Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති
යක්කලමුල්ල ශාසනාරක්‍ෂක
මණ්ඩලයේ ලේඛකාධිකාරී,
උඩුමලගල ශ්‍රී ආදිච්චවංස
පරිවේණාධිපති, ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි

 

අලුත් අවුරුද්දේ අලුත් සිතුම් පැතුම් අනුව පරිසරය අලුත් වන්නා සේම මිනිසාත් අලුත් විය යුතු ය. භෞතික සංවර්ධනය මෙන්ම මානසික සංවර්ධනය ද ඇති කරන බක් මහ උළෙල හා බැඳුණු සත් සිරිත් විරිත් සුරැකීම අප කාගේත් යුතුකමකි. බුදුසමයේ සුවිශේෂ ලක්‍ෂණ රැසකින් යුක්ත මෙම උත්සවය හින්දු ආගමික ලක්‍ෂණයන්ගෙන් ද මිශ්‍රණය වී ඇත. සමාජ සංවර්ධනයට ආගමික සහයෝගිතාව ද අවශ්‍ය වන්නා සේම ජාතීන් අතර ද එකමුතුව අවශ්‍යව ඇත.

සූර්ය උදාව මුල් කර ගනිමින් අනාදිමත් කාලයක් තිස්සේ අපේ මිනිස්සු සූර්ය වන්දනාවෙහි යෙදුණහ. ආගම දහම අපට ආශිර්වාදයක් වන බැවින් නූතන මිනිසාට වඩා පැරැණි මානවයා එය සුරකින්නට කාලය වෙන් කර ගත්තේ ය. ඒ තුළින් මෙ රට සශ්‍රීක විය. මිනිසුන් විවේකයෙන් සුවසේ නිරෝගිමත්ව සතුටින් තම දරු මුණුබුරන් සමගින් කාලය ගත කළේ අපමණ සතුටිනි. අද වන විට ඒ සොම්නස සතුට මිනිසා තුළින් ඈත්ව ඇත. ආගම දහමින් ඈත් වන්න වන්න මිනිසුන් කායික මානසික වශයෙන් රෝගීන් බවට පත් වී ඇත.

තුන්සිය හැට පස් දවසක් ගත වන දවසෙ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරනා වෙලාව උදාවන විට කායික මානසික සුවය ගෙන දෙනු ලබන සැණකෙළි පවත්වනු ලබයි. එය ඔලාරික නොවීය. මත්ද්‍රව්‍ය මුල් නොවී ය. ඒ සඳහා සත් සිරිත් විරිත් අනුගමනය කරන්නට විය.

පරණ අවුරුද්දේ දී වැඩිහිටියන් වඳින්නට පුදන්නට විය. තමන්ගේ වත්ත ඉඩම කඩම ගේ දොර ළි‍ෙඳ‍් සිට ශුද්ධ පවිත්‍ර කරන්නාක් මෙන් තම ස්ථානය ද පිවිතුරු කර ලන්නටත් බුදු දහමට අනුව කටයුතු කරන්නටත් උත්සුක විය. මව්පිය වැඩිහිටි වන්දනාව එහි මුල් විය. එදා බුදුන් සරණ ගිය අම්මල තාත්තලාට වයසට යන විට අද මහලු නිවාසං සරණං ගච්ඡාමි කියන්නට සිදු වී ඇත. එය මොනතරම් අනුවේදනීය ද? මහලු මවුපියන් පෝෂණය කිරීම, මව්පියන්ගේ කටයුතු කරලීම, පරපුර පවත්වාගෙන යෑම, දායාද සුරක්‍ෂිතව පවත්වාලීම, මිය ගිය විට පින් දීම මේ කාර්යයන් තම මවුපියන් වෙනුවෙන් ඉටු කළ යුතු බව ගංඟා නදි තීරයේ දී සිහාල ගෘහපති පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දෙසූ සේක. මව්පියන්ද තම දරුවන්ට සත් සිරිත් විරිත් කියා දිය යුතු ය. පවින් වළක්වා ලිය යුතු ය. දරුවන්ට යහපත කියා දිය යුතු ය.

අද වන විට අඹු සැමියෝ දරුවන් හදනවාට වඩා කුස තුළදීම මරා දමන්නට වෙහෙස වෙති. වෛද්‍යවරු සොයා යති. අවසානයේ බැරි වූ තැන දරුවෙකු බිහි කරයි. එවිට මවුපිය දූ දරු සබඳතා ඇතිවන්නේ කෙසේද? අම්මා මරා දමන්නට තරම් සැහැසි දරුවන් බිහි වී ඇත්තේ ඒ නිසා ය.

මහලු වි සිටියත් රුවින් අඩු වී සිටියත් දුප්පත්ව සිටියත් දෙමාපිය වැඳ පුදනු යහපත් (සිරිත් මල්දම)

අවුරුදු චාරිත්‍ර අතර මව්පිය වන්දනාවට මුල් තැනක් දී ඇත. බුලත් හුරුළු දී ගාථා දෙකක් කියා වඳින්නට අපේ සිංහල බෞද්ධ දරුවෝ හුරු පුරුදු වූහ. ලෝකයේ කිසිම රටක තම දෙමාපියන්ට බුලත් හුරුළු දී ගාථා දෙකක් කියා වඳින්නේ නැත.

එවන් වැඩිහිටි වන්දනාව ද ආයු වර්ණ සැප බල වැඩෙන්නට හේතු වෙයි.

මහලු අයට සරදම් නොකරන්නේ
විහිලු කමට ගල් මුල් නොගසන්නේ
යහළු කමට ඔලොගුව නාදින්නේ
මහලු අයට කරුණා කරන්නේ. (සිරිත් මල්දම)

පුණ්‍ය කාලය හෙවත් නොනගතය යන්නෙන් අදහස් කරනු ලබන්නේ නැකත් නොමැති වෙලාව යන්නයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වන වේලාව නපුරු වේලාවක් බැවින් පුණ්‍ය කටයුතු වල යෙදෙමින් පරණ පින් මතු කරමින් අලුතින් පින්දහම් එක් රැස් කර ගනු ලබයි. එවිට පරණ පාප කර්ම යටපත් වී පුණ්‍ය කර්ම ඵල විපාක දෙනු ලබයි. එම නිසා නොනගතය උදාවන විට මවුපිය දූ දරුවන් සමඟින් තම තමන්ගේ ගම්බිම් වල වෙහෙර විහාර කරා ගොස් හාමුදුරුවන් වහන්සේදැක වැඳ පුදා තුණුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නට ක්‍රියා කරනු ලබයි. එය පුද්ගලයාගේ දියුණුවට අභිවෘද්ධියට හේතු වෙයි. බුදුන් දවස එක් පුතෙකු දියුණුවේ දොරටු මොනවාදැයි, පියාගෙන් විමසූ විට එම පියා තම පුතු බුදුරජාණන් වහන්සේ වෙත එක් කරගෙන ගොස් මෙම ප්‍රශ්නය ඉදිරිපත් කොට පිළිතුරක් ලබා දුන්නේ ය. එවිට බුදුන් වහන්සේ දෙසුවේ නිරෝගී බව ආචාරශීලී බව, වැඩිහිටියන්ගේ උපදෙස් ලබා ගැනීම හොඳ ඉගෙනුමක් කිරීම කම්මැලි නැති බව මේ ආදී ගුණයන්ගෙන් යුක්ත වීම දියුණුවේ මග බවයි. සූර්යය වන්දනාව හා බැඳුනු වැඩිහිටියන්ට ගරු කිරීම , දරුවන්ගේ ගුණ නුවණ වැඩෙන්නට මග වේ. ඉහත සඳහන් කරන ලද ගුණාංග හා බැඳුනු අලුත් අවුරුද්ද සමස්ත සමාජයේ ම සුඛිත මුදිත බවට මඟ පාදයි.

