Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුරුමයේ බුදු දහම

ඈත අතීතයෙහි බුරුමය බ්‍රහ්ම දේශය, මරම්ම දේශය ආදී වූ විවිධ නම්වලින් හඳුන්වා ඇත. බුරුමයෙහි දේශ සීමාවන් ලෙස ගොඩබිමෙන් ඉන්දියාව, බංගලිදේශය, තායිලන්ත්‍ය, ලඕසය ආදී වූ රටවල් ඇති අතර දකුණෙන් බෙංගාල බොක්ක ද බුරුමයේ සීමාවන් ලෙස පිළිගැනේ. බුරුමය මැඳින් ගලා බස්නා වූ විශාල ගංඟාව වනුයේ ඉරවඩිය. ඈත අතීතෙයි මෙහි ජනාවාස පිහිටවා තිබුණු බව බුරුම ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. ලංකාව මෙන්ම බුරුමය ද අතීතයෙහි යටත් විජිත රාජ්‍යයක් බවට පත් වි තිබුණු අතර එම රටට නිදහස හිමි වනුයේ 1948 ජනවාරි 04 වැනිදාය. මෙහි වර්තමාන අගනුවර වනාහි රුන්ගුන් නුවරයි. බුරුම ඉතිහාසය පරීක්ෂා කිරීමේදී එය ප්‍රධාන වශයෙන් කොටස් 03කට බෙදා දැක්විය හැකිය.

ආරම්භයේ සිට 10 සියවස දක්වා වූ පුරාතන යුගය

වන සියවසේ සිට 15 වන සියවස වූ මධ්‍යතන යුගය

16 වන සියවසේ සිට මේ දක්වා වන නූතන යුගය

අපගේ මාතෘකාවට ඇවැසි වන්නේ ඉහත සඳහන් කළා වූ දෙවැනි කොටස් වූ වන සියවසේ සිට 15 වන සියවස දක්වා වූ කාල පරාසය යි. මෙම යුගයෙහි බුරුමයේ ඓතිහාසික වූද, ශාසනික වූද, විශාල සිදුවීම් සිදුවී ඇත. ඒ අතර ශ්‍රේෂ්ඨ නරපතියන් බිහිවීම, ථෙරවාද බුදුදහම බුරුමය පුරා ව්‍යාප්ත වීම ලංකාව සහ බුරුමය අතර විශාල සම්බන්ධතාවයක් පැවැත්වීම සහ ජප්පට හිමියන්ගේ් මූලිකත්වයෙන් බුරුමයෙහි අලුත් නිකායන් බිහිවීම ආදි වූ විශාල තොරතුරු රාශියක් මේ යුගයේදී සිදු විය.

බුරුම දේශයට බුදුදහම පැමිණීම හා සම්බන්ධව විවිධ මතවාද උද්ගත වන්නේ ය. ඒ අතර සමහරෙක් ප්‍රකාශ කරන්නේ බුරුම දේශයට බුදුදහම බුදුන් ධරමාන කාලයේදීම, ගමන් කළ අතර තවත් සමහරකු ප්‍රකාශ කරන්නේ ධර්මාශෝක රජුගේ ධර්ම ප්‍රචාරයෙහි ප්‍රතිඵලයක් ලෙස බුරුමයට බුදුදහම ලැබුණු බවයි.

එහි ඓතිහාසික ලේඛනවල සඳහන් වන ආකාරයට ධර්මදූත පිරිස ‘ඉරවඩ්’ ගඟ අසබඩ ‘මර්තබාන්’ සමුද්‍රවංකය ඔස්සේ පැමිණ ගංගාමිටියාවත ඔස්සේ පහළට ගමන් කොට මධ්‍යම බුරුමය දක්වා ධර්මය ප්‍රචාරය කොට ඇත. නමුත් ‘බ්ලැග්ඩර්න්’ නමැති පුරාවිද්‍යාඥයා කල්‍යාණි ශිලා ලිපියට අනුව ප්‍රකාශ කරන්නේ දකුණු බුරුමයේ ‘මෝඩ්’ නම් ප්‍රදේශයට සෝණ- උත්තර දෙනම පැමිණ බුරුමයෙහි ථෙරවාද බුදුදහම ස්ථාපනය කළ අතර ඒ නිසාම පුරාණයෙහි බුරුමය සුවණ්ණභූමිය යනුවෙන් ද හඳුන්වන බවයි.

ඓතිහාසික ලේඛනවල සඳහන් වන ආකාරයට බුදුරදුන් ධරමාන කාලයේදීම බුරුම දේශයට වැඩම කොට ඇති අතර එහි දී තමන් වහන්සේට කුස තණ අට මිටක් පූජා කළ තපස්සු භල්දුක නමැති වෙළෙඳ දෙබෑයන්ට කේශ ධාතු ස්වල්පයක් දුන් අතර එය ඔවුහු සිංගුත්තර කඳු මුදුනෙහි දාගැබක තැන්පත් කළහ. එය නූතනෙය් ස්වේදගොන් යනුවෙන් හඳුන්වයි. නමුත් විශ්වාසනීත්වයෙන් පිළිගත හැකි කරුණ වන්නේ අශෝක රජුගේ ධර්ම ප්‍රචාරයෙහි ප්‍රතිඵලයක් ලෙස බුරුම දේශයට බුදුදහම ලැබුණු බවයි.

