Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විපත් දුරලන සැබෑ සරණ

සොරකම් කරන්නා සැම විටම බියෙන් හා තැතිගැනීමෙන් පසුවන්නේ සොරකම හසුවෙතැයි යන සැකයෙනි. කාම මිථ්‍යාචාරයේ යෙදෙන්නාට ද එසේය. අපකීර්තිය ලෙඩ රෝග ආදිය ඔහු පසුපස එයි. තැන්පත් සිතක් ඇතිව කටයුතු කිරීම හා මනා සිහියෙන් කටයුතු කිරීම සෑම කටයුත්තකම සාර්ථකත්වයට හේතුවකි. දුර්ගුණයන්ගෙන් යුක්ත වූ විට මිනිසුනට බිය හා තැති ගැනීම් ඇති වෙයි. මනුෂ්‍ය සිත් සතන් තුළ යහගුණ වර්ධනය කිරීම තුළින් සියලු බිය හා තැති ගැනීම් දුරලිය හැකි බව පැහැදිලි වෙයි. එවිට සියලු බිය හා තැතිගැනීම්වලින් විනිර්මුක්ත උතුම් අමා මහ නිවන් සුවය ද ඔබට හිමි වෙයි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“බහුං වෙ සරණං යන්ති පබ්බතානි වනානිච
ආරාම රුක්ඛ චෛත්‍යානි මනුස්සා භය තජ්ජිතා “

(ධම්මපදය බුද්ධ වග්ගය )

පින්වත්නි!

මිනිසුන් බියට හා තැති ගැනීමට පත් වූ කල්හි බොහෝ සෙයින්, ආරාම , වෘක්‍ෂ, පර්වත හා වනාන්තර සරණ යන බව ඉහත ගාථාවෙන් ප්‍රකාශ වෙයි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ අග්ගිදත්ත නම් තවුසා ප්‍රමුඛ ඔහුගේ ශිෂ්‍ය තවුසන් පිරිසක් අමතමිනි. අග්ගිදත්ත තවුසා ඇතුළු ඔහුගේ අනුගාමික පිරිස වනගතව තාපස වේශයෙන් කල්ගත කරන කල්හී ඔවුන්ට යම් යම් බිය , තැති ගැනීම් ආදිය ඇති විය. ඒ බව දැනගත් අග්ගිදත්ත තම ගෝලයින්හට, බිය හා තැති ගැනීම් වලින් මිඳුමට, පර්වත , වන, අරම්, රුක් සරණ යන ලෙස දන්වයි. මේ පිරිස රහත් වීමට පින් ඇති පිරිසක් බව දැනගත් බුදුරජාණන් වහන්සේ එම වන ප්‍රදේශයට වැඩම කොට බිය තැති ගැනීම් වලදී පර්වත, වන, අරම් රුක් ආදිය සරණ යාමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බව වදාරා ඉහත ගාථාව මුල් කරගෙන දහම් දෙසූහ.

ගස් ගල් පර්වත, වන ආදියට වැඳුම් පිදුම් කිරීම ඉතා ඈත අතීතයේ සිටම මිනිසුන් අතර පැවති බවට සාධක බොහෝ තිබේ. අව් වැසි සුළං ගිනි වැනි බලවේග පාලනය වන්නේ අදෘෂ්‍යමාන යම් කිසි අයෙකු නිසා යැයි සිතූ මිනිස්සු එම අදෘෂ්‍යමාන පුද්ගලයින් සතුටු කිරිමට සිතා විවිධ පුද පූජා කළෝය. ඔවුන් සතුටු කිරීමෙන් බිය තැති ගැනීම් ආදිය පහවන බව සිතූහ. ස්වාභාවිකව ඇති වන විපත් වලින් තමන් ආරක්‍ෂා වෙතැයි ද සිතූහ. මිනිසුනට බිය තැති ගැනීම් ලොමු ඩැහැගැනීම් ආදිය වන්නේ, අව් වැසි සුළං ගිනි ආදිය මෙන්ම, වා පිත් සෙම් කිපීමෙන්ද අමනුෂ්‍ය උපද්‍රව හා සොර සතුරු බිය ආදිය ඇතිවීමෙන් ද බව සිතන අතර, ග්‍රහ අපල නිසා ද, දේව කෝප නිසාද එසේ වන බව ඇතැම් අය කල්පනා කරති.

