Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතය දුකෙන් මුදවන සප්ත විධ ‘සත්කාරය‘

තථාගත බුදුරජුන්ගේ විශ්මිත අවබෝධය අදහා ගැනීමයි, ශ්‍රද්ධාව. ශ්‍රද්ධා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඤාණ දර්ශන වශයෙන් පිළිවෙළින් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළකුයි, තථාගතයන් වහන්සේ අපට කියලා දුන්නේ. මේ නිසා මේ ධර්මය අනුගමනය කරන කෙනාට සුන්දර ජීවිතයක් ඇති කරගන්න පුළුවනි. පී‍්‍රතිමත් ජීවිතයක් ඇතිකරගන්න පුළුවනි.

හිතන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයත්, සම්බුද්ධ ශාසනයත් එක විට ලැබෙනවා කියන්නේ, කෙනකුට ලැබෙන අතිදුර්ලභ භාග්‍යයක් තථාගතයන් වහන්සේ , ඒක ‘ක්ෂණ සම්පත්තිය ‘ හැටියටයි වදාළේ.

බුදු රජාණන් වහන්සේ “අක්ඛණ සූත්‍රයේ දී “ වදාළා ලෝකයේ ක්ෂණ සම්පත්තිය නැති අයමයි වැඩි, කියලා. නමුත් අපට දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ලොවුතුරු බුදු සසුන මුණ ගැහිල තියෙනවා. ඒ වගේම මේ වනකොට අපි ඉන්නේ, මිනිස් ලෝකයේ ඉතින්, අපි මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න මහන්සි ගන්න ඕන. මනුෂ්‍ය ජීවිතයෙන් ගත යුතු හැබෑම ප්‍රයෝජනය තමයි ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීම .

ඉතිං ඒ සඳහා මහෝපකාරී වන දෙයක් තමා, අකුසල් ප්‍රහානය කිරීමට මහන්සි ගැනීමත් කුසල් උපදවාගැනීමට මහන්සි ගැනීමත්, මොකද මේ ලෝකයේ යමෙක් සෝවාන් වුණානම් සකදාගාමි වුණා නම් අනාගාමී වුණා නම් අර්හත්වයට පත් වුණා නම් ඒ හැම කෙනෙක්ම අකුසල් ප්‍රහාණය කළ අයයි. කුසල් උපදවා ගත්ත අයයි. හැබැයි මේක ඉබේ සිද්ධ වෙන දෙයක් නොවේ. මොකක්ද? අකුසල් ප්‍රහාණය කිරීමත්, කුසල් උපදවා ගැනීමත් කියන දේ, කරුණු හතකට ගෞරව කරන කෙනාට පමණයි ලැබෙන්නේ කියලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ “සක්කාර ගරුකාර සූත්‍රයේ දී “ වදාළා.

සාරිපුත්ත මහරහතන් වහන්සේ හුදකලාවේ භාවනාවේ වැඩ ඉන්නකොට උන්වහන්සේට මෙවැනි අදහසක් ඇති වුණා. මොකක්ද? අකුසල් ප්‍රහාණය කරන්න නම් කුසල් උපදවාගන්න නම් කවර දේකට ගෞරව කළ යුතු ද? කවර දේකට සත්කාර කළ යුතු ද කියලා ප්‍රඥාවෙන් උත්තම භාවයට පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට වැටහුණා කරුණු හතකට ගෞරව කළොත් නම් අකුසල් ප්‍රහාණය කරන්නත් පුළුවනි, කුසල් උපදවා ගන්නත් පුළුවන් බව.

දැන් බලන්න අපේ අදහසත් ඒක නේ. මොකක්ද? අකුසල් ප්‍රහාණය කිරීමත්, කුසල් උපදවා ගැනීමත් ඉතින් අපි බලමු. ඒ සාරිපුත්තයන් වහන්සේට වැටහුණු කුරුණු හත මොනවද කියලා.

01. ශාස්තෘන් වහන්සේට ගෞරව කිරීම
02. ශ්‍රී සද්ධර්මයට ගෞරව කිරීම
03. ආර්ය ශ්‍රාවක සංඝරත්නයට ගෞරව කිරීම
04. ශික්ෂාවට ගෞරව කිරීම
05. සමාධියට ගෞරව කිරිම
06. අප්‍රමාදයට (කැපවීමට) ගෞරව කිරීම
07. දහම් පිළිසඳරට ගෞරව කිරීම

මේකේ වැදගත්ම පිළිවෙත තමා ශාස්තෘන් වහන්සේට ගෞරව කිරීම (ශාස්තෘ කියන්නේ මඟ පෙන්වන්නා ) අපව සතර අපායෙන් සදහටම නිදහස් කරන මඟ කියලා දුන්න. අපව මේ තුන් භවයෙන්ම සදහටම නිදහස් කරන මඟ කියලා දුන්න, අපේ පරම පූජනීය ශාස්තෘන් වහන්සේ තමයි, මේ භද්‍ර කල්පයේ සතර වෙනුවට ලොව පහළ වී වදාළ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතිං කෙනෙක් ඒ තථාගතයන් වහන්සේට ගෞරව කරනවා නම් (හැබෑම ගෞරවය තමා උන් වහන්සේගේ අනුශාසනාව පිළිපැදීම) සත්කාර කරනවා නම්, ඒ කෙනා අනිවාර්යයෙන්ම අකුසල් ප්‍රහාණය කරන්නත්, කුසල් උපදවාගන්නත් සමත් වෙනවා කියල, සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා.

