Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ‍අංශාධිපති

සාලිය කුලරත්න

වෙනත් ආචාරවාදී දර්ශන සමග සසඳන විට , බුදුසමයේ සඳහන් ආචාර විද්‍යාව අතිශයින් මානුෂික හා ප්‍රායෝගික බව කිව යුතුය (හොඳ නරක විනිශ්චයෙහිලා යෙදිය හැකි බෞද්ධ සදාචාරාත්මක නිර්ණායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උඩුහාවර ආනන්ද හිමි, 2008 මාගධී ශාස්ත්‍රීය සංග්‍රහය) බුදුන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දූතයන් අමතා සඳහන් කළ “ බහු ජන හිතාය , බහුජන සුඛාය” යන පාඨ විමංසනසීලිව සලකා බැලීමේදී බුදුසමය සපුරා පරහිතකාමී ආචාරවාදයක් බව පැහැදිලි වේ. සමස්ත මනුෂ්‍යත්වයම පිඬු කළ විට, ආචාර වාදී ලෙස මනුෂ්‍යයන් සිවු කොටසක් සමාජයේ දැකිය හැකි බව බුදුහු දෙසූහ.

1. නෙව අත්ත හිතාය , නෙව පරහිතාය (තමාට හෝ අනුන්ට වැඩ පිණිස හිත පිණිස නොවූ )

2. පරහිතාය පටිපන්තො, නෙව අත්තහිතාය (අනුන්ගේ යහපත මිස තම යහපත නොසලකන අය )

3.අත්තහිතාය පටිපන්නො, නෙව පර හිතාය (තමාට වැඩ පිණිස විනා අනුන්ට යහපතක් නොපතන පුද්ගලයන්)

4. අත්තහිතාය පටිපන්නො, පරහිතාය (අනුනට සේම, තමාටද යහපත පිණිස කටයුතු කරන ) යනාදී සිවු පුද්ගල ගණය ගැන අංගුත්තර නිකායේ ජ්වලාත සූත්‍රයේ දැක්වේ.

මේ විවිධ ගතිගුණ වලින් යුත් පුද්ගලයන් , තමාට ඇත්තේ අසවල් දුබලකම බව වටහා නොගන්නේ, පුහුදුන් භාවයට ආවේණික දැනුමෙහි වූ අසම්පූර්ණත්වය නිසා බව, බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේගේ, අටුවා විවරණය ගැන පැහැදිලි කිරීමක් කරන ජර්මන් ජාතික ඥාන පොනික හිමියෝ ‘’  The three fold Refuge’’’ නම් ග්‍රන්ථයේ දක්වති. (පරිවර්තනය මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස ) බොහෝ සමාජ අර්බුද හා ගැටීම් හට ගන්නේ, ඥානය ගවේෂණය නොකර, සැඩ පහර ගසා යන දෙසටම ගමන් කරන මිනිස් ස්වභාවය (අථායං ඉතර, පජ, තීරමෙව අනුධාවතී) නිසාය. තෘෂ්ණාවේ සියුම් ස්වරූප වටහාගැනීම් ශක්තිය නැතිකමද මෙබඳු පුද්ගලයන් සතු දුබලකමකි. තෘෂ්ණාවේ ත්‍රිවිධ බෙදීම් අතර එන්නා වූ කාම, භව හා විභව යන ප්‍රභේද අතර, බොහෝ පුද්ගලයෝ විභව තෘෂ්ණාවෙන්, කනගාටුවටත් ආතතියටත් පත්ව සිටිති. තමන් ගේ අධිපති භාවය, ජ්‍යෙෂ්ඨත්වය, ප්‍රමුඛභාවය සිය ආයු කාලයෙන් පසු ද පැවතීමේ අසරණ එහෙත් වියරු ආශාවකින් සමහරු සාංකාකූලවෙති. එක් යුගයකදී තමාගේ අවවාද ඇසූ, තමාට සුවච කීකරු වූ පීරිස්, කිසියම් කලකට පසු තමා ඉක්මවායාම , තමාගේ අධිකාරය පිළි නොගැනීම, අනිත්‍ය ධර්මයේ ලකුණකැයි වටහා ගැනීමෙන් සිත සන්සුන් කර ගැනීමට බැරිවීමෙන් දැඩි මානසික පීඩනයට පත් වූවන්ගෙන් , සමාජයේ විවිධ ආයතන හා පවුල් සංදර්භයන් පිරී පවතී. ඇතැම් මිනිසුන් සිතනුයේ “ මේවා මම කරපු පව් “ (සයංකතවාදය) ආදී වශයෙනි. තවත් අය “ මේකට වගකිව යුත්තේ අර මිනිහා “ (පරංකතවාදය) යනුවෙන් සිතති. මීටත් අතිරේකව තවත් සමහරු “මේක කළේ මම වුණාට අරක කළේ ඒ මිනිහා “ (සයං කතංච පරං කතංච ) ආදී ලෙසින් සිතිවිලි ඇති කර ගනිති. වඩාත් බටහිර චින්තනය දෙසට යමින් පුද්ගල ක්‍රියාකාරිත්වයක් ලෝකීය සංදර්භයත් ඉබේ සිදුවන යාන්ත්‍රික දෙයක් ලෙස (ආසයංකාර , අපරංකාර , අධිච්චසමුප්පන්න) ලෙස සිතන පිරිස් ද වෙති.

