පරමාදර්ශී භික්ෂුත්වය
බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන්ට
පරමාදර්ශය කැර ගැනීමට දේශනා කළේ සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේයි. ඒක
හරිම ලස්සනයි. සිත් ඇද ගන්නා සුළුයි. මහා සංඝ රත්නයේ ගුණ මනින තරාදිය
ලෙස
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අරහත් වූ සැරියුත් මහ රහතන් වහන්සේ හා
අරහත් වූ මුගලන්
මහ රහතන් වහන්සේයි.
තුම්බෝවිල ඉසිවර අරණ වාසි
නුගේගොඩ පුණ්ණ හිමි
සාකච්ඡා කෙළේ - පි‍්‍රයංකා කුරුගල
වර්තමානයේ තරුණ පිරිස බොහෝ දුරට දහමට ලැදිව කටයුතු කරනවා. ඔවුන් ඉතා
උනන්දුවෙන් ධර්ම මාර්ගය සොයා යනවා. ශීඝ්‍රයෙන් පිරිහෙන ආකල්පවල එල්බගත්
බහුතර පිරිස අතර මොවුන් ඉතා හොඳින් හික්මුණ පිරිසක් බව කිවයුතු නෑ.
ඇතැම් උගත් තරුණ පුතුන් තම තමන්ගේ සියලුම ලෞකික අපේක්‍ෂා අතැර දමා
මහණදම් පුරන්නට පවා පෙළඹෙනවා අප නිතර දැක තිබෙනවා.
අවබෝධයෙන් ලබන්නා වූ භික්‍ෂුත්වය මුළුමහත් සමාජයටම සහනයක් සැනසීමක් උදා
කැර දෙනවා. “අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්ස” අනුත්තර වූ ගුණයෙන් යුතු
සිල්වත් භික්‍ෂූන් වහන්සේ ලෝකසත්වයාට පින් කෙතක් බඳුය යන්නයි ඉන්
කියැවෙන්නේ මහණ දමත් සමඟ එය ලබන තැනැත්තා කෙතරම් උසස් පුද්ගලයකු වනවා
දැයි කිවයුතු නෑ.
එහෙත් වර්තමානයේ ඇතැම් විට ඇතැම් තැනක කලාතුරෙකින් වෙසෙන භික්‍ෂූන්
වහන්සේ තම තමන්ගේ භික්‍ෂුත්වය පිළිබඳව කිසිදු තැකීමක් නොකොට එහි බරපතල
බව නොහඳුනමින් කටයුතු කරන අවස්ථා උදා වී තිබෙන බව පෙනෙනවා. මේ නිසාම
එබඳු භික්‍ෂූන් වහන්සේ සමාජයේ අපකීර්තියට මෙන්ම අපවාදයට ලක්වෙනවා. මෙහි
බරපතලකම එයම නොවෙයි. වර්තමානයේ වෙසෙන මෙබඳු ඇතැම් භික්‍ෂූන් වහන්සේ කරන
වැරැදිවලට මුළු මහත් මහා සංඝරත්නයට ගරහා බැණ වැදීමට සමාජය පුරුදු වී
තිබීමයි. මෙයින් ඉතා බරපතල ආර්ය උපවාදයක් සිදුවනවා.
වැරැදි ප්‍රකාශවල තිබෙන බරපතලකම ඔබට නොතේරෙනවා විය හැකියි. එහෙත් එබඳු
ප්‍රකාශ නිසා මුළු මහත් මහා සංඝරත්නයම ගැරහීමකට ලක්වීමත් ඉන් බරපතල
ආර්ය උපවාදයක් සිදුවීමත් වලක්වන්නට බෑ.
පෞද්ගලිකව නම කියලා දොස් කීම වෙනම කථාවක් එවිට ආර්ය උපවාදයක් නෑ. මා
මෙසේ කියන්නේ ධර්මාවබෝධයෙන් තොරව විකාර කරන ඇතැම් භික්‍ෂූන් මේ සමාජයේ
සිටින බවට සමාජය කියන නිසයි. හොඳින් මතක තබාගත යුතු කරුණක් තමයි. පොදු
වශයෙන් මහා සංඝරත්නය කියා දොස් කිව්වොත් එතන ආර්ය උපවාදයක් සිදුවනවා.
