Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිංහල සාහිත්‍යයේ ඉතාමත් සම්භාව්‍ය කාව්‍යයක් ලෙස, ගුත්තිල කාව්‍යය සැළකිය හැකි ය. මෙම කාව්‍යයේ ප්‍රධාන චරිත දෙක ලෙස ගුත්තිල පඬිතුමා (බෝධිසත්වයන් වහන්සේ) සහ මූසිල (දෙව්දත් තෙරුන් වහන්සේ) හැඳින්වේ. සාර සංඛ්‍යා කල්ප ගණනක් මුළුල්ලේ ආත්මයෙන් ආත්මයට, මේ දෙදෙනාගේ ගැටුම් අප ජාතක පොතේ කතාවලින් එමට අසා ඇත. සුදනා දුදනා අතර ගැටුම මෙම කතාවල තේමාවයි. අවසනදී, බෝසත්හු ජය ලබති. දෙව්දත් පරාජයට පත්වේ. සේරවාණිජ ජාතකයේ සේරි හා කඡ්ඡපුට වෙළදුන් දෙදෙනාගේ කතාවේ සිටම බෝධිසත්වයෝ හට දෙව්දත් වෛර බඳී. බෝධිසත්වයන් නිවන් අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධ වෙති. දෙව්දත්ගේ සංසාර ගමන කෙළවර වන්නේ අවීචියෙනි. එය ගුත්තිලයේ එන මෙම කවියෙන් මනාව තහවුරු වේ.

ඉඳ ඉඳ එක වෙහෙර – විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර – අහෝ දෙව්දත් නොදිටි මොක්පුර

ධම්මපදය බුදුදහම නම් සත්‍ය ධර්මයේ භාණ්ඩාගාරය (Treasury of truth )ලෙස සැලකේ. බුදුදහමේ හරය මෙහි අඩංගුව පවතී. වග්ග 26 කින් සමන්විත මෙම මා හැඟි ග්‍රන්ථයේ, ගාථා 423 ක් දක්නට ලැබේ. එම සැම ගාථාවකින් අපට ඉගෙන ගත හැකි පාඩම්, ආදර්ශ බොහෝ ය.

ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති – භියෝ‍යා තප්පති දුග්ගතිං ගතෝ

පව් කරන්නා මෙලොවත්, පරලොවත් තැවෙයි. දෙලොවම තැවෙයි. පවක් කරන ලදැයි සිතා තැවෙයි. දුගතියට ගොස්ද බොහෝ තැවෙයි.

මෙය අප ජනසමාජයට ලබාදෙන්නා වූ ප්‍රබල පණිවිඩයකි. එමනිසා, අප සැමගේ අදිටන විය යුත්තේ, පව් නො කර ජීවත්වීමය. අපි පන්සිල් පද පහ හරියට රකිමු. දන් දෙමු අසරණයන්ට පිහිට වෙමු. සංඝරත්නයට, මව්පියන්ට, ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරමු. මෙය අපගේ ජීවිත දර්ශනයට ඇතුළත් කර ගනිමු. සාර්ථක ජීවිතයකට හොඳම මාර්ගය ධර්මයට අනුව, කුසල් රැස් කරමින් ජීවත් වීමයි. කුරා කූඹියකුගේ ජීවිතයක් හෝ විනාශ කිරීමෙන් වළකින්න. මෙලොව ඉපදුන සියලුම සත්වයන්ට ජීවත්වීමේ අයිතියක් ඇත. ඔවුන්ට නිදහසේ ජීවත්වන්න ඉඩ සලස්වන්න. වෛර නොකරන්න මෙත් සිත් වඩන්න.

අපි දැන් මෙම ධම්මපද ගාථාවට අවධානය යොමු කරමු. මෙයට අදාළ කතාපුවත් අධ්‍යයනය කරමු.

අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව

ඉධ තප්පති පෙච්ච තප්පති (ධම්මපදයේ 17 වන ගාථාව දේශනා කොට වදාළේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ දෙව්දත් තෙරුන් අරඹයා ය.)

අප තථාගත ගෞතමයන් වහන්සේට පිදෙන පුද සත්කාර, ගෞරව, නොරිස්සු දේවදත්තයන්, තමා ළඟින් ඇසුරු කළ භික්‍ෂූන් සමූහයක් ද එක්කරගෙන සංඝ ශාසනයේ ප්‍රධානියා වන්නට උත්සාහයක් දැරුවේ ය. දිනක් අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ, රජගහ වේළුවනාරාමයේ ධර්ම දේශනා කරන අවස්ථාවක, බුදුන් වහන්සේ සමීපයට ගොස් මෙම ඉල්ලීම කළේ ය.

“ඔබ වහන්සේ දැනට වයසට ගොසින් මහ ය. ඒ නිසා ඔබ වහන්සේ සංඝ ශාසනයේ නායකත්වය මට පිරිනමන්න” ලබාදෙන්න යැයි පැවසීය.

දෙව්දත් හිමිගේ එම ඉල්ලීම, බුදුපියාණනෝ ප්‍රතික්‍ෂේප කළ සේක. ඉන් අනතුරුව, බුදුන් වහන්සේ භික්‍ෂු සංඝයා අමතා ‘පකාසනීය කම්ම’ ප්‍රකාශනය, නිවේදනය (Act of Proclamation ) ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිසේක.

