Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශෝකය, සන්තාපය කනගාටුව, පශ්චාත්තාපය , ඊර්ෂ්‍යාව, පළිගැනීම , භය, සන්ත්‍රාසය, පිළිකුල , අසතුට , අප්‍රසාදය, කැමැති දේ නොලැබීම හා ඇකැමැති දේ ලැබීම නිසා ඇතිවන චිත්ත ස්වභාවය, විරෝධය, ආක්‍රමණය, උරණවීම ආදී ගැටුම් මූලික හෙවත් අරමුණු සමග හැප්පෙන, ප්‍රතික්ෂේප කරන පටිඝ ස්වභාව සියල්ලම ද්වේශයේම ව්‍යුත්පන්න ස්වරූප වෙත්.

පෘථග්ජන පුද්ගලා ලෝභ,ද්වේශ, මෝහ යන අකුසල මූල සමග බැඳී සිටියි. මේ අකුසල මුල්වල නිරුද්ධ වීම - සියලු දුකින් නිදහස් වීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. නිවන ආවරණය කරන පංච නීවරණ පිළිබඳ ධර්ම විභාගයේදී හා දස අකුසල් දැක්වීමේදී ව්‍යාපාදය ලෙසින් ද, සත්ත්වයා සසරට බැඳ තබන දස සංයෝජන පිළිබඳ විග්‍රහයේදී පටිඝය ලෙසින්ද, චිත්ත චෛතසික පරමාර්ථ ධර්ම විභාගයේ දී ද්වේශය ලෙසින් වූද දැක්වෙන්නා වූ , “අරමුණු සමග ගැටෙන චිත්ත ස්වභාවය “ පිළිබඳ විමසීම, මෙම ලිපියේ අරමුණ යි.

සාමාන්‍ය ව්‍යවහාරයේදී තරහව , කෝපය, ක්‍රෝධය , වෛරය යන නම් වලින් ද්වේශයේ ක්‍රියාකාරී ස්වරූපය හැඳින්වෙයි. තරහව, මෙහි ප්‍රාථමික ස්වරූපයයි. පැවැත්මෙන් එය කෙටි කාලීන වුවත් උද්වේගකර හෝ එසේ නොවීය හැකි ය. උද්වේගකර නොවන අවස්ථාවේදී තරහව සක්‍රීය ලෙස ප්‍රකට නොවූවත් පුද්ගලයාගේ භාෂිතය (වචන) වෙනස් වෙයි. උද්වේගකර අවස්ථාව කෝපයයි.

කයෙහි ප්‍රකෘති ස්වරූපය වෙනස් වීමෙන් එය ප්‍රකට වෙයි. ශරීරයේ සෛල වල වේගවත් ඔක්සිකරණයක් (දැවීමක්) සිදු වීමෙන් හද ගැස්ම වැඩිවී ආශ්වාස ප්‍රශ්වාස (කාය සංස්කාර) ක්‍රියාවලිය සීඝ්‍ර වෙයි. රුධිරය දුර්වර්ණ වීමෙන් මුහුණෙහි පැහැපත් බව නැති වෙයි. සිතෙහිත් කයෙහිත් සමබරතාව බලවත් ලෙස බිඳ වැටෙයි. එනිසා අත පය වැනි තැන් ගැහෙයි. ක්‍ෂණයක් පාසා ඉපදෙමින් නිරුද්ධවෙමින් කෝටි ප්‍රකෝටි වාරයක් පාසා ද්වේශ මූලික චිත්ත වීම අතොරක් නැතිව ඇතිවන නිසා අරමුණ සමග ගැටීම දිගටම සිදුවෙයි. සිත කය දෙකම ගිනි ගනී. ද්වේශය එකොළොස් ගිනි වලින් එකකි. වේදනා පක්‍ෂයේ දී එය දැඩි දුක්ඛ වේදනාවකි. වායෝ ධාතුවේ ප්‍රබල නැගීමෙන් කයෙහි සසල බවද තේජෝ ධාතුවේ නැගීමෙන් දාහය ද ඇති වෙයි. රුධිර පීඩනය දරාගත නොහැකි වීමෙන් රුධිර නාලිකා පුපුරා මරණය ද සිදු විය හැකි ය.

අංගුත්තර නිකායාන්ත දේශනා වල සඳහන් පරිදි,කෝපයෙන් මඩනා ලද පුද්ගලයා කොපමණ දේ වලින් සැරසී සිටියත් දුර්වර්ණ වෙයි. දැකීමට අපි‍්‍රය වෙයි. ඉහළතම සුව පහසු සයනයක නිදා ගත්තත් නිදි නො ලබා දුක සේ ම සිටියි. හේ අන්‍යයන්ට අනර්ථයක් කිරීමට ප්‍රථම තමන්ටම අනර්ථයක් කර ගනියි.

දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක ලබයි. තමාට නපුර පිණිස පවතින දේ යහපත් යැයි සිතයි. කෝපයට පත්වන අය සැරව පිරි වනයක් සේ ය. සුළු දෙයකින් වුවත් එය පුපුරා සැරව ගලයි .පරලොව දුගති ගාමි වීම හෝ දැකීමට පි‍්‍රය නොවන අවලක්‍ෂණ ශරීරයක් ඇතිවීම සිදුවෙයි. රාගය උත්සන්න වූ තැනැත්තාට මෙන්ම ද්වේශය උත්සන්න වූ තැනැත්තාට ද තැනක් නොතැනක්, මවක්, පියෙක්, සහෝදර සහෝදරියන් නොපෙනෙයි.

ද්වේශයේ නැගී සිටීමට උපස්ථම්භක වන මෙනෙහි කිරීම් 9 ක් ධර්මයෙහි සඳහන් වෙයි.

1.අසවලා තමන්ට අනර්ථයක් කළේ ය, දැන් කරමින් සිටින්නේ ය, මතුවට කරන්නේ ය යනුවෙන්, කාලත්‍රය අනුව මෙනෙහි කිරීම තුනකි .

2.අසවලා මගේ හිතවතාට , නෑයාට , උපකාරකයාට අනර්ථයක් කළේ ය. දැන් කරමින් සිටින්නේය මතුවට කරන්නේය යනුවෙන් මෙනෙහි කිරීම තුනකි.

3.අසවලා මගේ පස මිතුරාට අර්ථයක් කළේ ය. දැන් කරමින් සිටින්නේ ය, මතුවට කරන්නේ යි යනුවෙන් ආකාර තුනකි.

මේවා ‘ නව ආඝාත වස්තු ‘ ලෙස හැඳින්වෙයි. මේවාට අමතරව ද්වේෂය හටගන්නා තවත් ආකාරයක්ද වෙයි. ගලන පය හැපුණු විට, වැලක පය පැකිලී ගිය විට, ස්වභාවික හේතු මත භව භෝග හානි වූ විට, බලාපොරොත්තු ඉටු නොවු විට, ආදී අවස්ථාවල දී අවිඤ්ඤාණක වස්තු කෙරෙහි හෝ අසංඛාරිකව තමාගේ ක්‍රියා කෙරෙහිම හෝ තරහව උපදියි. එය දස වැනි ආකාරයයි.

සෙය්‍ය සහ හීන මානයෝද ද්වේශය ඉපදවීමට ඍජුවම සමත් වෙත්. බොහෝ විට එහි ප්‍රතික්‍රියාව වන්නේ, ඵරුස වචනයයි. තමා වසඟයෙහි අනික් අය ක්‍රියා කළ යුතු යැයි සිතන්නාට, ද්වේශය ඉපදීමේ අවස්ථා වැඩි ය. මවුපියන් තම දරුවන්ට අවවාද අනුශාසනා කරන විට ඔවුහු කිපෙති. ඒවා නුරුස්නා ස්වභාවය ද, ද්වේශයම ය. අපේ ව්‍යවහාරයේ පවතින යක්‍ෂාවේශ වීම, තද වීම යනුද, ද්වේශයටමය. ඍජුව නොදනිතත්, ශෝකය, සන්තාපය කනගාටුව, පශ්චාත්තාපය , ඊර්ෂ්‍යාව, පළිගැනීම , භය, සන්ත්‍රාසය, පිළිකුල , අසතුට , අප්‍රසාදය, කැමැති දේ නොලැබීම හා ඇකැමැති දේ ලැබීම නිසා ඇතිවන චිත්ත ස්වභාවය, විරෝධය, ආක්‍රමණය, උරණවීම ආදී ගැටුම් මූලික හෙවත් අරමුණු සමග හැප්පෙන, ප්‍රතික්ෂේප කරන පටිඝ ස්වභාව සියල්ලම ද්වේශයේම ව්‍යුත්පන්න ස්වරූප වෙත්. සත්ත්වයා ගර්භාෂයේ වෙසෙන කලල අවස්ථාවේ පටන් තමන් අකැමැති අරමුණු සමග ගැටෙයි. ළදරු අවදියේ ද්වේෂය පළ කැරෙන ප්‍රතිචාරය වන්නේ, හැඬීමයි. වයසින් වැඩෙමින් බාහිර ලෝකයේ නොයෙකුත් අත්දැකීම් ඇසුරෙන් ස්වකීය ආත්ම දෘෂ්ටිය පෝෂණය වෙත්ම කාමච්ඡන්දය හා ව්‍යාපාදය යන නීවරණ ධර්ම කාසියක දෙපැත්ත මෙන් පෝෂණය වන්නට පටන් ගනියි. අවස්ථාව එළැඹි විට වහා නැගී සිටින ද්වේෂයා අනුසය වශයෙන් අප තුළ පවතින්නා වූ ක්ලේශ ධර්මයකි. තමාගේ අදහස් වලට අන් අය එක¼ග නොවන විට ද, තමා පි‍්‍රය නොකරන දේ දකින විට ද, තමාට හිමියැයි සිතන දේ තව කෙනකුට හිමිවන විටද, තරඟයේදී පරාජය හිමි වන විට ද කෑමක් බීමක් හරි හැටි නො තිබුණු විට ද දේශපාලන ක්‍රියාකාරකම් වලදී ද ද්වේශයට සක්‍රීය වීමට අවස්ථාව ලැබෙයි.

