Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පෞද්ගලික අංශයට සීමා රහිතව ඉඩ දීමෙන් මේ දුර්වල මානසිකත්වය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ලාභය එකම අරමුණ කොට ක්‍රියාකරන බව දැන් ලෝකයා හොඳ හැටි අත්දැක ඇත. එනිසාය, අපට කිව හැක්කේ කූටදත්ත සූත්‍රාන්තයෙහි පෙන්වා දී ඇති පරිදි, රජයට සහභාගි විය හැකි තත්ත්වයක් ඇතිව රාජ්‍ය පෞද්ගලික මහා පරිමාණ මෙහෙයැවීම් අවශ්‍ය බව.

මිනිසාගේ ප්‍රශ්න විෂය වශයෙන් වෙන් කොට ගෙන හැදෑරීමත්, ඒ එක එක විෂය තුළ ද ඇතැම් අංශ පිළිබඳව වෙන වෙනම හැදෑරීමත් නිසා මෑත යුගයේ මිනිසා විසින් අත්කර ගෙන ඇති ඥාන සම්භාරය අති විශාලය. ස්වකීය ක්ෂේත්‍රය තුළ ඉතා ගැඹුරට හැදෑරීමේ අවස්ථාව මේ නිසා ලබාගෙන තිබේ. එවැනි අධ්‍යයනයන්ගෙන් අත්පත් කර ගන්නා විශේෂඥ දැනුම මිනිස් වර්ගයාගේ දියුණුව සඳහා ඉතාම වැදගත් වෙයි. එය එසේ වුවත් එමගින් අනපේක්ෂිත දුර්විපාක රැසක් ද උද්ගත වන බව එවැනි අධ්‍යයනයන්හි යෙදුණු විශේෂඥයින්ටම තේරුම් ගැනීම අපහසු වී ඇති බව පෙනේ.

මා මෙහිදී විශේෂයෙන් සඳහන් කරනුයේ ආර්ථික ක්‍ෂේත්‍රය සම්බන්ධයෙනි. ආර්ථික විද්‍යාව අනෙකුත් අධ්‍යයන අංශයන්ගෙන් වෙන්කොට ගෙන හැදෑරීම නිසා උද්ගත වී ඇති ගැටලු සඳහා විශේෂඥයින් ඉදිරිපත් කරන විසැඳුම් යෝජනා ක්‍රියාත්මක කිරීමේදී වෙනත් නොයෙකුත් අංශවල ගැටලු විශාල වශයෙන් පැන නැගීම බලාපොරොත්තු විය යුතුය.

දැන් ලෝකය යළිත් වරක් ආර්ථික අර්බුදයක නිමග්න වී සිටියි. බැංකු ප්‍රමුඛ මූල්‍යායතන පවත්වා ගෙන යෑම සඳහා රාජ්‍ය ආධාර අවශ්‍ය වී තිබේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට රැකියා නොමැති අතර දහස් ගණනින් මිනිසුන් රැකියා වලින් ඉවත් කරනු ලැබේ. නිෂ්පාදන විකුණා ගැනීමට අපහසු වී ඇති නිසා ආනයන අපනයන වෙළෙඳාම අනතුරකට භාජනය වී තිබේ. ධන කුවේරයන්ගේ පරිභෝජන රටාව පවා වෙනස් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් කෙරේ. ලබාගත් ණය ආපසු නොගෙවීම නිසා මූල්‍යායතන බංකොලොත් බව ලබමින් තිබේ. මේ ආදී වූ අනේක විධ ආර්ථික අර්බුද උද්ගත වෙමින් පවතී.

විශේෂයෙන් සංවර්ධනයෙහි උපරිමයේ සිටින ඇමෙරිකාව වැනි රටවල සුපිරි ධනවතුන්ගේ ක්‍රියා කලාපය මෙයට හේතු වී ඇති බව ප්‍රකාශ වී තිබේ. පංචකාම සම්පත් අනුභවයෙහි කෑදරකමින් පෙළෙන කෝටිපති ධන කුවේරයන් ඉහළම ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් කෙරෙන අර්ථික කපටිකම් නිසා අතිමහත් ජනතාවක් දුෂ්කරතාවනට පත්වී ඇත්තේ ගෝලීයකරණයේ අනිෂ්ට විපාක වශයෙනි.

