Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෑගල්ලේ රතනසාර හිමි

මෙවන් අතිශය වැදගත් වූත් ශෝභනීය වූත් පින්බිමක සිට මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සැමරීමට ලැබීම බෞද්ධ හදවත් තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය දෙගුණ තෙගුණ කරන්නකි.

මීට වසර දෙදහසකට පමණ පෙර ක්‍ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලා වැඩසිටීමෙන් දිව්‍ය ලෝකයක් සේ බැබැළී කල් යාමෙන් නටබුන් වීමෙන් ගණ කැලෑවෙන් පැවතුන මෙම භූ®මිය මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපතිව වැඩවිසූ බැඳීගම රතනපාලාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මීට වසර 118 ක පමණ පෙර දියුණු කිරීම ඇරැඹීම මාතර කඩවත් සතර තුළ පිහිටි ඉතා පුරාණ අතිපූජනීය ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයක් වූ මාකාවිට වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේ ආරම්භයයි.

එදා බැඳිගම රතනපාල හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වූ පරවාහැර රේවත නාහිමිපාණන් වහන්සේ තරුණ කල සිටම පෙරළිකාර අදහස් වලින් යුක්ත අලුත් දේ නිර්මාණය කිරීමට දක්ෂ තරුණ භික්ෂුවකි. උන්වහන්සේගේ පෙරළිකාර ජීවිතය තුළින් මෙරටට උරුම කර දුන්නේ අපූර්ව නිර්මාණයකි.

අනගාරික ධර්මපාලතුමාගේ ආරාධනයෙන් අවුරුදු කිහිපයක් දඹදිව ධර්ම ප්‍රචාරයේ යෙදී සිට අනතුරුව බුරුමය, තායිලන්තය, මැලේසියාව ආදී රටවල ද සංචාරය කළහ. දේශීය හා විදේශීය සංචාර කර බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමෙන් ලබාගත් අත්දැකීම් අනුව මෙතෙක් ලක්දිව නොවූ විරූ විහාරාංග කීපයක් ඇති කිරීමෙන් වෙහෙරහේන විහාරස්ථානය විස්මය ජනක විහාරස්ථානයක් බවට පත්වී තිබේ.

රේවත අනුනාහිමි කාලයේ ඉතා කුඩා ප්‍රදේශයකට සීමා වූ මෙම භූ®මිය මහා වන රොදකින් වැසී තිබුණ අතර බියජනක සිතුම් පැතුම් ජනිත කළේය. මනුෂ්‍ය වාසයට අයෝග්‍ය ස්වරූපයක් ගත් වෙහෙරහේන භූගෝලීය පරිසරය අලංකාර කරන ලද්දේ තුරු ලතාදියෙන් වෙලී ගැවසී සිටි බෝධිරාජයා විසිනි. වෙහෙර, විහාර, දාගැබ් ආදියෙන් සමලංකෘතව අතීතය ප්‍රමුදිත භාවයට පත් කිරීමට තුඩු දුන් ‘හේන’ ‘වෙහෙරහේන’ ලෙස අදත් තුඩතුඩ පවතී. අවට පිහිටි ගම්වල ව්‍යාවහාර කරන නම් වලින්ද අවුරුදු දෙදහසකට පමණ පූර්වයෙහි මහරහතන් වහන්සේලා වැඩසිටි බව ගණේහේන, ගණේතැන්න, මාළගොඩ, ගණේගොඩ, මාලිගාතැන්න ආදී නම් යෙදී ඇති ආකාරයෙන් පෙනේ.

මෙම පුණ්‍ය භූමියේ නවෝදය ඇති වූයේ පරවාහැර රේවත නාහිමියන්ගේ සම්ප්‍රාප්තියත් සමගයි. 19 වන සියවසේ මුල් භාගයේ පමණ මෙහි පිහිටීම පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ රේවත නාහිමිපාණන් වහන්සේ එහි බෞද්ධ සංස්කෘතියේ ආලෝකයට හේතුවන කලා මධ්‍යස්ථානයක් කිරීමට කටයුතු කළහ. මෙම විහාරස්ථානයේ මුල්ම ඉදිකිරීම වූයේ බුබ්බුලාකාරයෙන් යුතු චෛත්‍යරාජයාණන් වහන්සේය.

1939 දි ආරම්භ වූ වෙහෙරහේනේ ඉදි වූ අසු අටරියන් පිළිම වහන්සේ ලංකාවේ ඉදි වූ පළමු විශාලතම පිළිම වහන්සේය. මෙය වනාහි සිංහල මූර්ති ශිල්පයේ උදාරත්වය පිළිබිඹු කෙරෙන කලා ලෝකයේ අපරාජිත වස්තුවකි. සිංහල කලාවේ උසස් නිර්මාණයකි. අනගිභවනීයත්වය, විශාරදත්වය, ලෝකෝත්තර ඥාන ප්‍රභවය හා උත්තුංගභාවය නිරූපණය කෙරෙන කලා ශිල්පයෙහි අග්‍ර ඵලයකි.

කවර මිනුම් දණ්ඩෙන් මැන බැලුවත් සාරිපුත්‍ර ග්‍රන්ථයේ මිනුම් ක්‍රමයට සෑම අතින්ම එකඟයි. මේ නිසා වෙහෙරහේනේ අසූ අටරියන් බුද්ධ ප්‍රතිමාව නූතන ප්‍රතිමා නිර්මාණකරුවන්ට අගවනුයේ රන් සීනුවකින් නගන ස්වර්ණමය ඝෝෂයකි. පුරාතන සාසන ක්‍රමයේ සියුම්තැන් පවා විනිවිඳ බලා ඇති දක්ෂ නිර්මාණ ශිල්පීන් ලවා නෙළා ඇති මහා ප්‍රතිමාව පද්මාසනයක වැඩසිටින ලෙස නෙළා ඇති අයුරු මොනවට දිස් වේ.

