Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

උපත ස්වභාවය කොට ඇති අප ඉපදුණ දේවල්වල ස්වභාව නොදන්නව වගේ උපත ස්වභාවයකොට ගත් දේවල් වලින්ම යි සැප ලබන්න බලාපොරොත්තු වෙන්නෙ. මොහොතක් පාසා පරණ වෙන අප, පරණ වෙන දේවල් හෝ අයගෙන්මයි සැප හොයන්නෙ. ලෙඩවෙන අප, සැප සොයා යන්නෙත් ලෙඩවෙන අය ළඟටමයි. බලන්න පෘථග්ජන ජීවිතය එකම විහිළුවක් නොවෙයි ද කියල?

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
දුක්ඛමේව හි සම්භෝති
දුක්ඛං තිට්ඨති චේති ච
නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති
නාඤ්ඤත්‍ර දුක්ඛා පමුච්චති

පින්වත්නි,

සංයුත්ත නිකාය භික්‍ඛුණී සංයුත්තයෙ වජිරා තෙරණිය විසින් දේශනා කරනු ලැබූ මේ මාතෘකා පාඨය යටතේ අද ධර්ම දේශනාව පවත්වනු ලබනවා. සිද්ධාර්ථ කුමාරයාට තිබුණු සැප මොනවද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එතුමා ඒ සැපත් ඒ සැප තිබුණ පරිසරයත් ඊට සම්බන්ධ සියලු දේවලුත් අතහැරිය අලුයම කෙළපිඬක් සේ සළකාගෙන කියලනෙ බොහෝ තැන සඳහන් වන්නෙ. ඒ පමණක් නොවෙයි සැප අත්හැරීම කොයිතරම් ආශීර්වාදයක් ද කියන බවත් මහ බෝසත්තුමා පෙන්නුව.

බුදුන් වහන්සේ කවර අයුරකින්වත් අප සැප විඳිනවට විරුද්ධ නැහැ. ඕන ම නම් ධර්මානුකූලව සැප විඳින්න කිසිම බාධාවක් නෑ. ඒත් ඒ සැප තාවකාලිකයි. ඒකයි අප ඉතාමත්ම පැහැදිළිව තේරුම්ගත යුතු දෙය උන්වහන්සෙ අපට අත්කරගන්නය කියල නිර්දේශ කරන සැපත්, අප විඳින සැපත් එකිනෙකක් හාත්පසින් ම එකිනෙකට වෙනස්.

අප විඳින සැප මොනවගෙ ද? අප විඳින්නෙ ඉවරවන සැප, ධම්මදින්නාව විශාකාවට ප්‍රකාශ කළා වගේ ඒ සැප තියෙන්නෙ දුකක් ඇති වෙනකම් විතරයි. ඉන් පස්සෙ ඒ සැප නෑ. එහෙම වෙන්නෙ කුමක් නිසාද? ඒවා සංඛත නිසා, ඒවා සංඛත කුමක් නිසා ද? ඒවා ඇතිවෙලා තියෙන්නෙ හේතුන්ගෙන්. ඒ කියන්නේ හේතු තියෙනකොට ඒව තියෙනව. හේතු නැතිවූ විට ඒවත් නැහැ. ‘හේතුං පටිච්ච සම්භුතං - හේතු භංගා නිරුජ්ඣති’ හේතුවලින් හටගත් දේවල ස්වරූපය තමයි හේතූන් බිඳවැටෙන කොට ඵලත් බිඳවැටීම, මෙන්ම මේ හේතුන්ගෙන් හටගත් සැප හඹා යාමට බුදුරජාණන් වහන්සේ අපව පොළඹවන්නෙ නෑ. උන්වහන්සෙ අපව පොළඹවන්නෙ විශ්වය තුළ එකම අසංඛතය වූ නිවන අවබෝධකර ගැනීමටයි. මොකද හේතුව අප මේ දකින අනේක විධ දේ ඔය කියන සංඛත සැප - හේතුන්ගෙන් හටගත් සැප – ප්‍රාර්ථනා කිරීම නිසා ඇති වෙච්ච දේවල්. මම හිතනව හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන්.

