Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සසුන පරිහානිය කරා ගමන් කළ යුගයක එය රැකගෙන ආරක්ෂා කළ වැලිවිට සරණංකර සඟරජ මාහිමියන්ගෙන් ඇරැඹි සියම් මහා නිකාය ප්‍රභවයේ පටන් ම එහි මූලස්ථානය පැවැතියේ මහනුවර ය. පශ්චාත් කාලීනව මල්වතු අස්ගිරි උභය පාර්ශ්වය පහතරට භික්ෂූන්ට දුරබැහැර වැඩි නිසාත්, යම් යම් අපහසුතා පැවැති නිසාත්, පහතරට ධර්ම විනය ධර සම්භාවනීය භික්ෂූන්ගේ එකතුවෙන් ප්‍රාදේශීය වශයෙන් පාර්ශ්ව කිහිපයක් ම ආරම්භ විය.

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 24 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මැයි මස 02, 03, 04 යන තෙදින පුරා මාතර පරෙයිදූවේ මංගල උපෝසථාගාරයේදී රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අත්තුඩාවේ සිරි රාහුල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පරෙයිදූවේ උපෝසථාගාරය

දකුණු සිරිලක නිල්වලා ගඟ මුහුදට පිවිසෙන මෝය ආසන්නයේ දර්ශනීය ඓතිහාසික මාතර පුරවරය පිහිටා ඇත. මාතර දකුණු පළාතේ දෙවැනි නගරයයි. ආගමික වශයෙන් ගත් කල පසුගිය සහස්‍රකය අග භාගයේ දී මාතර ප්‍රදේශයේ සිදු වූ ඓතිහාසික සංසිද්ධිය වනුයේ සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාව අරඹා ඒ මගින් රෝහණ පාර්ශ්වය නීතිගත කොට උපසම්පදා විනය කර්මය ආරම්භ කිරීම යි.

බුදු සසුන පරිහානිය කරා ගමන් කළ යුගයක එය රැකගෙන ආරක්ෂා කළ වැලිවිට සරණංකර සඟරජ මාහිමියන්ගෙන් ඇරැඹි සියම් මහා නිකාය ප්‍රභවයේ පටන් ම එහි මූලස්ථානය පැවැතියේ මහනුවර ය. පශ්චාත් කාලීනව මල්වතු අස්ගිරි උභය පාර්ශ්වය පහතරට භික්ෂූන්ට දුරබැහැර වැඩි නිසාත්, යම් යම් අපහසුතා පැවැති නිසාත්, පහතරට ධර්ම විනය ධර සම්භාවනීය භික්ෂූන්ගේ එකතුවෙන් ප්‍රාදේශීය වශයෙන් පාර්ශ්ව කිහිපයක් ම ආරම්භ විය.

මේ අතර සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය පස් වසරක් පමණ මූලස්ථානය හා ප්‍රාදේශීය මහා සංඝයා වහන්සේ සමග සාකච්ඡා කර ඉතා පරීක්ෂාකාරීව හා ධර්ම විනයානුකූලව ආරම්භ කෙරුණකි. ඒ අනුව රෝහණ පාර්ශ්වයේ ප්‍රථම උපසම්පදා විනය කර්මය 1986 දී පුරාවිද්‍යා චක්‍රවර්තී මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එදා සිට රෝහණ පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය සිදු වූයේ එහි මූලස්ථානය වූ මාතර ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ මංගල උපෝසථාගාරයේ ය. 2003 දී පමණක් සියම් මහා නිකාය පිහිටුවා වසර 250 සපිරීම වෙනුවෙන් රෝහණ පාර්ශ්වයේ 18 වන උපසම්පදා උළෙල ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරයේදී සිදු කෙරිණි. තව ද ඒ හා සමගාමීව 2003 අපේ‍්‍රල් මස 24 වැනි දින පෙරවරු 9.30 ට යෙදුණු සුබ මොහොතින් මාතර දර්ශනීය පරෙයිදූවේ දී රෝහණ පාර්ශ්වය සඳහා ප්‍රතිෂ්ඨාපනය සිදු කෙරිණි. 2004 ජනවාරි මස 15 වැනි දින සීමා බන්ධන මහා විනය කර්මය ද සිදු කෙරිණි. පරෙයිදූවේ උපෝසථාගාරය ප්‍රමුඛ තදනුබද්ධ ආගමික ගොඩනැගිලි සංකීර්ණය සඟ සතු කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2004 අපේ‍්‍රල් මස 30 වැනි දින පස්වරු 3.00 ට සිදු කෙරිණි. අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ඓතිහාසික අවස්ථාවට රෝහණ පාර්ශ්වයේ මහ නා හිමි, කෝට්ටේ පාර්ශ්වයේ මහ නා හිමි ප්‍රමුඛ දහසකට අධික මහා සංඝ රත්නය වැඩම වූ හ.

