සදහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය
මජ්ඣිම නිකායේ ‘කොසම්බි’ සූත්‍ර දේශනාවට අනුව සපයාගත් ධනයක් කෙතරම්
දැහැමි වූවද සමාජ යහපැවැත්ම සඳහා සහජීවනය අරමුණු කොටගෙන ධනය බෙදා හදා
ගත යුතු ය. අවම වශයෙන් තම පාත්‍රයට ලැබුණු සුළු දෙය වූවද බෙදා හදා
නොගෙන නොවැළඳිය යුතු බව දැඩිලෙස ම අවධාරණය කර ඇත. පෙල දහමට අනුව ‘චාග‘
සම්පතකි. සිව් සඟරාවතින් (චතුස්සං ගහ වත්ථු) දානය පළමු වැන්න ලෙස
අවධාරණය කළේ ද එබැවිනි. සමාජ සාධාරණීකරණය සඳහා ද බුදුදහම දානය අවශ්‍යම
අංගයක් වශයෙන් සලකා තමාවෙතින් අන්‍යයන්ට හෙවත් ‘එකා සැමටත් සෑම
දෙනාටත්’ යන තේමාව ඔස්සේ (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක්
විය යුතු බව පැහැදිලි කරන්න.
පිළිතුර
පෙළ දහමට අනුව ප්‍රධාන කරුණු දෙකක් නිසා ‘දන්දීම’ අවධාරණය කර තිබෙන බව
පැහැදිලි වේ. ඉන් පළමුවැන්න පුද්ගලයා සමාජ සත්වයෙකු ලෙස සැලකීමයි. අනෙක
පුද්ගලයෙකුගේ පරිත්‍යාගශීලී බව සමාජ ප්‍රගතියට බෙහෙවින් හේතු සාධකයක්
වන බවයි. පුද්ගල හා සමාජගත දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදුරදුන්
වදාළහ. තෘෂ්ණාව නිසා අයත් කර ගැනීම රැස් කිරීම, පැහැර ගැනීම, මගේ බවට
පමුණුවාගැනීම මමත්වය ගොඩනැගීම එමගින් (සක්කාය දිට්ඨි) හෙවත් ආත්මීය
මානයක් ගොඩනඟා ගැනීම ආදිය සිදුවෙයි. මෙම මිථ්‍යා දෘෂ්ටිය පුද්ගල
සන්තානය තුළින් ඉවත් කිරීමට ප්‍රතිපක්‍ෂ ධර්මයක් පුහුණු කළ යුතුය. මෙසේ
ලෝභය, රාගය, තෘෂ්ණාව, ප්‍රහීණ කිරීමට, පරිත්‍යාගය අනුගමනය කළ හැකි
ඵලදායී මාර්ගය වෙයි.
අත්හැර දැමීමේ සංකල්පය ‘නෙක්ඛම්ම’ නමින් හැඳින්වෙයි. ආධ්‍යාත්මික
දියුණුව සැලසීමේ අඩිතාලම ද එයින් දැමෙයි. සිව් සඟරාවතින් වඩාත් අවධාරණය
කර ඇත්තේ දන්දීමෙහි (පරිත්‍යාගයෙහි) සමාජමය අරුතයි. සමාජයේ යහපැවැත්ම
මෙන්ම සත්ගුණවත් භාවයට පරිත්‍යාගය අත්‍යවශ්‍ය වෙයි. නොදීමෙන් තැන්
තැන්වල එක්රැස්වීමට පටන් ගැනේ. එවිට වෙනත් තැනක හිදසක් (ඉඩක්) අවකාශයක්
(අඩුවක්) ඇති වෙයි. ඒ හේතුවෙන් සන්ධිකාර (අධිකාරී) බලයක් ඇතිවෙයි.
සමාජය තුළ එක් කොටසක් බලය පවරාගනී. එමඟින් සමාජය තුළ සමතුලනය (සමසේ
බෙදීයාම) නැතිවේ. සම්පත් සූරාකෑමට ලක්වේ. එවිට සම්පත් හිගයකට හා
විනාශයකට මුහුණපෑමට සිදුවේ.