මේ තත්ත්වය මඟහරවා ගෙන ලොවටම ආදර්ශයක් දීම බෞද්ධ අප කාගේත් වගකීමක්. බුදුන් වහන්සේ අප්‍රමාණ දේශනාවලදී පෙන්වන ආකාරයට සැප ජාති දෙකයි. එකක් ලෞකික අනෙක ලෝකෝත්තර, ලෞකික කියන්නෙ ලෝකයට අයිති, නැතිනම්, ලෝකයෙ තියෙන. ඒ තමයි ඇසින් දැකිය යුතු ප්‍රසන්න රූප, කනින් ඇසිය යුතු ප්‍රසන්න ශබ්ද, දිවෙන් දතයුතු ප්‍රසන්න රස, නාසයෙන් දත යුතු ප්‍රසන්න සුවඳ, ශරීරයෙන් ලැබිය යුතු ප්‍රසන්න ස්පර්ශයන් සහ සිතින් දතයුතු ප්‍රසන්න ස්වභාවයන්, මේවා ගැන සඳහන් කෙරෙන තැන්වල විශේෂණ පද හයක් යොදා ගැනෙනව. ඒ ‘ඉට්ඨා, කන්තා, මනාපා, කාමූප සංහිතා, රජනීයා’ ඉට්ඨා කියන්නෙ සතුට දනවන සුළු. ඒ කියන්නෙ සැප දැක්කම, දැනුණ ම ආස හිතෙනව. කන්තා කියන්නෙ කාන්තිමත්, ලස්සණයි. මේ කාටවත්ම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ සැප කොයිතරම් කාන්තිමත් ද කියන එක. මනාපා කියන්නෙ සිත් ඇදගනියි. කාමුපසංහිත කියන්නෙ ඉඹල බලන්න හිතෙන ගතියෙන් යුක්තයි. රජනීය කියන්නෙ පොළඹවනව, අවුස්සනව කියන එක. සැපවලට උරුම වෙලා තියෙන මේ ස්වභාවයන් ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය සංයුත්ත නිකාය දේවතා සංයුත්තයේ දී විස්තර කරන්නෙ ‘තණ්හාය උඩ්ඪිතෝ ලෝකෝ’ මේ පංචස්කන්ධ ලෝකයන් ඔසවා තැබෙන්නෙ, එහෙම නැතිනම්, කෙළින් කරල තැබෙන්නෙ ආශාව නැතිනම් ඇල්ම විසින් කියලයි. ඒ ගැනත් අමුතුවෙන් යමක් කිවයුතු නැහැ. ඉතින්, සැප නිසා ආශාව ඇතිවෙනව ආශාව නිසා සැප හොයනව. හොයන නිසා ලැබෙනව. ලැබුණහම සැපට ආශාවෙන් බැඳෙනව. සැප සදාකාලිකව තබාගැනීමට කළ හැකි හැම දෙයක්ම කරනව. බැරිබව තේරුම් ගන්න බැහැ මුළාව නිසා. සැපට රැවටිලා. මුළා වෙලා. සැපවල හැටි කවුරු හෝ කියා දෙන්න හැදුවොත් එයත් එක්ක තරහවෙනව. ඒකයි ස්වභාවය.

බුදුරජාණන් වහන්සේ පෙන්වනව හැම ජීවියෙක්ම සැපට කැමතියි. සැපමයි හොයන්නෙ. ඒකට බාධා කිරීම, අවහිර කිරීම, විනාශකිරීමට කටයුතු කිරීම පවු. අනුන් සැපවත් කරන්න බැරි උනත් ඒ අයගෙ සැපත ප්‍රාර්ථනා කිරීම පවා විශාල පිනක්.

