Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නොතිර ලොවක ‘ආත්මයක’ මිථ්‍යාව

සච්චක පඬිවරයා දිනක් බුදුරදුන් සමග ආත්මවාදය පිළිබඳ සාකච්ඡාවකට පැමිණෙයි. එහිදී බුදුහිමියෝ මිනිසා යනු නිත්‍ය නොවන ස්කන්ධ පංචකයක් බව පවසති.මිනිසා සතු සියලු ස්කන්ධයන්ම අනාත්ම බවත් එකින් එක පැහැදිලි කර දෙති. මේ අනුව මුළු පංචස්කන්ධය තුළම මමය, මාගේ ය. යැයි ගත හැකි ස්ථිරසාර කිසිවක් නොමැති බව පැහැදිලි කර දෙති. අවිපරිණාමී කිසිවක් මේ ලෝකයේ නොමැති, බවත්, සබ්බේ ධම්මා අනත්තා තී යදා පඤ්ඤාය පස්සතී, ආදී වශයෙන් සියලු ධර්ම තුළ ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැති බව ප්‍රඥාවෙන් දැකගත හැකි බවත් පෙන්වා දෙති. ඒ බව යෝනිසෝ මනසිකාරයෙන් දැක සියලු දුක් නැති කිරීම, විශුද්ධියට මග බව තවදුරටත් විස්තර කරති.

බු දු දහමෙහි සඳහන් වන ත්‍රිලක්‍ෂණ ධර්ම අතර අවසාන ලක්‍ෂණය වන අනාත්ම ලක්ෂණය පිළිබඳ අද සාකච්ඡා කිරීමට අදහස් කරමි. බුද්ධ කාලයෙහි ආත්මවාදී දර්ශන රැසක් පැවැතිණි. දේවවාදී ඊශ්වර නිර්මාණවාදී ආගම් සියල්ලම මේ ගණයට ඇතුළත් වෙයි. වර්තමානයේ ද මේ ආත්මවාදී ආගම් වශයෙන් ක්‍රිස්තු කතෝලික මුස්ලිම් ආගම් හඳුන්වා දිය හැකිය. ඒ සෑම ආගමකම දේව සංකල්පය මත පදනම් වූ ආත්මයක් ගැන කියැවෙයි. ආත්මය යන වෙනස් නොවී සදාකාලිකව පවතින සදාතනික දෙයකි. මෙය සෑම ජීවියකු තුළම පවතින බවත්, එය ජීවියාගේ මරණයේ දී වෙනත් භාවයකට ගොස් නැවත අලුත් ජීවිතයක් ගොඩ නගන බවත් පැවසෙයි. නිත්‍ය, ස්ථීරසාර වූ මේ ආත්මය, භවයෙන් භවයට ගමන් කරන අතර, සදාකාලික පවතියි. මේ ආත්මය පදනම් කරගත් භව ගමන, නොනැසී ඉදිරියටම ගමන් කරයි. එය සංසාර ගමන ලෙස ද හැඳින්විය හැකිය.

මේ ආත්ම සංකල්පය පිළිබඳ විස්තර භාරතීය ආගමික ක්‍ෂේත්‍රය තුළත් බටහිර ආගමික ක්‍ෂේත්‍රය තුළත් බහුලව දක්නට ලැබෙයි. ඍග් වෛදික යුගයේ සිට විකාශනය වූ දේව ආගමික සංකල්පයේ ප්‍රතිඵලයකි. ආත්මවාදී ඉගැන්වීම මෙය, දෙවියන් හෝ බ්‍රහ්ම සමග සම්බන්ධ කර ගනිමින්, මිනිසාටද ආරූඪ කර ඇත. මිනිසාට නොපෙනෙන සදාකාලික බලවේගයක් ලෙස, ආත්මය හඳුන්වා දී ඇත. හින්දු හා කතෝලික ආගම් මගින් මෙය අලෞකික , සදාකාලික පදාර්ථයක් ලෙස පිළිගනියි. ශාස්වත, අචල, ධ්‍රව, යන නම්වලින් මේ ආත්මය හඳුන්වා ඇත්තේ එය භෞතික ක්‍ෂේත්‍රය ඉක්ම වූ අචින්ත්‍ය දෙයක් නිසයි. එසේම ඒ සියල්ලෙන්ම කියැවෙන්නේ ආත්මය සිඳිය නොහැකි සදාකාලික දෙයක් බවයි. අමරණීය වූ මේ ආත්මය මිනිසාට සම්බන්ධ කරනුයේ දෙවියන් හෝ මහා බ්‍රහ්මයා මගිනි. මිනිසා නොපෙනෙන දෙවියන්ට සම්බන්ධ කරනුයේ මේ ආත්ම සංකල්පය මගිනි. ගෙයක් දිරා ගිය විට වෙනත් ගෙයකට යන්නා සේ මේ ආත්මය ද ශරීරය දිරා ගොස් මිය ගිය විට, එය අත හැර දමා අලුත් ගෙයකට පිවිසෙයි. අලුත් ශරීරයකට පිවිසෙයි. එය පුනරුත්පත්තිය යි. මෙය, ආත්මවාදී ඉගැන්වීමයි.

