‘ආගම් මාරුවට පිළියම
අවබෝධය ලබා දීමයි’
මෙම ලිපියේ මුල් කොටස 2009.05.17 වනදා
‘බුදුසරණ’ පත්‍රයේ පළ විය.
Link :
http://www.lakehouse.lk/budusarana/2009/05/17/tmp.asp?ID=vision05
එස්. නිමල් ප්‍රනාන්දු
ශ්‍රී සුගත ධර්මොදය දහම් පාසල, මොරටුව
අන්‍යාගමිකයන්ගේ
සුරංගනා කථා වලට
ජනතාව රැවටීම
ස්වභාවිකය. භික්‍ෂූන් වහන්සේ නිවැරැදි දහම් දැනුමින්
ජනතාව සන්නද්ධ කර ඔවුනට ධර්ම ප්‍රතිශක්තිය ලබා දී තිබෙන්නේ නම් එම
සුරංගනා කථා නමැති විෂ බීජ වලට ඔවුන්ගේ මනස
ආසාදනයට පත් කිරීමට නොහැකි වනු ඇත.
පුද පූජා පවත්වා ලෞකික සැප සම්පත් ලබා දෙන ලෙස යාච්ඤා කරමින් බුදු දහම
දේව ආගමක් බවට පත් කිරීමට කටයුතු කිරීම නොව, රජ සැප, සිටු සැප, දිව්‍ය
බ්‍රහ්ම සැප ආදී කුමන සැපයක් වුවද තාවකාලික බවත්, ඒවා සැප මෙන් වැරැදි
ලෙස පෙනෙන දුක්ඛස්කන්ධයක්ම බවත් පැහැදිලි කර දීමය. තමනුත් බුදු මග ගමන්
කරමින් දායක ජනතාවද ඒ මඟ රැගෙන යාමය. ඒ සඳහා ජනතාව දහමින් දැනුවත්
කිරීම ය. එවිට ඉහත කී ලෙස ජනතාවගේ දහම් දැනුම දුර්වල වන්නේ නැත.
තවද බුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලය තුළම කළේ ගමින් ගමට, නිවසින්
නිවසට යමින් නිවන් මඟ කියා දී සියලු සතුන් සසර දුකින් මුදා ගැනීමට
ක්‍රියා කිරීමයි. තම ශ්‍රාවකයන් හට උපදෙස් දුන්නේ ද ‘චරථ භික්ඛවේ
චාරිකං....’ ආදී වශයෙන් ජනතාවට විහාරස්ථානය වෙත පැමිණිමට ඇති කාලය සීමා
සහිත වී ඇත. ජීවිත සටන සඳහා මුළු කාලයම යෙදවීමට සිදු වී තිබේ.
භික්‍ෂුවට එසේ නොවේ. උන්වහන්සේට ඇත්තේ දහම් මගේ ගමන් කිරීම පමණ ය.
එබැවින් භික්‍ෂූන් වහන්සේ බුදුරදුන් හා උන්වහන්සේගේ ශ්‍රාවකයන්
වහන්සේලා ක්‍රියා කළ ආකාරයට ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කිරීම කළ
යුතුව තිබේ. අන්‍යාගමිකයෝ අද එසේ කරති. එබැවින් ජනතාව අතරට පැමිණ දේශනා
කරන මෙම අන්‍යාගමිකයන්ගේ සුරංගනා කථා වලට ජනතාව රැවටීම ස්වභාවිකය.
භික්‍ෂූන් වහන්සේ නිවැරැදි දහම් දැනුමින් ජනතාව සන්නද්ධ කර ඔවුනට ධර්ම
ප්‍රතිශක්තිය ලබා දී තිබෙන්නේ නම් එම සුරංගනා කථා නමැති විෂ බීජ වලට
ඔවුන්ගේ මනස ආසාදනයට පත් කිරීමට නොහැකි වනු ඇත.
අද නිතර අසන්නට ලැබෙන කථාවක් නම් පන්සල හා ජනතාව අතර සම්බන්ධය අඩු වී
ඇති බවය. ඊට හේතුව වී ඇත්තේ ද ඉහත කී ආකාරයට භික්‍ෂූන් වහන්සේ ජනතාව
අතරට නොයාම බව කිව හැකි ය. භික්‍ෂූන් වහන්සේ පෞද්ගලිකව ජනතාව අතරට
නොගියද ජනමාධ්‍ය තුළින් එම කාර්යය කෙරෙනවා නොවේදැයි කෙනකු ඇසිය හැකි ය.
