බුදුදහම හා මනුදහම
(මේ පරිවර්තනය Mahabodhi Centennary
Commemorative Volume – SAMBHASHA කලාපයේ පළ කරන ලද ශ්‍රී ඒ.කේ. බන්ද්‍යෝපාධ්‍යාය ගේ
Humanism in Buddhism ලිපියෙනි)
ශ්‍රී.ඒ. කේ. බන්ද්‍යෝපාධ්‍යාය
පරිවර්තනය
නාරාවිල පැට්රික්
මානවීයවාදය හෙවත් මනුදහම 15 වැනි සියවසේ බටහිර යුරෝපයේ බිහිවූ, චින්තනය
හෝ ක්‍රියාව පිළිබඳ ක්‍රමවේදයකි. එහිදී සම්භාව්‍ය දේව ධර්මය හෝ
සම්භාව්‍ය දර්ශනය පිළිබඳ මධ්‍යකාලීන සම්ප්‍රදායයට පටහැනි මෙන්ම, මානවයා
හෝ මානව ජීවිතය පිළිබඳ කටයුතු කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.
එය එක්තරා ආකාරයකින්, මධ්‍යතන යුගයේ බුද්ධිමත් හෝ සම්භාව්‍ය බලාධිකාරයට
එරෙහි ව්‍යාපාරයකි. එයින් නූතන බුද්ධිමය, විද්‍යාත්මක හා සමාජ සංවර්ධනය
වෙත මංපෙත් පෑදීමක් කරනු ලැබේ.
එය මානවයාගේ උදාරත්වය කෙරෙහි තරයේ අවධානය යොමු කරයි. එසේ ම මානව
සංහතියේ උත්තරීත්වය සහ බාහිර ඕනෑ ම විෂයයක් කෙරෙහි දිව්‍යමය වගකීමක
පිහිට සෙවීම ප්‍රතික්‍ෂේප කරයි. මානවියවාදය පිළිබඳ අදහස සමඟ ප්‍රංශ
අනුභූතිවාදී (ප්‍රත්‍යක්‍ෂවාදී) දාර්ශනික කොම්ටේගේ (1798 –1837) නම
සහගාමි වෙයි. මනුෂ්‍යත්වයේ යහපත හා සුබසෙත වෙනුවෙන් කොම්ටේගේ අවධානය
යොමුවීම නිසා ඔහු හඳුනා ගන්නට ලැබෙයි. ඔහු ලෞකික ස්වභාවයක ආගමික වැඩ
පිළිවෙළක් හා මානව සංවර්ධනයේ සුපිරි සමෘද්ධිමත් වැඩ පිළිවෙළක් කෙරෙහි
විශ්වාසය තබයි.
සිය අධීශ්වරවාදී චින්තනයෙන් මිදුණු කතෝලික සසුන් සංවිධානය, නව
අනුභූතිවාදි සමාජයක් සඳහා පරමාදර්ශි ව්‍යුහයක් සහ සංකේතාත්මක ආකෘතියක්
ආදේශ කරනු ඇතැයි කොම්ටේ විශ්වාස කළේ ය. කොම්ටේ කතෝලික දෙවියන් වහන්සේ
වෙනුවට අතීත, වර්තමාන සහ අනාගත (සර්වකාලීන) ශ්‍රේෂ්ඨ ජීවියා, එනම්
මනුෂ්‍යත්වය, ආදේශ කළේ ය. ඔහු විසින් සිය අලුත් ඇදහිල්ල, “මනුෂ්‍යත්වයේ
ආගම” හෙවත් මනුදහම නමින් හැඳින්විණ. එය එක්තරා ආකාරයකින් සමාජ ආචාර
විද්‍යාත්මක ක්‍රම පද්ධතියකි. මනුෂ්‍යත්වය පිළිබඳ ඔහුගේ ආගම
මානුෂීයවාදය වැනි ලෞකික ආගමික ව්‍යාපාරයන්ගේ පැන නැඟීමට පෙළඹවීමක් බව
පෙනේ. කාර්මික විප්ලවයේ අහිතකර බලපෑම් තරයේ ප්‍රකාශයට පත් කල්හි,
මානවියවාදී අදහස් සහ කොම්ටේගේ දර්ශනයක් දිරි ගැන්වීමක් ලැබී ය.
