Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්වභාව ධර්මයේ වන්දනාවෙන් ඉතිරි වූ පැරැණි ආගමික මතක සටහන් අවුරුදු උත්සවයේ දී සංකේත ලෙස තවමත් ඉටු කෙරෙයි. අලුත් අවුරුද්දට නව සඳ බැලීම ඉන් එකකි. සීගිරි කැටපත් පවුරේ ගීයක හා බුත්සරණ ග්‍රන්ථයේ උපමාවක බක් මස නව සඳ බැලීම ගැන කියවෙයි. පරණ අවුරුද්දට ලිප ගිනි නිවා නැකැතට යළිත් ගිනි මෙළවීම අග්නි පූජාවක් නැත්නම් සූර්ය ශක්තියට උපහාරයක් පිළිබිඔු කරයි. එය සශ්‍රීකත්වය පෙන්නුම් කරයි. අවුරුදු කෑම මේසයේ දැල්වෙන පහන ආලෝකය, ප්‍රඥාව, සූර්ය ශක්තිය පෙන්නුම් කරයි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද යළිත් අද හෙට උදාවෙයි. මෙහිදී අවුරුදු චාරිත්‍ර සමඟ බුදු දහමේ හා හින්දු දහමේ ඇති සම්බන්ධතාව හා එහි කැපී පෙනෙන සිද්ධි කීපයක් පිළිබඳ සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි. ආර්යයන් සංචාරක එඬේර ගෝත්‍රයක් ලෙස මධ්‍ය ආසියාවේ දැනට අවුරුදු පන්දාහකට පමණ පෙර ජීවත්ව ඇත. සතුන් තැනින් තැන තණ බිම් සඳහා දක්කාගෙන යමින් ජලය හා තණබිම් ඇති ප්‍රදේශ කරා වරින්වර සංක්‍රමණය වෙමින් ජීවත් වූ මේ ආර්යයන් වයඹ දිග ඉන්දියාවේ කයිබර් දුර්ග මාර්ගය ඔස්සේ දැනට අවුරුදු හාරදාහකට පමණ පෙර ඉන්දියාවට ඇතුළු වී ඇත. උතුරු දිග ඉන්දියාවේ බලය පතුරුවා ගත් ඔවුහු ඉරහඳ, වර්ෂාව වැනි ස්වභාවික බලවේග දෙවිවරුන් කොට පුද පූජා කළහ. සෘග්වේදයේ දක්නට ඇති ශ්ලෝක මෙවැනි දෙවිවරුන්ට ඔවුන් කළ යාදිනි වෙයි. එමෙන්ම උතුරුදිග ඉන්දියාවේ දී බලය පැතිරුණු පසු ඉන්දියාවේ මධ්‍යම හා දකුණට ආර්ය බලය පැතිර ගියේ ය. එහි විසූ ස්වේදේශීය ගෝත්‍ර ආර්ය බලයට යටවිය. ඉන්දියාවේ දී එඬේර වෘත්තිය වෙනුවට තිරිඟු වගාව (ගෝඩුව) ඔවුන්ගේ ප්‍රධාන රැකියාව විය. අස්වැන්න කපා ගත් පසු වසන්ත සෘතුව ළං වන විට තමන්ට උදව් කළ ස්වභාව ධර්මයේ දෙවි දේවතාවුන්ට කළගුණ පුද පූජා, ස්තුති පැවැත්වීම සඳහා නැකැත් කෙළිය පැවැත්වීම ක්‍රි.පූ. 1000 පමණ වන විට ඔවුන්ගේ චාරිත්‍රය විය. ජාතක පොතේ කතා කීපයක මේ නැකැත් කෙළිය ගැන සඳහන් වෙයි. එහි රාගික අංග ඇතුළත් සශ්‍රීකත්වය පතා කෙරුණු දුරාචාර අංශ ඇතුළත් උත්සවයක් විය.

