Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

කිසිම උගත්කමක් නැති තත්ත්වයේ සිට ළදරු පෙළ, පළමු වසර, දෙවන වසර ආදි වශයෙන් උපාධි තත්ත්වයට පත්වීමට හැකිකම ලැබෙන්නේ වෙනස්වීමට හෝ පරිණාමයට පත්වීමට ඉඩකඩ ඇති නිසා ය. විභාගයෙන් අසමත්වන ශිෂ්‍යයා, ඒ තත්ත්වයේ ම නොසිට නැවත නැවත උත්සාහ කිරීමෙන් අවශ්‍ය ජයග්‍රහණ ලබා ගන්නේ වෙනස්වීමට; පරිණාමයට පත්විමට ඉඩකඩ ලැබී ඇති බැවිනි.

ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගැනීම යථාභූත ඥාන දර්ශනය ලෙස දහමේ සඳහන් වෙයි. වෙනත් වචනවලින් කියතොත් ලෝකය හා සත්ත්වයා පිළිබඳ හැබෑ අවබෝධයක් ලබාගැනීම යථාභූත ඥාන දර්ශනය ලෙස අදහස් කෙරේ. මෙය පුද්ගලයාගේ ඇස, කන ආදි පංචේද්‍රියයන් මගින්ද ලෞකික ඉන්ද්‍රිය ඥාණය ඉක්මවා ගිය උසස් ඥාණ ශක්තීන් මගින්ද කෙනෙකුට ලබා ගැනීමට හැකි වෙයි.

ලෝකය හා සත්ත්වයා පිළිබඳ අවබෝධය, අනිත්‍ය දුක්ඛ, අනාත්ම යන පොදු ලක්ෂණ තුනකින් යුක්ත බව ථෙරවාද බුදුදහමේ සඳහන් වෙයි. ‘ත්‍රිලක්ෂණය’ යනුවෙන් හඳුන්වන්නේ ද මේ දහමය ය. ඉතා සංක්‍ෂිප්තව කියතොත් අනිච්ච හෙවත් අනිත්‍යය යනු හේතුඵල වශයෙන් හටගත් කිසිම දෙයක් සදාකාලිකව නොපවතින්නා බවයි. දුක්ඛ යනු පීඩාසහගත, වේදනාකාරී අතෘප්තිකර තත්ත්වයයි. අනාත්ම යනු ‘මමය මාගේය’ යනුවෙන් වෙනස් නොවන, සදාකාලික ආත්මයක් වශයෙන් ගතහැකි කිසිවක් නොමැති බවය. මේ මූලික ලක්ෂණ තුන පිළිබඳ වූ අවබෝධයක් ලබාගැනීම නිවන් මඟට පිවිසෙන දොරටුවක් සේ සැලකිය හැකිය. මේ ලක්ෂණ තුනෙන් ‘අනිත්‍ය’ නමැති ලක්ෂණය පමණක් සලකා බැලීම මේ ලිපියේ අරමුණ යි.

‘ලෝකය යනු කුමක්දැයි වරක අනඳ හිමියන් විසින් බුදුරදුන්ගෙන් විචාල බව සංයුත්ත නිකායේ ලෝක සූත්‍රයෙන් දැක්වෙයි. කැඩෙන, බිඳෙන, පලුදුවන ස්වභාවය (ලුජ්ජති, පලුජ්ජතීති ලෝකෝ) හෙවත් අනිත්‍ය ස්වභාවය ලෝකය බව එහිදී බුදුරජාණන් වහන්සේ වදාළහ.

‘ආනන්දය, බිඳෙන සුළු ස්වභාවයක් ඇති ධර්ම ලෝකය යනුවෙන් අදහස් කෙරේ. මහණ, ඇස නැසේ. රූපයෝත් නැසෙති. චක්ඛු විඤ්ඤාණය ද නැසේ. චක්ඛු සම්ඵස්සය ද නැසේ. ඉන් උපදිනා සැප දුක් වේදනා ආදි වින්දනයන් ද නැසේ. මෙය ලෝකය නම් වