Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය - ගිහි - පැවිදි දෙපාර්ශවයේම පහසු විහරණය (ඵාසු විහාරතා - ඵාසු විහාරාය) බුදු දහමේ අවධාරණය කළ කරුණකි. පෙළ දහමට අනුව පැහැදිලි කරන්න.

පිළිතුර - සිව්පස පරිභෝජනයෙහිදී සුවසේ පෝෂණය කළහැකි (අල්පේච්ඡව) පහසු විහරණය ඇතිකොට ගන්නා ලෙස බුදුන් වහන්සේ භික්ෂූන්වහන්සේට උපදෙස් දී ඇත.භික්ෂූ විනය නීති පැනවීමේ මූලික අරමුණද (සංඝ සුට්ඨුතාය සංඝ ඵාසුතාය පෙසාලානං භික්ඛුනං ඵාසු විහාරායා ආදී වශයෙන් සූත්‍රාගත තොරතුරු අනුව භික්ෂූන් වහන්සේගේ යහ පැවැත්ම උදෙසා විනය නීති පැනවූ බව සඳහන් වේ. පාරිසරික සෞන්දර්ය ඇගැයීමද පහසු විහරණය සමගින් බුදුදහම ගමන් කොට ඇත. භික්ෂූන් වහන්සේලාගේ මුල් වාසස්ථාන සෞන්දර්යාත්මක පරිසරයන් වූ බව චුල්ලවග්ග පාලියට අනුව පැහැදිලි වේ. අරණ - රුක්මුල්, පර්වත, කඳුරැලි, ගිරිගුහා, සොහොන, වනපෙත, එලිමහන, පඳුරුගොඩ උන්වහන්සේලාගේ මුල්ම වාසස්ථානය විය. ඉහත නම් සඳහන් සියල්ල රමණීය ප්‍රදේශයන්ය. එසේ නමුදු මේවායෙහි පහසු විහරණය ආරක්ෂාව තහවුරු නොවීය. සොර සතුරු සත්ව ආදී කරදර බහුලව අත් විඳින්නට සිදු වේ. එහෙයින් බුදුන් වහන්සේ විහාර, අඩ්ඩයෝග, ඵාසාද, හම්මීය, ගහා ආදී වූ පංචකාර ආවාස භික්ෂූන් වහන්සේගේ් වාසස්ථාන ලෙස යොදා ගන්නට අනුදැන වදාළහ. එක් ආරාමයක් තුළ මාළාකම්භ - ලතාකම්ම ආදී වූ චිත්‍ර කර්ම කිරීමට ද විහාරයේ ඇතුළත ජීවිත හුනුබදාම සුදු පැහැ කහපැහැ ගුරු පැහැ පිළියම් කිරීමට ද මල්කම් ලියකම් අවර දත් ආදී පංච වර්ණයන්ගෙන් වර්ණවත් කිරීමට අවසරය උන්වහන්සේ ලබාදුන්හ. මේ අනුව බුදුන්වහන්සේ භික්ෂූන් වහන්සේගේ කායික හා මානසික සුවය තහවුරු කළ අන්දම පෙනේ. පළමු ආරාම පූජාවෙහිදී උන්වහන්සේ කළ ප්‍රකාශය තුළ රමණීයත්වය සුව පහසුව පිළිබඳව අර්ථවත් වේ.

විහාරයෙ කාරයෙ රම්මෙ
වාසයෙත්ථ බහුස්සුතෙ

රමණීය වූ විහාරයක් කොට බහුශ්‍රැත භික්ෂූන් වහන්සේ එහි වාසය කරවන ලෙස උපදෙස් දෙයි. විහාරයක රමණීය භාවයෙන් ගිහි ජනයාගේ මෙන්ම භික්ෂුවගේ කායික මානසික සුව පහසුව රමණීයත්වයත් සමගින් ම තහවුරු වෙයි.

ප්‍රශ්නය - මිනිසාගේ හැසිරීම කුසලා කුසල වශයෙන් වෙන් කිරීමෙහිදී බුදුරජාණන් වහන්සේ පදනම් කරගත් විවිධ ප්‍රමාණයන් කෙසේද?

