Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුරැ කළ යුතු අනුසය කෙලෙස්

සිහියෙන් හා වීර්යයෙන් තොරව ආයතන හයෙන් ගන්නා අරමුණු හේතු කොටගෙන සමහර අවස්ථාවලදී මේ අනුසය වර්ධනය වී, රාගය, ද්වේෂය, මානය ආදී වශයෙන් ප්‍රකට වෙයි. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමෙන් දිට්ඨානුසයත්, විචිකිච්ඡානුසයත් ප්‍රහාණය වෙයි. රාගානුසය හා පටිඝානුසය, අනාගාමී ඵලයට පත් වීමෙන් ප්‍රහාණය වෙයි. මානානුසය, භවරාගානුසය සහ අවිජ්ජානුසය සම්පූර්ණයෙන් ප්‍රහාණය වන්නේ, අරහත් ඵලයට පත් වීමෙනි.

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වන්නේ දෙවි මිනිසුන් හට දුකින් නිදහස් වීම පිළිබඳ දේශනා කිරීමටයි. දුකින් නිදහස් වීමට නම් සිත කිළිටි කරන සියලු කෙලෙස් ප්‍රහාණය කළ යුතු ය. රාග, ද්වේශ, මෝහ මූලික වූ අප අභ්‍යන්තරයෙහි අප්‍රකට ව පවතින කෙලෙස් රැසක් ඇත. පුද්ගලයකු තුළ අභ්‍යන්තරිකව නිදාගෙන මෙන් පවතින කෙලෙස්, ‘අනුසය’ වශයෙන් හඳුන්වා ඇත. ‘මධුපිණ්ඩික’ සූත්‍රයේ දී මෙවැනි අනුසය හතක් පිළිබඳ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. රාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිඡ්ඡානුසය යනු, එම සප්ත අනුසයයි.

යමක් හේතුකොටගෙන පුද්ගලයකු තුළ අකුසල සහගත සිතිවිලි (ප්‍රපඤ්ච) හටගන්නේ ද, ඔහු එම සිතිවිලි වලින් සතුටට පත් වෙයි නම්, එම සිතිවිලි පිළිබඳ නැවත නැවත සිතයි නම්, එම සිතිවිලි ම දිගටම පවත්වයි නම්, ඒ හේතු කොට ඔහු තුළ ඉහත කී සප්ත අනුසය වැඩෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළහ.

අනුසය යනු කෙලෙසුන්ගේ ආරම්භක අවස්ථාවයි. මූලික අවස්ථාවයි. අනුසය වශයෙන් හට ගත් කෙලෙස් නැවත නැවත සිහි කිරීමෙන් එයින් සතුටට පත්වීමෙන්, ප්‍රහාණයට අපහසු ‘ආස්‍රව‘ දක්වා වර්ධනය වන බව තේරුම් ගත යුතු ය. මූලික අවස්ථාවේ දීම මෙම අනුසය ධර්ම තමන් තුළ වැඩෙන ආකාරය තේරුම්ගෙන ඒවා ප්‍රහාණයට උත්සහ දරන්නේ නම්, ආස්‍රව දක්වා වර්ධනය වීම බොහෝ දුරට මඟ හරවා ගත හැකි ය.

පි‍්‍රය මනාප, සුන්දර පංච කාම අරමුණු පිළිබඳ මුලින් සිතේ ඇතිවන ආශාව, රාගානුසයයි. අපි‍්‍රය අමනාප අරමුණු පිළිබඳ සිතේ ඇතිවන ගැටීම, පටිඝානුසයයි. සක්කාය දිට්ඨිය මත ඇති වන විවිධ දෘෂ්ටි වල මූලික අවස්ථාව දිට්ඨානුසය යි. තෙරුවන කෙරෙහිත්, නිවන කෙරෙහිත් ආරිය මාර්ගය පිළිබඳවත් සිතේ ඇතිවන සැකය විචිකිච්ඡානුසය යි. සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන යන ත්‍රිවිධ මානයෙන් යුතු සිතිවිලි මානානුසයයි. කාම, රූප, අරූප යන භවයන්හි නැවත නැවත ඉපදීමට ඇති කැමැත්ත භවරාගානුසයයි. දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය හා දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා යන ආර්ය සත්‍ය පිළිබඳ ඇති අනවබෝධය, අවිඡ්ඡානුසයයි. මේ සියල්ලටම සංසාර ගමනට හේතුවන අකුසල ධර්මය.

ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හේතු කොට මේ සප්ත අනුසය හටගන්නා ආකාරය මහාකච්චාන මහරහතන් වහන්සේ විසින් ඉතා පැහැදිලිව දේශනා කොට ඇත. (මධුපිණ්ඩික සූත්‍රය) ඇසට රූපයක් ගැටීම හේතුකොටගෙන ඇසේ විඤ්ඤාණය (දැන ගැනීම) ඇති වෙයි. මේ ඇසත්, රූපයත්, ඇසේ විඤ්ඤාණයත් යන කරුණු තුනෙහි එකතුව ඇසේ ස්පර්ශයයි.

ඒ ස්පර්ශය නිසා විඳීම ඇති වෙයි. යමක් විඳියි නම් එය හඳුනා ගනියි. ඒ හඳුනා ගත් දෙය පිළිබඳ නැවත සිතයි. (විතර්ක කරයි.) ඒ විතර්ක හේතු කොටගෙන අකුසල සහගත සිතුවිලි (ප්‍රපඤ්ච) හට ගනියි. ඒ අකුසල සහගත සිතිවිලි අතීත, අනාගත, වර්තමාන වශයෙන් කාලත්‍රයට අනුව නැවත නැවත සිතීම, අනුසය වශයෙන් කෙලෙසුන් ගේ හට ගැනීම යි. මේ අයුරින් ම කන, නාසය, දිව, කය හා මනස යන ආයතන නිසා ද මේ කෙලෙස් අනුසය හටගන්නා ආකාරය තේරුම් ගත යුතු ය.

ආයතන හයට පැමිණෙන විවිධ අරමුණු පිළිබඳ සිහියෙන් නො සිටින සෑම අවස්ථාවකදීම මේ කෙලෙස් අනුසය හට ගන්නා බව, මෙයින් පැහැදිලි වෙයි. මේ නිසා කෙලෙසුන් ගේ මූලික අවස්ථාව වන අනුසය වශයෙන් කෙලෙස් හටගැනීම මැඩ පැවැත්වීමට නම්, ආයතන හය පිළිබඳ සිහිය පැවැත්විය යුතු ය. නිතර සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කළ යුතු යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ නිසා ය. සංසාර ගමනේ ආරම්භයේ පටන් ම, මේ සප්ත අනුසය ම අප අභ්‍යන්තරයේ පවතියි. සිහියෙන් හා වීර්යයෙන් තොරව ආයතන හයෙන් ගන්නා අරමුණු හේතු කොටගෙන සමහර අවස්ථාවලදී මේ අනුසය වර්ධනය වී, රාගය, ද්වේෂය, මානය ආදී වශයෙන් ප්‍රකට වෙයි. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමෙන් දිට්ඨානුසයත්, විචිකිච්ඡානුසයත් ප්‍රහාණය වෙයි.

රාගානුසය හා පටිඝානුසය, අනාගාමී ඵලයට පත් වීමෙන් ප්‍රහාණය වෙයි. මානානුසය, භවරාගානුසය සහ අවිජ්ජානුසය සම්පූර්ණයෙන් ප්‍රහාණය වන්නේ, අරහත් ඵලයට පත් වීමෙනි.

