දයා අංහෙට්ටිගම
පංච ශීලය බෞද්ධයාගේ නිත්‍ය ශීලය බැවින් එය සමාදන් වීමට විශේෂ දිනයක්
නැත. “සිල් සමාදන් වන්නට යනවා” යි කී විට අපේ සිතට නිතැතින්ම නැගෙන්නේ
පොහෝ දින විහාරස්ථානයකට ගොස් අටසිල් සමාදන් වීම ගැනයි. සීලය නම් කය,
වචනය යන ද්වාර දෙක සංවර කරගැනීමයි. කය ප්‍රධාන කරගෙන ප්‍රාණ ඝාතය –
අදත්තාදානය හා කාමමිච්ඡාචාරය යන අකුසල් තුන සිදුවෙයි. වාග් ද්වාරය
මුල්කොට ගෙන බොරු කීම, කේලාම් කීම, ඵරුෂ වචන කීම හා දෙලොවට ම
ප්‍රයෝජනයක් නැති හිස් වචන කීම යන අකුශල කර්ම සතර සිදුවෙයි. සීල
සමාදානයෙන් කෙරෙනුයේ ඉහත කී දොරටු දෙක සංවර කරගෙන ඒවායින් සිදුවන අකුශල
කර්ම සතෙන් වැළකීමයි. මනස සංවර වීම සීලයෙන් නො සිදුවෙයි. පංචසීලය
සමාදන් වූ තැනැත්තකුට ප්‍රාණඝාතයක් කරන්නට සිතෙන්න පිළිවන. එහෙත්
සමාදන් වී ඇති සීලය නිසා ඒ සිත ක්‍රියාත්මක නො කරයි. අනෙකුත් අකුශල
කර්මයන් ද සීලය නිසා ක්‍රියාවට නොනැංවෙයි.
සිතෙහි පවතින ක්ලේශයන්හි අනුසය, පරියුට්ඨාන ද්වීතික්කම යැයි අවස්ථා
තුනක් ඇත. අනුසය නම් සිතෙහි තැන්පත් වී පවතින, කොහේ පවතිනවා දැයි
සිතාගන්නට වත් නොහැකි ලෝභාදී අකුශල ධර්මයන්ය. ගැටීමක් ඇති වූ විගස එම
ක්ලේශ ධර්ම නැගිටියි. පරියුට්ඨාන නමින් හැඳින් වූයේ එසේ නැගිටින
අවස්ථාවයි. ගැටීම උත්සන්න වූ විට ක්‍රියාත්මක වෙයි. ද්වීතික්කම නමින්
හැඳින්වෙන්නේ ඒ ක්‍රියාත්මක වන අවස්ථාවයි. සීලයෙන් කෙරෙනුයේ ද්වීතික්කම
අවස්ථාව වළකාලීමයි. අනුසය, පරියුට්ඨාන අවස්ථා දෙක නැති කළ හැක්කේ
භාවනාවෙන් පමණි. කය වචනය දෙක සංවර කරගැනීමකින් තොරව භාවනාවක් කළ නොහැකි
ය. සීලය භාවනාවට පදනමයැයි කීවේ එහෙයිනි.
මනුෂ්‍ය ජීවිතය ද බාල, තරුණ හා මහලු යැයි අවස්ථා, තුනකට බෙදා දක්වා ඇත.
තවදුරටත් ක්‍රීඩා දී දශකවලට ද බෙදා තිබේ. ළදරුම අවස්ථාව හැර අනෙක් ඕනෑම
අවස්ථාවක් සිල් සමාදන් වීමට යෝග්‍ය වන්නේ ය. ශාසනයේ පැවිදි බව ලබා
මහරහත් භාවයට පත් සමහර උතුමෝ සත් හැවිරිදි වූහ. මිනිසකුට වයස අවුරුදු
හත වන විට යමක්කමක් සිතා කියා තීරණය ගැනීමේ හැකියාව ඇති වෙයි. එම නිසා
සත් හැවිරිදි වයසේ පටන් ම සිල් සමාදන්වීම ඉතා සුදුසු ය. එවිට සිල්
සමාදන් වීමේ ඇබ්බැහියක් කුඩා දරුවාට ඇතිවනු නිසැක ය.
ධම්මපදයේ කථාවෙහි එන මහාකාල වස්තුවේ දී මහාකාල පවසනුයේ ද තරුණ වයසේ දීම
සීලා දී ගුණ ධර්මයන්හි පැවතිය යුතු බවයි.
ජරා ජජ්ජරිතා හොන්ති
හත්ථ පාදා අනස්සවා
යත්ථ සෝ විහතත්ථාමො
කථං ධම්මං චරිස්සති
ජරාවෙන් දැදුරු වී, අත්පා අවසඟ වී බලය පිරිහුණු කල්හි කෙසේ ධර්මයෙහි
හැසිරෙන්නේ දැයි ඔහු තම මළණුවන්ගෙන් ප්‍රශ්න කරයි. කරුණු මෙසේ වූවත් අද
සමාජයේ බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ වයස්ගත වූ විට සිල් සමාදන්වීමය. මේ
හැඟීම බ්‍රාහ්මණ ධර්මයෙන් අපට ආවක් ද විය හැකි ය. බ්‍රාහ්මණ වර්ණාශ්‍රම
ධර්ම සකස් වී ඇත්තේ ඒ අයුරිනි.