ප්‍රශ්නය
පුද්ගලයෙකු උපයාගත් ධනය ධාර්මික වන්නේ ‘උට්ඨාන විරියාධිගත’ යන බෞද්ධ
සංකල්පය නිසා බව බුදු දහම අවධාරණය කරයි. ‘උට්ඨාවීර්ය’ පිළිබඳ
හඳුනාගැනීම සඳහා ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රා ගත උට්ඨාන සම්ප්‍රදා යන්න
පැහැදිලි කරගත යුතු ය. පැහැදිලි කරන්න.
පිළිතුර
පළමුවෙන් සිහියේ තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ඕනෑම කරුණක් සඳහා කෙරෙන
ඕනෑම ආකාරයක උත්සාහයක් උට්ඨාන වීර්ය ලෙසින් බුදු දහම පිළිනොගන්නා බවයි.
ව්‍යාග්ඝ පඡ්ඡය උට්ඨාන වීර්ය කවරේද කුලපුත්‍රයා විසින් කෘෂිකර්මයෙන්,
වෙළඳාමෙන්, ගව පාලනයෙන්, දුනුශිල්පයෙන්, රාජ්‍ය සේවයෙන් හෝ වෙනත්, උගත්
ශිල්පයකින් කර්මාන්ත කර ජීවිකාව කෙරේද? හෙතෙම එහි දක්‍ෂවෙයි. අලස
නොවෙයි. එහි උපාය විමසා කළමනාකරණය කරයි. අනුන් ලවා සහභාගිත්ව
ක්‍රියාවලියකට ද නොපැකිල ඉදිරිපත් වෙයි. මේ සඳහා සුතාගත භාවිතයන්ම
සටහන් කළොත් මෙහිදී සලකා බැලෙන කරුණු පහක් පිළිබඳ සලකා බැලේ. 1. දක්ඛො
(දක්‍ෂවීම) 2. අනලසො (අලස නොවීම), 3. තත්තෘපාය විමංසාය සමන්තාගතො (උපාය
විමසන සුළුවීම) 4. තමන් එම කාර්ය කිරීමට හැකියාවක් ඇත්තකු වීම
(අලංකාතුං) 5.අලංසංවිධාතුං (සංවිධානයට හෙවත් අනුන් ලවා එය තරවීමට සමත්
වීම) යනුවෙනි.
ප්‍රශ්නය
අනුට්ඨානය සහ (උත්සාහවත් නොවීම) ආලස්‍යය අලසකම ගර්හාවට ලක්කරන බුදු දහම
මිනිසා ක්‍රියාවට පොළොඹවන බෞද්ධ ආකල්පය සුත්‍රාගත දේශනා වලින් පැහැදිලි
කරන්න.
පිළිතුර
පිළිතුර සඳහා අං.නි. අට්ඨක නිපාත ‘කුසිතාරම්භ වත්ථු’ සූත්‍රාගත දේශනා
බෙහෙවින් ආධාරක වෙයි. ඒ අනුව කුසිතාරම්භ වත්ථු අට වශයෙන් කරුණු අටක්
මෙසේ දක්වා ඇත.
1. මිනිසෙකු යම්කිසි ශ්‍රමය වැය කරන ක්‍රියාවකදී මට මෙම කටයුත්ත ශරීරයට
වෙහෙස කරය. එම නිසා වෙහෙස නිවාගැනීම සඳහා නිදාගනිමි. එසේ වූ ඔහුට ලබාගත
හැකි කිසියම් ලාභයකට හිමිකාර නොවී කිසිදු අධිකමයකට (ඉදිරියකට
අභිවෘද්ධියකට) හිමිකමක් නොලබයි.
2. එසේම මම කළ කටයුත්තෙන් වෙහෙසට පත් වූයෙමි.
3. යා යුතු ගමනක් එය වෙහෙසම කරය.
4. ගමනක් ගියෙමි. එය වෙහෙසකරය.
5. ආහාර පාන ප්‍රමාණවත්ව නොලැබීම ඒ නිසා මගේ ශරීරයට ශක්තිය නැත.
6. ආහාරපාන අසීමිත ව ගැනීම නිසා ස්ථුල ගතියෙන් සිරුරට වෙහෙසක් දැනෙන
නිසා කටයුතු ඉදිරියට ගෙන යා නොහැකි ය.
7.සුළු අසනීපයක් ඇත. එය වැඩකිරිමෙන් අසාධ්‍ය විය හැකි ය. ඒ නිසා
උත්සාහය අත්හරියි.
ශ්‍රමාභිමානය වචනයේ පරිසමුප්ත අර්ථයෙන්ම ඉදිරිපත් කරන මෙම සූත්‍රය
උද්යෝගිමත් මිනිසෙකු නිර්මාණය කිරීම සඳහා කරුණු සටහන් වී ඇත.
1. ඉදිරියට කරන්නට ඇති වැඩගැන සිතා දැන් කළ යුතු දේ දැන්ම කරන්න.
2. වැඩක් කර අවසන් වූ විට එය අවසන් කළා යැයි නොසිතා ඒ ක්‍රියාව කළ කාලය
තුළ අතපසු වූ වැඩක් ඇත්දැයි සොයා බලා එය ද කරන්න.
3. ගමනක් යාමට අවශ්‍ය වූ විට නියමිත කටයුත්ත නිමාව දැක යන්න අසංවිධිත
කාර්යයක් සේ කටයුතු නොකරන්න.
4. නිරතුරුව කළ යුත්ත මග හැරුණු තැන් පිළිබඳව ආපසු බලන්න.
5. ආත්ම සුඛ විහරණය දෙවැනිව සිතා පළමුව ආරම්භ කළ කටයුත්තෙහි නිමාව
දකින්න.
6. ප්‍රමාණවත් ආහාර ගැනීම, කටයුත්ත නිමාව සඳහා පමණක් බව සිතා ආහාර
ගන්න.
7. මඳ ගිලන් බව උකටලී වීමට හේතුවක් කරනොගෙන හැකිතාක් උත්සාහවත් වන්න.
8. රෝගී බව හැකිතාක් මානසික රෝගයක් බවට පත් නොකොට ආරම්භ කළ කාර්යය
අවසන් කරන්න.
ප්‍රශ්නය
මහා මංගල සූත්‍රයෙහි ‘සුභාසිත වාචා’ යනුවෙන් සඳහන් වන මංගල කරුණ
පිළිබඳව පැහැදිලි කරන්න.
පිළිතුර
සු + භාසිත යන පද දෙක එක්ව සැදුන පදයකි. ‘සු’ යන උපසර්ග පදය යහපත් වඩා
හොඳ යන අර්ථය ගෙනදෙයි. ‘භාසිත’ කියන ලද අර්ථය ගෙනදෙන අතීත කෘදන්තයෙකි.
ඒ අනුව යහපත ගෙනදෙන වචන සුභාෂිත වාචා නම් වෙයි. ත්‍රිපිටක බුද්ධ වචනය
සුභාෂිත වචනය බව අටුවාචාරීන් වහන්සේලා නිරතුරුව සඳහන් කරයි. වචනයෙහි
‘සුභාෂිත’ ගුණය රඳා පැවැත්මට හේතු කාරණ පෙළදහමෙහි දක්නට ඇත. පළමුවැන්න
‘කාලෙන භාසිතං’ තැනට පුද්ගලයාට සුදුසු වචන කථා කිරීමයි. දෙවැන්න වචනයේ
හෘදයංගම බව හෙවත් සත්‍යවාදී බවයි. රළු නොවන මෘදු මොලොක් වචන භාවිතය
තෙවැන්නයි. සතර වැන්න හරාත්මක හෙවත් මෙලොව පරලොව දෙකට යහපත් වන වචනයයි.
පස්වැන්න තමන් හා අන්‍යයන්ට අමිහිරි අවැඩ දායක වචනවලින් එබදු වචන තමෙව
වාචං හාසෙය්‍ය - යා යත්තානං න තාපනං පරෙච න විහිංසෙය්‍ය - යා වාචා
සුභාසිතා’ යනුවෙන් සඳහන් වේ.