කෝපය තවදුරටත් වර්ධනය වූ විට අරමුණු සමග ඍජු සම්බන්ධය නැති වුවත්, මනෝද්වාරවජ්ජන චිත්ත වීථි සන්තති ක්‍රියාත්මක වීම නිසා ක්‍රෝධය හටගනියි. මෙය ක්‍ෂණයකින් ක්‍රියාවට නැංවෙන අවස්ථාව, ක්‍ෂණික කෝපය යි. කෙනකුගේ ජීවිතය පවා නැසීමට හැකියාවක් එහිදී නිරායාසයෙන් ඇති වෙයි.

ක්‍රෝධය බවට පත් වූ ද්වේශ සිත බහුල වශයෙන් වැඩෙන විට එය වෛරය (උපනාහය) බවට පත් වී සසරේ ඉදිරිභව කරා දිගටම ඇදී යයි. දේවදත්ත කථා පුවත , මීට නිදසුනකි.

ද්වේශය බාහිර අරමුණක් ප්‍රත්‍ය කොට නිෂ්පන්න වුවත්, ඊට හේතුව පවතින්නේ එය හටගත් තැනැත්තා තුළමය. ද්වේශය නිරුද්ධ කරගත හැකි ධර්මතාවක් වන්නේ, ඒ නිසාය. මේ කාරණය නිවන් මගට පිවිසීමට කැමැති පුද්ගලයා විසින් පසක් කර ගත යුතු දෙයකි. ‘ධම්මං සරණං ගච්ඡාමි ‘ යන සරණාගමන පාඨයේ සම්භාව්‍ය අරුත වන්නේ, ත්‍රිවිධ අකුසල මූල වල ක්‍රියා සාධක ස්වභාවය බුදුරදුන් වදාළ ධර්මය තුළින් දැක ඒවායේ නිස්සරණය සඳහා ධර්මය සරණ කර ගැනීමයි. ද්වේශයේ ස්වභාවය ද ආදීනවය ද තමා තුළින්ම නොදකින තෙක් අපි එහි වහලුන් වෙමු.

ද්වේශයට ප්‍රතිපක්‍ෂ පටිපාටිය, ද්වේශය ඉපදීමේ අවස්ථා නැති කරන මෛත්‍රියයි. මෛත්‍රියේ උපයෝගීතාව හා වලංගු බව පවතින්නේ බව තරහව, කේන්තිය, කෝපය, ක්‍රෝධය, වෛරය වැනි තත්ත්ව සන්තානය තුළ නොමැති ෂට නොව, ඒවා උපන් විට ය. මෛත්‍රී භාවනාව යනු ද්වේශ මූලික ප්‍රතික්‍රියා ඇති නොවන පරිදි සිත වැඩීමයි. එහිදී නිශ්චිත අවස්ථාවක් නිමිති කර නොගෙන, තමන්ගෙන් පටන්ගෙන කුදු මහත් සමස්ත සත්ත්ව වර්ගයා කෙරෙහි අද්වේශ චෛතසිකය එල්ල කැරෙයි.මෛත්‍රී චින්තාව යනු, ද්වේශ මූලික සිත් පහළ වත්ම, ඒ විගසම , ආදේශ කළ යුතු කුසල ප්‍රතික්‍රියාවයි. එනම් අදාළ අරමුණ (අවස්ථාව) සමග සහබද්ධව ද්වේශයට එරෙහිව අද්වේශය ඉදිරියට තැබිය හැකි වීමේ, මානසික පුහුණුවයි. එම චින්තාව ආත්මීය සාධන ඉක්මවා යාවජීව ලෙස භාවිතාය , බහුලීකතාය ‘ වශයෙන් දේශනා කොට ඇති පරිදි ප්‍රගුණ කිරීම, මෛත්‍රී පාරමිතාව යි.

