Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුළු මහත් ලෝක සත්ත්වයන් වෙත පතල මහා කරුණාවෙන් ක්‍රියාකිරීම බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨ චරිත ලක්ෂණයකි. කරුණාවෙන් සිහිල්වූ හදවතක් ඇති උන්වහන්සේ සතුරු මිතුරු සියල්ලන්ටම සමානව කරුණාව දැක්වූහ. තමා විනාශ කිරීමට උපක්‍රම යෙදූ දෙව්දත් තෙරුන්ටත්, සුනීත සෝපාක වැනි අසරණයින්ටත් උන්වහන්සේ පෑවේ සම කරුණාවකි.

බුදුන් වහන්සේ මානව වෘක්ෂයේ පිපුණු මලයි. ඒ මල පිපෙන්නේ ඉතා දිගු කලකට එක්වරකි. එයින් වහනය වන ප්‍රඥා සුගන්ධයෙනුත්, දයාව නමැති මකරන්දයෙනුත් ලෝකය පිරී යයි. ‘ආසියා ආලෝකය’ නමැති බුද්ධ චරිත කාව්‍යයෙහි එඩ්වින් ආනෝල්ඩ් බුදුන් වහන්සේ පිළිබඳ සඳහන් කොට ඇත්තේ ඒ අයුරිනි. බුද්ධ චරිතය තුළ දක්නට ලැබෙන ශ්‍රේෂ්ඨත්වය මෙබඳු සටහනක් තැබීමට හේතු වී තිබේ.

ගෞතම බුද්ධ චරිතය තුළ ප්‍රකට වූ ශ්‍රේෂ්ඨ ගුණාංග පදනම් කරගෙන සමයන්තර ශාස්තෘන් අතර අද්විතීය ශාස්තෘවරයා බවට බුදුන් වහන්සේ පත් වූහ. උන්වහන්සේ විශිෂ්ට නායකයෙකි. සුවිශේෂි ආචාර්යවරයෙකි. ශාස්තෘවරයකු තුළ ආචාර්යවරයකු තුළ තිබිය යුතු අති විශිෂ්ට ගුණ ධර්මවලින් හා ඤාණ සම්භාරයෙන් බුදුන් වහන්සේ සමන්විත වූහ.

බුදුරදුන් තුළ වූු අප්‍රමාණ දයාව, කරුණාව, මෛත්‍රීය, ලාභාපේක්ෂාවෙන් තොරව කටයුතු කිරීම, අටලෝ දහමින් කම්පා නොවීම, යථාවාදී තථාකාරී ගුණය, ගුරු මුෂ්ටියක් තබා නො ගැනීම ජන මතයට සවන් දීම, නිහතමානී බව ආචාරශීලි බව, මහා පෞරුෂය, මහා ප්‍රඥාව ආදී ගුණාංග බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨත්වයට තුඩු දුන් හේතු අතර වේ.

බුද්ධත්වය හා බුදුදමය පිළිබඳ බුදුන් වහන්සේ විසින්ම කරන ලද ප්‍රකාශ තුළින්ද බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට වේ. අහං සත්ථා අනුත්තරො ලෝකයේ අති ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයා තමා බව බුදුරදුන් විසින්ම දේශනා කරන ලදී. ‘සත්ථා දේව මනුස්සානං’ දෙවි මිනිසුන්ගේ ශාස්තෘවරයා බවද ප්‍රකාශ කර ඇත. ආචාර්යවරයකු ලෙසත්, ගුරුවරයකුª ලෙසත් ලොව සියල්ල දැනගත් ලෝකයාගේ හිත සුව පිණිස කටයුතු කරන එකම තැනැත්තා උන්වහන්සේ බව

ඒක පුග්ගලො භික්ඛවෙ ලෝකේ
උප්පජ්ජමානො උප්පජ්ජති
බහුජන හිතාය බහුජන සුඛාය
අත්ථාය හිතාය දේවමනුස්සානං
තමො ඒත පුග්ගලො තථාගතො
අරහං සම්මා සම්බුද්ධො

යනුවෙන් ප්‍රකාශ කර ඇත.