ප්‍රශ්නය
දානමය පුණ්‍ය කර්මයක අවසානයෙහි (භුත්තානුමෝදනාව) කළ පින්කමෙහි ඵල
වශයෙන් ආයුරාරෝගය සම්පත්ති ආදී වශයෙන් සම්පත් බොහොමයක් ලබන්නට දායක
පිරිසට අනුශාසනා කරති. සම්පත් යන්නෙහි සරල අර්ථය ඒ අනුව ලැබීම යන්නය.
බුදු දහමෙහි එබඳු දැහැමි ලැබීම් (පංච සම්පදා) පහක් පිළිබඳව සටහන් වෙයි.
පැහැදිල කරන්න.
පිළිතුර
පංච සම්පදා නම්
ඤාති සම්පදා - ඤාතීන් ලැබීම
භෝග සම්පදා - භෝග, ධනය ලැබීම
සීල සම්පදා - ශීල සම්පත්
ආරෝග්‍ය සම්පදා – නීරෝගී බව
දිට්ඨි සම්පදා – නිවැරැදි දැකීම
ප්‍රශ්නය
සමාජය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේසිත මූලික ආකල්පය කුමක්දැයි
පෙලදහමෙහි එන අයුරු පැහැදිලි කරන්න.
පිළිතුර
බුදුරජාණන් වහන්සේගේ සමාජය පිළිබඳ මූලික චින්තනය වූයේ භින්නරුචික(
නානාධිමුත්තික පුග්ගල වෙමත්තක) යනුවෙන් විවිධ අදහස් ඇති විවිධ තරාතිරම්
වල ජන ඒකරාශී වීම සමාජය වශයෙන් පෙන්වා දී ඇත. ලෝභ, දෝෂ, මෝහ, ඊර්ෂ්‍යා
මද මානාදී අනේක විධ කෙලෙස් වලින් ගහණ වූ සංචිතයෙකි.
බුදුරජාණන් වහන්සේ සමාජය පියුම් විලකට සමාන කළහ. පුහුදුන් අපවිත්‍ර ජලය
තුළ පියුම විකසිත විය යුතු ය. අපවිත්‍ර ජලය මඩ ගොහොරුවෙහි ස්පර්ශ නොකර
විකසිත සුචිගන්ධ, මනෝරම්‍ය, සුවඳවත් පැහැපත් නෙලුමක් සේ බෞද්ධ
ශ්‍රාවකයා නමැති පද්මය විකසිත වී සමාජය සුවඳවත් කළ යුතු ය. පෙළ දහමට
අනුව මිනිසා අවශ්‍යයෙන්ම සමාජය නැමැති පොකුණ තුළ විරාජමාන විය යුතු ය.
සමාජය තුළ සමගිය අවධාරණය කිරීම සඳහා විවිධ ක්‍රමෝපාය උපයෝගී කොට ගත්
අයුරු සූත්‍රාගත තොරතුරු වලින් අනාවරණය වෙයි. වසල පරාභව සූත්‍රාන්ත
ධර්මයන්හිදී ඔවුනොවුන් අතර සමාදානය හා සමගිය පහව යාම සමාජයේ පිරිහීමටත්
පරාභවයටත් හේතුවන අයුරු දක්වා ඇත. සාමාන්‍ය ජනයා මෙන්ම බුද්ධිමත් ජනයා
ද සමාජගත කරුණු අවුල් වියවුල් බවට පත්කරනු ලබන්නේ ඒ පිළිබඳ
යථාර්ථාවබෝධය නොසළකා හැරීමෙනි. බුදුරජාණන් වහන්සේ ‘කලහ විවාද’
සූත්‍රයෙහි දී විසිතුරු ලෙස විග්‍රහ කොට දක්වා ඇත.
ඒ අනුව මිනිසුන් මූලික වශයෙන් කලහයන්ට ගොදුරු වන්නේ ‘කට වරද්දා
ගැනීමෙනි. එම සූත්‍රාගත තොරතුරු සම්පිණ්ඩනය කරන විට කරුණු අටක් පිළිබඳ
විස්තර දක්වා කලහ සමුදය සේම කලහ නිරෝධයත් පැහැදිලි කොට ඇති බව පෙනෙයි.
|