Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පරම සැපත

ගිහියකු හෝ පැවිද්දකු හෝ තමන් ලැබූ යම් කිසි ධනයක් වේ නම් එයින් සතුටු වීම සන්තුඨී නම් වෙයි. තමන්ට ලැබෙන ප්‍රමාණයෙන් නොසෑහී වැඩි වැඩියෙන් බලාපොරොත්තු වේ නම් තද ආශාවකින් පෙළේ නම් සෑහීමක් නොමැත

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨී පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බාණ පරමං සුඛං

පින්වත්නි,

බුද්ධ කාලයේ උත්තර භාරතයේ ජනපද සොළොසක් විය. ඒ ජනපද අතර ‘කෝසල’ ‘අවන්ති’ ‘වත්ස’ හා ‘මගධ’ යන ජනපද අතිශයින් ප්‍රසිද්ධියට පත් විය. කොසොල් ජනපදාධිපති පසේකදී කොසොල් රජතුමාත් මගධාධිපති සේනිය බිම්බිසාර රජතුමාත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය, උන්වහන්සේ නිතර ඇසුරු කළ භක්තිමත් දායකයෝ දෙදෙනෙක් වූහ. කොසොල් රජු ආහාර වැළඳීමෙහි දැක්වූයේ දැඩි ගිජුකමකි. හෙතෙම සොළොස් නැලියක බත් එයට අවශ්‍ය මාලු ව්‍යංජන සහිතව අනුභව කළ බැව් ධම්මපදට්ඨ කථාවේ සඳහන් වේ. දිනක් පෙරවරුවෙහි සිරිත් පරිදි රාජ භෝජන වළඳා බක් මත සිඳෙන්නට පෙරාතුව බුදුරජාණන් වහන්සේ වෙත ගොස් කෙඳිරිගාමින් එහා මෙහා පෙරැළෙමින් නොනිදාම එකක් පසෙක හුන්නේ ය. මෙසේ බලවත් අපහසුතාවකින් සිටින බැව් දුටු බුදුරජාණන් වහන්සේ මහරජ විඩාවට පත් වූයේහි දැයි විමසූ සේක.

භාග්‍යවතුන් වහන්ස,

ආහාර අනුභව කළ වේලෙහි සිටම ඇඟට අමාරු යි. හුස්ම ගැනීමත් අපහසුයි. දරාගෙන සිටීමටත් නොහැකියි. පිළිතුරු දුන්නේය. එසේය මහරජ, තම කුස පමණ නොදැන උගුර ළඟට ම බත් කෑම දුකට හේතුවෙයි. සිරුරෙන් ගිලන් වී මහත් වෙහෙසට පැමිණේ. ඌරකුමෙන් වැඩුණු සිරුරැති මෝඩ මිනිසා නැවත නැවතත් සසර උපත ලබාගනී යයි වදාරා මේ ගාථාව ද දෙසූ සේක.

මනුජස්ස සදා සතීමතො
මත්තං ජානතො ලඪ භොජනො
තනු තස්ස භවන්ත වෙදනා
සතිකං ජීරනි ආයුං පාලයන්ති

මහරජ, ආහාර අනුභවය පමණ දැන කළ යුතු ය. පමණ දැන ආහාර ගැනීම සැපයට කරුණු ය. මේ ගාථාව රජුට ඉගෙනීමට නොහැකි විය. ළඟ සිටි සුදස්සන නම් තම බෑණාට එය උගනුවයි කීවේ ය. බුදුන්වහන්සේ සුදස්සන අමතා මෙසේ පැවසූ සේක. රජු ආහාර වළඳන අවස්ථාවේ අවසාන බත්පිඩ මුව තැබීමට, පෙරාතුව මේ ගාථාව කියවා අර්ථය දැන ගත් රජු අවසන් බත්පිඩ නතර කරයි. මෙසේ දිනපතා එක් එක් බත් පිඩ අඩු කිරීමෙන් අවසන නැළියක පමණ බතින් සෑහීමට පත් වූයේ ය.

රජු සැහැල්ලු සිරුර ඇත්තේ සුවපත් වූයේ ය.දිනක් බුදුරදුන් වෙත ගිය රජතුමා වැඳ එකත්පස්ව සිට ස්වාමිනී! භාග්‍යවතුන් වහන්ස, දැන් මට හොඳ සනීපයක් තිබේ. දුවන මුවන් අසුන් අල්ලා ගැනීමට තරම් ශක්තියක් සවියක් ඇත. පසුගියදා ගමක් නිමිති කොට බෑණා සමග යුද වැදුනෙමි. දැන් ඒ ගම ඔහුට පවරා දුනිමි.

දියණියද ඔහුට විවාහ කොට දුනිමි. අස්තාන ගතව තිබුණු කුසපරපුරට අයත්ව මැණිකද ලැබුණේ ය. ඔබ වහන්සේගේ ඤාති දුවණියක් රජ මැදුරෙහි අගමෙහෙසිය කරන ලදී. මේ කරුණු අනුව බලන විට මම මහත්ම සැපතක් විදිමි. එය මට මහත්ම ලාභයකැයි පැවසීය. බුදුරජාණන් වහන්සේ රජු අමතා මේ ගාථාව දෙසූ සේක.