මුළු මහත් ලෝක සත්ත්වයන් වෙත පතල මහා කරුණාවෙන් ක්‍රියාකිරීම බුදුරදුන්ගේ් ශ්‍රේෂ්ඨ චරිත ලක්ෂණයකි. කරුණාවෙන් සිහිල් වූ හදවතක් ඇති උන්වහන්සේ සතුරු මිතුරු සියල්ලන්ටම සමානව කරුණාව දැක්වූහ. තමා විනාශ කිරීමට උපක්‍රම යෙදූ දෙව්දත් තෙරුන්ටත්, සුනීත සෝපාක වැනි අසරණයින්ටත් උන්වහන්සේ පෑවේ සම කරුණාවකි. උන් වහන්සේ කොතරම් අනුකම්පා සහගත ශාස්තෘවරයකු ද යත් තමා පිහිට විය යුත්තන් සොයා සැතපුම් සිය ගණන් පා ගමනින් වැඩම කළහ. දෛනික කටයුතු කාල සටහනකට අනුව මනා කළමනාකාරීත්වයකින් ඉටු කළ උන්වහන්සේ දවස ආරම්භ කළේ මහා කරුණා සමාපත්තියට සමවැදි තමා පිහිට වියයුත්තේ කාටදැයි විමසා බැලීමෙනි.

ලාභ සත්කාර අපේක්ෂාවෙන් තොරව කටයුතු කිරීම බුදුරදුන්ගේ විශිෂ්ට ලක්ෂණයකි. වරෙක ප්‍රජාපතී ගෝතමී තෙරණිය අගනා චීවරයක් බුදු රදුන්ට පූජා කිරීමට පැමිණි විට උන්වහන්සේ ප්‍රකාශ කළේ ‘සංඝේ ගෝතමී දේහි’ යනුවෙනි. එනම්, ගෝතමියෙනි, එය සංඝයාට දෙන්න යන අදහසයි. උන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයින්ට දේශනා කළේ ‘මහණෙනි, ලාභ සත්කාර නින්දා ප්‍රශංසා ඉතා දරුණු ය. තියුණු ය. රළු ය. නිර්වාණ ය සඳහා ඒවා අන්තරාදායකය යනුවෙනි.

බුදු හිමියෝ තමන් අවබෝධ කර ගත් ධර්මය නොසඟවා ශ්‍රාවකයින්ට දේශනා කළහ. කිසි රහස්‍ය බවක් නොවීය. බුදුරදුන් ආනන්ද තෙරුන් අමතා කළ ප්‍රකාශයක් තුළින් ඒ බව තහවුරු වෙයි. ආනන්ද තථාගත ධර්මයෙහි ගුරු මුෂ්ටියක් නැත. යනුවෙන් අනඳ තෙරුන්ට දේශනා කොට ඇත. සමකලීන වෙනත් ආගමික නායකයින් ප්‍රකාශ කළේ නායකයා ලබා ගත් තත්ත්වයට අනුගාමිකයන්ට පත් විය නොහැකි බවයි. එහෙත් බුදු රදුන් ප්‍රකාශ කළේ උත්සාහය තිබේ නම් මගපල ලබා ගැනීමට මෙන්ම බුද්ධත්වය වුව ද ලබා ගතහැකි බවයි. බොහෝ ආගමික නායකයින් ප්‍රකාශ කළේ මුලින්ම එම ඉගැන්වීම ඔවුන් විසින් සොයා ගන්නා ලද බවයි. එහෙත් චතුරාර්ය සත්‍යය හේතු ක්‍රමය යථාර්ථ ලෙස ලොව පවතින බවත් කාලයාගේ ඇවෑමෙන් වැසී යන බවත් තමා ඒ යථාර්ථ හෙළිදරව් කිරීමක් පමණක් සිදුකළ බවත් ය.

බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට හේතු වූ වැදගත් කරුණක් වූයේ යථාවාදී තථාකාරි එනම් කියන දේ කරන, කරන දේ කියන ගුණය යි. මේ ලක්ෂණය බොහෝ ශාස්තෘන් තුළ නොතිබු ලක්ෂණයකි. එහෙත් බුදු හිමියෝ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වූහ. විවිධ ආකාරයට භේද වී ගිය සමාජය තුළ මිනිසුන්ගේ කුල මල ආදී පටු භේද දැඩි ලෙස විවේචනය කළ බුදුහිමියෝ මිනිස් සමාජයේ ඒකත්වය සනාථ කළහ.

ශ්‍රේෂ්ඨ නායකයෙක් තුල තිබිය යුතු ඉවසීමේ ගුණය උන් වහන්සේ තුළ නොඅඩුව තිබිණි.

අහං නාගෝච සංගාමේ
චාපාකො පතිතං සරං
අත්වාකපං තිතිඛිස්සං
දුස්සීලෝහි බහුජ්ජතො’

යනුවෙන් බුදුරදුන් ප්‍රකාශ කළේ යුද බිමේ දී සතර දෙසින් පැමිණෙන සතුරන්ගේ් ඊතල පහර ඉවසන හස්තියකු මෙන් තමා ඇනුම් බැනුම් ඉවසන බවයි. බුදුරදුන් අපකීර්තියට පත් කිරීම සඳහා පිළිකුල් සහගත ක්‍රියාකාරකම්වල නිරතවූ චිංචිමානවිකාව, සුන්දරි පරිබ්‍රාජිකාව, මාගන්ධියා, ආලවක , අක්කෝසක භාරද්වාජ, දේවදත්ත ආදී සියල්ලන්ගේම ඇනුම් බැනුම් ගැරහුම් උන්වහන්සේ ඉවසා වදාළහ.

අන්තවාදී පිළිවෙත් බැහැර කොට මැදුම් පිළිවෙතක් අනුගමනය කළ බුදු රදුන්ගේ් ශ්‍රේෂ්ඨත්වය සනිටුහන් කරන්නා වූ වැදගත් ගුණාංගයක් නම් ජන මතයට සවන් දීමයි. මවුපිය අනුදැනුමකින් තොරව කුල දරුවන් සසුන්ගත නොකරන ලෙස විනය නීතියක් පැනවීම දිය නෑමේදී වැසි සළුවක් භාවිතා කරන ලෙස භික්ෂුන් වහන්සේට උපදෙස් දීම, වැසි සමයෙහි වස් වසන ලෙස භික්ෂුන් වහන්සේට උපදෙස් දීම ආදි කරුණු තුළින් සනාථ වන්නේ මහජන මතයට ගරු කිරීමක් වශයෙන් විනය නීති පවා පැනවීමට උන්වහන්සේ ක්‍රියාකළ ආකාරය යි.

යථාවාදී තථාකාරි ශාස්තෘවරයකු ලෙස උන් වහන්සේ ශ්‍රාවකයින්ට කරුණු ප්‍රකාශ කළේ ඒවා තමාම නුවණින් දැනගෙන ය.

ජානතො අහං භික්ඛවෙ පස්සතො
ආසවානං ඛයං වදාමි
නා අජානනො අපස්සතො

යනුවෙන් ආශ්‍රව ක්ෂය කිරීම පිළිබඳ තමා ශ්‍රාවකයන්ට ඉගැන්වූයේ තමාම හොඳින් දැනගෙන බව බුදුන් වහන්සේ පැවසූහ.

බුද්ධො සො භගවා බෝධාය ධම්මං දේසේති
දන්තො සො භගවා දමථාය ධම්මං දේසොති
සන්තො සො භගවා සමතාය ධම්මං දේසේති
තිණ්ණො සො භගවා තරණාය
ධම්මං දේසෙති
පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බාණං
ධම්මං දේසේති

යනුවෙන් බුදුරදුන් ධර්මය අවබෝධ කරගෙන දමනය වී ශාන්ත වී, එතෙර වී, කෙළෙස් නැතිකොට අන් අයටද එම තත්ත්වයට පත් වීම සඳහා උදෙස් දෙන බවයි. මෙබඳු උත්තරීතර පඬිවරු අතරත් පසුකාලීනව බිහි වූ විද්වතුන් අතරත් ප්‍රශංසනීයත්යට ලක් වූහ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.