නිවාස තැනීම වැනි මහා ලාභදායි ව්‍යාපාර සඳහා බැංකු මගින් නිකුත් කැරුණු ණය ආපසු නොගෙවීම ආසන්න ම කාරණයක් වුවත් මේ ආර්ථික අර්බුදයේ මූලික හේතුව ධනපති අතළොස්සකගේ කාමසුඛල්ලිකානුයෝගී ජීවන රටාව ම බව විශ්ලේෂණයන්ගෙන් හෙළිදරව් වී තිබේ. මේ ලිපියෙහි අරමුණ ඒ අර්බුදයේ හේතු සාධක විමර්ශනය කිරීම නොව මෙවැනි අර්බුද උද්ගත නොවන අර්ථ ක්‍රමයක් සඳහා බෞද්ධ ඉගැන්වීම අනුව කරුණු ස්වල්පයක් සාකච්ඡාවට ගැනීමය.

මිනිසාගේ ආර්ථික කටයුතු, මිනිසා පිළිබඳ අනෙකුත් අංශයන්ගෙන් වෙන් කොට ගෙන හැදෑරිය නොහෙන බව බුදු දහමෙහි අනන්‍යතාව ප්‍රකට කෙරෙන ප්‍රතීත්‍ය සමුත්පාද දර්ශනයෙන් හෙළිවෙයි. මේ නිසා විශේෂයෙන් මිනිසා පිළිබඳ විග්‍රහය ද ආචාර විද්‍යාත්මක නිර්ණායකද පදනම් කොට ගෙන ආර්ථික කටයුතු මෙහෙයැවීම අවශ්‍ය ය.

මිනිසා යනු තමා වෙනුවෙන් මවන ලද විශ්වයක සම්පත් තමන්ගේ හිතුමතයට ප්‍රයෝජන ගැනීමේ අවසරය ලද සුපිරි බලවතෙක් නොවේ. මිනිසා ද ස්වභාව ධර්මයේ ම කොටසකි. එනිසා, අනෙකුත් මිනිසුන් හෙවත් සමාජයද, සත්ත්ව සන්තතිය ද, ශාක පද්ධතිය ද, භෞතික වස්තු සම්භාරය ද ගැන නිසි පරිදි සලකා බැලීමෙන් තොරව මිනිසාට අත්තනෝමතිකව ක්‍රියා කළ නොහැකිය. එසේ ක්‍රියා කරන හැම අවස්ථාවේදීම, කෙටි කලකදී හෝ දිගු කලක දී ඔහු අනිවාර්යයෙන් එයට දඬුවම් විඳිනු ඇත. පාරිසරික ප්‍රශ්න උද්ගත වී ඇත්තේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බව නිදසුනක් ලෙස ඉදිරිපත් කළ හැකිය.

මිනිසා යනු තනි තනිව ජීවත් විය හැකි පෘථක් ජීවී ඒකකයක් ද නොවේ. අනෙකුත් මිනිසුන් හෙවත් සමාජය සමග සුහද සබඳතා ගොඩනඟා ගැනීමෙන් තොරව කිසි මිනිසකුට සාර්ථක ජීවිතයක් ගත කළ නොහැකියි. මේ බව සත්‍යයක් ලෙස පිළිගන්නේ නම් මිනිසාගේ පොදු ස්වභාවයත් මිනිසාගේ පොදු අවශ්‍යතාවනුන් හැඳින ගෙන එයට සරිලන පරිදි ආර්ථිකය ද සකසා ගත යුතුය. එසේ කි‍්‍රයා කරන කිසිවකුටත් මිනිසුන් ආර්ථික භාණ්ඩ බවට පත් කරන, ලාභය එකම අරමුණ කරගත් (ලාභේන ලාභං නිජිගිංසනතා) ආකල්පයෙන් නිෂ්පාදනය හෝ පරිභෝජනය හැසිරවීමට පුළුවන්කමක් නැත.