අපේ දරුවන්ට අපේ කියා ඇති දේ උසස් කොට ලබා දිය යුතු වේ. පංච දැමීම, ඔන්චිලි පැදීම, රබන් ගැසීම, කඹ ඇදීම, කොට්ට පොර, ලිස්සන ගසේ යෑම, මේ ආදී ක්‍රීඩාවන් තුළින් සතුට සමඟිය සහෝදරත්වය එකමුතු කම ගොඩනඟනු ලබයි.

අද සමාජයේ සංකර සිරිත් විරිත් වලට ගොදුරුවීම නිසා අපේ ගම් දනව් තුළ සමඟිය සතුට වෙනුවට අසමඟිය අසමාදානය මත්ද්‍රව්‍ය ආදිය තුළින් මතු කරනු ලබයි. නිරෝගිමත් ජනතාවක් ගොඩ නඟනු ලබන මෙම අලුත් අවුරුද්ද පුරාම රෝගීන් බවට මත්ද්‍රව්‍ය ආදිය භාවිතය තුළින් පත ්වෙයි. දරු පවුලම අසරණ වෙයි. සමඟිය නැති වෙයි.

බක් මහ සැණෙකෙළියේ තවත් සුවිශේෂ අවස්ථාවකි. නැකතට ගිනි මොලවා කිරිබත් පිස මව්පිය දූ දරු වැඩිහිටියන් සියල්ලෝම එකට එක වේලාවකට අනුභව කිරීම. මෙම සුන්දර අවස්ථාව දරුවන්ට අහිමි කරනු ලබන පියවරු අපේ රටේ නැතුවා නොවේ. එම නිසා සමගියේ නිදහසේ අවුරුද්දේ පවුල නැමති ඒකකයේ සිටම ජාති භේදවලින් තොරව සියල්ලෝම නිදහසේ ආහාර ටික ගන්න, අකුරු කරන්නට රැකියාව කරන්නට අවස්ථාව සලසා දීම වැඩිහිටි සැමගේ යුතුකමකි.

හිස තෙල් ගෑම හා බැඳුනු චාරිත්‍රය තුළින් නිරෝගිමත් සමාජයක් ගොඩ නගන්නට හැකි වේ. මිනිසාගේ හිසේ රෝග නිවාරණය කරනු ලබන්නේ හිස තෙල් ගෑම තුළින් ය. ඒ නිසා අපේ පැරැණි අම්මලා තම දරුවන්ට හිස තෙල් ගාන්න හුරු පුරුදු කරන්නට විය. අද අම්මලාට එයට ඉඩක් නැත. ඒ නිසා නොයෙක් තෙල් වර්ග ගෑමෙන් දරුවන්ගේ හිස කෙස් අකළට හැලීම හිස කෙස් පැසීම, හිස රුදා ආදිය ඇති වීමට ද හේතු වී ඇත. පුරාණ චාරිත්‍ර අතර හිසතෙල් ගෑම තුළින් නිරෝගි බවක් බුද්ධිමත් බවක් කායික මානසික සුවයක් වර්ධනය අපේක්‍ෂා කරයි.

අලුත් අවුරුද්දේ අලුත් සිතුම් පැතුම් අනුව පරිසරය අලුත් වන්නා සේම මිනිසාත් අලුත් විය යුතු ය. භෞතික සංවර්ධනය මෙන්ම මානසික සංවර්ධනය ද ඇති කරන බක් මහ උළෙල හා බැඳුනු සත් සිරිත් විරිත් සුරැකීම අප කාගේත් යුතුකමකි. බුදුසමයේ සුවිශේෂ ලක්‍ෂණ රැසකින් යුක්ත මෙම උත්සවය හින්දු ආගමික ලක්‍ෂණයන්ගෙන් ද මිශ්‍රණය වී ඇත. සමාජ සංවර්ධනයට ආගමික සහයෝගිතාව ද අවශ්‍ය වන්නාසේම ජාතීන් අතර ද එකමුතු ව අවශ්‍යව ඇත.

ඔබ සැමට තෙරුවන් සරණින් දෙව් රැක වරණින් සාමය සෞභාග්‍යය පිරුණු අලුත් අවුරුද්දක්ම වේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.