුණා, මෛත්‍රී, සමාධි ගුණ කැවී සිංහලයාගේ කලාකාමීත්වය ඔප් නංවමින් ශාන්ත බුදු පිළිම බවට පත් වූයේත්, අලි වලසුන් ගේ කෙළි බිම් බවට පත් ව තිබුණු විශාල වන පෙදෙස් රමණීය විහාරාරාමයන් ගෙන් හා අලංකාර මාලිගාවන් ගෙන්ද මනහර පුෂ්පෝද්‍යානයන් ගෙන් ද සිත්කලු පොකුණුවලින් ද යුත් ඓතිහාසික ජයභූමින් බවට පත් වූයේත් බුදු සමය නිසා ය.

මහ කඳු සිඛරයක් වූ සමනොළ කන්ද ලක්‍ෂ සංඛ්‍යාත භක්තිමතුන් ගේ ශුද්ධ භූමියක් බවට පත් වූයේත්, අනුරාධපුරයත්, මිහින්තලයත්, පොළොන්නරුවත්, කතරගම කිරිවෙහෙරත්, සිතුල් පවුවත්, සීගිරියත්, දඹුලු විහාරයත් අපට ඇති වූයේත් බුදුසමය නිසා ය.දුටුගැමුණු, මහපැරකුම්බාවන් වැනි වීරෝදාර ප්‍රතාපවත් රජවරුන්, සිරි සංඝාබෝධි, බුද්ධදාස වැනි බෝධිසත්ව ගුණෝපේත රජ දරුවන්, සීගිරි, කාශ්‍යප වැනි කලාකාමී නරවිරුවන් සුරනිමල - ථෙර පුත්තාභය වැනි රණකාමී යෝධයන්, අරිෂ්ට – මලියදේව වැනි සිංහල රහත් හිමිවරුන්, අනුලාවන් වැනි රහත් මෙහෙණින්, ලීලාවතී, කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්ත රාජමෙහෙසින්, විහාරමහා දේවී - ;සීමා දේවී වැනි වීරෝදාර හෙළ මවුවරුන්, හේමාවන් වැනි ගුණ නුවණින් හෙබි කුල කතුන් මේ රටේ පහළ වූයේත් බුදුසමය නිසා ය.

මහාසාගරය වැනි ගැඹුරු නුවණින් හෙබි දිඹුලාගල කාශප, ශාරිපුත්‍ර, ශ්‍රී රාහුල වැනි සඟ රජ හිමිවරුන්, ධර්මසේන හිමි, වෑත්තෑවේ හිමි, මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමි, වීදාගම මෛත්‍රෙය හිමි, ගුරුළු ගෝමී, විදුසක්විති, හා දෙවන පැරකුම්බාවන් වැනි මහා පඬිවරුන් බිහිවූයේත්, බුදු සමය නිසා ය. අපේ සිංහල සාහිත්‍යයට ධර්ම ප්‍රදීපිකාව, අමාවතුර, බුත්සරණ, දහම් සරණ සඟ සරණ, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ජාතක පොත, කව් සිළුමිණ, කාව්‍යශේඛරය, ගුත්තිලය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව හා සුභාෂිතය වැනි ගද්‍ය පද්‍ය ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයන් බිහිවූයේත් බුදුසමය නිසා ය.

මේ අත්‍යුත්තම පොසොන් පුනු පොහෝ දිනය වූ කලී දීප ප්‍රසාදක මහා මහේන්ද්‍ර අනුබුද්ධයන් වහන්සේ පිළිබඳවත් දඹදිව අශෝක නරනාථයන් පිළිබඳවත් අතිවිශිෂ්ට අනුස්මරණයන් එකිනෙක පෙරට ගෙන එන අතිශයින් ම වැදගත්, අතිපරිශුද්ධ දිනයෙකි.