බටහිර විද්‍යාවේ ඇති තර්ක න්‍යායට ගැති වූවෝ මෙහි අවසනට කී වර්ගයට ඇතුළත් වෙති. කෙතරම් නූතන යැයි කීවද, හුදු තර්කය ඥාන මාර්ගයක් නොවේ. මෛත්‍රී නම් උපනිෂද් ග්‍රන්ථයෙහි දක්වා ඇත්තේ, තමාට වාසි ගෙන දෙන අසත්‍ය තර්කයෙන් හා අසාධාරණ ඒත්තු ගැන්වීම් වලින්, මිනිස්සු තවදුරටත් ප්‍රඥාවට ඇති මාර්ගය වසා ගන්නා අතර විද්‍යාවෙන් ඈත් වන බවය. බටහිර මනෝවිද්වතුන් අතිශයින් පෘථුල ගවේෂණ කරමින් සැබෑ ජීවිත සතුට ගැන පර්යේෂණ කරන කාලයකි මේ. මහාචාර්ය දයා එදිරිසිංහ 1997 දිනමිණ වෙසක් කලාපයට ලිපියක් ලියමින් පවසන්නේ අප අතර බොහෝ දෙනෙක් සැබෑ සතුට යනු කුමක් දැයි නොදන්නා බවකි. තම පුතු හෝ දුව, තමාට සරිලන්නේ යැයි සිතන පෙම්වතා හෝ පෙම්වතිය , ඔවුන්ගේ දෙමාපියන්ගේ සිත් නොගනී. පුතා හෝ දුව සමාජ සබඳතා පැවැත්විය යුත්තේ, ඒ අය රැස් කරගත් දැනුම නිර්ණායකයක් කරගෙනනොව, දෙමාපියන් අනෙකුත් සහෝදර සහෝදරියන් උපදෙස් දෙන අන්දමිනි. මෙසේ වූ විට පුතා හෝ දුව සිය සියුම් දැනුම හා අර ගතානුගතික දැනුම යන දෙක සසඳා තම ස්වාධීනත්වයට ඉඩ දෙති. එසේ වූ විට ගතානුගතික පිරිස මුලින් දුකට පත්වන අතර කලාති ක්‍රමයෙන් එය අමනාපයකටත් , ඇතැම් විට වෛරයකටත් හරවා ගනිති. ගතානුගතික අය අමනාප කර නොගෙන , ඔවුන්ගේ මතිමාත්‍රයන්ට යම් හෙයකින් ඉඩ දී තම පෞද්ගලිකත්වය කැප කළ හොත් දුව හෝ පුතා දුකටත්, අමනාපයටත් ඇතැම් විට කෝපයටත් පත් වෙයි. මේ අන්ත දෙකම , පුද්ගල සැනසීම නැති කරයි. යෝනිසෝමනසිකාරයෙන් (අවදිමත් මනෝ භාවයකින්) සිතන අයෙක් කළ යුත්තේ ඒ ඒ අය , තම තමන්ගේ දැඩි බැඳීම් වලට හසු නොකරගෙන, වඩා සුඛ ගෝචර පිළිවෙතක් ගැනීමය. මහාචාර්ය නන්දසේන රත්නපාල මෙයින් වසරකට පමණ පෙර, කොළඹ ජාතික කෞතුකාගාර ශාලාවේදී දේශනයක් පැවැත්වීය. “ ඥානය යනු අලෝකයකි. එය මිල අධිකය. එය හඳුනා නොගන්නා ජඩ ලෝකයා, ඥානවන්තයාගේ ගමන හඳුනා නොගනී. හඳුනා නොගන්නවා පමණක් නොව , තම අධානග්‍රාහී මත වලට එකඟ නොවන බැවින් ඔහුට පහර දීමටද පෙළඹෙයි “ යන ප්‍රකාශය කළේ

“කේතකී ගන්ධ මාර්ගේන මුර්ඛො භාසති පාඨලිඞ

ඒකදණ්ඩ ප්‍රහාරේන හා හා පාඨලී පාඨලී!