හේතුව මහා සංඝරත්නය කියන වචනයේ විශාල අර්ථයක් තිබෙනවා. අතීතයේ පහළ වූ,
වර්තමානයේ වැඩ සිටින, අනාගතයට පහළවන ඒ සියලුම දෙනා වහන්සේ ගරුතර මහා
සංඝරත්නයට අයත්වනවා. එමෙන්ම මහාසංඝරත්නයට අයත් වන්නේ සැරියුත්, මුගලන්,
ආනන්ද, නන්ද, රාහුල ආදී මහ රහතන්වහන්සේලාගේ පරම්පරාවටයි. මහා සංඝරත්නය
යන වචනයට මේ උතුම් සඟ පරම්පරාව අයත්, එම නිසා මහා සංඝරත්නය යන වචනයෙන්
අපවාද කිරීම මහා භයානක පාප කර්මයක් වනවා. එම නිසා දුරදිග නොබලා කටින්
වචන පිට කරන මිනිසුන් කවුරුත් සිත් හි තබා ගත යුතු කරුණක් වන්නේ තම
තමන් සරණ යනුයේ විහාරාධිපති භික්‍ෂුව නැතහොත් වෙනත් භික්‍ෂුවක් හෝ නොවන
බවයි. අප කවුරුත් සරණ යනුයේ මාර්ගඵල ලබා ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති,
විමුක්ති ඤාණ දර්ශන සම්පූර්ණ කළ මහරහතන් වහන්සේලායි.
ගෞතම බුදු සසුනේ සඟ පරම්පරාව ඇති වූයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්
වහන්සේගෙනුයි. එදා බරණැස ඉසිපතනාරාමයේ දී දම්සක් පැවතුම් සූත්‍රය අසා
උන්වහන්සේ සෝවාන්ඵලයෙහි පිහිටියා. අනන්ත ලක්ඛණ සූත්‍ර දේශනාව අසා අරහත්
බවට පත්වුණා. එදා බිහි වූ ඒ මඟ සඟ පරම්පරාවේ අද වනතුරු කෝටියක් මහරහතන්
වහන්සේලා වැඩ සිටියා. එමෙන්ම වර්තමානයේ වැඩ සිටින හා අතීතයේ පහළවන මහා
සංඝරත්නය කාලත්‍රයයටම අයත් මහා සංඝරත්නය යනුවෙන් හැඳින්වෙනවා. යමෙක්
ආරාමයක් සාදා පූජා කරන අවස්ථාවක් පිළිබඳව සලකමු. එහිදී සිදුවන්නේ
වැඩියාවූත් නොවැඩියාවූත් සතර දෙසින් වඩින්නාවුන් මහා සංඝරත්නය උදෙසා
මෙකී ආරාම සාංඝීක කොට එනම් සඟ සතු කොට පූජා කිරීමයි. එහි ඉතා විශාල
අර්ථයක් තිබෙනවා. අප සරණයන්නේ මහා සංඝරත්නයයි. සෝවාන් මාර්ගය, සෝවාන්
මාර්ග ලාභී ඵලයද සකෘදගාමී මාර්ගය, සකෘදගාමි මාර්ගලාභී ඵලයද අනාගාමී
මාර්ගය, අනාගාමී මාර්ගී ඵලයද අර්හත් මාර්ගය අර්හත් මාර්ගලාභී ඵලයද
වශයෙන් අති උතුම් ශ්‍රාවක යුගල සතරක් සිටිනවා. වෙන්වෙන් වශයෙන් ගත් කළ
මේ උතුම් ශ්‍රාවක සංඝරත්නය අටක් ද වනවා. (යදිදං චත්තාරි පුරිසයුගානි,
අට්ඨ පුරිසපුග්ගලා” යනුවෙන් පැවසෙන්නේ එයයි.) මේ ගෞතම බුදුසසුනේ යම්
