Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආයු පිරිහෙන අනුභවය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා අනායුස්සා. කතමෙ පඤ්ච . අසප්පායකාරී හොති. සප්පායෙ මත්තං න ජානාති. අපරිණත භොජි ච හොති. අකාලචාරී ච හොති. අබ්‍රහ්මචාරී ච. ඉමෙ ඛො භික්ඛවෙ ධම්මා අනායුස්සාති.

පින්වත්නි,

අද ධර්ම දේශනාවට මාතෘකා වූයේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ පඨම අනායුස්ස සූත්‍රයයි. මේ සූත්‍රයට පඨම අනායුස්ස යනුවෙන් යොදා ඇත්තේ දුතිය අනායුස්ස සූත්‍රයක් තිබෙන නිසයි. දී ඇති නමට අනුව සූත්‍රයෙන් විස්තර කරන්නේ ආයුෂය පිරිහෙන කරුණු කීපයක්. ලෝකයේ පහළ වී ඇති ජීව හා අජීව සෑම දෙයකට ම ආයු කාලයක් තිබෙන බව පේනවා. සරල උදාහරණයක් හැටියට අප අවට ඇති වෘක්ෂලතා පිළිබඳ හොඳින් නිරීක්ෂණය කළහොත් ඒ බව පැහැදිළි කරගත හැකියි. එක් එක් වර්ගයේ ගස්වැල්වලට නියමිත ආයුකාලයේ වෙනසක් තිබෙන බවත්, ඒ හැම ගහකට , වැලකට ම නියමිත ආයුෂයක් තිබෙන බවත් පැහැදිළියි.

පින්වත්නි, අප හැම දෙනා ම කිසියම් නිශ්චිත ආයුෂයක් රැගෙන මෙලොව උපත ලබා තිබෙනව. ජීවත්වීමට උත්සාහ කරනවයි කියන්නේ මේ ආයු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට වෙහෙසවීමයි. පුද්ගලයාගේ මරණය පිළිබඳ ව සඳහන් වන තැනදී ආයුක්ඛය යනුවෙන් දැක්වෙන්නේ උපරිම ආයුෂය නිමාවට පත්කොට මිය යන අය පිළිබඳවයි. අප හැම දෙනා ම උත්සාහ කරන්නේ උපරිම ආයුෂ ගෙවා ජීවිතයෙන් සමුගැනීමටයි. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ උපරිම ආයුෂය ගෙවීමට කලින් පුද්ගලයාගේ ආයු ප්‍රමාණය පිරිහෙන කරුණු කිහිපයක්. එනිසා හැම කෙනෙකුට ම මේ සූත්‍රයේ ඇතුළත් කරුණු පිළිබඳ ව අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත් වෙනව. “අසප්පායකාරී හොති “ යනුවෙන් සඳහන් වෙන්නේ නොගැලපෙන , ගෝචර නොවෙන ආහාරපාන ලබාගැනීමයි . “ සප්පායෙ මත්තං න ජානාති “ යනුවෙන් දැක්වෙන්නේ ගැලපෙන, පථ්‍ය වුව ද තමා ගන්නා ආහාරපානවල ප්‍රමාණය පිළිබඳ නොසලකා හැරීමයි. තුන්වෙනුව දැක්වෙන්නේ “අපරිණත භොජි ච හොති “ යනුවෙන් නොපැසුණු ආහාර ගැනීමයි. පින්වත්නි, මේ කරුණු තුන ම ආහාරපාන පිළිබඳ ව දේශනා කර ඇති නිසා එකට ගෙන කරුණු දැක්වීම සුදුසුයැයි සිතෙනවා. ලෝකයේ හැම කෙනෙකුගේ ම ජීවිතය පවත්වාගෙන යාමට වුවමනා කරන මූලික කරුණකි ආහාර. “ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා “ යන බුදුවදනින් ඒ බව පැහැදිළියි. අප ජීවත් කරවන, ජීවිත පවත්වාගෙන යාමට වුවමනා පෝෂණය හා ශක්තිය ලබා දෙන ආහාර ම ජීවිතය දුර්වල කිරිමටත්, ශක්තිය හීන කිරීමටත්, ආයු ප්‍රමාණය අඩු කිරීමටත් බලපාන බවයි මේ සූත්‍රයෙන් පැහැදිළි වන්නෙ. ආහාර නිසා ආයු, වණ්ණ, සැප , බල , ප්‍රඥා වැඩෙන බව අපි දන්නා කරුණක්. එසේ වන්නේ තමා ගන්නා ආහාරපාන පිළිබඳ ව මනා අවබෝධයකින් ක්‍රියා කිරීමෙන් පමණයි. පින්වත්නි , බුදුදහමේ ඉතා වැදගත් ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙනවා. භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත පරිභෝජනයේ දී තමන් ආහාර ලබාගන්නේ කුමක් පිණිස ද යන්න මෙනෙහි කළ යුතු බව පෙන්වා දී තිබෙනවා යනුවෙන් පැවැත්ම සඳහාත් ජීවිතය පහසුවෙන් පවත්වා ගෙන යාමටත්, ආහාරපාන ලබා ගන්නා බව මෙනෙහි කළ යුතු බව දැක්වෙන්නෙ.