පිළිතුර - ‘කර්ම’ යන පරිභාෂිත වචනයෙන් දක්වා සිටින්නේ මිනිස් ක්‍රියා පමණකි. එම මිනිස් ක්‍රියා අතරෙන්ද කර්ම ගණයට වැටෙනුයේ ‘චේතනා’ සම්ප්‍රයුක්ත ක්‍රියා (සිතින් සිතා කරන ක්‍රියා ) පමණකි. චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොති, කායෙන වාචාය, මනසා (උපාලි සූත්‍ර ම.නි) යනුවෙන් දේශනා පාලියෙහි සඳහන් වන්නේ එයයි. ‘චේතනා’ සම්ප්‍රයුක්ත සෑම ක්‍රියාවකම ප්‍රධාන ලක්ෂණය වනුයේ ඵලාසක්ත භාවය යි.

එනම් ඵලයක් අපේක්ෂා කිරීමයි. මෙබඳු සෑම කි‍්‍රයාවකම සාධාරණ වූ අවස්ථා (03) තුනක් අවධාරණය කෙරේ.

1) චේතනාව (2) ක්‍රියාව (3) විපාකය

මිනිසා විසින් කිසියම් ක්‍රියාවක් කිරීමට පළමුවෙන් සිතිය යුතුය.

සිතීමෙන් අනතුරුව ක්‍රියාව කරනු ලබයි. විපාකය ක්‍රියාවේ ප්‍රතිඵලයයි. මෙයින් චේතනාව (සිතුවිලි) ම පූර්වගාමීවන අතර විපාකය පශ්චාත්ගාමි (පසුගාමී) වෙයි. ක්‍රියාව ඵලය හා චේතනාව අතර සිදුවීමක් නිසා අන්තර්ගාමී වෙයි.

ප්‍රශ්නය - සිතිවිලි වලින් තොර කිරීම (චේතනා විපුයුක්ත ක්‍රියා) කර්ම යටතේ විග්‍රහ නොකරන අතර කුසලා කුසල කර්ම සමුදායට (හට ගැනීමට) නිධාන (හේතු) තුනක් අවශ්‍ය බව පෙළ දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - මනො පුබ්බංගමා ධම්මා (ධ.ප. යම. පළමු ගාථාව)
චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි
චෙතයිත්වා කම්මං කරොති කායේන වාචාය
මනසා (ම.නි. උපාලි සූත්‍ර)
සංචෙතනිකං ආවුසො සමිද්ධි කම්මං
(ම.නි. මහා කම්භ විභාංග සූත්‍රා

යන දහම් පතපොතෙන් දැක්වෙන පරිදි චේතනාවම ප්‍රමාණයක් වශයෙන් ගත් බවයි. කුසලා කුසල කර්මයන්ගේ සමුදයට (හට ගැන්මට) නිධාන තුනක් (මූලික හේතු) හේතුවන බව බුදුරදුන් වදාළහ. මෙසේ කර්ම සමුදය සඳහා මූලිකවම හේතුවන්නේ මිනිස් සිතක පහළවන සිතිවිලි (චේතනා) තුනකි. මේ චේතනා කවරේදැයි දැන ගැනීම ක්‍රියාවක් පමණ කිරීම සඳහා සාධක හෙවත් නිදාන වශයෙන් සැලකිය හැකිය. එනම් ලෝභ, දෝස, මෝහ අකුසල පක්ෂයටද අලෝභ, අදෝස, අමෝහ, යනුවෙන් කුසල පක්ෂයටද හඳුන්වා ඇත්තේ එම චේතනාය. ‘යං භික්ඛවේ ලොභකතං කම්මං ලොභජං ලොභ නිදානං ලොභ සමුදයං තං කම්මං අකුසලං. තං කම්මං සාවජ්ජං තං දුඞඛ විපාකං (අංනි තික නිපාත) මෙසේ ලෝභ, දෝස, මෝහ යන චේතනා මුල් කරගෙන කරනු ලබන ක්‍රියා අකුසල බවත් ඒවා දුක් උපදවන බවත් පැහැදිලිවන අතර සුව සඳහා අලෝභ අදෝස අමෝහ යන කුසල් සිතිවිලි මුල්කරගත් චේතනා උපදවාගත යුතු බවත් දේශනා කොට වදාළහ.

