Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුන් වහන්සේට තරම් ලෝකාවබෝධයක් හෝ අත්දැකීම් වෙනත් කිසිවකුටත් නැත. උට්ඨාන වීර්යයෙන් හා ඉවසීමෙන් බුදුන් වහන්සේ අගතැන් පත්වූහ. බුදුන් වහන්සේ කාන්තාවන්, මවුවරුන්, ළමයින් පමණක් නොව සතුන් සහ පරිසරයට ද ගරු කළහ. අන් සැම දෙනම මෙන් තමන්ද ව්‍යාධියට ජරාවට පත්වන බව බුදුන් වහන්සේ වදාළහ. උන්වහන්සේ දුප්පතාගේ පැල්පතටත් රජ සිටු මාළිගාවලටත් වැඩම කොට සෑම දෙනා පිළිගැන් වූ දන් එකම රුචියකින් වැළඳූහ.

සිදුහත් කුමරාණෝ බුද්ධත්වයට පැමිණීමෙන් ලෝකයේ උසස්ම තත්ත්වයට එළඹ ප්‍රඥාව, බුද්ධිය, සාධු ධර්ම ආදියෙන් අද්වීතිය වූහ. උන්වහන්සේ අප වසන ලෝක ධාතු වලට එහා පිහිටි ලෝක ධාතු ගැන ද මනා අවබෝධයකින් සිටියහ. අසමසම ඤාණයෙන් සමන්විත වූහ.

උන්වහන්සේ පෙන්වා දුන් ධර්මය, ආගමක්වත්, දර්ශනයක්වත්, ආචාර ධර්ම විද්‍යාවක්වත් නොවේ. ආගමක් අදහන්නා තුළ එම ආගම කෙරෙහි විශ්වාසයකුත් ඇදහිලි ක්‍රම අනුගමනය කිරීමත්, මැවුම්කරුවකු ගැන විශ්වාසයත් නැත්නම් එම ඇදහිලිකරු බලාපොරොත්තු වන විමුක්තිය ලැබිය නොහැකි ය. බුද්ධ ධර්මය දර්ශනයක් යැයි උගතුන් අතර මතයක් පවතී. එකම කරුණක් ගැන උගත්තු විවිධ මත පළකරති. එහෙත් සත්‍යය එකක්ම විය යුතු ය. බුදු දහම ජීවිතයත් ලෝකයත් පිළිබඳ තත්ත්වාකාරයෙන් විග්‍රහ කරයි. එය අකාලික ය. මැඳුම් පිළිවෙත මගින් අවබෝධ කළ යුතු ධර්මය, නිර්වාණය අරමුණු කරගත් එකකි. එය ආචාරධර්ම විද්‍යාවක් ද නොවේ. හොඳ, නරක කියා දීමේ ක්‍රමයක් වන ආචාර ධර්ම විද්‍යාවෙන් ඔබ්බට ගිය නිර්වාණාවබෝධය පිණිස හේතු වූවකි.

බුද්ධාංකුරයාණේ පාරමී දම් පුරමින් සසර සැරිසරන කල, බ්‍රහ්ම, දේව, ගාන්ධර්ව, මිනිස් හා සත්ව භාවයන්හි ඉපදී සැප දුක් ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, යස, අයස යන අටලෝ දහමට ලක් වූහ. ඒ නිසා බුදුන් වහන්සේට තරම් ලෝකාවබෝධයක් හෝ අත්දැකීම් වෙනත් කිසිවකුටත් නැත. උට්ඨාන වීර්යයෙන් හා ඉවසීමෙන් බුදුන් වහන්සේ අගතැන් පත්වූහ. බුදුන් වහන්සේට අශික්‍ෂත භාෂාවෙන් බැණ වැදුණ අයගේ බැනුම් අවසානයේ දී බුදුන් වහන්සේ දැන් බැණුම් අවසානදැයි විමසා සිටියහ. එසේ යැයි කී කල්හි තමා ඒවා පිළිනොගන්නා බවත් එබැවින් ඒවා ආපසු ඔවුන් විසින්ම පිළිගත යුතු බවත් පැවසුහ. බුදුන් වහන්සේ තමන්ගේ ඉවසීම ගැන ආනන්ද හිමියන්ට මෙසේ වදාළහ.
 

අහං නාගෝච සංගාමේ
චාපාකො පතිතං සරං
අතිවාක්‍යං තිතික්ඛිස්සං
දුස්සීලොහි බහුජ්ජනො

ලෝකයෙහි බොහෝ දෙනා දුස්සීල නිසා, යුද බිමෙහිදී ඊ පහර ලබන ඇතකු මෙන්, මම ද නොයෙක් දෙනාගේ පරුෂ වචන හා ඇනුම් බැනුම් ඉවසන්නෙමි යැයි වදාළහ.