යන ශ්ලෝකයද කියමිනි. මඟක ගමන් කරමින් හුන් අඥානයෙක් මලක් දැක එය පළොල් මලකැයි කීයේය. ඒ අසල හුන් ණැණවතෙක් ඒය කේතකී මලකැයි සුවඳින් හඳුනාගෙන, එය කේතකී යැයි කීවේය. මෝඩයා තම අත වූ මුගුරෙන් ණැණවතාට තැළීය. තම ජීවිතය රැක ගැනීමට සිතූ ණැණවතා ඒ මල පළොල් යැයි එකඟ වූයේය. මෙරි. ටී. බ්‍රවුන් (Mary T. Brown )  සිය ‘’ Life after death “ නම් කෘතියේ තැනක මෙසේ කියයි.

“අපි මිතුරන්ගේ ආදරය දරුවන්ගේ, සොයුරු සොයුරියන්ගේ, දෙමාපියන්ගේ ආදරය ලබා ගැනීමට නොදනිමු. ඇත්ත වශයෙන්ම ඒ කිසිවෙක් අප යටතේ සිටීමට කැමති නොවෙති. ඒ කිසිවෙක් අපට කැමති දේ ඉටු කිරීමේ රුචියකින් නොපෙළෙති. අපේ විශ්වාස අපේ හිතන පතන ක්‍රම ඒ අය මාර්ගයෙන් ඉටු කරගත නොහැක. අප කළ යුත්තේ ඔවුන් තේරුම් ගැනීමය. ඒ ඒ අය සමීපයේ ඇති විශේෂ දැනුම්, චමත්කාරයන් වටහා ගෙන ඔවුන්ගේ ගමනට උදව් වීමය. එසේ නොකරන තාක්, අපට අන්‍යෝන්‍යයන්ට ආඩා පාලි කියමින් දුකසේ ජීවිතය ගෙවා මිය යාමට සිදුවනු ඇත “

මේ තත්ත්වය යමෙකුට වටහා ගත නොහැකි නම්, සිත් පැහැදීම හෝ අපැහැදීම ගැන නොසිතා අවවාද කිරීමද, ණැණවතාගේ ආචාර විද්‍යාවයි.

“ නිග්ගයිහවාදිං මේධාවී - තාදිසං පණ්ඩිතං භජෙ “ නිග්‍රහ කර හෝ සත්‍යය පෙන්විය යුතුය. එබඳු මේධාවී ගුණයෙන් යුතු අය ඇසුරු කළ යුතුවේ යනු ධම්මපද පාඨයයි. එහෙත් එබන්දකුගේ අවවාදයෙන් අශාස්ත්‍රීය හා අසම්පූර්ණ මිනිසා කිපෙයි.