බුදුරජාණන් වහන්සේ වදාළ ආහාර ප්‍රතිපත්තියේ ප්‍රමුඛ තැනක් දී තිබෙන්නේ ආහාරය මත්තඤ්ඤුතා හෙවත් පමණ දැන ආහාර ගැනීමටයි. මෙය අංශ කීපයකින්ම විස්තර කර තිබෙනවා. නීරෝගීමත් බව ගැන හිතන පතන ගිහි පැවිදි හැම කෙනෙක්ම මේ පිළිබඳව සැලකිලිමත්වීම වටිනව. මාත්‍රඥ බවේ එක් කාරණයක් තමයි පරියේසනමත්ත ආහාරපාන සෙවීමේදී තම හිතේ තියෙන ආශාව පිරිමසා ගැනීමට නොව තමන්ට යැපීමට ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට උනන්දුවීම එයින් අදහස් කරනවා.

ආහාරයට ගන්නා ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත්වීම දෙවැන්නයි. බුදුරජාණන් වහන්සේ අධි පෝෂණයත්, ඌණ පෝෂණයත් දෙකම ප්‍රතික්‍ෂේප කළා. නීරෝගිමත් කෙනෙකුට වුවමනා සමතුලිත පෝෂණ තත්ත්වය යි. ඒ සඳහා තමන් ගන්නා ආහාරයේ ප්‍රමාණය පිළිබඳව සැලකිය යුතුමයි. හැමවිටකම තමන්ට වැළඳීමට හැකි ප්‍රමාණයට බත් බෙදා ගැනීම, ඊට සරිලන පමණට ව්‍යංජන ලබා ගැනීමත් සිහිනුවණින් යුතුව ආහාර වැළඳීම, වටපිට නොබලා, කතා බහින් වැළකී ආහාර ගැනීම, හොඳින් මිශ්‍රකර ගැනීම, මුඛයට ගත් ආහාර පිඩ මනා ලෙස විකා ගැනීමත්, මුඛයේ ඇති ආහාර ගිලින තුරු වෙනත් බත් පිඩක් ඇතුල් නොකිරීම සහ මුඛයට පහසුවෙන් ඇතුල් කළ හැකි පරිදි බත් පිඩු ප්‍රමාණවත් ලෙස සකසා ගැනීමත් පිළිබඳව සැලකිලිමත් වීම බෞද්ධ ඉගැන්වීමයි. කුස පිරෙන තුරු ආහාර නොගෙන බත් පිඩු හතරකට පමණ ඉඩ තිබිය දී ඉතිරි කොටස ජලයෙන් පුරවා ගත යුතු බව ද දැක්වේ. පහසුවෙන් දිරවීම පහසු විහරණය හා අපතේ යාම වළක්වා ලීමත් පුද්ගලයාට නීරෝගී බව ඇතිකරලීම සඳහා මේ ප්‍රතිපත්ති උගන්වා තිබෙනවා.

අපේ සමාජයේ ඇතැම් දෙනෙක් බෝ නොවෙන රෝගවලින් පෙළෙනවා. දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධික වීම හා ගැස්ට්‍රයිටිස් වැනි රෝග. මේවාට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නිසි ආහාර ප්‍රතිපත්තියක් නොමැති වීමයි. එපමණක් නොවේ, විෂ සහිත සිරුරට අගෝචර මත්පැන් මත්ද්‍රව්‍ය හා මත්කුඩු වැනි දේවල් පාවිච්චි, කිරීම නිසා කොතරම් ප්‍රමාණයක් රෝගීන් බවට අකාලයේ පත්වෙලා ආයුෂ කෙටිකරගෙන තිබෙනවා ද?

අනායුස්ස සූත්‍රයේ දැක්වෙන හතරවන කාරණය නම් තමාට නොගැළපෙන , අගෝචර තැන්වල නොකල්හි ගැවසීම සහ හැසිරීමයි. ගිහි තැනැත්තෙකුගෙ ජීවිතය ගොඩනගා ගැනීමට උපදෙස් රාශියක් ඇතුළත් කොට සංවර්ධිත සමාජයකට මඟ පෙන්වන සිගාලෝවාද සූත්‍රයේ ධනය විනාශයට යන හා පුද්ගලයා දුගතියට රැගෙන යන මුඛයක් ලෙසට “ විකාල විසිඛා චරියානු යෝගෝ “ යනුවෙන් අවේලාවේ වීදි සංචාරය කිරීම දක්වා තිබෙනවා. පින්වත්නි, බ්‍රහ්මචාරී කියල කියන්නෙ උසස් හැසිරීමට යි. පස්පව් කිරීමට ලජ්ජා හා බිය නැති කිසිවෙකුගේ හැසිරීම උසස් වන්නෙ නැහැ. අනායුස්ස සූත්‍රයෙහි දේශනා කර ඇති මේ ආයුෂය පිරිහෙන කරුණු ගැන හොඳින් අවධානය යොමුකර ඒවායින් මිදී ජීවිතය ගත කිරීමට හැකි වුණොත් මනුෂ්‍ය ජීවිතය සැප හා සතුට පිරි ශ්‍රේෂ්ඨ ජීවිතයක් හැටියට උපරිම ආයු කාලය ගත කිරීමට හැකියාව ලැබෙනව. පරලොව සුගතිගාමී වී උතුම් නිවන අවබෝධ කර ගැනීමට ද එය පිටිවහලක් වෙනව.

හැම දෙනාටම නිවන් සුව ලැබේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.