“ශෛෂවේභ්‍යස්ථ විද්‍යානාං
යෞවනේ විෂයෛෂිනාම්
වාර්ධකේ මුනිවෘත්තීනාම්
යෝගේනාන්තේ තනුත්‍යජාම්”
ළදරු කාලයෙහි ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමත් තරුණ වියෙහිදී කාම සම්පත්
විඳීමත්, මහලු වියේ දී මුනිවරයෙක් වශයෙන් ජීවිතය ගතකොට භාවනානුයෝගීව
මිය පරලොව යාමත් බ්‍රාහ්මණ වර්ණාශ්‍රම ධර්ම වශයෙන් හැඳින්වේ. අපේ
බෞද්ධයන් බොහෝ දෙනෙක් ද වයසට පත් වූ විට සිල් සමාදන් වීමට පුරුදු වී
සිටිති. එසේ වීමට තවත් හේතුවක් නම් වියපත් වූ විට තමාගේ ආයු කාලය
පිරිහී මරණයට ළඟා වී ඇති බව අවබෝධ වීමයි.
සමහරු වයස්ගතව සිල් සමාදන් වන්නවුන්ට කලකොළොප්පන් ද කරති. වයසට පත්වන
විට ප්‍රාණ ඝාතාදිය කරන්නට අතපය වාරු නැති බැවින් ඉබේම සිල් රැකෙන බව
ඔවුහු පවසති. එසේ වූවත් අවසාන භාගයෙහි හෝ සිල් සමාදන් වන්නේ නම් එය
වැදගත් ක්‍රියාවකි. හේතුව? පරලොව ශුභසිද්ධිය සලසා ගැනීමට එය මහඟු
උපකාරයක් වන බැවිනි. බුදුරජාණන් වහන්සේ ද දේශනා කොට ඇත්තේ
“අත්තානං චේ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්‍ඛිතං
තින්නමඤ්ඤතරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ ”
යනුවෙනි. තමන්ට තමන් පි‍්‍රය බව දන්නේ නම් තමාගේ බාල තරුණ මහලු යන තුන්
කාලයම ආරක්‍ෂා කරගන්නේ ය. එසේ නැතහොත් මහලු කාලයෙහි හෝ ආරක්‍ෂා වන්නේ ය
යනු එම ගාථාවේ අදහසයි. ජීවිතයේ බාල තරුණ මහලු යන අවස්ථා තුනම ආරක්‍ෂා
විය යුතු ය. එසේ බැරි වුවහොත් මහලු කාලයේ හෝ ආරක්‍ෂා වීම නුවණැත්තාගේ
ස්වභාවයයි. මෙහි ආරක්‍ෂා වීම යනු පාපකර්ම නොකර සිටීමයි. මේ නිසා මහලු
කාලයෙහි හෝ සිල් සමාදන් සම, පිනට දහමට යොමුවීම හාස්‍යයට කරුණක් නොවේ.
සිල් සමාදන් වීම ලජ්ජාවට කරුණක් නොවේ.
මහලු වයසේ දී හෝ සිල් සමාදන් වන්නේ නම් එය තමාට ඇතිකර ගන්නා ස්ථිර සාර
ආරක්‍ෂාවකි. අප කෙසේ ආරක්‍ෂා සහිත ස්ථානවල, කෙතරම් මුරකාවල් තබාගෙන
සිටියත් අවසානයට හෙවත් මරණයට පත්වීම වළක්වාගත නො හැකි ය. ලොව කොහේවත්
නොමැරී සිටින්නට තැනක් නැත. (න වජ්ජතී සෝ ජගතිප්පදේසෝ යත්ථට්ඨතං
නප්පසහේථ මච්චු) එහෙයින් අවසාන කාලයවත් සිල්වත් ජීවිතයක් ගත කරන්නේ නම්
එය මතු භවය යහපත් වීමට හේතු වෙයි.
මේ සෑම පුණ්‍ය ක්‍රියාවක්ම අප විසින් කරනු ලබන්නේ සසර ගත කරන විට සැප
ඇති ආත්මභාව ලැබීමටත්, අවසානයෙහි නිවන් අවබෝධ කරගැනීමටත් ය. ඒ සඳහා
සීලයක පිහිටිය යුතු ය. සීලය ශක්තිමත් පදනමක් කරගෙන භාවනාවක් පුරුදු
පුහුණු කරගත යුතු ය. නිර්වාණගාමිණී මාර්ගය එයයි.
සීල සමාදානය බාල, තරුණ, මහලු යන අවස්ථා ත්‍රයේ දී ම කළ යුතු ය.එසේ
බැරිවුවහොත් ජීවිතයේ සැඳෑසමය වත් සීලයක පිහිටා ගත කළ යුතු ය. එය නැණ
නුවණ ඇත්තන් විසින් කරගත යුතු සත් චාරිත්‍රයෙකි. |