නමුත් ජනමාධ්‍ය තුළින් පැමිණීමට වඩා පෞද්ගලිකව ජනතාව අතරට පිවිසීමේ දී
වැඩි පිළිගැනීමක් හා දේශනා කරන දෙයට ගෞරවයෙන් සවන් දීමක් දක්නට ලැබෙන
බව අපි දනිමු.
අද බණකට, පිරිතකට දානයකට භික්‍ෂුවක් වඩම්මවා ගැනීමට ඉතා කෙටි දුරකට පවා
වාහන පහසුකම් සැලසිය යුතුව තිබේ. පිරිකර සඳහා පූජා භාණ්ඩයක් ලබා ගැනීමට
බොහෝ භික්‍ෂූන් කැමති නැත. ඒ වෙනුවට මුදල් ලබා දිය යුතුව තිබේ. මෙසේ
ආගමික වතාවත් සඳහා පන්සල මගින් මුදල් අය කළත් අන්‍යාගම්වල කරන්නේ එහි
විරුද්ධ පැත්තය. එනම් ජනතාවට මුදල් හා වෙනත් ලෞකික වාසි ලබා දීමයි. එම
නිසා පන්සලේ මෙම ක්‍රියා කලාපය කෙරෙහි කළ කිරෙන බෞද්ධ ජනතාව අන්‍යාගම්
වලට හරවා ගැනීමට ඇති හැකියාව වැඩි ය.
මෙහිදී වැදගත් දෙයක් කිව යුතුව ඇත. එනම් මෙවැනි බොහෝ අඩුපාඩු දක්නට
ඇත්තේ වැඩි වශයෙන්ම නගරබද වීමය. පිටිසර ගම්බද ප්‍රදේශවල තත්ත්වය බොහෝ
දුරට යහපත් ය. ගම්බද භික්‍ෂූන් වහන්සේ බෙහෙවින් ආදර්ශමත්ය. මුදල්
පරිහරණයක් දක්නට නැත. ජනතාවගේ සිවු පසයෙන් යැපෙති. වාහන පාවිච්චියක්ද
නැත. කඳු හෙල් සහිත දුෂ්කර මං මාවත් ඔස්සේ ජනතාව අතරට පා ගමනින් වැඩම
කරති. එම පන්සල් වල ධර්මශාලා තුළ ටියුෂන් පන්ති නැත. ගමේ ජනතාවට නිසි
නායකත්වය දෙමින් පූජනීයව ගම තුළ වැඩ වසති. ගම්වාසී සියලු දෙනාවම
පුද්ගලිකව හොඳින් හඳුනන උන්වහන්සේ අවශ්‍ය අවස්ථා වල ඔවුනට නිසි මඟ
පෙන්වීම ලබා දෙමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ජනතාව සමඟ මනා
සබැඳියාවකින් කටයුතු කරති. නාගරික භික්‍ෂුවට වඩා බොහෝ දුරට සිල්වත් ය.
එබැවින් ගම හා පන්සල අතර දැඩි සම්බන්ධයක් ඇත. ‘අපේ හාමුදුරුවෝ’ යැයි
ජනතාව ඉතා ලෙන්ගතුව අමතන්නේ ඉමහත් ගෞරවයෙනි. ඒ නිසා උන්වහන්සේගේ වචනය
ජනතාව හිස් මුදුනින් පිළිගනිති. ඒ හේතුවෙන් අන්‍යාගමිකරණ බලවේග වලට
ක්‍රියා කිරීමට හැකි පරිසරයක් එම ගම් තුළ නැත. ඒ නිසා ග්‍රාමීය ජනතාව
සියයට සියයක්ම වාගේ බෞද්ධයන් ය.