ප්‍රශ්නය - යමෙකු ක්‍රියාවක් කිරීමට පෙර (චෙතනාපූර්වකව) ඒ පිළිබඳව යෝනිසොමනසිකාරය (යථාර්ථවත්ව) පෙරදැරිව ස්වයං විග්‍රහයක් යෙදීමෙන් කුසලයක්ද අකුසලයක්ද යන්න වටහාගත හැකි බව රාහුල සාමණේරයන් වහන්සේට වදාළහ. එම කරුණ සූත්‍රාගත තොරතුරු අනුව තවදුරටත් පැහැදිලි කරන්න.

පිළිතුර - ම.නි. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍ර දේශනාවට අනුව තං කිං මඤ්ඤඛී රාහුල, කිමත්ථියෝ ආදාසොති. පච්ඡවෙක් ත්ථො එවමෙව බො රාහුල පච්චචෙක්ඛිත්වා කායෙන වාචාය මනසා කම්මං කාතබ්බංරාහුලය කැඩපත ප්‍රත්‍යවෙක්‍ෂණය සඳහා ම (ආපසු බැලීම) ප්‍රයෝජනවත්ය. එසේම රාහුල ප්‍රත්‍යවෙක්‍ෂණය කොට කය, වචනය, සිත නමැති තිදොර මෙහෙයවා ක්‍රියාවන් කළ යුතුය. මෙහිදී බුදුන් වහන්සේ උගන්වා වදාළේ සිත මෙහෙයවා තමා විසින් කරන ක්‍රියාව තමාට මෙන්ම අන්‍යයන්ටද බලපාන අයුරු ප්‍රත්‍යවෙක්‍ෂණය කිරීමය. රාහුල, ඔබ කයින් වචනයෙන් හා මනසින් කරනු ලබන ක්‍රියාවන් තමන් කෙරෙහි හා අනුන් කෙරෙහි බලපාන්නේ කවර ආකාරයෙන්දැයි විමසා බැලීමෙන් ඒ ක්‍රියාවෙහි කුසලා, කුසල භාවය ප්‍රමාණකරගත හැකිවෙයි. සං.නි. වෙළුද්වාර සූත්‍රයෙහි දී දැක්වූ අත්තුපනායක ධර්මපරියාය ද කුසලා, කුසල විග්‍රහයෙහි දී බුදුරජාණන් වහන්සේ යොදාගත් ප්‍රමාණයක් ලෙස සැලකීමට පුළුවන. තමා උපමානය වශයෙන් තබාගෙන ක්‍රියාවක් තමා කෙරෙහි බලපාන අයුරු මෙනෙහිකර එය කුසලයක්ද අකුසලයක්ද කියා දැනගෙන ඉන් මිදෙන ක්‍රමයකි. මෙහි දක්වා තිබෙන්නේ ‘මම ජීවත් වනු කැමැත්තෙමි. මරණයට අකමැත්තෙමි. දුක පිළිකුල් කරමි. යමෙක් එසේ වූ මා ජීවිතයෙන් තොර කරන්නේ නම් එමට පි‍්‍රය මනාප නොවේ. මම ද ජීවත්වනු කැමැති මරණයට අකැමැති. අනෙකකු මරන්නේ නම් එය ඔහු ද අපි‍්‍රය අමනාප වෙනු ඇත. ධම්මපද ග්‍රන්ථයේ - අත්තානං උපමංකත්වා න හනෙය්‍ය නඝාතයෙ යනුවෙන් දැක්වූයේත් මෙම ධර්ම පර්යාය මය.