කෙනෙක් මාර්ගඵල ලැබූවද ඒ සියලුම මහා සංඝරත්නය තමයි බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවකයන් වහන්සේ වශයෙන් සරණ යන්නේ ඒ නිසා භික්‍ෂූන් වහන්සේ ලෙස පෙනී
සිටිමින් හෝ භික්‍ෂුත්වය අමතක කරමින් හෝ යමක් කරන කියන වැරැදිවලට මහා
සංඝරත්නය කියා දොස් පැවරීමෙන් ආර්ය උපවාදය නම් වන මහා බරපතල පාප කර්මය
සිදු වනවා. ඒ අකුසලය හේතුවෙන් මරණින් මතු එකවරම නිරයේ උපදිනවා. මේ බැව්
සිහියේ තබා ගැනීම වැදගත්. මෙබඳු වැරැදි සමාජයේ බොහෝමයක් දෙනා අතින්
වන්නට පුළුවන. විශේෂයෙන් තම තමන් නිවැරැදි යැයි සිතා සිටින මානයෙන්
මත්වූ මෝහයෙන් මුලා වූ කිසියම් අයකුට කට වචන නිසා වරදින්නට එතරම්
වේලාවක් යන්නේ නෑ.
අප මෙහිදී මුලින්ම සඳහන් කළා ඒ ඒ භික්‍ෂූන් වහන්සේට නම කියා විවේචනය
කිරීමත්. මහා සංඝරත්නයට අපහාස කිරීමත් යනු කරුණු දෙකක් බව. නම කියා තම
තමන් කැමැති පරිදි භික්‍ෂූන් වහන්සේ විවේචනය කිරීම සුදුසු යැයි මෙහිදී
කියන්නේ නැති බව පැහැදිලිව කිව යුතු යි. සැබවින්ම මේ කරුණු යථාවාදීව
සලකා බැලීමේදී ඉතා හොඳින් පැහැදිලිවනවා කෙනකු විවේචනය කළහොත් මුලින්ම
පිරිහෙන්නේ එසේ විවේචනය කරන තැනැත්තාම බව.
තම තමන්ගේ සිත පිරිහී ඇති නිසා තමයි තවත් කවුරු හෝ විවේචනය කරන්නේ,
බුදුරජාණන් වහන්සේ කියා තිබෙනවා, ගිහියෙකුගේ හෝ පැවිද්දකුගේ හෝ වරදකට
උන්වහන්සේ කවදාවත් ප්‍රශංසා නොකරන බව.
මෙහිදී ඉතාමත්ම වැදගත් වන කරුණක් තිබෙනවා. එනම් භික්‍ෂුවක් දැන ගත
යුතුයි, තමන් භික්‍ෂුවක් කියන කාරණය. පැවිදිවන අවස්ථාවේ සිවුරු පොට කරේ
ගැට ගහන විට මේ පාඨය කියවනවා. ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ජි
කරණත්තාය’ සියලු දුකින් නිදහස් වීම පිණිස අමාමහ නිවන සාක්ෂාත් කිරීම
පිණිස.
“ඉමං කාසාවං ගහෙත්වා” මේ සිවුරු පොට මගේ ගෙලේ ගැට ගහලා. “පබ්බාජේඑ
මංභන්තේ අනුකම්පං උපාදාය” මේ පැවිදිකම මට අනුකම්පා කොට ලබා දෙන්න
ස්වාමීනී! ඇතැම් විට මෙහි තේරුමවත් නොදැන පැවිදි වුවහොත් මෙබඳු
භික්‍ෂූන්ට පසුකාලීනව භික්‍ෂුත්වය අමතක වී යාමට ඉඩ තිබෙනවා.
ඒවගේම භික්‍ෂූන් වහන්සේ නමකට පිහිටිය යුතු ගුණ නවයක් තිබෙනවා.