මේ මානවියවාදය පිළිබඳ පසුබිම ඉදිරියේ බුදුදහම යනු කුමක් දැයි සිතා
බලන්නට අපට සිදුවී තිබේ. බුදුදහම ක්‍රි.පූ. හයවැනි සියවසේ බිහි වූ
ආගමක් වන අතර, එහි සම්භවය මධ්‍යතන යුගයේ මානවියවාදයේ හෝ කොම්ටේගේ
දර්ශනයේ අදහස් වලට බෙහෙවින් ආදි කාලීන වූවකි. කෙසේ වෙතත්, මානවියවාදී
අදහස් බුදුදහමේ අත්‍යවශ්‍ය අංගයක් වූ අතර, සමාජයේ කාර්මිකකරණයට
බෙහෙවින් ඉදිරියෙන් සිටි පරිසරයක් තුළ පැවතියක් වූයේ ය. එපමණක් නොව එය
බයිබලික අධිකාරය ඉක්මවා යෑමක් නියෝජනය කළේ ය.
බුදුදහම මිනිසාගේ ආගමකි. එය මිනිසා සහ ඔහු කේන්ද්‍ර කොට ගත් අසීම, අරීය
අනන්තයන් වෙත ව්‍යාප්ත, යථාවාදී ස්වභාවයට ගැළපී සිටී. එය පරීක්‍ෂණාත්මක
අවබෝධය මත පිහිටා, කුලය, ආගම හෝ තරාතිරම ගැන නොතකා, හැම මානව ජීවියකු
කෙරෙහි ම අවධානය යොමු කරයි. එය මානව සංහතිය සමස්ත වශයෙන් එක ම සම්පතක්
සේ සලකන විශ්ව ආගමකි. බුදුන් වහන්සේ දක්වන විමුක්තිය හෙවත් නිර්වාණය
සියලු මානව ජීවීන් සඳහා ම මිස වරප්‍රසාද ලත් සුළු පිරිසකට හිමි අධිකාරී
බලයක් නොවේ.
බුදුදහමට අනුව මානව ජීවිතයට කිසිදු සාම්ප්‍රදායික දරදඬු ගිවිසුමකින්
නොබැඳී සහ බාධාවකින් තොර පරිපූර්ණත්වයේ අග්‍රස්ථානයට ළඟා විය හැකි ය.
බුදුදහම හුදෙක් මානවයාගේ අධ්‍යාත්මික සංවර්ධන ඉලක්කයක් යෝජනා කරයි. එය
කිසිදු අබිරහසක් හෝ ප්‍රාතිහාර්යයක් මත රඳා පවතින්නක් නොවේ. සංවර්ධනය
සාක්‍ෂාත් කර ගත හැකි වන්නේ තමා තුළ වන ආධ්‍යාත්මික ගුණයන්ගේ
ප්‍රගතියෙන් පමණි. මේ සංවර්ධනය හෝ ප්‍රගතිය එක් එක් මානව ජීවියාට සහ
ඔහුගේ චින්තනයට වැදගත්කමක් හෝ වටිනාකමක් ලබා දෙයි. බුදුන් වහන්සේ තමා
දෙවියන් වහන්සේගේ දූතයකු, අනාගත වක්තෘවරයකු හෝ අතිමානුෂීක බලයක් ඇති
අසිරිමත් පුද්ගලයකු වන බවත් කියා නැත. උන්වහන්සේ විසින් අනුදත්
මූලධර්මයනට අනුව මානවයාගේ ප්‍රගතිය හෝ සංවර්ධනය සඳහා දෙවියන් වහන්සේගේ
දයාකරුණාව හෝ අනුග්‍රහය වුවමනා වන්නේ නැත.