මිනිසුන් ඇතුළු සියලු සතුන්ටම ‘බිය’ පොදු ධර්මතාවක් බව කවුරුත් දනිති. මිනිසුන්ට ඇති වන බිය හා තැති ගැනීම් වලට හේතු ඉහත සඳහන් ගාථාව අනුසාරයෙන් පැහැදිලි වන අතර, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, මජ්ක්‍ධිම නිකායේ භයභේරව , සූත්‍රයේ දී ද මේ පිළිබඳ කරුණු විස්තරාත්මකව දේශනා කොට තිබේ.

බුදුරදුන්ගේ කරුණු පැහැදිලි කිරීම් වලට අනුව, බිය තැති ගැනීම් වලට හේතු මෙසේ සංක්‍ෂිප්ත කොට දැක්විය හැකිය. හොරකම, කාමමිථ්‍යාචාරය හා සුරාව, සූදුව, දුම්වැටිය ආදිය ඇතුළත් අපිරිසුදු කායකර්ම, බොරුව, කේලම, සම්ඵප්ප්‍රලාප , නපුරු වචන ඇතුළත් වන නපුරු වාක්කර්ම ලෝභකම ද්වේෂය පදනම් කොටගත් දුෂ්ට කල්පනා, එළඹසිටි උත්සාහය හීන කරවන කල්පනා , අවංක නොවූ ගති, සැකය, තමන් හුවා දක්වන අනුන් හෙලා දකින, අත්තුක්කංසන පරවම්භන ගතිය , දළදඬු ගති, ලාභ සත්කාර ආදියට ගිජුවීම කුසීතකම , හොඳනරක , හරිලෙස තේරුම් ගැනීමට නො හැකි ස්වභාවය හෙවත් , මෝඩකම , සිත එකඟ කර ගන්නට ඇති නො හැකියාව, නිතර දොඩමලු ස්වභාවය ආදි කරුණු බිය හා තැති ගැනීම් වලට හේතු වෙයි. ඕනෑම පුද්ගලයෙකුට යම් බියක් හා තැති ගැනීමක් ඇතිවීමට මින් එක් හේතුවක් හෝ මුල් වන බව ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි වෙයි.

එසේ නම් බිය හා තැති ගැනීම් වලින් මිදීමට කළ යුතු වන්නේ මෙම හේතු දුරලීමට වෙර දැරීමයි. ඉහත දැක් වූ දුර්ගුණ වලින් මිදී යහගුණ වර්ධනය කරගන්නා අයෙකුට ගස් ගල් පර්වත වන අරම් ආදියෙහි පිහිටෙන් තොරව විපත්වලින් මිදීමට පහසු බව බුද්ධ දේශනාවයි.

බියක් හා තැති ගැනීමක් ඇති වූ කල්හි එයින් මිදීමට පහසු ක්‍රම සොයන, ඇතැම් ආත්ම ශක්තිය හීන, අලස වූ, අධෛර්යවන්ත වූ අය ගස්, ගල් , පර්වත, වන අරම් මෙන්ම දේවාලවලට ද විවිධ වැඳුම් පිදුම් කරන අයුරු එදත් අදත් සුලභ දෙයකි. පුදුමය නම් බුද්ධිමත් නූතන ලෝකයේ ද එවැනි දේ නො අඩුව දක්නට ලැබීමයි.

සොරකම් කරන්නා සැම විටම බියෙන් හා තැතිගැනීමෙන් පසුවන්නේ සොරකම හසුවෙතැයි යන සැකයෙනි. කාම මිථ්‍යාචාරයේ යෙදෙන්නාට ද එසේය. අපකීර්තිය ලෙඩ රෝග ආදිය ඔහු පසුපස එයි. එනිසා ඔහුට සැම විට බිය තැතිගැනීම පවතී. වැරදි වචන භාවිතා කරන්නාද ජීවත් වන්නේ බියෙනි. සැකයෙනි. වැරැදි වදන් පසුපස ඒවා හඹා එයි. අලසකම හා මෝඩකම මෙන්ම ද්වේශය පසුපස ද සැනසුමක් නැත. පරිහානිය , මානසික අසහනය හා අපකීර්තිය දුක වේදනාව පැමිණේ. ලෝභියා කිසිවිටෙක සතුටු නොවේ. කෙතරම් ලැබුණත් ඔහු හිත පිරීමක් නො ලබයි. හැමදා ඔහු අසහනයෙන් පසුවෙයි. එයින් ජීවිතය පිළිබඳ බිය , සැක , තැතිගැනීම ඇති වෙයි. ඍජු වීම ඉතා ඍජුවීම බියෙන් තොර සැනසිලිමත් දිවියකට වැදගත් කරුණකි. එයින් වෙන් වූ කල්හි වංක පුද්ගලයා සමාජ පිළිකුලට බඳුන් වෙයි. ඔහු හුදෙකලා වෙයි. ආරම්භ කළ කටයුතු අතර මග නවත්වන අලස සිතුවිලි ථීනමිද්ධ ලෙස දහමේ සඳහන් වෙයි. ඒ තුළින් කිසි වැඩෙක නිමාවක් දැකිය නොහැකිය. පුද්ගලයා සදාකල්හි එකම තැන සිටීමට එය හේතු වෙයි. එම ගතිය ඇති අයෙකුට අනාගතය පිළිබඳ බියක් මිස සතුටක් අත්විඳිය නොහැකිය.

වැරදි වචනයක් පිට වූ කල්හි එය නැවත සකසා ගැනීම අපහසුය. එනිසා දොඩමලු ස්වභාවය ද බියට හා තැති ගැනීමට හේතුවකි.

තැන්පත් සිතක් ඇතිව කටයුතු කිරීම හා මනා සිහියෙන් කටයුතු කිරීම සෑම කටයුත්තකම සාර්ථකත්වයට හේතුවකි. සිතෙහි අවුල් සහගත බවක් ඇතිව ක්‍රියා කරන කල්හී නො කළ යුතු දේත් සිදුවෙයි. වැඩ කටයුතු තෝරා බේරා ගැනීමට හා හොඳ නරක අවබෝධ කර ගැනීමට එය බාධාවකි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඉහත සඳහන් දුර්ගුණයන්ගෙන් යුක්ත වූ විට මිනිසුනට බිය හා තැති ගැනීම් ඇති වෙයි. එවැනි අවස්ථාවලදී සහනය පතා ගස් ගල් පර්වත ආදිය සරණ යාමෙන් පලක් නොවන අතර, මනුෂ්‍ය සිත් සතන් තුළ යහගුණ වර්ධනය කිරීම තුළින් සියලු බිය හා තැති ගැනීම් දුරලිය හැකි බව පැහැදිලි වෙයි. එනිසා යහගුණ හා යහපත් සිතිවිලි පෝෂණය කරගෙන, මෙලොව පරලොව දෙකෙහි බියෙන් හා තැති ගැනීමෙන් තොර සහනශීලි ජීවිතයක් ඇති කර ගන්න උත්සාහ කරන්න. එවිට සියලු බිය හා තැතිගැනීම්වලින් විනිර්මුක්ත උතුම් අමා මහ නිවන් සුවය ද ඔබට හිමිවෙයි.

තෙරුවන් සරණයි

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.