සුපටිපන්න, රාග, ද්වේෂ, මෝහ, ප්‍රහාණය කරන සුපිළිපන් මාර්ගය අනුගමනය
කරනවා. උජුපටිපන්නෝ සෘජු මාවත ආර්ය මාර්ගය අනුගමනය කරනවා.
ඤාය පටිපන්න – චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන මාර්ගය අනුගමනය කරනවා.
සාමීචිපටිපන්න – ඒ උතුම් ධර්මය දෙව් මිනිස් ලෝකයාට කියා දෙනවා.
ආහුණෙය්‍යෙ - ඒ මහා සංඝරත්නයට දුරසිට දානය රැගෙනවිත් පූජා කිරීම
සුදුසුයි.
පාහුණෙය්‍යෙ - ආගන්තුකයින් ලෙසට වැඩම කළ විට දන්දීම සුදුසුයි.
දක්ඛිණෙය්‍යෙ - මෙලොව පරලොව පින් සලකාගෙන සිව්පසයෙන් පූජාලැබීමට සුදුසු
යි.
අංජලි කරණීය - දොහොත් මුදුන් තබා නමස්කාර කිරීමට සුදුසුයි.
පුඤ්ඤඛෙත්තං ලෝකස්ස අනුත්තරං - දෙව් මිනිස් ලෝකයාට පින් රැස්කැර ගැනීමට
පින් කෙතක් බඳුයි.
ඒ තමයි භික්‍ෂූන් වහන්සේ නමකට පිහිටිය යුතු ගුණාංග මේ ගුණාංග නැතිනම්
භික්‍ෂූන් වහන්සේ නමක් වීමට අපහසුයි. අපි නමස්කාර කරන්නේ මේ ගුණාංගවලට
මිස භික්‍ෂූන් වහන්සේගේ සිවුරට හෝ මොනයම් භෞතික කාරණාවකට නොවන බව
දෙපාර්ශ්වයම එනම් ගිහි පැවිදි දෙපිරිසම දැනගත යුතුයි.
භික්‍ෂූන්වහන්සේ හැමවිටම තම භික්‍ෂූන්ට අනුදැන වදාළ පරිදි පරමාදර්ශය
හිස මුදුනින්ම පිළිගෙන කටයුතු කිරීමෙන් මේ ගැටලු මුළුමනින්ම නිරාකරණය
වෙනවා.
බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් පරමාදර්ශය කැර ගැනීමට දේශනා කළේ
සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේයි. ඒක හරිම ලස්සනයි. සිත් ඇද ගන්නා
සුළුයි. මහා සංඝ රත්නයේ ගුණමනින තරාදිය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා
දෙන්නේ අරහත් වූ සැරියුත් මහ රහතන් වහන්සේ හා අරහත් වූ මුගලන් මහ රහතන්
වහන්සේලායි. ඉතා පැහැදිලිව පෙන්වාදී තිබෙනවා.
සැරියුත්, මුගලන් දෙනම පරමාදර්ශය කරගැනීමෙන් එම ජීවිතවලට කිසිදු ව්ටෙක
නොවරදින බව, අපට සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා සේ දක්‍ෂ වන්නට
බැරි බව සත්‍යයක් අවශ්‍ය වෙන්නේ දක්‍ෂ වෙන්නට නොව උන්වහන්සේලා සීල,
සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඤාණ දර්ශන ගුණ සම්පූර්ණ කළ ආකාරයට
තම තමන්ගේ ජීවිත හැඩ ගස්වා ගැනීමයි. එසේ ජීවිත හැඩ ගස්වා ගත්තානම්
වර්තමානයේ සිටින කිසිදු භික්‍ෂුවක් විවේචනයට ලක් නොවන බව ඉතා පැහැදිලි
කරුණක්.
මෙහි දී ගිහි සමාජයට ඉටු කළ හැකි අතිවිශාල යුතුකමක් නැතහොත් වගකීමක්
තිබෙනවා. එනම් ඉහත කී ආකාරයේ භික්‍ෂුත්වයට නොගැලපෙන සේ කටයුතු කරන
කිසියම් භික්‍ෂුවක් වෙතොත් ඉතා කරුණාවෙන් එම භික්‍ෂුවට එහි ඇති වරද
අඩුපාඩුව පෙන්වාදීමයි.