“ඔව දෙය්‍යානුසාසෙය්‍ය - අසබ්භාච නිවාරයෙ

සතංහිසෝ පියෝහෝති - අසතං හෝති අප්පියෝ අසංවර බව නිවාරණය පිණිස අවවාද අනුශාසනා කරන්නා කෙරේ සත් අදහස ඇත්තෝ පි‍්‍රය වෙති. අසත් අදහස් ඇත්තෝ අපි‍්‍රය වෙති යනු ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ ගාථාවක අදහසයි. සංයුක්ත නිකායේ සත්ත ජටිල සූත්‍රය උපුටා දක්වන ශාස්ත්‍රවේදී ආලංකුලමේ පේමසිරි හිමි සඳහන් කරනුයේ කාමභෝගීව, විවිධ උපභෝග පතමින් හා තමන් සතු නොවන දේ ගැන ශෝක කරමින් සිටින්නවුනට සත් ආචාරවාදය හෝ එබඳු ආචාරවාදයක පිහිටියකු පවා වටහා ගැනීම අපොහොසත් බවය. තවදුරටත් කරුණු දක්වන පේමසිරි හිමියෝ රථ විනීත සූත්‍රය උපුටා දක්වමින් ශීල විශුද්ධිය චිත්ත විශුද්ධියටත් චිත්ත විශුද්ධිය , දිට්ඨි විශුද්ධියටත් , හේතු වන බවත් ඒ අනුපටිපාටිය අනුව මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය , ආදි සංවර්ධනාත්මක මානසික උන්නතාංශයන්ද ලබාගත හැකි බවක් දක්වති. “මාටින් සෞත්වෝල් “ නම් වූ මානව වේදියෙක් 1972 දී පමණ ලංකාවට පැමිණ ලංකාවේ බුදුසමය ගැන පුළුල් පර්යේෂණයක් කොට “Buddhism in Practice “ යනුවෙන් පොතක් ලිවීය. එහි ඔහු විස්තර කරන ඇතැම් කරුණු ප්‍රායෝගික යැයි අපක්ෂපාතීව කිව යුතුවේ. බොහෝ බෞද්ධ උවැසි උවසුවෝ පොහෝ දිනවලදී සීල සමාදානයේ යෙදෙමින්, අනුන්ගේ වගපල කතා කරති. වෙසක් පොසොන් ආදී උත්සව, ප්‍රතිපත්ති පූජාව ඉලක්ක කරගෙනම නොව හුදු සැණකෙළි ලෙස පවත්වති” යි ඔහු සඳහන් කරයි. ශීල සමාදානයේ අනුපාටිගත ඵලයන් කෙතරම් උසස්දැයි පේමසිරි හිමියන් විසින් කරන ලද පැහැදිලි කිරීමේදී අප වටහා ගත යුතුය. එහි සඳහන් “ මග්ගාමග්ග ඤාණ දස්සනය “ ගිහි ජීවිත ගත කරන්නවුනට අතිශය ප්‍රයෝජනවත්ය. තමා යායුතු මාර්ගය , කළ යුතු දෙය පිළිබඳ විනිශ්චය ඉන් අදහස් වේ. මහනුවර මල්වතු විහාරයේ කාරක සංඝ සභික හා කුරුණෑගල රම්මණ්ඩා පොකුණ විහාරයේ අධිපති දර්ශනපති පුජ්‍ය මිණිගමුවේ රතනපාල හිමියන්ගේ අත්දැකීමක් මා සඳහන් කළ දෙය හා ගළපනු වටී. උන්වහන්සේ සඳහන් කළ ආකාරයට වර්තමානයේ බොහෝ උවැසි උවසුවෝ පෝදා සිල්ගෙන නිවසට පැමිණ, බණ පොතක් කියවනු වෙනුවට, පවුල් අතර භේදභින්න තත්ත්ව ඇති කරන්නාවූත්, මවුන්, පියවරුන්, පුතුන් උනුනට එරෙහි වන සැටි කියන ටෙලි නාට්‍ය නරඹති. මේලොව චිරාත් කාලීනව පවතින න්‍යාය නම්, වටිනා දෙය, ඊට වඩා බාල දෙයට ගැළපූවිට , වටිනා දේ නිසා බාල දේ අලංකාර වන බවය. ලෝකඩ මුදුව මැණික් එබ්බවීමෙන් අගය වන්නාක් මෙනි. ඒත් මෙවන් දූෂිත ටෙලි ප්‍රවාද නරඹන උපාසක උපාසිකාවන්, වඩාත් අමනාප වන්නේ තම අවිද්‍යාව හා වැරැදි දෘෂ්ටීන් පෙන්නා දෙන්නවුන් සමගය.

ක්‍රෝධය අලස බව, මානසික වික්ෂිප්ත භාවය, උඩගු බව හා සැකය, යන පංචනීවරණ නිසා සම්‍යක් දර්ශනයක පිහිටා සිටීමේ අසමත්කම ඇති වන බව දීඝ නිකායේ දැක්වේ. මේ නීවරණ ප්‍රහීණ කිරීමේදී පී‍්‍රති ප්‍රමෝද්‍යයෙන් යුතු, සුඛ සංවේදී මානුෂික ස්වභාවයක් පුද්ගලයාට ලැබෙන බව දීඝ නිකායේ වැඩි දුරටත් දැක්වෙන බව මහාචාර්ය කේ.එන්. ජයතිලක සිය “ මුල් බුදු සමයේ ඥාන විභාගයෙහි දක්වයි. තමන් නොදැන වැටී සිටි මුළාවක් අවබෝධ කරගෙන, යථා මාර්ගය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන්, ධර්මය පිළිබඳ අචල ප්‍රසාදයක් ඇති වන බව සම්මාදිට්ඨි සූත්‍රයේ අවධාරණය වේ. සම්මුතිය යනු සාමාන්‍ය ලෝකයේ පිළිගත් තත්ත්වයයි. එය ඇසුරින් පරමාර්ථය තත්ත්වය කරා යා යුතු යැයි නාගාර්ජුන පාදයෝ සිය මධ්‍යමික කාරිකාවේ දක්වති. එය “ සම්මුතිං වොහරතින අපරමාසති “ යි පාලි ග්‍රන්ථ වල දැක්වෙන්නේ සම්මුතිය ව්‍යවහාරය පිණිස විනා පාරාමර්ශනය (ගැටීම - වැළඳගැනීම ) සඳහා නොවේ යනුවෙනි. බෞද්ධ ආචාර දර්ශනයේ ප්‍රායෝගික අදාළත්වය මෙයයි. පවත්නාලෝකය තුළ අප ගත කළ යුත්තේ ජීවත්වීමට උපයෝගී වන තාවකාලික සම්මුතීන් ඇසුරු කර ගනිමිනි. ඒවා සමඟ උග්‍ර බැඳීම් පවත්වාගත යුතු නැත. එවිට ඇති වන සමාදානය ඒ දර්ශනයේ උපරි ඵලයයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.