ඒ වගේම උන්වහන්සේට වැටහුණා යමෙක් ශාස්තෘන් වහන්සේට ගෞරව කරනවා නම් එයා අනිවාර්යයෙන්ම ශ්‍රී සද්ධර්මයට ගෞරව කරනවාමයි කියලා.

දැන් බලන්න අවිජ්ජා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා, අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ ලෝක සත්වයාගේ ආරම්භක කෙළවරක් තථාගතයන් වහන්සේටත් පනවන්න බැහැ කියලා. ඉතිං එතරම් දීර්ඝ සංසාරයක අපි විටෙක නිරයේ ප්‍රේත ලෝකයේ, විටෙක තිරසන් යෝනියේ, විටෙක මිනිස් ලෝකයේ විටෙක දෙවියන් අතර ඉපදෙමින් මැරෙමින් ආවා. ඒ අපි ඒසා දීර්ඝ සංසාරය ගෙවාගෙන ආවේ .

ආලෝකයක් මැද්දෙන් නම් නොවේ. මේක කළුවරේ ආපු ගමනක්. අපි කළුවරේම ඉපදුණා. කළුවරේම ජීවත්වුණා. කළුවරේම මැරිලා ගියා. අපේ මේ අවාසනාවන්ත ජීවිතයට ආලෝකය සපයන්නේ, හිරුමඬලකින්. ඒ හිරු මඬල තමයි තථාගත බුදුරජාණන් වහන්සේ කියන්නේ. ශාස්තෘන් වහන්සේ‍‍ට යම් කෙනෙක් ගෞරව කරනවා නම් එයා ලොකු දෙයක් කරගත්තා. මොකක්ද කරගත්තේ? අකුසල් ප්‍රහාණය කරන, කුසල් උපදවාගන්නා වූ වැඩපිළිවෙලට එයා බැසගත්තා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේට වැටහුණා යම්කිසි කෙනෙක් ශාස්තෲන් වහන්සේට ගෞරව කරනවානම්, ශ්‍රී සද්ධර්මයට ගෞරව කරනවානම් ඒ කෙනා අනිවාර්යයෙන්ම ආර්ය ශ්‍රාවක සංඝරත්නයටද ගෞරව කරනවා කියලා. ඒ වගේම කෙනෙක් ශාස්තෘන් වහන්සේට ගෞරව කරනවා නම්, ශ්‍රී සද්ධර්මයට ගෞරව කරනවා නම්, ආර්ය ශ්‍රාවක සංඝරත්නයට ගෞරව කරනවා නම්, එයා අනිවාර්යයෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද විනය, ශික්ෂා පදවලටත් ගෞරව කරනවාමයි කියලා. ඒ වගේම යමෙක් ශාස්තෘන් වහන්සේට ගෞරව කරනවා නම් ශ්‍රී සද්ධර්මයට ගෞරව කරනවා නම්, ආර්ය ශ්‍රාවක සංඝරත්නයට ගෞරව කරනවා නම් ශික්ෂාවට ගෞරව කරනවා නම්, එයා අනිවාර්යයෙන්ම සමාධියටත් ගෞරව කරනවාම යි.

ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේට වැටහුණා , යමෙක් ශාස්තෘන් වහන්සේට ගෞරව කරනවා නම්, ශ්‍රී සද්ධර්මයට ගෞරව කරනවා නම්, ආර්ය ශ්‍රාවක සංඝරත්නයට ගෞරව කරනවා නම්, ශික්ෂාවට ගෞරව කරනවා නම්, සමාධියට ගෞරව කරනවා නම්, එයා අනිවාර්යයෙන්ම අප්‍රමාදයටත් ගෞරව කරනවාමයි කියලා. හිස ගිනි ගත්ත කෙනෙක්. ඒ ගින්න නිවන්න මහන්සි ගන්නේ යම් සේ ද, ඊටත් වඩා මහන්සියක් ගන්න ඕන, ධර්මයේ හැසිරීමට අප්‍රමාද වීම පිණිස, අපේ ජීවිතයේ විපාක පිණිස කර්ම සකස් වෙලා තියෙන්නේ කොයි ආකාරයෙන් ද (භවය) ඒකට අනුව උපතක් කරා යනවා.