මේ අනුව අනු පිළිවෙළින් මාර්ග ඵල අවබෝධයට පත් වීමෙන් මේ සප්ත අනුසයම ප්‍රහාණය වන බව පැහැදිලි වෙයි. සිහියෙන්, වීර්යයෙන් තොරව ආයතන හයෙන් ලබා ගන්නා අරමුණු නිසා සකස් වන අනුසය කෙලෙස් සහමුලින්ම ප්‍රහාණය වීමට නම්, ඒ ආයතන වල යථා ස්වභාවය (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය) පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතු ය.සක්කා දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ යන ඕරම්භාගීය සංයෝජන පහ කුඩා දරුවකු තුළ අනුසය වශයෙන් පවතින බව ‘මාලුංක්‍යපුත්ත’ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළහ. අලුත උපන් කුඩා දරුවකුට පංච උපාදානස්කන්ධ පිළිබඳ කිසි වැටහීමක් නැතත්, ඔහු තුළ සක්කාය දිට්ඨිය අනුසය වශයෙන් පවතියි. තෙරුවන් හා නිවන පිළිබඳ කිසි දැනුමක් නැතත් විචිකිච්ඡාව අනුසය වශයෙන් අභ්‍යන්තරිකව පවතියි.

සීලය පිළිබඳ කිසි දැනුමක් නැති, උපන් දරුවාට සීලබ්බත පරාමාස සංයෝජනය අනුසය වශයෙන් පවතියි. මවුගේ කිරි වලින් පමණක් යැපෙන දරුවාට රූප, ශබ්ද, ගඳ සුවඳ පිළිබඳ අවබෝධයක් නැතත් කාමරාග, පටිඝ සංයෝජන අනුසය වශයෙන් පවතියි. මේ අනුව මේ කෙලෙස් අනුසය ද සංයෝජන ධර්ම ද සංසාර ගමන පුරා අපගේ අභ්‍යන්තරයෙහි පැවතෙමින් අපත් සමග ගමන් කරන බව පැහැදිලි ය.

මේ සියලු කෙලෙස් අනුසය ප්‍රහාණය පිණිස ඇති එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් අනුපිළිවෙළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කොට, ජීවිතයේ යථා ස්වභාවය අවබෝධයට වීර්ය කළ යුතු ය. අනුසය වශයෙන් හට ගන්නා කෙලෙස් තවදුරටත් වර්ධනය වන්නේ ‘අයෝනිසෝ මනසිකාරය’ (නුනුවණින් සිතීම) නිසා ය. ‘සුභ’ නිමිත්තත්, අයෝනිසෝ මනසිකාරය ත්, රාගයට හේතු වන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළහ. සුභ නිමිත්ත යනු රාගය ඇති වීමට හේතුවන කාරණයයි. අයෝනිසෝ මනසිකාරය අප අභ්‍යන්තරයේ පවතියි. මේ දෙක නිසා, රාගය ඇති වෙයි.

පටිඝ නිමිත්තක් (ද්වේශයට හේතු වන කාරණයත්) අයෝනිසෝ මනසිකාරයත් නිසා, ද්වේශය ඇති වෙයි. මේ අයුරින් හටගත් සියලු කෙලෙස් අනුසය, අප තුළ ඇති අයෝනිසෝ මනසිකාරය නිසා වර්ධනය වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කිරීමෙන් මේ අයෝනිසෝ මනසිකාරය වළක්වා යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීම මගින් කෙලෙස් අනුසය වල සැබෑ තත්ත්වය අවබෝධ වෙයි. හට ගන්නා සියලු කෙලෙස් අනුසය හේතුඵල දහමක නිරන්තර ක්‍රියාකාරිත්වයක් බව හඳුනා ගැනීමෙන්, අනුසයන්ගේ නිරෝධය වෙයි. එබැවින් සසර ගමනට හේතුවන අප සියලු දෙනා තුළ අභ්‍යන්තරික පවත්නා මේ කෙලෙස් අනුසය ප්‍රහාණය පිණිස අපි ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කිරීමට වීර්ය කරමු. සැමට තෙරුවන් සරණයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.