එබැවින් අපගේ සමස්ත භික්‍ෂු පරපුරම හරසුන් පුද පූජා වලට ජනතාව යොමු
නොකර බුදු දහම යනු කුමක්ද? එය ඇත්තේ කුමක් සඳහාද? එය අනුගමනය කරන්නේ
කෙසේද? ආදී කරුණු පිළිබඳවත්, සසර බිය පිළිබඳව හා ක්ෂණ සම්පත්වල ඇති
වටිනාකම පිළිබඳවත් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කර නියම බුදු මග පෙන්වා
දෙන්නේ නම් ඔවුන් කිසි දිනක වැරැදි මාර්ගයක නොයන බව ද, ලාභ ප්‍රයෝජන
උදෙසා තම ආගම පාවා දීමට නොපෙළඹෙන බව ද පෙන්වා දිය හැකි ය.
ගිහි ජනතාවගේ දුර්වලතා
ගිහි ජනතාවගේ ඇති නොයෙක් දුර්වලතාවයන් ද අන්‍යාගමික කරණ ප්‍රශ්නයට බොහෝ
දුරට හේතු වී ඇති බව කිව යුතු ය. අද අපේ බොදු ජනතාව තම දහම පිළිබඳව ඇති
සැලකිල්ල හා ගෞරවය බොහෝ දුරට අඩුය. ආගමික කටයුතු වල යෙදෙන්නේ අනෙක්
කටයුතු වල නියැලී කාලය ඉතිරි වන්නේ නම් පමණි. ආගම දහමට වඩා තම
විනෝදාස්වාදය ගැන සැලකිලිමත් වන බව පෙනේ. ආගම බාහිර දෙයක් ලෙස සලකනු
විනා එය ජීවිතයට සම්බන්ධ දෙයක් ලෙස ඔවුහු නොසිතති. දහම තුළ ජීවත් වීමට
උත්සාහ නොකරති.
ජනමාධ්‍ය මගින්ද තම විනෝදාස්වාදය ලබා ගැනීම, දේශපාලන තොරතුරු චන ගැනීම
වැනි දේවලට උත්සාහ කරනු විනා ආගමික දැනුමක් ලබා ගැනීමට උත්සාහ නොකරති.
තම දරුවන් නොකඩවා දහම් පාසල වෙත යැවීම සඳහා ඇති උනන්දුව බොහෝ මවුපියන්
තුළ අඩු ය. විවිධ උත්සව හා ගමන් බිමන් යාම වැනි දෑ ඉරු දින උදය වරුවට
යොදා ගන්නේ ඒ නිසා ය. දරුවා ඉරු දිනයේ දහම් පාසලට යවනවාට වඩා ටියුෂන්
පන්තියකට යැවීමට ඇති උනන්දුව වැඩි ය. මේ නිසා දරුවා තුළ ද තම ආගම දහම
කෙරෙහි ඇති සැලකිල්ල නිරායාසයෙන් අඩුවේ. එවැනි දරුවන් වැඩිහිටියන් වූ
පසු සුළු කරුණක් හේතු කොටගෙන වූවද තම දහම අතහැර වෙනත් දහමකට නතු වීමට
ඇති හැකියාව වැඩිය.
බුදු සසුන ආරක්‍ෂා කිරීම සඳහා අපගේ පැරැණි මුතුන් මිත්තෝ දිවි හිමියෙන්
කටයුතු කළහ. එළාර රජුට විරුද්ධ සටනේ දී දුටුගැමුණු රජතුමාගේ ප්‍රධාන
සටන් පාඨය වූයේ ‘මාගේ මෙම ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොවේ, බුද්ධ
ශාසනයේ චිරස්ථිතිය පිණිසයි.’ යන්නය. එබැවින් ඒ සඳහා සෑම රටවැසියෙක් ම
එකාවන්ව පෙළ ගැසුනි. නමුත් අද ගිහි ජනතාවගෙන් බොහෝ දෙනා සසුන රැකීමේ
වගකීම භික්‍ෂූන් වහන්සේට පමණක් බාර දී ඇති බවක් පෙනෙන්නට තිබේ.