ක්‍රි.පූ. 800 – 500 අතරතුර වයඹ දිග ඉන්දියාව ඇතුළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් අලුත් භූමි ප්‍රදේශ සොයා ඉන්දියාවේ සිට රුවල් නැව් මඟින් ආර්ය කණ්ඩායම් ලංකාවට පැමිණ ඇත. එවැනි ආර්ය කණ්ඩායම් පිළිබඳ තොරතුරු ජාතක පොතේ වළාහස්ස ජාතකය, මහාවංශයේ විජය කුවේණි කතාව, පඬුවස්දෙව් කතාව භද්දකච්චානා කතාව මහායානයට අයත් ලංකාවතාර සූත්‍රය කියාපායි. ලංකාවට මුලින්ම ආ ආර්ය කණ්ඩායම් අර්ධ වෛදික අය ලෙස සැළකිය හැක. පණ්ඩුකාභය රජ කළ පැවැති නැකැත් කෙළියක් ගැන මහාවංශයේ දහවෙනි පරිච්ඡේදය කියයි. කුඩා කණ්ඩායම් ලෙස ලංකාවට ආ ආර්යයෝ ගංගා, ඇළ දොළ, මුවදොර අසළ කුඩා ජනාවාස පිහිටවූහ. මේ ආර්ය ගම්මාන පාලනය වූයේ ගාමිණී හෙවත් ගමික නමැති ගමේ නාකයන් යටතේ ය. ක්‍රමයෙන් ලංකාවේ මුලින් සිටි යක්‍ෂ, දේව, නාග රාක්‍ෂය ගෝත්‍ර ආර්ය කණ්ඩායම් සමඟ මිශ්‍රව වරෙක ගැටෙමින් ජීවත් වී ඇත. වැද්දන් ලෙස අද සැළකෙනුයේ එදා සිටි යක්‍ෂ හෙවත් පුලින්ද ගෝත්‍රයයි. ඔවුන්ගේ මුතුන් මිත්තන් බලංගොඩ මානවයා වෙයි. ආර්යයන් ඉන්දියාවට එන විට ඉන්දියාවේ දකුණට තල්ලු වූ ද්‍රවිඩ ජන කොටස් ආර්ය සංස්කෘතියට පටහැනි වෙයි. මුල් යුගයේ සිටම වෙළෙඳුන්, යුද භටයින්, සංක්‍රමණිකයන් ලෙස ද්‍රවිඩ පිරිස් ලංකාවට පැමිණ පදිංචි වී ඇත. මුල් ආර්ය සිංහල පිරිස දෙවනපෑතිස් රජුකළ (ක්‍රි.පූ. 250 – 210 ) බුදුදහම වැළඳගත් පසු බුදුදහම කෙටිකලකින් රටපුරා පැතිර යාමට විය. සිංහලයාගේ ජීවිතවලට බුදුදහම හා ඒ සමඟ පැමිණි බෞද්ධ සංස්කෘතිය තදින් එක් විය. ගොවිතැනේ සශ්‍රීකත්වය පතා කළ නැකැත් කෙළිය වැනි උත්සවවල රාගික ලක්‍ෂණ බෞද්ධ බලපෑම නිසා යටපත් වන්නට විය. වසන්ත සෘතුව උදාවන බක් හෙවත් භාග්‍යවන්ත මාසය උදාවන විට වර්ෂාවට පසු ගහකොළ, අලුත් දළු දමා පරිසරය අලංකාර වෙයි. වී ගොවිතැනේ අස්වැන්න කපා ගත් පසු ආර්යයන්ට ආගමික වත් පිළිවෙත් පිරීමට නිදහස හා විවේකයක් උදා වෙයි. ඇතැම් ගැමි නාට්‍ය හා නැටුම් වලදී අස්වැන්න කපා ගත් පසු ඒ සඳහා පිහිට වූ දෙවිදේවතාවුන්ට උපහාර පිණිස එම සරල චාම් නැටුම් උත්සව දේව පූජා සිදු විය.

අවුරුද්ද සමග කපාගත් අලුත් අස්වැන්නෙන් අලුත් බත් පිස තුණුරුවන් වෙත පිදීම වැදගත් ලක්‍ෂණයක් විය. ලැබෙන විරාමය තුළ නඩ වශයෙන් එකතු වී වට වන්දනාව, ශ්‍රී පාද වන්දනාව වැනි ඈත වන්දනා ගමන් යාම එදා සිදු විය. ගමේ පන්සලේ, ගමේ අවට පන්සල්වල විවිධ බෞද්ධ දේශනා උත්සව සංවිධානය විය. පරණ අවුරුද්ද ගෙවී අලුත් අවුරුද්ද උදාවන තෙක් ඇති පරණ හා අලුත් අවුරුද්ද යන දෙකටම අයිති නැති “නොනගතය” කාල සීමාව පන්සල් යාම, තෙරුවන් පිදීම, වත් පිළිවෙත් පිරීම, වැනි ආගමික කටයුතු වලටම එදා සිටම සීමා විය. නොනගතය යනු පරණ අවුරුද්ද ගෙවී අලුත් අවුරුද්ද උදාවන තෙක් ඇති විරාම කාල සීමාවයි. එමෙන්ම එදින ගම්මු අලුතින් පිසුණු කැවිලි වලින් මුල්ම කොටස් පන්සල් වලට ගෙන යාම සිරිතක් විය.