(භව පච්චයා ජාති) සාමාන්‍ය ලෝක සත්වයාට මේ සංසාරය ගැන (පටිච්චසමුප්පාදයේ පැවැත්ම ගැන තියෙන අනවබෝධය නිසාම මෙවැනි බරපතල ගැටලුවක් අපේ ජීවිතයේ තියනවා කියලා තේරෙන්නේ නෑ. ඒ නිසා එයා ඇසට පෙනෙන රූපයෙන් මුසපත් වෙනවා. මිනිස්සු විතරක් නෙවෙයි. දෙවි මිනිස් ලෝකයාම ඇසට පෙනෙන රූපය ජීවිතයේ නවාතැන්පල කරගෙන ඉන්නවා. ඒකෙන්ම සතුටු වෙනවා. නමුත් ඇසට පෙනෙන රූපය වෙනස් වෙලා යනවා. ඒ වෙනස්වීම දරාගන්න බැරිව දෙවි මිනිස් ලෝකයාම දුක සේ කාලය ගත කරනවා. (ගයිහ සූත්‍රය) ඇසට පෙනෙන රූපය විසින් එයාව යටපත් කරලා දානවා. එයාට බෑ රූපය යටකරන්න. ඒ නිසාම, ඇස හේතුකොටගෙන කෙලෙස් වැගිරෙන එක විතරයි සිදු වන්නේ. (අවස්සුත පරියාය සූත්‍රය) මේ නිසා එයාට සංසාරයට දුක තමා රැස් වන්නේ. එයා නිවනින් ඈත්වනවා.

දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ “ තිබ්බේධික සූත්‍රයේ දී “ වදාළා

“අත්ථි භික්ඛවේ ආසවා නිරයගාමිනියා “

අප නිරයේ උපතක් කරා ගෙන යන ආශ්‍රව අප තුළ තිබෙනවා කියලා.

“අත්ථි භික්ඛවේ කම්මං නිරය වේදනියං “

නිරයේ විපාක දෙන්න තියෙන කර්ම නම් තියෙන්නේ එහිදී විඳවන්න ඕන. අප ආස්‍රව විසින් උපතක් කරා අරගෙන යනවා. කර්මය විසින් විඳවන්න සලස්වනවා. මේක තේරුම්ගන්න කෙනා තමයි, සසරට බිය ඇතිකරගන්නේ. අන්න ඒ කෙනා මේකෙන් නිදහස් වන්න අප්‍රමාදී වනවා. ඉතිං ඒ අප්‍රමාදී බව එකපාරටම ඇතිකරගන්න බෑ කියලයි, සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළේ. මේක පිළිවෙළින් කළ යුතු දෙයක්.

තථාගතයන් වහන්සේ “ පහාරාද සූත්‍රයේ දී ගෞතම ශාසනය මහ සයුරටයි , උපමා කළේ. මහ සයුර පටන්ගත් තැනම ගැඹුර නෑ. වෙරළින් පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන් ගැඹුරට යනවා. අන්න ඒවගේ තමා “පින්වත් පහාරාද මාගේ ශාසනයත් පිළිවෙළින් අරහත්වය දක්වා යන එකක් “ කියල උන්වහන්සේ වදාළා. මේ ධර්මය ශ්‍රද්ධාවෙන් පටන්ගන්නා එකක්. මොකක්ද ශ්‍රද්ධාව ?

“සද්ධහති තථාගතස්ස බෝධිං “

තථාගත බුදුරජුන්ගේ විශ්මිත අවබෝධය අදහා ගැනීමයි. ශ්‍රද්ධාව ශ්‍රද්ධා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති විමුක්තිඤාණ දර්ශන වශයෙන් පිළිවෙළින් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළකුයි, තථාගතයන් වහන්සේ අපට කියලා දුන්නේ.

මේ නිසා මේ ධර්මය අනුගමනය කරන කෙනාට සුන්දර ජීවිතයක් ඇති කරගන්න පුළුවනි. පී‍්‍රතිමත් ජීවිතයක් ඇතිකරගන්න පුළුවනි. ඔබත් ගෞතම ශාසනයට ඇතුළුවෙලා (තිසරණයේ පිහිටීමෙන්) මනුස්සයකුට අත්විඳින්නට ලැබෙන අතිදුර්ලභ සුන්දර අත්දැකීම, අත්දකින්න ඔබට කායික මානසික සැහැල්ලු බව (පස්සද්ධිය) ඇති වනවා. ඉතිං එවැනි සුන්දර ධර්මයක් තථාගතයන් වහන්සේ අපට කියලා දුන්නේ. උන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඬලින් ගලාහැලුණු හැම බණ පදයකම අමා දම් රස වෑහෙනවා. යමෙක් මේ ලෝකේ සතුටින් ජීවත් වනවා නම්, ඒ මේ ධර්මයට පැමිණි තථාගත ශ්‍රාවකයන් පමණයි. ඊළඟට සාරිපුත්තයන් වහන්සේට වැටහුණා යමෙක් ශාස්තෲන් වහන්සේට, ශ්‍රී සද්ධර්මයට , ආර්ය ශ්‍රාවක සංඝයාට, ශික්ෂාවට , සමාධියට , අප්‍රමාදයට ගෞරව කරනවා නම්, දහම් පිළිසඳරටත් ගෞරව කරනවාමයි කියලා. ඉතින් මේ කරුණු හතට ගෞරව කරන කෙනා අකුසල් ප්‍රහානය කරනවාමයි , කුසල් උපදවාගන්නවාමයි කියලා, සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා. අපට ඒ සුන්දර අත්දැකීම බොහෝ දුර නොවේවා!

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.