එහි ආනිශංස එකොළසක් මෙත්තානිසංස සූත්‍රයෙහි දැක්වෙයි. නමුත් මෙත් සිත ප්‍රගුණ කළ යුතු වන්නේ ඒ ආනිශංස ලැබීමේ මූලික අපේක්‍ෂාව ඇතිව නොවෙයි. එසේ කළහොත් එහිදී පතනු ලබන්නේ, අන් අයගේ සැපත නොව තමන්ගේම ආත්මීය යහපතමය. එය තෘෂ්ණාව මූලික ය. මෛත්‍රිය යනු තණ්හා , මාන, දිට්ඨි යන ප්‍රපංචයන්ගෙන් වියුක්ත වූ චෛතසිකයකි. ආදරය යනු, මෛත්‍රිය යැයි වරදවා ගත යුතු නොවෙයි. ආදරය, රාගයට සම්බන්ධ ‘මමංකාරය පෝෂණය කරන ආවේදනයකි. එහි ආත්මාර්ථකාමී වූ ඇලීම් සංඛ්‍යාත ස්වභාවය ඇත. එය අරමුණු වන්නේ, තම රුචියට සරිලන, සීමිත අය හෝ දේ වෙතය. මෙත් සිත එසේ නොවෙයි. එයට සීමා නැත. ආදරය බිඳ වැටුණු පසු ද්වේශයෙන්ම කෙළවර වන බව කාටත් ප්‍රත්‍යක්‍ෂ කරුණකි.

යම් අරමුණක් පිළිබඳ ද්වේශ සිතක් පහළ වූ විගස, එයින් ප්‍රතික්‍රියාවක් ඇතිවීමට ප්‍රථම, වහාම සතිය පිහිටුවා ගෙන එය හඳුනා ගැනීම එයින් බැහැර වීමට හොඳම ක්‍රමය ලෙස බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ සේක. තරහව සමනය කරගන්නා අපූර්ව ක්‍රමවේදයක් විතක්ක සන්ඨාන සූත්‍රයේ (ම.නි.) සඳහන් වෙයි. අකුසල් අරමුණින් බැහැර වී ඒ වෙනුවට ආදේශ වශයෙන් කුසල් අරමුණක් ගැනීම, එහි පළමුවැන්නයි. එයද නිශ්ඵල නම්, අකුසල් අරමුණෙහි ආදීනව මෙනෙහි කරන ලෙස අනුශාසනා කැරෙයි. එයද අසාර්ථක නම් ද්වේශය ඉපදවූ ප්‍රස්තුත අරමුණ සිතෙන් ඉවත් කළ යුතුවෙයි. එය ඵල රහිත නම් තරහවේ ස්වභාවය තැන්තැන්හි නුවණින් විමසිය යුතුය. එනම් එය තමාට කෙසේ බලපාන එකක්ද? කොතැනින් කෙළවර විය හැකි එකක්ද? යහපතක් වන එකක්ද? අයහපතක් වන එකක්ද? ආදී වශයෙන් බැලීමයි. එම සතරවන උපක්‍රමය ද නිශ්ඵල වෙයි නම්, දත්මිටි කා ගෙන දිව තල්ලට තද කරගෙන අකුසල් අරමුණට නිග්‍රහ කළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. කවර උපක්‍රමයක් හෝ යොදා, ද්වේශයාගේ හටගැන්මට ඉඩ නොතැබීම ම උතුම් බව මෙහිදී අවධාරණය කැරෙයි. එයම කෙනෙක් ලබන ලොකුම ජයග්‍රහණයයි. “අක්කෝධේන ජිනේ කෝධං “ යනුවෙන් ක්‍රෝධ නොකිරීමෙන් ම ක්‍රෝධය ජය ගත යුතු බව දේශිතය.

එමෙන්ම තමා මෙන්ම පෘථග්ජන වූ අන් අය ද ද්වේශය මගින් තැවීම දැවීම නොකැමැති ව අන් අය තරහ ගන්වන කිසි ක්‍රියාවක් කයෙන් හෝ වචනයෙන් නොකිරීම ද ගුණවත් දැහැමි පුද්ගලයාගේ පිළිවෙතක් බව නුවණින් වටහා ගත යුතුය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.