Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අසමසම බුදුරදුන්ගේ අපරිමිත කරුණාවේ මතක සටහන...

බුදු පියාණන්ගේ මහා කරුණා ගුණ සමුදාය සකල ලෝක ජනතාව අතරට ගෙන යන මාසයක් ලෙස ද බක් මාසය වැදගත් වෙයි. බුදුරදුන් සැමවිටම අගය කළේ සාමයයි. චූලෝදර, මහෝදර ගැටුම, සමාදාන කිරීම සඳහා නාගයන් කෙරෙහි මහා කරුණාවෙන් අප තථාගත බුදුපියාණන් වහන්සේ සිරිලකට වැඩම කර වදාළේ බක් මස අවපසළොස්වක් පොහොය දා ය.

බක් පසළොස්වක පෝය දිනය (අපේ‍්‍රල් 9) සිංහල - දෙමළ අලුත් අවුරුදු (අපේ‍්‍රල් 13 , 14) සමය සමග මෙවර එකට යෙදී ඇත. එපමණක් නොව, කිතු බැතිමතුන්ගේ ශෝක දිනයක් සේ සැලකෙන මහා සිකුරාදා දිනය (අපේ‍්‍රල් 10) ද මේ කාලය තුළම යෙදී තිබේ. මේ නිසා මෙවර බක් පොහොය දිනය, ශ්‍රී ලාංකිකයන්හට රජයේ හා වෙළෙඳ නිවාඩු රැසක් ද එකවර ලැබෙන අවස්ථාවක්ද වේ. එම නිසා අපගේ පොදු උවැසි උවැසියන් දාන, ශීල, භාවනා, හා වෙසෙස් බෞද්ධාමික වත්පිළිවෙත් වලට, මෙවර සහභාගිවන අවස්ථාව වැඩිවිය හැකි ය. තවද අපගේ පැරැණි බෞද්ධ පූජනීය ස්ථාන වලට මෙවර එක්රොක්වන පිරිසද ලක්ෂ ගණනක් වීමට ඉඩ ඇත.

බුදුපියාණන්ගේ මහා කරුණා ගුණ සමුදාය සකල ලෝක ජනතාව අතරට ගෙනයන මාසයක් ලෙසද බක් මාසය වැදගත් වෙයි.

චූලෝදර -මහෝදර ද්වන්ධ සටන

සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන අප තථාගත බුදුපියාණන්නට, ශ්‍රී ලංකාවේ ඇතිවන්නට යන මහා ව්‍යසනයක් පෙනිණි. එනම් චුලෝදර, මහෝදර නා රජුන් අතර මිණිපළඟක් බෙදාගන්නට සටන් වැදීමට සූදානම් වන බවයි. බුදුරදුන් සැමවිටම අගය කළේ සාමයයි. චූලෝදර, මහෝදර ගැටුම, සමාදාන කිරීම සඳහා නාගයන් කෙරෙහි මහා කරුණාවෙන් අප තථාගත බුදුපියාණන් වහන්සේ සිරිලකට වැඩම කළ වදාළේ බක්මස අටපසලොස්වක් පොහොය දා ය. තථාගයන් වහන්සේ සෘද්ධියෙන් නාගදීපයට වැඩිසේක. නාගදීපයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයක් බවට පසුව පත්විය.

මහෝදර නාග රජුගේ බලය සාගරය දක්වා වූවකි. කත්වඩමන් පර්වතයේ නා රජුනට මහෝදරගේ සහෝදරිය විවාහ කරදෙන ලදී. මොවුන් දෙදෙනාගේ පුතු චුලෝදර නම් විය. නාග වර්ග කොටස් දෙකකි. ගොඩබිම හා සාගර වශයෙනි. චූලෝදරගේ සීයා මියයන විට දී ඔහුට අයත් වටිනා මැණික් පුටුව, මහෝදර පුතුට නොදී, චුලොදරගේ මෑණියන් වූ දියණියට දුන්නේ්ය. මාමා - බෑණා ගැටුම - හෙවත් චූලෝදර මහෝදර ද්වන්ට සටනට ප්‍රධාන හේතුව වූයේ මෙම මැණික් පුටුව යි.