වැඩිහිටි, මවක හෝ පියකු වැනි අයකුට එසේ අවවාද කළ හැකියි. ඇතැම් විට
භික්‍ෂූන් වහන්සේ මෙන්ම බුද්ධිමත් එමෙන්ම සිල්වත් උදවිය අපේ ගිහිසමාජයේ
සිටිනවා. එමෙන්ම ගුණවත් ඇතැම් විට ඉතාමත්ම උසස් වූ බ්‍රහ්මචාරි ජීවිත
ගත කරන උදවිය පවා ගිහි සමාජයේ සිටිනවා. මේ අයට ඉතා හොඳින් මෙසේ
වැරැදීමකින් හෝ අතපසුවීමකින් හෝ නොමඟ ගිය ඇතැම් භික්‍ෂුව සුමඟට ගැනීමට
යමක් කළ හැකියි. නමුත් මෙහි සීමාව හඳුනා කටයුතු කළයුතු බවත් ගිහි පිරිස
මතක තබාගත යුතු යි. තමන් අමතන්නේ භික්‍ෂුවකටය යන්න අවධාරණයෙන් දැන
සිටිය යුතුයි.
ස්වාමීන් වහන්ස මේ කාරණය මේ විදියටයි විය යුත්තේ ‘මෙය මෙසේ නොවුනහොත්
මෙවැනි භයානක ප්‍රතිඵලයක් උදාවිය හැකියි.’ එවිට ඒ භික්‍ෂුව අදාළ කරුණ
මැනවින් වටහා ගත යුතු වනවා. එසේ තැනහොත් භික්‍ෂුවට පවතින්නට බැරි බවත්
අවබෝධ කොටගත යුතු යි.
එසේ නොමැතිව තම තමන්ගේ වචනය සංවර කැර නොගෙන දුටු දුටු තැන මහා සංඝරත්නය
විවේචනය කිරීමට යාමෙන් ඉතා බරපතල අකුසල කර්ම පමණක් රැස් කැර ගන්නා
අවස්ථා පමණක් සමාජයේ ඉතිරි වේවි.
වරද දුටු තැන බලා සිටීමත් එය වෙනත් තැනක ගොස් විවේචනය කිරීමත් අද අප
අතර නිතර දක්නට ලැබෙනවා. හැම විටම වරද දුටු සැනින් ක්‍රියාත්මක වීමට
නොහැකි බව සත්‍යයක්. එහෙත් සමාජයේ යහපත වෙනුවෙන් තම තමහට කළ හැකි කුමන
හෝ කටයුත්තක් තිබිය හැකි බව සිතට ගත යුතු යි. එසේ නොමැතිව වරද දෙස නිකං
බලා සිට පසෙකට ගොස් එය විවේචනය කිරීමෙන් වරද සාමාන්‍යකරණයට ලක්වීමට
පටන් ගන්නවා. වරදට ඇති බිය එනම් පවට ඇති ලැජ්ජාව බිය තුරන් වනවා. දේව
ධර්මය සමාජයෙන් ගිලිහී යාමට මේ කරුණු ඉවහල් වනවා.
විශේෂයෙන් තුරුණු වියේ මහණදම් පුරණ භික්‍ෂූන් වහන්සේත් ගිහි තරුණ
පිරිසත් මෙකී කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු වනවා. මක් නිසාද
යත් අදින් ඉදිරි සමාජය එනම් අනාගතය හා බැදුනු ඇවතුම් පැවැතුම් වල ගුණ
ගරුක බව රැකීමට වැඩි වැඩ කොටසක් කිරීම සමාජය මෙහෙය වන ඔබ සතුවනු ඇති
නැති නම් අනිවාරතේ අකුසල කර්ම ප්‍රගුණ කරන අනාගත පරපුරක් බිහිවන්නට ඉඩ
ඇති බැවිනි. |