මෙසේ විවිධ ආගමික චින්තන තුළින් සදාකාලික ආත්මයක් ගැන උගන්වා ඇතත්, බුදු දහම එය ප්‍රතික්ෂේප කොට, අනාත්ම දර්ශනයක් උගන්වයි. එසේම, විශ්ව සාධාරණ එකම ධර්මය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ, අනිත්‍ය දර්ශනයයි. සබ්බේ සංඛාර අනිච්චා , සබ්බේ ධම්මා අනත්තා , යන ධර්ම පාඨ තුළින් ද ගම්‍ය වන්නේ, සියලු සංස්කාර ධර්ම, හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා සියල්ල නිත්‍ය

සදාකාලික නොවන බවයි. ඒ අනිත්‍ය ජීවී, අජීවී වස්තුවල ආත්මයක් නොමැති බව එයින්ම ප්‍රකාශ වෙයි. විශ්වයේ ඇති ජීවමය හා ද්‍රව්‍යමය සියල්ල හේතුඵල සබඳතාවකින් ගොඩ නැගුණු ඒවා ය. ඒ සියල්ලම සංඛත ධර්ම නමින් හැඳින්වෙයි. ඒ ඉන්දියානු භූත හා අනින්ද්‍රියානුභූත ලොව සියල්ල, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණත්‍රයෙන් යුක්ත බව උගන්වා ඇත. දම්සක් පැවතුම් සූත්‍රයේ දී ‘යං කිඤ්චි සමුදය ධම්මං, සබ්බතං නිරොධ ධම්මං’ යන්නෙන් පැහැදිලි වන්නේ ද, යම්කිසි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් යමක් වේ නම්, ඒ සියල්ල නිරුද්ධ වීමට හෙවත් අනිත්‍යතාවට පත් වන බවයි. මෙහි සමුදය ධර්ම යනු හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්ම හෙවත් සංඛත ධර්මයි. මේ සංඛත ගණයට වැටෙන මිනිසා ද හැම විටම අනිත්‍ය ලක්‍ෂණයෙන් යුක්තයි.

එසේම ලොව පවතින ජීව පදාර්ථ මෙන්ම ද්‍රව්‍ය පදාර්ථ ද මේ ගණයට වැටෙයි. මේ සංඛත ධර්ම වල ලක්‍ෂණත්‍රයක් ඇති බව මෙසේ විග්‍රහ කොට ඇත. ‘තීනිමානි භික්‍ඛවේ සංඛතස්ස සංඛත ලක්‍ඛණානි. කනමානි නීනි උප්පාදො පඤ්ඤායති, වයෝ පඤ්ඤයති, යතස්ස අඤ්ඤත්ත්ථං පඤ්ඤයනි හට ගැනීම, දිරාපත්වීම, නැති වී යෑම, එම ලක්‍ෂණ තුනයි. මෙලොව හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ලම එකී අනිත්‍ය ලක්‍ෂණයෙක් යුක්ත බව, තවදුරටත් පැහැදිලි වන අතර, ඒ කිසි දෙයක ස්ථිරසාර වෙනස් නොවන ආත්ම සංඛත කිසිවක් නැති බව පැහැදිලි වෙයි.

සච්චක පඬිවරයා දිනක් බුදුරදුන් සමග ආත්මවාදය පිළිබඳ සාකච්ඡාවකට පැමිණෙයි. එහිදී බුදුහිමියෝ මිනිසා යනු නිත්‍ය නොවන ස්කන්ධ පංචකයක් බව පවසති. රූපං මේ අත්තා වේදනා මේ අත්තා සඤ්ඤා මේ අත්තා, සංඛාරා මේ අත්තා විඤ්ඤාණං මේ අත්තා, යනුවෙන් සච්චක රූප, වේදනා, සංඥා, සංඛාර විඤ්ඤාණ යන පහම ආත්ම බව විස්තර කරයි. එහෙත් බුදු හිමියෝ බ්‍රහ්මයා විසින් හෝ ඊශ්වරයා විසින් මිනිසා සමග සම්බන්ධ කරන ලද්දේ එක ආත්මයක බව ඔබ පවසන්නේ නම් එය පහක් විය නොහැකි බවත් එකක ආත්ම පහක් හෝ පහක එක ආත්මයක් හෝ පැනවිය නොහැකි බවත් මුලින්ම පෙන්වා දෙති. ඒ අනුව ඔහුගේ තර්කය ඛන්ඪනය කළ බුදු හිමියෝ ‘රූපං භික්‍ඛවේ අනත්තා’ ආදී වශයෙන් රූපය අනාත්ම බවත්, මිනිසා සතු සියලු ස්කන්ධයන්ම අනාත්ම බවත් එකින් එක පැහැදිලි කර දෙති.

මේ අනුව මුළු පංචස්කන්ධය තුළම මමය, මාගේ ය. යැයි ගත හැකි ස්ථිරසාර කිසිවක් නොමැති බව පැහැදිලි කර දෙති. අවිපරිණාමී කිසිවක් මේ ලෝකයේ නොමැති, බවත්, සබ්බේ ධම්මා අනත්තා තී යදා පඤ්ඤාය පස්සතී, ආදී වශයෙන් සියලු ධර්ම තුළ ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැති බව ප්‍රඥාවෙන් දැකගත හැකි බවත් පෙන්වා දෙති. ඒ බව යෝනිසෝ මනසිකාරයෙන් දැක සියලු දුක් නැති කිරීම, විශුද්ධියට මග බව තවදුරටත් විස්තර කරති.

පින්වත් ඔබත් මේ පිළිබඳ විමසා බලා, අනිත්‍ය ලොව තුළ ස්ථිර සාර කිසිවක් නැති බව තේරුම් ගන්න. සංඛත ධර්ම වලින් යුතු මෙලොවෙන් බැහැර පවතින එකම අසංඛත ධර්මය වන්නේ, නිර්වාණයයි. නිවන හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත්, අනිත්‍යතාවයට පත් නොවන, උතුම් සැපතකි. සංඛත ලෝකයේ මිනිස් භවයක් ලැබූ ඔබත්, එකම අසංඛත ධර්මය වන නිවන් මඟ හෙළි කර ගැනීමට උත්සුක වන්න.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.