බුදුදහම දුකෙහි පැවැත්ම, දුකට හේතුව, දුකින් මිඳීම හා දුකින් මිඳීමේ
මාර්ගය නම් වූ සතරාකාර සත්‍යය සඳහන් කරයි. සැබවින් ම දුක නමැති යථාර්ථය
අප පිරිවරා ගත් අනිවාර්ය තත්ත්වයක් හෙවත් ස්වභාවයකි. එනම් ඉපදීම,
ලෙඩවීම, වයසට යෑම, මරණය, කනස්සල්ල, දඬුවම, කනගාටුව, ආපදාව ආදියයි. දුකට
හේතුව තණ්හාව බව බුදුදහම කියයි. දුකෙහි නිරුද්ධිය වන්නේ එයින් මිදීම
හෙවත් විමුක්තියයි. එනම්, නිවුණු හෙවත් සන්සුන්, සාමකාමී සහ පරමානන්ද
තත්ත්වයට පත්වීමයි. එය, “නිර්වාණ” නම් වෙයි. එනම් ලෝභ, දෝෂ, මෝහ,
මුලිනුපුටා දැමීමයි. අනිවාර්යයෙන් කියතොත් එයින් අදහස් කැරෙන්නේ හිංසනය
හෙවත් ඝාතනය නම් නොවේ. දුක්ඛ නිරෝධය ගැන සැලකීමේ දී ඕනෑ ම කෙනකුට
අධිසුඛෝපභෝගීත්වය සහ අධිකායචිත්ත පීඩකත්වය යන අන්ත දෙක අතර මධ්‍යම
මාර්ගය තෝරා ගන්නට සිදුවෙයි. මේ මැදුම් මඟ වන්නේ අංග අටකින් යුත්
මාර්ගයයි. ඉන් පළමුවැන්න නිවැරැදි අවබෝධයයි. (සම්මා දිට්ඨි) මානව
ජීවීනට ලෝකය හෙවත් ද්‍රව්‍ය හෝ වස්තු යථා තත්ත්වයෙන් අවබෝධ කර ගැනීමේ
ඥානය හා ශක්තිය තිබිය යුතු ය. නිවැරැදි අවබෝධයට පසු දෙවන මාර්ගාංගය
වන්නේ නිවැරැදි චින්තනය යි. (සම්මා සංකප්ප). නිවැරැදි චින්තනයට
ද්වේෂයෙන්, වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර උදාර අභිලාෂ පෝෂණය කරන සිතිවිලි
අඩංගු වෙයි.
ඉක්බිති නිවැරැදි වාග්ව්‍යවහාරයයි.(සම්මා වාචා) එනම් බොරුකීම,
කේලාම්කීම, රළුබස් බිණීම, හා හිස්බස් දෙඩීමෙන් වැළකී, සත්‍ය වචන,
සමගිය වඩන වචන, පි‍්‍රය වචන හා අර්ථවත් වචන භාවිතය මෙයට ගැනෙයි. ඊළඟට
දැක්වෙන්නේ නිවැරැදි ක්‍රියාවයි. (සම්මාකම්මන්ත) එනම්, ප්‍රාණඝාතය,
සොරකම හා කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමයි. මෙයින් ඇඟවෙන්නේ, හැම
මිනිස් ජීවියකු ම යථා යෝග්‍ය පරිදි සිය උදාරත්වයට ගැළපෙන සේ ක්‍රියා කළ
යුතු බව හා සමස්ත මානව ජීවියා විෂයයෙහි සාමකාමීව හා ගරු කටයුතු ලෙස
පැවතිය යුතු බවයි.
මීළඟ මාර්ගාංගය වන්නේ නිවැරැදි දිවි පැවැත්මයි. (සම්මා ආජීව) එනම්,
අනෙක් සහෝදර ජීවීන් සමඟ එකෙකාට හිංසාපීඩා නොවන ආකාරයෙන් ජීවත්වීමයි.
විශේෂයෙන්ම මෙහිදී සඳහන් වන්නේ ජීවන වෘත්තියක් වශයෙන් අනෙක් අය හෝ තමන්
හිංසා පීඩාදියට ඉලක්ක වන පරිදි වෘත්තියක නොයෙදීම යි. එහිදී කිසිවකු
හිංසා පීඩාවට ලක් නොවිය යුතු ය. කිසිවකුගේ මානව ගරුත්වයට හානියක් නොවිය
යුතු ය. සවැනි මාර්ගාංගය නිවැරැදි ප්‍රයත්නය හෙවත් උත්සාහයයි
(සම්මාවායාම) මෙය හුදෙක් මානසික ය. මානසික හික්මීමෙන් කය හෙවත්
ඉන්ද්‍රිය සංවරය පවත්වන ආකාරය මෙහිදී දැක්වෙයි. මෙය හැඳින්වෙන්නේ
සතරාකාර සම්‍යක් ප්‍රධානී වීර්යය නමිනි. එනම් නූපන් අකුසල් නූපදවීමත්,
උපන් අකුසල් ප්‍රහාණයත්, නූපන් කුසල් ඉපදවීමත්, උපන් කුසල් දියුණු
කිරීමත් ය. මෙයින් ගම්‍ය වන්නේ දුරාචාර මර්දනය සහ සදාචාර වර්ධනයයි.