බුදු සසුන නමැති ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක
උපාසිකා යන බල කණු හතර මතය. එබැවින් බුදු සසුන රැකීමේත්, එහි
චිරස්ථිතිය සඳහා කටයුතු කිරීමේත් වගකීමෙන් හරි අඩක් උපාසක උපාසිකා යන
ගිහි ජනතාවට ද පැවරී ඇත. ඒ සඳහා හොඳින් දහම ඉගෙන ගැනීමත්, එම ලබාගත්
දැනුම අන් අයට ද, බෙදා දීමත් ගිහි ජනතාව විසින් ද කළ යුතු ය. විශේෂයෙන්
නිතර පන්සල වෙත යාමට අවකාශ නැති ජනතාව වෙත පහසු අවස්ථා යොදාගෙන දහම්
දැනුම ලබා දීම දැනුම ඇති ගිහියන් විසින් කළ යුතු ය. නිවෙස් කීපයක ජනතාව
පහසු වෙලාවක එක් නිවසකට රැස් කර මෙම දැනුවත් කිරීම කළ හැකි ය. මේ සඳහා
දහම් පාසල් ගුරුවරුනට බොහෝ සේ සුදුසුකම් තිබේ. එසේ කිරීම ජනතාවට ද
වාසිදායකය. පිරිකර අවශ්‍ය නැත. මුදල් අවශ්‍ය නැත. වාහන පහසුකම් අවශ්‍ය
නැත. තවද ධර්ම දේශකයාණන් වහන්සේ නමකගෙන් මෙන් නොව අපැහැදිලි තැන්
ප්‍රශ්න කළ හැකි ය. තර්ක විතර්ක කරමින් කරුණු පැහැදිලි කර ගත හැකි ය.
තවත් කොටසක් සසුන රැකීමේ වගකීම බාර දී ඇත්තේ දෙවියන්ට ය. දෙවියන්ට පින්
අනුමෝදන් කර ‘දෙවියෝ බුද්ධ ශාසනය බොහෝ කල් රකිත්වා’ යනුවෙන් ආයාචනා
කරති. සසුන රැකීම දෙවියන්ට කළ හැකි දෙයක් නොවේ. එය කළ හැක්කේ බෞද්ධයාටම
පමණකි. බෞද්ධයා ප්‍රතිපත්ති ගරුක වනතෙක් සසුන රැකෙන්නේ ය.
ප්‍රතිපත්තියෙන් ඈත් වූ විට සසුන පිරිහීමට පත්වේ. එය කිසිවකුට වෙනස් කළ
නොහැකි ය. පන්සල් වැඩි වූ තරමට, බුදු පිළිම, චෛත්‍ය බෝ රුක් වැඩි වූ
තරමට සසුන රැකෙන්නේ නැත. භික්‍ෂූන් වහන්සේගේ සංඛ්‍යාව වැඩි වූ තරමට ද
සසුස රැකෙන්නේ නැත. ගිහි හෝ පැවිදි හෝ වේවා,බෞද්ධයන් ප්‍රතිපත්ති ගරුක
වූ තරමට සසුන රැකෙන්නේ ය. එබැවින් අපගේ බෞද්ධ ජනතාව ආමිස නාමයෙන් කරනු
ලබන හරසුන් පුද පූජා කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදක්වා ප්‍රතිපත්තිය
කෙරෙහි වැඩි සැලකිල්ල දැක්විය යුතුව ඇත. බුදුරදුන් වදාරා ඇත්තේ ආමිස
පූජාව එක කැඳ උගුරක් බීමට ගතවන කාලය තරම්වත් කාලයක් සසුන දරා සිටීමට
අසමත් බවත්, ප්‍රතිපත්ති පූජාව සසරින් එතෙර වීමටත්, සසුන ස්ථිරව දරා
සිටීමටත් සමත් වන බවත් ය. තවද බුදු දහමේ සුවය දැනෙන්නේ ආමිසයෙහි
යෙදීමේදී නොව ප්‍රතිපත්තියෙහි යෙදීමේදී ය. එම සුවය අත් විඳි කෙනකු කිසි
ලෙසකින් වෙනත් ආගමකට හරවා ගත නොහැකි ය.
අන්‍යාගම්කරණයට ගොදුරු වූ ඇතැම් අයගෙන් ඒ පිළිබඳව විමසීමේ දී දෙනු ලබන
පිළිතුරක් නම් බුදුදහම අවබෝධ කිරීමට අපහසු ගැඹුරු දර්ශනයක් බවත්,
අනුගමනය කිරීමට අපහසු දුෂ්කර ප්‍රතිපදාවක් බවත්ය. එය වැරැදි අදහසකි. එය
කිසිවකු විසින් ඔවුන්ගේ මනස තුළට ඇතුළු කළ අදහසක් විය හැකි ය.