ප්‍රශ්නය - බුදු සමය අතාර්තික (දේවනිර්මිත මැවුම්කාර) සමාජ ක්‍රමයක පැවැති අඬුලුහුඬුකම් සම්පූර්ණ කිරීම සඳහා අනාදිමත් කාලයක් තිස්සේ සකස්වෙමින් පවතින සමාජ පරිසරයක පහළ වූවකි. සමකාලීන පරිසරය තුළ පැවැති සම්මත චර්යා ධර්ම වලින් පෝෂණය ලබා සර්වකාලීන දෘෂ්ටියක් ඉන් සමාජයට දානය කෙරිණි. එය මුළු මනින්ම ලෝකෝත්තර දහමක් නොවූවද මුළු මනින්ම ලෞකික දහමක් ද නොවීය. බමුණු මතවාදයන්ගෙන් උකහාගත් ආත්මවාදයක් හෝ කිසියම් දෙයකට ඇලුම්කොට එය සදාකාලීක යයි සිතන ශාස්වත දෘෂ්ටියක්ද නොවීය. එහි දාර්ශනික අංශයක් ද ජීවන මාර්ගයක්ද අන්තර්ගත විය. පවත්නා මෙවන් තත්ත්වයන් පසුබිම් කොටගෙන සමාජය පිළිබඳ බෞද්ධ මතය කුමක්දැයි පැහැදිලි කරන්න.

පිළිතුර - මන උස්සන්නතාය- මනුස්සානං’ යනුවෙන් බුදුසමයෙහි උසස් මනසක් ජන්ම දායාද කොට ඇති නිසා මිනිසා යන නමින් හැඳින්වෙයි. මනසින් විශිෂ්ට වූ පුද්ගලයින් රාශියකින් සකස්වන සමාජයක සාමුහික ඒකාබද්ධතාවයක් දක්නට ඇත. එසේ හෙයින් එම සමාජය තුළ සෑම සාමාජිකයෙකුම සතු යුතුකම් හා අයිතිවාසිකම් අතරින් දිවයන බලවේගය වූ කලී සමානාත්මතාවය පිළිබඳ සංකල්පයයි. බුදු සමයෙහි සජීවි බලවේගයක් වන සමානාත්මතාවය සෑම අංශයකින්ම තහවුරු වී ඇත. වසල සූත්‍රාගත තොරතුරු අනුව උපතින් වසලයෙකු නොවන තැනැත්තා ක්‍රියාවෙන් වසල තත්ත්ව කරා පියනගන බවද, වසලයකු ලෙස ජනිතවන පුද්ගලයාට ක්‍රියාවෙන් බ්‍රාහ්මණ තත්ත්වය කරා පියමං තැබිය හැකි බවද සඳහන් වේ. බෞද්ධ භික්ෂූ සමාජය දෙස බැලීමෙන් මේ බව තහවුරු කළ හැකිය.

පිළිගත් නීතිරීති සමුහයක් හමුවෙහි වුවද කාන්තාව කෙරෙහිද සමානාත්මතාවය තහවුරු කෙරෙමින් ඇයටද සාසනික පැවිදි දායාදය ලැබුණි. සුදෝවුන් රජමැදුරේ සිට පැමිණි නන්ද රාහුල වැනි අය මෙන්ම උපාලි වැනි අයද එම සාසනයෙහි වූහ. සුනීත වැනි සැඩොලුන්ටත් අම්බපාලි වැනි ගණිකාවන්ටත් ඒ සමාජය තුළ වෙනසක් නොවීය. අංගුලිමාල වැනි සොරුන්ටත් ආලවක වැනි අමානුෂිකයින්ටත් සමානාත්මතාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවීය. සමාජය පිළිබඳ බෞද්ධ මතයේ පොදු හරය සමානාත්මතාවය යයි කිවහැක්කේ ඒ නිසයි. සමානාත්ම වාදය පොදු හරය කොටගත් සමාජයක අනිවාර්යයෙන්ම පැවතිය යුතු සහනශීලිතාවය සමාජය පිළිබඳ බෞද්ධ මතයේ ඉතා විශිෂ්ට අන්දමින් නිරූපණය වී ඇත.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.