මෙම සිද්ධිය නිසා, බුදුන් වහන්සේ කෙරෙහි සුපුරුදු පරිදි දේවදත්තයන් වෛර බැඳගත්තේ ය.

පාපතර දේවදත්ත, තෙවරක්ම අප භාග්‍යවත් තථාගත බුදුපියාණන් වහන්සේ නසන්නට උත්සාහ කළේ ය. මුලින්ම, දුණුවායන් මඟින් විද මරන්නට තැත් කළේ ය. අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මරා දමන්නට, දෙවනවරට, දේවදත්තයන් උත්සාහ කළේ ගිජ්ජුකූඨ පර්වතයට නැග, කඳු මුදුනේ පහළ සක්මන් කරමින් සිටිය බුදුන් වහන්සේ මතට ගල් පර්වතයක් හෙළා හෙළවිනි. ඒ උත්සාහය ද අසාර්ථක විණ. කෙසේ වූවද, ගල්පර්වතය පහළට වැටෙන විට, තවත් ගල් පර්වතයක වැදිණි. එහිදී ගල් පොත්තක් විසිවී අප තථාගත බුදුරජාණන වහන්සේගේ පාදය වැදීම නිසා, තුවාල විය. ලේ ගලන්නට විය. මෙම කතා හා සිද්ධි වලින් අප ඉගෙන ගත යුතු වැදගත් පාඩමක් ඇත. එනම්, බුදුවුණු ආත්මයේ දී පවා උන්වහන්සේ තමන් විසින් පෙර අත්බවයන්හිදී කරන ලද අකුසල් වලට දහතුන් වතාවක්ම විපාක විඳීමට සිදු වූ බවය. නාලාගිරි ඇතුන් චිංචිමානවිකාවන් ගිජ්ජුකුඨ සිද්ධිය එයින් කිපයකි. අවසානයේ පිරිනිවන් පාන්නට ආසන්න මොහොතේ දී පැන් පොදක් ඉල්ලා සිටි අවස්ථාවේ දී ආනන්ද හිමියෝ පැන් රැගෙන ඒමට ගිය අවස්ාවේ දී ගංගාවේ ද ජලය, ඇතුන් ගමන් කිරීම නිසා බොර වී තිබිණ.

මෙයට හේතුව, බුදුන්වහන්සේ පෙර ආත්මභවයන්හිදී, කරන ලද අකුසල කර්මයන් වල විපාක විඳීමට සිදුවීමයි. විපාක ඵලදීමයි. නිවන් දක්නා ආත්මභවයේ දී ද ගැළවීමක් නොවිණ. ගෞතම බුදුන් වහන්සේව ඝාතනය කරන්නට දේවදත්තයන් ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක විණ. ඉන් පසුව, දෙව්දතුන් වෙනත් ක්‍රම උපායක් කල්පනා කළේ ය. එනම් සංඝභේදයක් කිරීමයි. අලුතින් සසුන් ගත වුණු භික්‍ෂූන් වහන්සේලා කීපදෙනෙක් කැටුව ගයා ශීර්ෂය නැමැති ස්ථානයට ගොස්, බුදුරජාණන් වහන්සේට විරුද්ධ කැරැල්ලක් දියත් කිරීමට සූදානම් විය. කෙසේවූවද, දෙව්දත් හිමි සමඟ එක්ව සිටි භික්‍ෂූන් වහන්සේලාගෙන් කීපනමක්, ආපසු ගෙන්වා ගන්නට සාරිපුත්ත හා මොග්ගල්ලාන දෙනමට හැකියාව ලැබිණ.

දෙව්දත් තෙරුන් ගයාශීර්ෂයේ වසන සමයේ ද උන්වහන්සේ රෝගාතුර විය. මෙසේ මාස 9 ක පමණ කාලයක් ගිලන්ව සිටීමට සිදු විය.

දෙව්දත් තෙරුන්, තමාගේ ගෝල භික්‍ෂූන් අමතා, කියා සිටියේ, තමන් වහන්සේට බුදුන් දක්නට යාමට අවශ්‍ය බවයි.

ඔබ වහන්සේ නිරෝගී සුවයෙන් සිටින කල්හිදී, බුදුන්වහන්සේට වෛර කළ අගෞරව කළ, මරන්න පවා, උත්සහ කළා ඒ නිසා ඔබවහන්සේගේ ඉල්ලීම අපට ඉටු කරන්නට බැහැ. දෙව්දත් තෙරුන්ගේ ගෝල භික්‍ෂූන් කියා සිටියහ.

මා විනාශ කරන්න එපා. බුදුන් කෙරෙහි වෛර කළා. එහෙත් බුදුන් වහන්සේ මා කෙරෙහි කවරදාකවත් වෛර කළේ නැහැ. ඒ ගැන අනුකම්පා කළ සැමවිටම මෛත්‍රී කළා. අංගුලිමාලයන්ටත්, මාහටත් උන්වහන්සේ දැක් වූයේ රහල් හිමියන්ට දැක් වූ ආදර කරුණාවයි. දෙව්දත්ත තෙරුන් කියා සිටියේ ය.

අවසානයේ දී දෙව්දත් තෙරුන්, බුදුන්වහන්සේ බැහැ දකින්නට ගොස්, ගමන ආරම්භ කරන්නට තම පාදය, පොළොවේ තබත්ම, මහා පොළොව විවරව අවීචි මහා නිරයේ දොර විවර විණි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.