මිනිසා යනු නොමියෙනු කැමැති, ජීවත් වනු කැමැති, සැප පතන දුක් පිළිකුල් කරන (අමරිතුකාමා, ජීවිතුකාමා , සුඛකාමා , දුක්ඛ පටික්කූලා) ජීවියෙකි. මෙය සැමටම පොදු ස්වභාවයක් නිසා තමා උපමා කොට ගෙන අනෙකුත් මිනිසුන් කෙරෙහි පැවතිය යුතුය. (අත්තූපනායික ධම්ම පරියාය) ආර්ථික කටයුතු සියල්ල මෙහෙයැවිය යුත්තේ එයට අනුකූ®ලව ය. එසේ ක්‍රියා කරන්නේ නම් සමස්ත මානව සංහතිය වඳ වී යෑමේ න්‍යෂ්ටික තර්ජන තබා, ආක්‍රමණ, සංග්‍රාම, ආරවුල් පවා උද්ගත වීමේ අවස්ථා උදා නොවේ. සම්පත් සූරාකෑමේ තෘෂ්ණාවෙන් ඒ ඒ ස්වාධීන රටවල දේශ සීමාවන් ඉක්මවා ක්‍රියාකරන අශෝභන තත්ත්වයන් අද උද්ගතව ඇත්තේ එම කරුණ නොතකන මිනිසුන් නිසා ය.

මිනිසා යනු ආචාර විද්‍යාත්මක නිර්ණායක අමතක කළ විගස තිරිසන් සතුනටත් අන්ත තත්ත්වයකට ඇද වැටෙන සත්ව විශේෂයකි. එය අමතක කළ බටහිර ආර්ථික විද්‍යාඥයන්, අඩු තරමින් තව අවුරුදු සියයකටවත් සදාචාරය අමතක කර ආර්ථිකය නැංවිය යුතුයැයි ගත වූ ශත වර්ෂයේ මුල් හරියේදී දෙසූ ‘ආර්ථික බණ’ නිසා මිනිස් ගුණ ගරා වැටුණු මිනිස් පරපුරක් බිහි විය.

බෞද්ධ ආචාර විද්‍යාවේ මූලධර්ම සැකසී ඇත්තේ මිනිසා හුදෙකලාව ජීවත්වන ජීව ඒකකයක්ය යන පෘථක් පිළිගැනීම මත නොව, මිනිසා වනාහි සමාජය ද ජීව හා භෞතික පරිසරයද සහිත සමස්තයේ අංශුමාත්‍රයක්ය යන ආර්ය දර්ශනය පදනම් කොට ගෙන ය. ඒ අනුව ‘හොඳ’ යනු පුද්ගලයාට ද සමාජය ට ද පරිසරයට ද එක සේ හිතකර ක්‍රියා ය. එනම් අත්තහිත , පරහිත ක්‍රියා ය. බුදුදහමෙන් නිර්දේශිත සමස්ත ආර්ථික ක්‍රියාවලිය මේ ආකල්පය විසින් මෙහෙයවනු ලැබේ. එහිදී පුද්ගලයාට හෝ සමාජයට හෝ කිසිදු අයුරකින් දුෂ්කරතාවයට, ගැටලුවලට මුහුණ පෑමට සිදු නොවේ. බෞද්ධ උභයාර්ථ දර්ශනය මේ කරුණ මැනැවින් ප්‍රකට කරයි.

අන්ධ (ද්විචක්ඛු) සූත්‍රය මේ කරුණ අවධාරණය කරන්නේ මෙලෙසිනි. මිනිසා සතු දෑසක් ඇත. ආර්ථික සංවර්ධනය එක ඇසක් ද සදාචාර වර්ධනය අනෙක් ඇස ද වෙයි. මේ බව තේරුම් ගෙන, ස්වකීය ජීවන ක්‍රමය සකසා ගත් දෑස පෙනෙන මිනිසුන් බිහි විය යුතුය.

මේ සඳහා රටක පුද්ගලයින් වෙන වෙනම ආකල්ප සංස්කරණයකට භාජනය විය යුතු අතර රජය ප්‍රමුඛ ආයතනයන්හි ආර්ථික කටයුතු ද විප්ලවීය වෙනසකට භාජනය කළ යුතුය. පුද්ගලයා පමණක් තැනීමෙන් හෝ සමාජය පමණක් සැකසීමෙන් අභිමත අපේක්ෂාවන් ඉටු නොවන අතර පුද්ගලයා මෙන්ම සමාජය ද එකවර සකසා ගත යුතු බව බෞද්ධ ඉගැන්වීම් මගින් අවධාරණය වේ.

අර්බුද හට නොගැනීමට නම්, පුද්ගලයන් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් පරිභෝජන රටා ව ද රාජ්‍යය ප්‍රමුඛ ආයතන සම්බන්ධයෙන් නිෂ්පාදනය හා බෙදාහැරීම් රටාව ද ප්‍රබුද්ධ සංස්කරණයකට භාජනය විය යුතුය.