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ
නිර්මාතෘවර මහාචාර්ය
කඹුරුපිටියේ වනරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ
මහානායක අත්තුඩාවේ
සිරි රාහුල මහා නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ශ්‍රී රෝහණ මහා සංඝ සභාව පිහිට වූ මුල් වකවානුවේ ම සංඝ සභා මූලස්ථානය මාතර නගර සභාව සතුව පැවැති මෙම දර්ශනීය පරෙයිදූවේ පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව විටින් විට සාකච්ඡා වී ඇත. වරෙක ඉදිරිපත් වෙමින් හා වරෙක යටපත් වෙමින් පැවැති එම අදහස සපුරාගත හැකි වූයේ 2003 දී ය. මෙසේ ආරම්භයේ පටන් රැව්පිළිරැව් දුන් අදහසක් සපුරා ගනිමින් ශ්‍රී රෝහණ උපෝසථාගාරය මාතර නගර මධ්‍යයට ගෙන ඒමට හැකිවීම නව සහස්‍රකයේ රෝහණ මහා සංඝ සභාව ලත් විජයග්‍රහණයක් ලෙස නම් කළ හැකි ය.

අති පුජ්‍ය අත්තුඩාවේ සිර රාහුල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ඉල්ලීම පරිදි ගරු අමාත්‍ය මහින්ද විජේසේකර මැතිඳුන් මේ කෙරෙහි දැක් වූ මාහැඟි දායකත්වය මෙහි සාර්ථකත්වය කෙරෙහි ප්‍රබල පිටුවහලක් විය. මහින්ද විජේසේකර මැතිඳුන් පෞද්ගලිකව ම අනුරාධපුර පොළොන්නරුව හා දඹදෙණිය යන ප්‍රදේශවල සංචාරය කොට එකී නගරවල ගෘහ නිර්මාණයන්ට අනුගතව පෞරාණිකත්වය ආරක්‍ෂා වන පරිදි මෙම උපෝසථාගාරය ඉදිකරවීමට සැලසුම් සකස් කළේය.

පරෙයිදූවේ ඉදිකොට ඇත්තේ අඩි 60 ය30 ප්‍රමාණයේ උපෝසථාගාරයක් පමණක් නො වේ. උපෝසථාගාරය හා සමගාමීව ප්‍රතිමා මන්දිරයක්, වටදාගෙයක්, සතරවරම් දෙවියන් වෙනුවෙන් කර වූ දේවාල සතරක් , භික්ෂූන් වහන්සේ හා රාජ්‍ය නායකයින් සඳහා වෙන් වූ නිල නිවාස දෙකක් යනාදිය ද මෙහි ඉදිකරවා ඇත.

නව එල්ලෙන පාලමෙන් ගොස් පරෙයිදූවට පැමිණි තැන ජාතියේ සංකේතය වූ අභිමානවත්ව සිටින සිංහ රූප දෙකකි. ඒ අසළම සිවුරැස් මැදුරක මහමෙවුනාවේ සමාධි ප්‍රතිමාව සිහියට නංවන දර්ශනීය බුද්ධ ප්‍රතිමාවකි. බුද්ධ ප්‍රතිමාව පිටුපසින් පිහිටියේ දූපත මුදුනට නැගීමට පිළියෙල කළ පියගැට පෙළවල් දෙකකි. එක් පිය ගැට පෙළක් කෙළින්ම මුදුනට නැගීමටය . අනෙක් පියගැට පෙළ වක්‍රාකාරව මුදුනට නැගීමට ය. පියගැට පෙළ දෙ පලෙහිම ශක්තිමත් අත්වැල් යොදා තිබේ. දෙ පසින්ම මුදුනට නැගුණු විට වටදාගෙයට ඇතුළු විය හැකිය. එහි මේ කල්පයෙහි බුදු වූ සිවු බුදුවරුන් ගේ ප්‍රතිමා සතරකි. මුදුනේ චෛත්‍යය යි. සම්මන්ත්‍රණ ශාලාව ද විචිත්‍ර නිර්මාණයකි. අනුරාධපුර, පොළොන්නරු ගෘහ නිර්මාණ සැලසුම් අනුව යමින් මෙහි උපෝසථාගාරය සහ වටදාගෙය නිමවා තිබේ. අනුරාධපුර යුගයේ පැවැති පධානඝර හෝ පියන්ගල ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ විදහා දක්වමින් උපෝසථාගාරය වටා අලංකාර දිය අඟලක් සකස් කොට තිබේ. උපෝසථාගාරය වටා ඇති කුලුනු සහ පැති සතරේ ඇති කුඩා වේදිකා නුවර යුගයේ වාස්තු විද්‍යා ලක්‍ෂණ පිළිබිඹු කරයි. වටදාගෙය සාම්ප්‍රදායික හා නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ සංකලනයකි.