ආරෝග්‍ය පරමා ලාභා
සන්තුඨී පරමං ධනං
විස්සාස පරමා ඤාති
නිබ්බාණං පරමං සුඛං

මහරජ,

සියලු ලාභවලට වඩා උතුම්ම ලාභය නිරෝගීකමයි. දරුණු ලෙඩක් වැළඳුනහොත් ඕනෑම දැවැන්තයෙක් ඇද වැටෙයි. අනාථයෙක් වෙයි. අසරණයෙක් වෙයි. සියලුම සම්පත් වැනසී යයි. එසේම ලද දෙයින් සතුටුවීම තරම් උසස් ධනයක් නැත. විශ්වාසය තරම් වෙන නෑයෙක් ද නැත. නිවන තරම් උසස් සුවයක් නැත.

බෞද්ධයාගේ පරම නිෂ්ටාව නිර්වාණවබෝධයයි.ලාභය නම් ලැබීමයි.

භික්‍ෂූන් නමකට නම් චීවර පිණ්ඩපාත, සේනාසන හා බෙහෙත් පිරිකර ලැබීමයි. මෙම මූලික අවශ්‍යතා ඉටුවන විට මහණ දම් පිරීමට පහසු වෙයි. සිවු පසය දැහැමින් නොලැබේ නම් ලෙඩ රෝගවලින් පීඩිත වේ නම් ඒ මහණනුව නිසිසේ මහණදම් පිරිය නොහැකි වේ.

සන්තුට්ඨී පරමං ධනං

ගිහියකු හෝ පැවිද්දකු හෝ තමන් ලැබූ යම් කිසි ධනයක් වේ නම් එයින් සතුටු වීම සන්තුඨී නම් වෙයි. තමන්ට ලැබෙන ප්‍රමාණයෙන් නොසෑහී වැඩි වැඩියෙන් බලාපොරොත්තු වේ නම් තද ආශාවකින් පෙළේ නම් සෑහීමක් නොමැත.

ඇවිලෙන ගිනි කදට කොපමණ දර බහා ලූවත් සෑහීමක් නැත. මුහුදට කොපමණ ගංගා ඇළ දොළ ගලා පැමිණියත් සෑහීමක් නැත. මහත් ආශා ඇති පුද්ගලයාට කොපමණ දේ ලැබුණත් තෘප්තියක් නොමැත. අතෘප්තිකර ආශාවෙන් තොරව ලද දෙයින් සතුටුවීමට පුරුදු විය යුතු ය. සතුටු සිතින් කල් ගත කරන පුද්ලයාට කොතැනත් පහසුවෙන් ජීවත් විය හැකි විස්සාස පරමා ඤාති වෙයි.

සමාජයේ කිසිවකුට තනිව ජීවත් විය නොහැකි ය. කවරකු හෝ ඇසුරු කළ යුතු ය. ඔහු ගැන හොඳ විශ්වාසයක් තිබිය යුතු ය. සැක නොකළ යුතු ය. මිනිස් සමාජයෙහි විශ්වාසදායක අව්‍යාජ කෙනෙකු සොයා ගැනීම පහසු නොවේ. විශ්වාස කළහැකි අවංක මිත්‍රයා නොනෑයකු වූවද උතුම් ඤාතියෙකි.

නිබ්බාණං පරමං සුඛං

බෞද්ධයා අපේක්‍ෂා කරන පරම සුවය නිවන යි. වාණ සංඛ්‍යාත තෘෂ්ණා බන්ධයෙන් මිදුන හෙයින් සසර ගමන කෙළවර නිවන නමින් හැඳින්වෙයි. නිරෝධ යනු ද මෙයට පර්යාය නාමයකි. සසර නමැති සිරගෙයින් මිදීම එයින් අදහස් කෙරෙයි. තණ්හක්ඛය යනු ද එයට තවත් නමකි.

දුක ඇතිවීමේ හේතුව තෘෂ්ණාවයි. එහි ඵලය දුක් විඳීමයි. ඵලය නැති කිරීමට නම් එය ඇතිවන හේතුව නැති කළ යුතු යි. දුක සම්පූර්ණයෙන් නැති කිරීමට එහි හේතුව වූ තෘෂ්ණාව සම්පූර්ණයෙන් සුන් කල යුතුයි. මේ සත්‍යය යථාස්වභාවයෙන් අවබෝධ කරගත් තැනැත්තේ සසර නැවත නූපදියි. දුකින් නිදහස් වෙයි. බුදුරජාණන් වහන්සේ නිබ්බාණං පරමං සුඛං යි වදාරන ලද්දේ එබැවිනි.

සැම දෙනාටම
තෙරුවන් සරණයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.