පරිභෝජනයෙන් බලාපොරොත්තු වන තෘප්තිමත් බව භාණ්ඩ හා සේවා කෙරෙහි පවතින්නක් නොවේ, එය මානසිකය. ආර්ථික භාණ්ඩ වනාහි මුඛ්‍ය වශයෙන් කය පිනවීම සඳහා යොදා ගැනේ. කාමසුඛල්ලිකානුයෝගය ද (අත්තකිලමථානුයෝගය මෙන්ම) කය කේන්ද්‍ර කොට ගත් ජීවන ක්‍රමයකි. බුදුදහම කය නොව මනස ප්‍රධාන කොට සලකයි. (මනෝ පුබ්බංගමා ධම්මා) භාණ්ඩ හා සේවා වැඩි වුවත් අඩු වුවත් සකස් වූ මනසකට තෘප්තිය ලබාගත හැකියි. ඒ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනසකි. එනිසා අනුකරණය, තරගය, ප්‍රදර්ශනය හා කෑදරකම අරමුණු කර නොගෙන අවශ්‍යතා හා සුවපහසුව සපුරාලන භාණ්ඩ හා සේවා සපයා ගැනීමෙහි ලා මිනිස් මනස සකස් විය යුතුය.

මේ ආකාර පාරිභෝගික සමාජයක් බිහි කළ හැක්කේ ලාභය එකම අරමුණ කරගත් ව්‍යාපාරික ක්‍රමයකට නොවේ. ප්‍රකටත්වයට පත් නොවුණ ද අනුශය අවස්ථාවේ තිබෙන ආශ්‍රව අවස්ථා ලද විගස ක්‍රියාත්මක වන බව මිනිස් ස්වභාවය නිසා එමගින් දූෂණයට පත් වීමට මිනිසා පෙළඹෙන බව දැන දැන ආර්ථික සංස්ථා ගොඩනැංවිය යුතුය. හැමවිටම මදි බවත්, තණ්හාදාස බවත්, කහවනු වැස්සකිනුත් සෑහීමකට පත් නොවීම මිනිස් ස්වභාවය බව බුදුදහම හෙළි කරයි. (ඌතෝ අතිත්තෝ තණ්හා දාසෝ, න කහාපණ වස්සේන තිත්ති කාමේසු)

පෞද්ගලික අංශයට සීමා රහිතව ඉඩ දීමෙන් මේ දුර්වල මානසිකත්වය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ලාභය එකම අරමුණ කොට ක්‍රියාකරන බව දැන් ලෝකයා හොඳ හැටි අත්දැක ඇත. එනිසාය, අපට කිව හැක්කේ කූටදත්ත සූත්‍රාන්තයෙහි පෙන්වා දී ඇති පරිදි, රජයට සහභාගි විය හැකි තත්ත්වයක් ඇතිව රාජ්‍ය පෞද්ගලික මහා පරිමාණ මෙහෙයැවීම් අවශ්‍ය බවය. එසේම සතර සංග්‍රහ වස්තු හා බඹවිහරණ වැනි උතුම් සමාජ ධර්ම ක්‍රියාවට නැංවිය හැකි ඉඩ හසර සපයන සාමුහික ප්‍රයත්නයන් (සමුපකාරය වැනි) දිරි ගැන්වීම අවශ්‍යය. එවිට ලාභය එකම අරමුණ කර ගෙන කෙරෙන දූෂණ වංචන ක්‍රියා බොහෝ සෙයින් අවම කළ හැකිය. නිෂ්පාදනය කළ යුත්තේ සාමාන්‍ය ආදායම් උපයන බහුතර ජනතාව සලකා බලා ද නැතිහොත් අධික ලාභ ලබාගත හැකි අධි සුඛෝපභෝගී භාණ්ඩ ද යන්න එහිදී තීරණය වනු ඇත.

පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන් ම ආයතනික වශයෙන් ද දැඩි තණ්හාවෙන් තොර (අගථිත) මුළාවට පත් නුවූ (අමුච්ඡිත) නොවැදගත් (අනජ්ඣාපන්න) දර්ශනයෙන් පරිභෝගික මානසිකත්වය සංස්කරණය විය යුතුය. එවිට තිරසර නොවන, අධි පරිභෝජනය අත්හැරෙනු ඇත. පරිභෝජනයේ සැබෑ අරමුණු අත්කර ගැනීමට පුළුවන. එවිට පරිභෝජනයෙහිම ගැලී එයින්ම ජීවිතය අවසන් වන ශෝචනීය තත්ත්වය නැතිව යයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.