පරෙයිදූව මුදුනට නැගුණු විට මාතර නගරයේ වැඩි කොටසක් නැරඹිය හැකි ය. එහි දී නැගෙනහිරින් දෙවුන්දර පහන්ටැඹ දිස් වේ. උතුරින් මාතර නගරය මැදින් මුහුදට පිවිසෙන නිල්වලා ගඟ පටන් ගන්නා ගොංගල කඳුවැටිය දක්නට ලැබේ. දකුණින් හා බටහිරින් අනන්ත සාගරය රළ නංවමින් සිය සුපුරුදු කටයුතු වල නිරතව සිටින බවක් දැක් වේ. මහ සයුරෙන් වට වී පිහිටි ඉතා දර්ශනීය උස්බිමක සීමා සම්මත කොට සිත්ගන්නාසුලු අන්දමින් මාතර පරෙයිදූවේ උපෝසථාගාරය ඉදිකර ඇත. මාතර නගර මධ්‍යයේ පිහිටි මෙය මාතර නගරයේ තිලකය බඳුය. එ මතු නොව මාතර අනන්‍යතාව වනුයේ ද මෙය බවට සැකයක් නැත. මෙය හුදෙක් පළාත්වාසී භික්ෂු මහා සංඝයා ගේ උපසම්පදාව ආදී ආගමික අවශ්‍යතාවන් හිදී ඒ සඳහා ඉතා සුදුසු හා පහසුම ස්ථානයක් වනු ඇත. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිර්මාතෘවර, පුරාවිද්‍යා චක්‍රවර්තී, මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ පරමාර්ථ මුදුන්පත් වූ තවත් අවස්ථාවක් ලෙස ද මෙය නම් කළ හැකි ය.

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 19 වැනි උපසම්පදාව මෙම උපෝසථාගාරයේ පැවැත් වූ ප්‍රථම උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ලෙස 2004 දී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර පැවැත්වෙනුයේ රෝහණ පාර්ශ්වයේ 24 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවයයි.

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති , ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක සාහිත්‍යසූරී, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය අත්තුඩාවේ සිරි රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා මහාචාර්ය ගතාරේ ධම්මපාල, ග්‍රන්ථ විශාරද, රාජකීය පණ්ඩිත කැකුණේවෙල ශ්‍රී පියරතන යන අනු නාහිමිවරුන් ගේත්, ප්‍රධාන අධිකරණ සංඝනායක ගොම්බද්දල ශ්‍රී නන්දාරාම , ඌරුමුත්තේ ශ්‍රී සෝමරතන , මොදරවානේ සිද්ධත්ථ යන නාහිමිවරුන් ගේත් මූලික මෙහෙවීම මත ශ්‍රී රෝහණ පාර්ශ්වීය විධායක කාරක මහා සංඝ සභාවේ සහභාගිත්වයෙන් උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සිදු කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශාස්ත්‍රපති ඕමාරේ කස්සප හිමියන්ගේ අධීක්ෂණය මත රෝහණ පාර්ශ්වීය තරුණ භික්ෂු සංවිධානය හා දායක සභාව සියලු කටයුතු සංවිධානය කරති. උපසම්පදා උළෙල සඳහා දිවයිනේ නන් දෙසින් වැඩමවන මහා සංඝරත්නය උදෙසා නේවාසික හා ප්‍රත්‍ය පහසුකම් සියල්ලක් ම මාතර පහළ පීක්වැල්ල ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරාධිපති, ඌරුමුත්තේ ශ්‍රී සෝමරතන නාහිමියන් ගේ හා ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන හිමියන් ගේ අනුශාසනා පරිදි සිදු වෙයි. මැයි මස 02 , 03 , 04 යන දිනයන් හිදී උපසම්පදා පුණ්‍ය මහෝත්සවය පැවැත් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.