ස්වභාව ධර්මයේ වන්දනාවෙන් ඉතිරි වූ පැරණි ආගමික මතක සටහන් අවුරුදු උත්සවයේ දී සංකේත ලෙස තවමත් ඉටු කෙරෙයි. අලුත් අවුරුද්දට නව සඳ බැලීම ඉන් එකකි. සීගිරි කැටපත් පවුරේ ගීයක හා බුත්සරණ ග්‍රන්ථයේ උපමාවක බක් මස නව සඳ බැලීම ගැන කියවෙයි. පරණ අවුරුද්දට ලිප ගිනි නිවා නැකැතට යළිත් ගිනි මෙළවීම අග්නි පූජාවක් නැත්නම් සූර්ය ශක්තියට උපහාරයක් පිළිඹිබු කරයි. එය සශ්‍රීකත්වය පෙන්නුම් කරයි. අවුරුදු කෑම මේසයේ දැල්වෙන පහන ආලෝකය, ප්‍රඥාව, සූර්ය ශක්තිය පෙන්නුම් කරයි. අවුරුද්දට ළිඳ සමඟ ගනුදෙනු කිරීම පණ රැක දෙන ජලයට කළගුණ දැක්වීමක් සිදු කරයි. මිනිස් ජීවිත ආරක්‍ෂා කරනුයේ ජලයයි. සිංහල හින්දු අවුරුද්ද සමරන සියලු සුබ නැකැත් සමඟ නැකැත් විශ්වාස කිරීම නැකැත්වලට ගරු කිරීම පෙන්නුම් කරයි. දමිළ හින්දුන් අතර භක්තිය උතුරන පරිදි දේව වන්දනාව සිදුවෙයි. එම උලෙළේ දී හින්දු චාරිත්‍ර ඉටු කොට කෝවිල් යාම සිදු වෙයි.

පොළොන්නරුව බිඳ වැටීමෙන් පසු හින්දු දෙවි දේවතා වන්දනාව බහුල ලෙස බුදුදහමේ අංගවලට ඇතුළත් විය. ඈත වන්දනා ගමන්වල දී සිංහල, දෙමළ බේදයකින් තොරව දෙපක්‍ෂය එක්වෙති. ශ්‍රී පාදය, කතරගම මෙවැනි ස්ථාන දෙකකි. අවුරුදු සමය උදාවන විට ශ්‍රී පාද වන්දනා සමයේ අඩු වීමක් පෙනෙයි. ශ්‍රී පාද වන්දනා සමය නිම වන්නේ වෙසක් පසළොස්වකිනි.

අවුරුදු චාරිත්‍ර සමඟ පවුලේ ඈත විසිරී සිටින නෑදෑයෝ ගමට එති. පවුලේ වැඩිදෙනෙක් එකට එකතු වී එකට කා බී නැකැත් චාරිත්‍ර ඉටු කරති. වැඩිහිටියන්ට සැළකීම, තරහ මරහ අමතක කිරීම, කෑම බීම හුවමාරු කර ගැනීම, අවට නිවෙස් වෙත යාම, දුගී මගී යාචකයින්ට සැළකීම සිදුවෙයි.

නොනගතය තුළ පන්සලට වැඩි පිරිස එකතු වෙති. පන්සලට එන විට සකස් කළ කැවිලි පෙවිලි, දවල් දානය, නැත්නම් සවස ගිලන්පස මල්, සුවඳ දුම් ගෙනවුත් පුදා පන්සලේ හිමිවරුන්ගේ ආශීර්වාද ලබා ගැනීම සිරිතයි. හිසතෙල් ගෑම් දී බොහෝ විට තවමත් නානු පිළියෙළ කරනුයේ පන්සලේ දී ය. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ අතින් හිස තෙල් ගා ගැනීමට වැඩි දෙනෙක් පන්සලට එති. හිරු මුදුන් වී ගිනියම් පරිසරයක් ඇති කරන අවුරුදු සමයේ දී සුබ නැකැත් වෙලාවට ඖෂධීය තෙල් ගැල්වීමෙන් ලෙඩ රෝග දුරුවෙයි. ගත සිත නිරෝගී වෙයි. වියළී ගිය හිස සිසිල් වෙයි. මේ අනුව අවුරුදු උළෙල සමඟ බැඳුණු චාරිත්‍රවලින් ආගම තදින් එකට බැඳී පවතී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.