කෙනෙක් බුදුන් වහන්සේගේ ප්‍රභාව දැක, ඔබ බ්‍රහ්මයෙක්ද, දෙවියෙක් ද, ගාන්ධර්වයෙක්ද මනුෂ්‍යයෙක් දැයි වරක් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙන්න, තමා ඒ කිසිවකු නොවන බවත් ඔවුන් සැමටම තණ්හාව,වෛරය හා කාම රාගය ඇති බවත්, තමන් එසේ නොව යම් සේ පියුමක් ජලයෙහි ඉපිද ජලය ස්පර්ශ නොකර, ජලයෙන් උඩට එසැවී සිටින්නා සේ මිනිසකුව ඉපිද මිනිස් බව ඉක්මවා සිටින්නෙකැයි වදාළහ. උන්වහන්සේ මිනිසාගේ නිදහස් චින්තනයට උසස් තැනක් දුන්හ. කාලාම සූත්‍රය ඊට නිදසුනකි.

මිනිසා ලොව කොතැනක උපන්නත් ජාති, කුල ආදී වශයෙන් වෙනසක් නැති බවත්, පාට, සිරුරු ප්‍රමාණ ආදිය රටක දේශගුණාදී වෙනස්කම් නිසා ඇතිවන බවත්, වෙනස්කම් ඇත්තේ සත්ව ලෝකයේ පමණක් බවත් වාසෙට්ඨ සූත්‍රයෙන් බුදුන්වහන්සේ පෙන්වා වදාළේ, අවුරුදු දෙදහස් පන්සිය පනහකට පෙරදී ය.

බුදුන් වහන්සේ කාන්තාවන්, මවුවරුන්, ළමයින් පමණක් නොව සතුන් සහ පරිසරයට ද ගරු කළහ. ආදරය කළහ.

මහා ප්‍රජාපතී ගෝතමී සුළු මව පසුදින පිරිනිවන් පාන බව බුදුන් වහන්සේට දන්වා ඇගේ පන්සලට වඩිනා විට, බුදුන් වහන්සේ ඇයට පසුගමන් ගොස් ආපසු වැඩම කොට ඇයගේ චිතකයට පසුදින ගිනි දැල්වෙනු, බලා සිට ආදාහනය අවසනැ තමන් වහන්සේගේ පාත්‍රයට භෂ්මාවශේෂ එකතු කර චෛත්‍යයක් කරවා මහජනයාට එයට ගරු කරන්නාට සැලැස්වූහ.

බුදුන් වහන්සේගේ රූපය ඉතා සිත් කළුය. මන බන්ධනීය ය. හින්දු සහ වෙනත් ජාතීහුද බුදුන්වහන්සේගේ රූපයට පි‍්‍රය කළහ. පණ්ඩිත ජවහර්ලාල් නේරුතුමා බුද්ධ රූප තම නිවසේ බිත්තිවල එල්ලා තැබූහ. ඉන්දියාවට නිදහස ලබා ගැනීම පිණිස කළ සටන්වල දී බන්ධනාගාර ගත වූ ඔහු, එහි ගියේ බුද්ධ රූපයක් රැගෙන ය. චින්තකයකු හා ලේකඛකයකු වූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ තුමාගේ නිවසේ ද කාමරයේ ද තිබූ එකම රූපය, බුදු පිළිමය පමණකි. දර්ශනවාදියකු වූ බර්ට්රන්ඩ් රස්ල්තුමා ද විසිවැනි සියවසේ ලොව පහළ මහා ප්‍රාඥයා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් තුමාද පැවසුවේ, ඔවුන්ට ආගමක් පිළිගන්නට සිදුවුවහොත්, ඔවුන් පිළිගත්තේ බුද්ධාගම බව යි.

අන් සැම දෙනම මෙන් තමන්ද ව්‍යාධියට ජරාවට පත්වන බව බුදුන් වහන්සේ වදාළහ. උන්වහන්සේ දුප්පතාගේ පැල්පතටත් රජ සිටු මාළිගාවලටත් වැඩම කොට සෑම දෙනා පිළිගැන් වූ දන් එකම රුචියකින් වැළඳූහ. උන්වහන්සේ වැළඳුවේ, ආහාර ස්වල්පයකි.

මහණෙනි, මම බඩගිනි වේදනාව දුරුකිරීම සඳහා ද පංචස්කන්ධය පවත්වාගෙන යෑම සඳහා ද අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් ගනිමිය. භික්‍ෂූන් වහන්සේට කීහ. දවල් ආහාරයෙන් පසු උන්වහන්සේ තුරු සෙවණ යට සක්මන් කරමින් සිට දන් වළඳා අවසන් වූ පසු දම් සභාවට වැඩම කොට පැවිදි ගිහි දෙපක්‍ෂයමට දහම් දෙසූහ. රාත්‍රී කාලයේ දී දෙවිවරු උන්වහන්සේ වෙත පැමිණ ගැටලු නිරාකරණය කර ගැනීමත්, උපදෙස් ගැනීමත් සිදුවිය. රැයකට පැයක් පමණ සුළු වේලාවක් දකුණු ඇලයට හැරී සැතපුණු බව බුදු සිරිතෙහි සඳහන් වෙයි.