සත්වැන්න නම් නිවැරැදි සිහිමත් බව හෙවත් සම්ප්‍රජන්‍යයයි. මෙහිදී
කායානුපස්සනාවෙන් කයෙහි අසාරත්වය මෙනෙහි කිරීමත්, වේදනානුපස්සනාවෙන්
ඉන්ද්‍රිය ගැන නුවණින් විමසීමත්, චිත්තානුපස්සනාවෙන් සිත පිළිබඳ
නුවණින් සලකා බැලීමත්, ධම්මානුපස්සනාවෙන් සංස්කාරධර්ම ගැන නුවණින් සිතා
බැලීමත් කරනු ලැබේ. මෙය සතර සතිපට්ඨාන හෙවත් කය, වේදනාව, සිත හා
සංස්කාර ධර්ම හෙවත් ඇතිව නැතිව යන සියල්ල කෙරෙහි මැනවින් සිත පිහිටුවා
විමසීම යනුවෙන් දැක්වෙයි.
මානව සත්ත්වයනට ඔවුන්ගේ ක්‍රියා ඇසුරින් අඛණ්ඩ සම්ප්‍රජන්‍යය ඔස්සේ
ස්වාත්ම සංයමය සාක්‍ෂාත් කර ගන්නට හැකි විය යුතු ය. එයින් සිත හා
හැඟීම් පාලනය කරනු ලැබේ. අන්තිමට අටවැන්නට එන්නේ නිවැරැදි චිත්ත
සමාහරණය හෙවත් ඒකාග්‍රතාව යි (සම්මාසමාධි). එයින් හැම මිනිස් ජීවියකුගේ
ම සිත හා කය සහචරව එකඟ බවට පත්ව විසුද්ධිය හා සාමය පිළිබඳ හැඟීම
විනිවිද පැතිරෙයි.
ඉහත දැක්වුණු පරිදි බුදුදහම නිවැරැදි වාග්ව්‍යවහාරයෙන්, නිවැරැදි කායික
ක්‍රියාකාරීත්වයෙන් සහ නිවැරැදි ජීවන වෘත්තියෙන් යුතු සදාචාර සම්පන්න
හැසීරීම ද, නිවැරැදි උත්සාහය, නිවැරැදි සිහිය සහ නිවැරැදි චිත්ත
ඒකාග්‍රතාවෙන් යුතු චිත්ත සමාධිය ද, එසේ ම නිවැරැදි අවබෝධය සහ නිවැරැදි
චින්තනයෙන් යුතු බුද්ධිමත් භාවය ද අවධාරණය කරයි. එනම් සීල, සමාධි හා
ප්‍රඥා නම් වූ ත්‍රිශික්‍ෂාව යි. බුදුන් වහන්සේ මේ සියල්ල ඉදිරිපත් කළ
සේක් පුද්ගල යථාවබෝධය හා ස්වයං විහරණය ආදී පදනමෙහි පිහිටා සිට ය.
එය මෙසේ දැක්වෙයි.
“සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානසාසනං”
“සියලු පව් නොකිරීම ද, කුසල් කිරීම ද, සිත පිරිසුදු කර ගැනීම ද යනු
සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි.”
මේ සදාචාරාත්මක පරමාදර්ශයෙන් විවරණය කැරෙන්නේ සියලු සත්ත්වයන් කෙරෙහි
මෙත්සිත පැතිරවීමයි. සතරාකාර පරම විහරණය හෙවත් සතර බඹ විහරණය ලෙස
ගැනෙන්නේ ආදරය මුසු සෙනෙහස හෙවත් මෛත්‍රීය, අනුන්ගේ දුක සහ
අවසානාවන්තකම කෙරෙහි ප්‍රතිචාර වශයෙන් උපදින අනුකම්පාව හෙවත් කරුණාව,
අනුන්ගේ සතුට කෙරෙහි උපදින අනුකම්පා සහගත සතුට හෙවත් මුදිතාව සහ
සමානාත්මතාවය හෙවත් මැදහත් බව නම් වූ උපේක්‍ෂාවයි.