බුදු දහමෙහි ගැඹුරු දාර්ශනික බවක් ඇතත් එය පහසුවෙන් අවබෝධ කළ හැකි සරල
දහමකි. බුදු දහම යනු ඇතැම් අන්‍යාගම් මෙන් අද්භූත දෙයක් වත්, අපට
ආගන්තුක දෙයක් වත් නොවේ. බුදු දහම යනු අප ජීවත් වන, අප වටා ඇති ස්වභාව
ධර්මයමය. අප සාංසාරික වශයෙන් සිරගත වී ඇත්තේ මෙම ස්වභාවය ධර්මය තුළ ය.
ස්වභාව ධර්මය සැකසී ඇත්තේ ලෝකය තව තවත් ඉදිරියට පවත්වා ගැනීමට අවශ්‍ය
ලෙස ය. එබැවින් මෙම ස්වභාව ධර්මය නමැති සිරගෙයින් මිදීමට නම්, ස්වභාව
ධර්මය යනු කුමක්ද? අප එහි සිරගත වී ඇත්තේ කුමක් නිසාද? යනාදී වශයෙන්
අවබෝධයක් ලැබිය යුතුව ඇත. අපට ස්වභාව ධර්මය නමැති සිරගෙයින් මිදීමට
නොහැකි වී ඇත්තේ එහි යථාර්ථය නොදැනීම නිසා ය. යථාර්ථය දැනගත හැකි නම්
අපට ඉන් ගැළවීමට හැකි වේ. එබැවින් බුදු දහම යනු ස්වභාව ධර්මය පිළිබඳව
විග්‍රහයක් විනා අන් දෙයක් නොවේ. වඩා නිවැරැදිව කියන්නේ නම් බුදු දහම
යනු ස්වභාව ධර්මය පිළිබඳ යථාර්ථයයි. එබැවින් එය අවබෝධ කිරීම ඔවුන් සිතන
තරම් අපහසු දෙයක් නොවේ.
නීතිමය ගැටලු
බුදු දහමේ චිරස්ථිතිය සඳහා ඇති සෑම අයුරින්ම කටයුතු කිරීමත්, විරුද්ධ
බලවේග පැමිණි විට ඒවා මර්දනය කර බුදුදහම ආරක්‍ෂා කිරීමත් පැරැණි රජ
දරුවන්ගේ කාලයේ සිටම රජයේ යුතුකමක් හා වගකීමක් වී පැවතුන බව ඉතිහාසයෙන්
පෙනේ. 1815 උඩරට ගිවිසුමේ පවා එම කොන්දේසිය ඇතුළත්ව තිබීමෙන් එහි
වැදගත්කම පැහැදිලි වේ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද ඒ පිළිබඳව
සඳහන් වෙතත් ක්‍රියාකාරීත්වය අතින් දුර්වලතා දැකිය හැකි ය. මේ සඳහා
බොහෝ දුරට හේතු වී ඇත්තේ බටහිර ආකල්ප වල බලපෑම් බවද අපි දනිමු.
පැරැණි දේශීය බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ඉංගී‍්‍රසි පාලකයන් විසින් විනාශ
කර දමා දැනට පවතින බටහිර අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසුව
දරුවන්ගේ දහම් දැනුම හා හෙළ සාර ධර්ම යම් පමණකට හෝ පරපුරෙන් පරපුරට
පවත්වාගෙන යාමට විශාලම දායකත්වය දරන්නේ බෞද්ධ දහම් පාසලය. නමුත්
වර්තමානයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී ඇති ටියුෂන් ව්‍යාපාරය නිසා
දහම් පාසල් අධ්‍යාපනයට විශාල ලෙස බාධා එල්ල වී ඇත. ඉරු දින හා පෝය දින
ටියුෂන් පන්ති තහනම් කිරීම සඳහා නීතිරීති ගෙන ඒමට රජය උත්සාහ කළද එය
මානව හිමිකම් උල්ලංගනය කිරීමක් යැයි චෝදනා එල්ල වීම නිසා යටපත් වූ බව
දැනගන්නට තිබේ.