සැපවල ස්වභාවය හරිම ලස්සන, ප්‍රසන්න බව දැන් දන්නව. ඒත් ඒ සැප ප්‍රාර්ථනා කරන්නේ අපව නොපොළඹවන්නේ ඇයි? සැප හොඳයි විඳිනකම්, සැප සංඛත නිසා, නැතිවනව. අනිවාර්යයෙන් ම සැප විඳීම ඉවර වෙනව. ඉවර වෙනකොට තියෙන්නෙ මොනවද? ඒ සැපය විඳීමේ ආදීනව, මොනව ද කියල මොහොතකට නැවතිලා හිතලම බලන්න. දාඩිය දානව. නිදිමතයි. වෙහෙසයි. ඔළුව බරයි. කරකැවිල්ලයි. එහාට මෙහාට වැනෙනව. ඇදගෙන වැටෙනව. වමනෙ යනව. මිනිස්සු හිනාවෙනව. මෙහෙම ලයිස්තුවක් හදන්න ගියොත් අප්‍රමාණ ආදීනව ලියන්න පුළුවනි. ඊට පස්සෙ අපිම කියනව අනේ ආයෙනම් සල්ලි එක්ක දුන්නත් මට එපා. ආශාව සංසිඳිල. සරලව කියනව නම් ඇතිවෙලා. කොයිතරම් වෙලාවකටද? බොහොම ටික වෙලාවකට. ආයෙ ටිකකින් ඒකම හොයනව. සමහර වෙලාවට මතක තියෙනව නම් ආදීනව, හොයන්නෙ හොරෙන්, අනෙක් අයට නොදැනෙන්න. දැන් හිතන්න බලන්න ඇත්තට ම සැප කියල කියන්නෙත් දුකට ම නේද? මෙන්න මේ කාරණයයි. මාතෘකා පාඨයෙ දැක්වෙන්නෙ. විඳින්නෙ දුකමයි. ඇතිවෙන්නෙත්, පවතින්නෙත්, නැතිවෙන්නෙත් දුක විතරමයි. දුක හැර වෙන දෙයක් විඳින්න ලැබෙන්නෙ නෑ. සංසිඳුවන්න වෙන දෙයකුත් නෑ. දැන් මොකද කරන්න තියෙන්නෙ. බුදුරජාණන් වහන්සේ පෙන්වන හැටියට මේ කාරණය තේරුම් ගන්න ඕනෑ. ඒ විතරක් මදි. අප මෙබඳු වූ සසර පැවැත්මට ප්‍රතිචාර දක්වන ආකාරයත් හරියටම තේරුම් ගන්න ඕනැ. අරියපරියේසන සූත්‍රයේදී උන්වහන්සෙ අපට පැහැදිලි කරනව ‘අත්තනාව ජාති ධම්මෝ සමානෝ අත්තනාව ජාති ධම්මං යෙ ව පරියේසති’ උපත ස්වභාවය කොට ඇති අප ඉපදුණ දේවල්වල ස්වභාව නොදන්නව වගේ උපත ස්වභාවයකොට ගත් දේවල් වලින්ම යි සැප ලබන්න බලාපොරොත්තු වෙන්නෙ. මොහොතක් පාසා පරණ වෙන අප, පරණ වෙන දේවල් හෝ අයගෙන්මයි සැප හොයන්නෙ. ලෙඩවෙන අප, සැප සොයා යන්නෙත් ලෙඩවෙන අය ළඟටමයි. බලන්න පෘථග්ජන ජීවිතය එකම විහිළුවක් නොවෙයි ද කියල? බුදුරජාණන් වහන්සෙ අපට අවවාද කරනව සැප තියෙනව, විඳින්න පුළුවනි. ඒ විඳීමෙ කිසිම වරදකුත් නැහැ. ඒත් කාරණා කීපයක් මතක තියාගෙන. මම ඉපදුණ කෙනෙක් ඉපදීම නැතිකළ කෙනෙක් නෙමෙයි. මම වියපත් වෙන කෙනෙක් වියපත් වීම නතර කළ කෙනෙක් නොවෙයි. මම ලෙඩවෙන කෙනෙක් ලෙඩවීම නතර කළ කෙනෙක් නොවෙයි. මැරෙන