සැබවින් ම මෙත්තා යනු සරල මිත්‍රත්වය නොවේ. ඉන් දැක්වෙන්නේ හැම කෙනකු
කෙරෙහිම සහෘදාත්මක සෙනෙහස, ආදරය, මිතුරු හැඟීම සහ හොඳහිත යි. එහි
යථාර්ථය වන්නේ, අනුන්ගේ යහපත පිණිස කටයුතු කිරීමයි. එයින් අපේ හදවත්
ආදරයෙන් පිරීයෑමේ වුවමනාවක්, ද්වේෂයෙන් තොරවීමක් අවධාරණය කැරේ. එය
ආත්මාර්ථකාමී ආදරයෙන් හෝ රාගයෙන් පරස්පර වෙයි. මෛත්‍රීය වඩන තැනැත්තාට
තමා ඇසුරෙහි පවතින දුෂ්ටත්වය සහ දුක් පීඩා නොසලකා හැරිය නොහැකි ය. අප
අතර බඩගින්නෙන් පෙළෙන්නෝ ද, ලෙඩරෝග වලින් පීඩා විඳින්නෝ ද, නූගත්කමින්
අඳ බවට ගියාහු ද, භේදභින්න වූවාහු ද, සූරාකෑමට ලක්වූවාහු ද වෙත්. එවන්
සියලු ජනතාවගේ සුවසෙත සඳහා යත්න දරන කෙනකුට එකී දුක් පීඩා වලට පදනම් වූ
හේතු ඉවත් කරන්නට සිදු විය හැකි ය. ඒ අරමුණ සපුරා ලන්නට කෙනකුට කරුණාව
වුවමනා වෙයි. හැම දෙනා කෙරෙහිම පවත්වන ඒ මැදහත් හොඳහිත මඟින් කෙනකුට
මුදිතාව හෙවත් ප්‍රසන්න තැන්පත් මනසක් තුළ සංවිධානය විය හැකි ය. මෙය
කිසිසේත් උපදේශාත්මක පාරිතෝෂිකයක් හෝ කෙනකුගේ ආත්මාර්ථකාමී බලාපොරොත්තු
ඉටු කර ගැනීමට ප්‍රදාන කැරෙන උසස්වීමක් නොවේ. මුදිතා ගුණය ලාබයක් හෝ
අලාබයක් නැතහොත් ජයක් හෝ පරාජයක් යන කවරක් ලැබුණත්, දරා ගැනීමේ
උපේක්‍ෂාව හෙවත් මැදහත් සිත උදා කරයි. මිනිසා සියලු ක්‍රියා හෙවත්
‘කර්ම’ උත්පාදනයට උල්පතක් හෙවත් මූලාශ්‍රයක් ලෙස බුදුහම හඳුනා ගනී.
භාවනාව හෙවත් සාවධානය මඟින් සිත පුහුණු කරන්නට හා සංවර්ධනය කරන්නට
අවශ්‍ය වෙයි. භාවනාවේ යෙදෙන්නට සිදුව ඇත්තේ එක් එක් පුද්ගලයාගේ
ප්‍රකෘති ස්වභාවය සහ බාහිර ස්වරූපය හෙවත් කායික හා මානසික තත්ත්වය ගැන
සලකා තදනුරූපව ය.
බුදුදහම සමාජ ජීවිතය තවත් සතරාකාර ප්‍රමුඛ මූලධර්මයක් ද සඳහන් කරයි.
මෙයට ඇතුළත් වන්නේ දාන හෙවත් අත්හැරීම, පි‍්‍රයවචන හෙවත් කුසල පාක්‍ෂික
යහවදන් බිණීම, අර්ථචරියාව හෙවත් කුසල පාක්‍ෂික ක්‍රියාකාරීත්වය සහ
සමානාත්මතාව හෙවත් ඒකාත්මතාව යි. දානය යන්නෙන් ධනසම්පත් සාධාරණ ලෙස
බෙදී යෑමත්, සමාජය සූරාකෑමෙන් නිදහස් කිරීමත් අවධාරණය කරනු ලැබේ.
පි‍්‍රයවචනයෙන් පුද්ගලයාට සතුට එළඹේ. අර්ථචර්යාවෙන් හෙවත් අර්ථදායක
සක්‍රීයතාවෙන් ජනතාවගේ භෞතික සමෘද්ධියත්, සමාජ සුවසෙතක් සැලසේ.
සමානාත්මතාව හෙවත් ඒකාත්මතාව යනු කුලය, ආගම හෝ පෙළපත පදනම් කර ගත්
විශේෂත්වයෙන් තොරවීමයි.
බුදුදහම මානුෂික හා කාරුණික ආගමකි. එනම් කරුණා ශාසනයයි. එය අපට කියා
දෙන්නේ තමා බඳුම සහචර මානව සංහතියට ආදරය කිරීම පමණි. දේවාත්මයනට ආදරය
කරන්නට නොවේ. එසේම බුදුදහම අවසාන පරමාර්ථය ලෙස දිව්‍යත්වයට පත් වන්නට
යෝජනා කරන්නේ නැත. එහෙත් එහි පරමාදර්ශී ඉලක්කය නම් පරිපූර්ණ මානව
ජීවියකු බවට පත් වීම ය. |