අප ගෞතම බුදුරජාණන්වහන්සේ මෙම යුද්ධය නතර කිරීම සඳහා ශ්‍රී ලංකාවට වැඩම කළ සේක. උන්වහන්සේ සමඟ දෙවුරම්වෙහෙර දොරටුවේ කිරිපලු රුක අරක් ගෙන සිටි සමිද්ධි සුමන දෙවියෝද සිරිලකට පැමිණිය හ.

බක් අව පසළොස්වක පොහෝදා හිමිදිරි පාන්දර නාගදීපයට වැඩම කළ තථාගත බුදුරජාණන් වහන්සේ යුද වැදී සිටින නාග පිරිස් බිය වැද්දනු පිණිස ප්‍රථමයෙන්ම මහා ගන අඳුරක් මැවූහ. නාගයෝ ඉමහත් බියට පත්වූහ. සුළු වේලාවකින් මහා ආලෝකයක් මවමින් බුදුන් වහන්සේ නාග සමූහයා ඉදිරියේ දර්ශනය වූහ. චුලෝදර - මහෝදර නා රජුන් බුදු සිරිපතුල සිඹ ගනිමින් සමගි වූහ. මෙසේ ශ්‍රී ලංකාවේ සිදුවන්නට ගිය විශාල ව්‍යසනයක් ලේ ගැලීමක්, වළක්වා ගන්නට මෙම දිවයිනට සාමය උදාකර දෙන්නටත් අප තථාගත බුදුපියාණන් දක්වන ලද දායකත්වය අති උතුම් ය.

නාග සමූහය, බුදුදහම වැළඳගත් අතර ඔවුන් අරබයා, පන්සිය පනස් ජාතක පොතේ දැක්වෙන කාකොලුක ජාතකය (269) , එන්දන ජාතකය (467) , ලටුකික (352) හා වට්ටක (388) ජාතක අළලා ධර්ම දේශනා කළ සේක. මෙම ජාතකවල කතා වස්තු බොහෝ දුරට සාමයේ වැදගත්කම, උඩගුවීමේ ආදීනව ආදිය හුවා දක්වන කතා වස්තු බව පෙනෙයි. මේවා දේශනා කළේ බක් පෝය දිනයේ දී ය. ධර්ම දේශනා අසා නාග ප්‍රජාව බුදුදහම වැළඳ ගත්තේ ය.

මණිඅක්ඛිත නාගරජු, මහෝදර නාරාජුගේ මයිලනුවන් ය. ඔහු කැලණියේ සිට බෑණුනුවන්ට ආධාර පිණිස සටන් බිමට ගියේ ය. බුදුරජදුන්ගෙන්, ධර්මය අසා පැහැදී කැලණියට වඩින ලෙස ආරාධනා කළේය.

ධර්ම කතාවලට සවන්දුන් නා රජු ඇතුළු නාග සමූහයා මිණිපලග අප ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කළේය. අසූකෝටියක් නාගයන් තිසරණ පන්සිල්හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් ලෙස වන්දනා කිරීමට, කිරිපලු රුක හා මිණිපළඟ නාගයන්ට පවරා සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩම කළ සේක.

බක් පොහෝ දිනය ආශි‍්‍රතව දේශනා කළ ධර්මකතාවල තේමාව වූයේ සමගිය, හා යහපත් දිවිපෙවතක ඇති වටිනාකමයි.

අපි දැන් බුදුරදුන් දේශනා කළ ජාතක කතාවල හරය කුමක්දැයි විමසමු.

එක් කතාවක් කවුඩන් හා බකමූණන් පිරිසක් අතර පැවැති වෛරය මුල් කොටගෙන දෙසා වදාළ සේක. මෙම වෛරය කවදා අවසන්වේදැයි ඇසූ කළ තථාගත බුදුපියාණන් වහන්සේ ‘මහණෙනි ප්‍රථම කල්පයෙහි’ යැයි කීහ.