කෙනෙක් මරණය නතර කළ කෙනෙක් නොවෙයි. මමත් මට ලැබිල තියෙන ඒ වගෙම ලබාගන්න තියෙන හැම දෙයක්මත් නොයෙක් අතින් එක එක විදිහට වෙනස් වෙනව. මට උරුම වෙන්නෙ හොඳ උනත් නරක උනත් මගේ චේතනාත්මක ක්‍රියාකාරකම් හරහා ගොඩනැඟෙන ශක්තිය විතරයි කියන බව. එහෙම මතක තියා ගන්න උපකාරවත් වෙන සම්පත් පහක් බුදුරජාණන් වහන්සෙ පෙන්වනව. එකක් තමයි බුදුරජාණන් වහන්සෙ ගැන හිතන්න. උන්වහන්සේට දෙව්දත්, චිංචි මානවිකා කළ දේවල් මේ මිහිපිට වෙන කාටවත් ම කවුරුවත්ම කළ බවක් වාර්තා වන්නෙ නෑ. උන්වහන්සේ කොහොමද මුහුන දුන්නේ? ‘සන්තේන සෝම විධිනා’ සන්සුන්, සෞම්‍ය පිළිවෙළටයි. ධර්මයෙ කොහොම ද කියල තියෙන්නෙ? ශ්‍රාවක මහා සංඝරත්නය කොහොමද කටයුතු කළේ. අන්න ඒ ගැන හොයා බලා, උන්වහන්සෙ ආදර්ශයෙන් පෙන් වූ පිළිවෙළ, ධර්මයෙ සඳහන් වෙන පිළිවෙළ, ගිහි පැවිදි ශ්‍රාවකයො අනුගමනය කළ, කරන පිළිවෙළ හොඳට හොයල බලල ඒ ගැන පිළිගැනීමක්, ඇදහීමක්, විශ්වාසයක් ඇතිකර ගෙන ඒ විදිහට කටයුතු කරනව. ඒ තමයි ශ්‍රද්ධාව. තමනගෙ වචන, සහ වැඩවලින් කිසිම කෙනෙකුට හිරිහැරයක් ඇති නොවන්න පරිස්සම් වෙනව. ඒක සීලය. මේ කරුණු පිළිබඳ දැනුවත් වෙනව. ඒ ශ්‍රැතිය. පුද්ගලයන්ට, ආයතන, සැපසම්පත්, මතවාද ආදී හැම දෙයටම තියෙන බැඳීම් අතහරිනව. ඒ චාග ය. වැටහීම, දැනුම් තේරුම්කම, අවබෝධය දියුණු කරගන්නව. ඒ ප්‍රඥාව. මෙතෙන් දී මතක තියාගන්න ම ඕනැ දෙයක් තමයි විභාග සමත් වූ තරමට අවබෝධය ඇතිවෙන්නෙ නෑ. ඒ වගෙ ම මේ එක ම සම්පතක් වත් මිල දී ගන්න බෑ. හම්බ කරන්න බෑ. සිත තුළ අප ම ගොඩනගා ගන්න ඕනැ. ඒකට අවශ්‍ය කරන්නෙ ඉවසීම සහ සිහිය විතරමයි.ඒ කාරණා දෙක ඇතිකර ගන්න කිසිම මුදලක් අවශ්‍ය වන්නේ නැහැ. තැන්පත් ව සිහියෙන් ඉන්න වුවමනාවත්, කැපවීමත් තිබුණම හොඳටම ඇති. ඒ සඳහා උනන්දුවක් ඇතිකර ගැනීමට මේ කරුණු ටික වටහා ගැනීම අප හැමට ප්‍රයෝජනවත් වේවි.

දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා!
බියෙන් පෙළෙන සත් බියෙන් මිදෙත්වා!
සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා!
නිතින් සියලු සත් සුවපත් වෙත්වා!

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.