බුරුමයේ සිටි ශ්‍රේෂ්ඨ පරපතියෙකු ලෙස අනුරුද්ධ රජතුමා හැඳින්විය හැකිය. මොහු බුරුමය පාලනය කළේ ක්‍රි.ව. 1044 - 1077 යන කාල පරාසයේදී ය. මේ කාලයේදී මුළු බුරුම පුරා ථෙරවාද බුදුදහම ව්‍යාප්ත වී තිබුණු බව සඳහන් වේ. මෙකල මෙහි අගනුවර වූයේ පගාන් රාජ්‍යය යි.

මෙවකට බුරුමයේ ප්‍රාදේශීක පාලකයෙකු වූ මතොහරි රජු වෙත ත්‍රිපිටක ග්‍රන්ථ තිබුණු බව ප්‍රකට විය. කෙසේ හෝ මේ ත්‍රිපිටක ග්‍රන්ථ ලබා ගන්නා ලෙස ෂින් අරහත් භික්ෂුන් අනුරුද්ධ රජුට පැවැසූහ. මේ රජුගෙන් පොත් ලබා ගැනීම දුෂ්කර වූ හෙයින් ඔහු සමඟ සටන් කොට ඔහු ජීවග්‍රහයෙන් ගෙන එම දේශයේ තිබුණු ත්‍රිපිටක ග්‍රන්ථ තිහක්ද, ධාතු කරඬු ආදිය පගාත් රාජ්‍යයට ගෙනාවේය. මේ කරුණු වලින් විශද වන්නේ පේගු රාජ්‍ය (හංසවතී) ථෙ ටොන් (සුධම්මවතී) ආදී ප්‍රදේශවල බුද්ධ ධර්මය ව්‍යාප්තව පැවැති බවය.

ඉන්පසු මෙතුමා එම ග්‍රන්ථ තැන්පත් කිරීම සඳහා විශාල පුස්තකාලයක් ගොඩනඟා ඇත. මේ අනුව එකොළොස්වන සියවසේ මුල් භාගයේ සිට දහතුන්වන සියවසේ අවසානය දක්වා ම පගාත් නුවර බුරුම බෞද්ධ සංස්කෘතියෙහි මූලස්ථානය වූවා පමණක් නොව එහි බෞද්ධ අධ්‍යාපනය සහ බෞද්ධ කලා පිළිබඳ ව පැතිරි පැවැතී කීර්ති රාවය නිසා මෙය නැගෙනහිර ආසියාතික රටවල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මධ්‍යස්ථානය ද විය.

අනවරත රජ මනොහරී රජුට අයිතිව තිබූ පොත් ලබා ගැනීමෙන් පසුව, අරහත් භික්ෂුවගේ අවවාද අනුශාසනා පරිදි බුද්ධාගම රාජ්‍යාගම බවට පත් කළේ ය. රජතුමාගේ පරිශ්‍රමය නිසා පසුකාලීනව ශාසන සංශෝධන කිහිපයක් ද ඇතිවිය. මෙතුමා බුරුමයේ සෑම කඳු මුදුනකම චෛත්‍ය කර්මාන්ත සිදු කළ අතර ඒවා ‘පැගෝඩා’ යන විශේෂ නාමයෙන් හඳුන්වා ඇත.

මෙම රජතුමාගෙන් පසුව රාජ්‍යය උරුම වන්නේ අනුරුද්ධ රජුගේ පුත් ‘කෙයං සිත්ථ ට ය’. මොහු ක්‍රි.ව 1084 - 1113 දක්වා කාලය රාජ්‍ය විචාරන්නේය. ක්‍රි.ව. 1093 අයත් ‘සෙවසන්සෝ’ සෙල් ලිපියකට අනුව මෙතුමා සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත් බුද්ධගයාව ප්‍රතිසංස්කරණය කරලීම සඳහා දූත පිරිසක් යවා ඇත. මේ වූ කලී බුරුම රජෙකු සහ ඉන්දියාව හා සංස්කෘතික සම්බන්ධකම් ඇති කර ගැනීමට තැත් කළ ප්‍රථම අවස්ථාව ලෙස සැලකිය හැකි ය.

ක්‍රි.ව. 13 වන සියවසේ දී ටාටාර්වරුන්ගේ ආක්‍රමණය හේතුකොට ගෙන බුරුමය සෑම අතින්ම පිරිහෙන්නට විය. පිරිහුණු දේශය යළි සමෘද්ධිමත් කරනුයේ 15 වන සියවසේ මධ්‍ය භාගයේදී රජකළ ධම්මචේතිය රජතුමා ය.

මෙතුමා විශාල වශයෙන් ශාසනික, සංස්කෘතික, ආගමික සේවාවන් සිදුකොට ඇති අතර බුරුම ඉතිහාසයද ලියා ඇත. එම ඉතිහාසය කල්‍යාණි ශිලා ලිපිය යනුවෙන් හඳුන්වා ඇත.

කෙසේ වුවද බුරුම රාජ්‍යයට බුදුදහම පැමිණීමෙන් පසු විවිධ මිථ්‍යා දෘෂ්ටි අදහමින් සිටි බුරුම වැසියන් නියම ලෙස බුදුදහම අදහන්නට විය. තවද සෑම පුරුෂයකුම සුළු කලයකට හෝ පැවිදි විය යුතුය. විවාහ වීමේදී පරික්ෂා කරන එකම දෙය පැවිදි වී ඇති බවයි. මේ ආදි වශයෙන් බෞද්ධ සංස්කෘතික විපර්යාසයන් රාශියක් බුදුදහම පැමිණීමෙන් පසු සිදුවිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.