කවුඩාත්, බකමූණාත් අතර රජකම පිළිබඳ පැන නැගී ඇති ප්‍රශ්නයකි. කතාව අවසන් වන්නේ ස්වර්ණහංස පෝතකයකු රාජ්‍යයත්වයට පත් කරමින්ය. බුදුජාණන්වහන්සේ මෙම කතාව කෙළවර කරන්නේ ‘එසමයෙහි හංස පෝතකව උපන්නෙමි. බුදුහුවූ මම්හ යැයි වදාළ සේක. මෙම කතාවෙන් පැහැදිලි වන්නේ ගැටුම්වල අනර්ථය යි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රෝහිනී ගංතෙර වැඩහිඳ නෑයන්ගේ කලහයක් අරබයා එස්දන ජාතකය (467) වදාළ සේක. එක් බමුණු වඩුවෙක් කැලෑවෙන් ලබාගත් දඩුවලින් රථ ඉදිකොට ජීවත් වෙයි. හිමාලයේ කොළොම් ගසක් වලසකු සහ කොළොම්ගසට අධිගෘහිත රුක් දෙවි දෙනෙක් අළලා මෙම ජාතක කතාව ගෙතී ඇත.

වෛර බැඳ ගන්නේ නැතිව සමගියෙන් ජීවත්වීමේ වැදගත්කම මෙකී කතාවෙන් ඉස්මතු කොට දක්වා ඇත.

සමගි බව නිවන් පුරයට සැප සේ ගෙනගොස් පමුණුවන්නට සුදුසු රථවාහනයක් හා සමාන යැයි බුදු හිමියෝ පැවසූහ. ශාක්‍ය කෝලිය රජදරුවන්හටද සමගිව ජීවත්වීමේ වැදගත්කම පසක් කර දුන් සේක.

චන්දාමිතං කුඤජරසවඨිහායනං
ආරකුකුක යුථපති යස්සසි
පකෙඛහිතං පඤජලිකං කරොමි
ම මෙවධි ප්‍රතෘෂක දුබ්බලාය කරොමි
ලටුකික ජාතකය - 352

දේවදත්ත හිමියන් අද මෙන් එදා ද කිසිවකුට දයාවක් කරුණාවක් නොදැක්වූ බව පවසමින් සර්වඥයන් වහන්සේ ලටුකික ජාතකය දේශනා කොට වදාළ සේක.

මෙම කතාවට වස්තු වී ඇත්තේ කැටකිරිල්ලක්, කවුඩෙක් නිල මැස්සෙක් ඇතෙක් හා මැඬියෙකි. කවුඩා ගොසින් ඇතාගේ ඇස්වලට හොටෙන් අනියි. නිල මැස්සා ඇතුගේ ඇස්දෙක ඉහඩලාපීය. මෙසේ කුඩා සතුන් හතර දෙනෙක් එක්ව ඇත් රජකු මරා දැමූහ. බුදුන් වහ්නසේ මෙම ලටුකික ජාතකය වදාරමින් කියා සිටියේ ‘සතුන් කෙරෙහිත් නීචයන් කෙරෙහිත් ද්වේෂයක් නම් නොකරව‘ යන්න යි. එදා ඒ එකචාරී ඇත්තේ නම් දේවදත්තයන් ය.

මෙම ජාතකය ලෝභී වූ භික්ෂුවක් අමතා අප තථාගත බුදුපියාණන් දෙසා වදාළ ජාතකයෙකි. වට්ටක නමින් වූ ජාතක කතාව මෙම භික්ෂුව දැන් මතු නොව, මීට ඉහත ආත්ම භාවයන්හිදීත් ඇත්කුණු මිනීකුණු ආදිය බොහෝ කමින්, තෘෂ්ණාවට වසඟව ජීවත් වූ බව පැවසූහ.

බෝධි සත්ත්වයන් වහන්සේ වටුවෙක් ව ඉපදුණහ. දේවදත්තයන් කපුටකු ලෙස ඉපිද ඇත්කුªණු, මිණීකුණු ආදියෙන් ජීවත් විය. බෝධි සත්ත්වයන් තමන්ට ලැබෙන ආහාර ප්‍රමාණයෙන් සතුටට පත්ව සතුටෙන් ජීවත්වුණු අතර, කපුටා ආහාර සෙවීමේ තෘෂ්ණාවෙන්ම ජීවත් විය.

මැදින් පෝය දිනයේ සිට බක් පොහොය දක්වා දින තිහකි.

දිනකට යොදුන බැගින් මඟ ගෙවමින් අප තථාගත බුදුපියාණන් වහන්සේ පියවි ගමනින් රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට ගමන් මඟ අවසන් කිරීම සිදුවූයේද බක් මස පුර පසළොස්වක් පොහෝ දිනයකදී ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.