මෙම මානව හිමිකම් කථා අප රටේ දේශීය තත්ත්වය හා බෞද්ධ සංස්කෘතික සමාජ
රටාව පිළිබඳව නොදන්නා බටහිර ගැති පුද්ගලයන්ගේ ඊනියා මතවාදයන් ය. දළදා
පෙරහැරේ දන්ත ධාතූන් වහන්සේ වැඩම වීම සඳහා ඇතකු යොදා ගැනීම සත්ත්ව
හිංසාවක් යැයි මුර ගෑවෝ ද මේ ඊනියා අවිහිංසාවාදී බටහිර ගැත්තෝ ය. නමුත්
බටහිර රටවල කෙරෙන අවි ආයුධ නිෂ්පාදනය, විෂ රසායන නිෂ්පාදනය, මස් පිණිස
සතුන් ඇති කිරීම ආදිය පිළිබඳව ඔවුහු කිසිවක් කථා නොකරති.
එබැවින් සම්පූර්ණ ඉරු දිනයේ හා පසළොස්වක පෝ දිනයේ ටියුෂන් ව්‍යාපාර
නැවැත්වීම පිළිබඳව රජය නැවත වරක් සිතා බලන්නේ නම් මැනවි. ඉරු දින
ටියුෂන් පන්ති පැවැත්වීමෙන් වැඩි වශයෙන්ම බාධා පැමිණෙන්නේ දහම් පාසල්
වල ඉහළ ශ්‍රේණි වල දරුවන්ට ය. දහම් පාසල් දරුවන් බුදු දහමේ වැදගත්ම
සිද්ධාන්තයන් වන කර්මය, පුනර්භවය, පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්‍ෂණය හා
චතුරාර්ය සත්‍යය ආදිය පිළිබඳව සවිස්තරව ඉගෙන ගන්නේ ඉහළ ශ්‍රේණි වලදී
බැවිනි. මෙම ධර්මතාවයන් හොඳින් ඉගෙන ගත් කිසිවකු කුමන බලපෑමක් මත හෝ
බුදු දහමින් ඈත් කිරීම කිසිවකුට කළ නොහැකි අවධාරණයෙන් කිව හැකි ය.
බොහෝ මුස්ලිම් රටවල් අන්‍යාගමික පොතක් පතක් හෝ ඡායාරූපයක් වත් තම රට
තුළට රැගෙන ඒම පවා දැඩි දඬුවම් ලැබිය යුතු වරදක් ලෙසට නීති රීති
පනවාගෙන ක්‍රියාත්මක කරන බව අපි දනිමු. ඒ ඔවුන්ගේ ආගමේ ආරක්‍ෂාව සඳහා
ය.එබැවින් එම රටවල ඔවුන්ගේ ආගම චිරස්ථායි වී ඇත. එතරම් තද නීති රීති
අවශ්‍ය යැයි අපි නොකියමු. නමුත් දහම් පාසල් අධ්‍යාපනයට බාධා වන අන්දමට
ටියුෂන් පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් හා අනිසි ක්‍රම උපයෝගි කරගෙන
බෞද්ධයන් අන්‍යාගමිකකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් අදාළ නීති රීති සකස්
කළ හැකි නම් එය අප රටේ බුදු දහමේ ආරක්‍ෂාවට හේතුවනු ඇත. ශ්‍රී ලංකාවේ
පැරැණි සමාජය පිවිතුරු සාමකාමි ආදර්ශමත් එකක් වූයේ බුදු දහම හා බැඳුනු
බෞද්ධ සංස්කෘතිය නිසා බවද, සමාජ තත්ත්වය විෂම වූයේ බටහිර ආක්‍රමණ වලින්
පසු ක්‍රමයෙන් එම තත්ත්වය වෙනස් වූ නිසා බව ද අපි තේරුම් ගත යුතු වෙමු.
එබැවින් ඉහත සඳහන් වූ අපගේ දුර්වලතා මඟ හරවා ගැනීමට අවශ්‍ය පියවර අප
විසින්ම ගනු ලබන්නේ නම් අන්‍යාගමිකකරණය ශ්‍රී ලංකාවේ බුදු සසුනට තව
දුරටත් අභියෝගයක් නොවන බව කිව හැකි ය. |