මේ අතිශ්‍රේෂ්ඨ මහා පුරුෂයන් පිළිබඳව, අතිසම්භාවනීය චරිතාපදානයන් පිළිබඳව එක්වන් මෙනෙහි කිරීම මෙදින කළ හැකි මහා කුශල කර්මයක් වන්නේ ය. විසිතුරු සිද්ධීන් ගෙන් විචිත්‍රවුණු අශෝක චරිතාපදානය දෙස නෙත් කොණින් හෙළන බැල්මක් වූව ද හැම බෞද්ධ සිතකටම මහත් ආලෝකයක් ගෙනදීමට තරම් හැම අතින්ම ප්‍රබල ය. එතුමා විසින් ගිරි, පුවරු, ටැම් ආදියෙහි කොටවා තමන් සතු මහා රාජ්‍යයෙහි තන්හි තන්හි පිහිටුවන ලද ධර්ම ලිපි වලින් අංශුමාත්‍රයක් කියවා මෙනෙහි කිරීම වූවද සියල් සත්නට වැඩ සාදාලීමෙහි එක සේ පොහොසත් ය. බෞද්ධ සභ්‍යත්වයෙහි දරුවා නැළවුණු තොටිල්ල යැයි ඉතිහාස විශාරදයන් විසින් විවරණය කරනු ලබන මිහින්තලය ගැන පොසොන් පොහෝදා මෙනෙහි කරන ඕනෑම බෞද්ධයෙකු වූවද ප්‍රසාදසංවේගයෙන් ඇලළී යනවාට කිසිම අඩමානයක් නැත. මහා භාරත අධිරාජ්‍යය වැනි ඓශ්චර්යකින් අනූන වූ දේශයක සිංහාසනය අලුයම ලූ කෙළපිඬක් මෙන් ඉවත දා මිහින්තලාවේ ගල්ලෙනක් තුළ මුළු ජීවන යුගයක් ගෙවමින් සිංහල රටටත් සිංහල මිනිසාටත් නො නැසෙන ආලෝකයක් ගෙන දුන් අනුබුදු මිහිඳු මාහිමියන් වෙනුවෙන් බැඳී ඇති ණයබර පොසොන් පොහෝදා වැඩි වැඩියෙන් පෙනී යතොත් ඒ අතිශයින් ම ස්වාභාවික ය.

බුදු සමයේ ශුභ්‍ර කීර්තිය කැටි ගැසුණු කලක් මෙන් අනුරාධපුර මහ මෙවුනා උයනේ ථූපාරාමය, ඉසුරුමුනිය, මහාබෝධිය, වෙස්සගිරිය, මහා විහාරය, රුවන්වැලි සෑය, ජේතවනය, අභයගිරිය, මිරිසවැටිය, ලෝවාමහා පාය ආදී, පූජනීය ස්ථානත් මිහින්තලා අපරාජිත ශුද්ධ භූමියේ කණ්ඪක චේතිය, අට සැටලෙන් අම්බස්ථල චෛත්‍යය ආදී පූජනීය ස්ථානත් පහළවූයේ මහින්දාගමනය නිසා ය. සිසිල් දිය පිරුණු දෙවැනි මුහුදු වැනි මහ වැව් හෙළදිව තැනින් තැන නිර්මාණය වූයේත් උතුරු මැදයේ මහා නිම්නය රමණීය කෙත් යායක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වූයේත්, පොසොන් පුනු පොහෝදා ලැබුණු සම්බුද්ධ ධර්ම දායාදය කරණකොට ගෙන ය.

පණ්ඩුකාභය යුගයෙන් පසු මේ සිංහල රටේ උසස් දියුණුවක් උදා වූයේ බෞද්ධෝදයෙන් පසුව ය. කය සිත දෙකින් ම හැම ලෙසින් මෙසේ සැනසුණු සිංහලයෝ නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක නිර්මාතෘවරයෝ වූහ. මෙසේ සිංහලයන් ගේ ලෞකික ලෝකෝත්තර හැම දියුණුවකටම මුල් වූයේ මිහිඳු මාහිමියන් විසින් ඇති කොට වදාළ බුදු සමය බව කිව යුතු ය. සිංහලයන් ගෙන් කිසිදු ගෞරවයක් බලාපොරොත්තු නොවී හුදු කරුණාවෙන් යුතුව ස්වදේශය හැර දමා විදේශ ගත ව අර්ධ ශත වර්ෂයකට අධික කාලයක් මුළුල්ලෙහි කරන ලද උදාර ශාසනික සේවය සිංහල ජාතියත් ලංකා සම්බුද්ධ ශාසනයත් පවත්නා තාක් අමරණීය ව පවතිනු ඇත. මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිණ මුණ ගැසුණු මිස්සක පවුවෙන් හමා එන සුළං රැල්ල පවා සිංහල සැදැහැතියා ගේ ගතට සිතට ලබා දෙනුයේ විශාල සැනසිල්ලකි. ගල් පඩි එක් දහස් අටසිය අසූවකට අධික සංඛ්‍යාවක් ගෙවා අවුරුදු පතා ලක්‍ෂ ගණන් බැතිමතුන් මිහින්තලා පවුවට නැග සැනසුම් සුසුම් හෙළන්නේ මිහිඳු මාහිමියන් විසින් එහි සිට අරඹන ලද සාම විප්ලවයට කෘතෝපහාර දැක්වීම වශයෙනි.

‘පොහොය වර්ණනාව‘ කෘතියෙනි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.