උම්මග්ග ජාතකයේ එන ප්‍රඥා පාරමිතාව මූර්තිමත් කරමින් අප මහා බෝසතාණෝ මහෞෂධ නමින් ප්‍රකට වූහ. උන්වහන්සේගේ ප්‍රඥාමහිමය මොනවට පැහැදිලි කරමින් මහෞෂධයන් විසින් නිර්මාණය කරන ලද උමංදාව සිහිපත් කරමින් වෙහෙරහේනේ උමංවිහාරය නිර්මාණය විය. මෙහි පන්සියපනස් ජාතකය දක්ෂ ශිල්පීන් ලවා පින්තාරු කර ඇත. මෙම විහාරය අක්කර තුනක් පමණ භූමි ප්‍රදේශයක් වසා පැතිර සිටී. එමෙන්ම අසූ අටරියන් මහා පිළිම වහන්සේගේ ආරක්ෂාව සඳහා මහල් ගණනාවකින් යුක්ත විහාර මන්දිරයක් ඉදිවෙමින් පවතී. උමං විහාරයට ඇතුළු වන දොරටුවෙන් ඇතුළු වන අයෙකුට පිළිම වහන්සේගේ ආසනය යට පිහිටා ඇති විහාර මන්දිර දක්වා ගොස් පිළිම වහන්සේ සඳහා තැන්පත් කරන ලද නිදන් වස්තු නරඹා දකුණු පසට ගොස් පියගැට පෙළ නැගීමෙන් අසූ අටරියන් පිළිම වහන්සේගේ ආරක්ෂාව සඳහා ඉදිකරන ලද විහාර මන්දිරයට පිවිසිය හැකිය.

අවට පරිසරය සුන්දර වූ වෙල් යායකි. මෙම විහාර භූමිය විශාල ඉඩ කඩකින් යුක්තය. මනරම් පරිසරයකින් යුක්ත මෙම විහාරය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ඉදි වූ විශ්‍රාම ශාලාව බැතිමතුන්ට මහත් අස්වැසිල්ලක් ගෙන දෙයි. බුද්ධ ශාසනය ආරක්ෂා කරන උපුල්වන් දෙවියන් නමින් ඇති දේවාලය ඇත්තේ කි.මී. දෙක තුනක් දුරින් පිළිම වහන්සේට නැගෙනහිර දිසාවෙන්ය. දශක තුනක් පැවැති මෙරටේ අඳුරු යුගය අවසන් කර මෙරට එක්සේසත් කළ සේනාධිනායක ජනාධිපතිතුමාගේ ජන්ම භූ®මිය වන පාලටුව මාතර නගර ඇසුරු කොට පවතී. මෙවන් අතිශය වැදගත් වූත් ශෝභනීය වූත් පින්බිමක සිට මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සැමරීමට ලැබීම බෞද්ධ හදවත් තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය දෙගුණ තෙගුණ කරන්නකි.

ඉදිරියෙ පෙනෙන නිල් වන් ගොයමෙහි දැල්ල යි
අවටින් සුසැදි සුහුඹුල් පොල්තුරු නිල්ල යි
බදුවද මල්පාට සිවුරේ නැගි රැල්ල යි
මේ හැම දනවනුයෙ අප හට සැනසිල්ල යි

මේ, වෙහෙරහේන ගැන ලියවුණු කවි අතර එක් කවියකි.

සම්බුද්ධාලෝකයෙන් සැමගේ සිත් පහන් වේවා!
 


දකුණු ලක එකලු කළ ජාතික වෙසක් උත්සවය

ගෞතම බුදුරදුන්ගේ 2553 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මාතර වෙහෙරහේන රාජ මහා විහාරය කේන්ද්‍රකොට මාතර දිසාව පුරා වෙසක් කලාපයක් ලෙස නම් කර ශාසනාරක්‍ෂක බල මණ්ඩල 17 තුළ උත්කර්ෂවත් අන්දමින් ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා මාතර දිසා ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

මේ සඳහා මැයි මස 5 වන දා සිට 11 වන දා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

එම උත්සවයට සමගාමීව විශේෂිත පින්කම් මාලාවක් පැවැත්වේ. එහිදී සීල සමාදානය මූලිකත්වය ගනී. ඊට අමතරව ශතාධික මහ සඟරුවන උදෙසා හීල , දාවල දානය පූජා කැරේ. බුද්ධ පූජා බෝධි පූජා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී පින්කම් රැසක් එදින පුරා පැවැත්වේ.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ අනුශාසනා පරිදි විහාරාධිපති මාතර දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති කෑගල්ලේ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩල, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩල බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා කාර්ය මණ්ඩලය මාතර දිසා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලීසිය, දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාතර බෝධි ආරක්‍ෂක සභාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය හා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන වල අනුග්‍රාහකත්වයෙන් හා සම්බන්ධීකරණයෙන් මෙම උත්සවය පැවැත්වේ.

එම ජාතික වැඩසටහනට සමගාමීව රදම්පළ ශ්‍රී නාගවනාරාමයේ ජයශ්‍රී මහා බෝධි අංකුර රෝපණය කිරීමද, මාතර ඓතිහාසික බෝධිරාජයාණන් වහන්සේ වැවුරුකන්නල බුදුරජමහ වෙහෙර, දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල රාජ මහා විහාරය, ඇතුළු විහාරස්ථානවලදී දාන ශීල භාවනා ආදී පින්කම් රැසක්ද පැවැත්වේ. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මගින් වෙසක් ‘බුදුසරණ’ පත‍්‍රය ධර්ම දානය සඳහා නොමිලයේ බෙදාදීම සිදුකැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.