උන්වහන්සේ එකල ඉන්දියාවේ පැවැති කුල භේදය ප්‍රතික්‍ෂේප කළහ. වසල සූත්‍රය දෙසමින් කෙනෙකු උත්පත්තියෙන් වසලයකු වන්නේ නැතැයි ද, ක්‍රියාව අනුව කෙනෙක් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නනේ යැයි වදාළහ. (නජච්චා වසලෝ හෝති – න ජච්ඡා හෝති බ්‍රාහ්මණෝ - කම්මනා වසළෝ හෝති – කම්මාන හෝති බ්‍රාහ්මණෝ)

උන්වහන්සේ කරණවෑමියකුගේ පුතකු වූ උපාලි නමැති තැනැත්තා පැවිදිකොට විනයධාරීන් අතර අග තැනට පත් කොට අසූ මහ සව්වන්ගෙන් කෙනෙකු කළහ. වසල යැයි සම්මත කුලයකු උපන් සුනීත හා අනාථ දරුවකු වූ සෝපාක ද දාසියන් වූ පුණ්ණා සහ රජ්ජුමාලා ද මහණ කර නිවන් සුව සාදා දුන්හ. දරුවන් ළදරු කල මළ සොවින් වියරු වූ පටාචාරා හා කිසාගෝතමී ද සසුන් ගත කර නිවන් සුව සාදා දුන්හ. මිනීමරු අංගුලි මාල, යක්‍ෂයන් වූ ආලවක, සුචිලෝම, ඛරරෝම ආදීන්ට ද විමුක්ති සුව විඳින්නට සැලැස්වූහ.

තමන් වහන්සේගෙන් පසු වැඩ සිටින භික්‍ෂූන්ට විඳින්නට සිදු විය හැකි දුෂ්කරතා ගැන සලකා බැලූ බුදුන් වහන්සේ, භික්‍ෂූන් අතර කථිකා කර, සුළු ශික්‍ෂාපද (ඛුද්දක සික්ඛා) කාලෝචිතව වෙනස් කර ගැනීමට අවසර දුන් බව, මහාපරිනිර්වාන සූත්‍රයෙහි සඳහන් වෙයි. ඇතැම් ග්‍රන්ථකරුවන්, බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ සහම්පති මහඔඩුගේ ආරාධනාවක් ගැන සඳහන් කරමින් බ්‍රහ්මයාගේ ප්‍රඥාවට වඩා පහළින් බුද්ධ ඤාණය තබන්නට ඇති හේතුව කුමක්දැයි සිතා ගත නොහැකි ය. සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා බුදු වූයේ, සත්වගට දහම් දෙසා නිවන් අවබෝධ කර දෙන්නට විනා, දහම් නොදෙසා සිටින්නට දැයි පැරැණි ගත් කරුවන් නොසිතුවේ ඇයි? බුදුන් වහන්සේගේ ප්‍රඥාවට ඔවුන් එයින් අවමන් කර ඇතැයි අපට සිතෙයි.

බුදුන් වහන්සේගේ නිජ බිම වන කපිලවස්තු පුරයට වැඩම කළ උන්වහන්සේ, සඟ පිරිවරත් සමග සුදොවුන් රජුගේ ආරාධනයෙන් දන් පිණිස මාලිගයට වැඩම කළ වෙලේ, එහි උන් සියලු දෙන බුදුරදුන් වෙත පැමිණ ගෞරව දැක්වූවද යශෝධරා දේවිය නොපැමිණ තමාගේ යම්කිසි ගුණයක් තිබේ නම් බුදුන්වහන්සේ තමන් කරා වඩිනු ඇතැයි සිතුවා ය. බුදුන් වහන්සේ ඇයගේ මාළිගයට වැඩම කොට අසුන් ගත් කල්හි, දේවිය රිසිසේ උන්වහන්සේ සිරි පතුල් නැමද, බිම වැතිර නමස්කාර කළා ය. අනතුරුව බුදුහිමියෝ චන්දකින්නර ජාතකය දෙසූහ. ගිහි කල තම බිසොව වූ යශෝධරා දේවියගේ යහගුණයට ගෞරව කළේ, එලෙසිනි.

අම්බපාලි නම් ගණිකාව තම අඹ උයනට බුදුන්වහන්සේ වැඩම කළ බව අසා මහත් පී‍්‍රතියෙන් එහි ගොස්, පසු දින දනට ඇගේ නිවසට වැඩම කරන ලෙස බුදුන් වහන්සේට ඇරැයුම් කළා ය. බුදුන් වහන්සේ ඒ ඇරැයුම පිළිගත් පසු, ලිච්ඡචි රජ දරුවෝ ද බුදුරදුන් වෙත ගොස්, අම්බපාලිගේ ආරාධනාව පිළිගත් බව දැන දැනම තම මාළිගයට පසුදින දනට වඩින ලෙස ඇරැයුම් කළහ. බුදුන් වහන්සේ අම්බපාලිගේ ආරාධනාවක් එදිනට තිබෙන බව පවසා ඒ ආරැයුම ප්‍රතික්‍ෂේප කළහ. බුදුන් වහන්සේ තුළ තිබූ සමානාත්මතා ගුණය සහ යුතුකම් තැකීම පිළිබඳ යහගුණය, ඒ සිදුවීමෙන්, මැනවින් ප්‍රකට විය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.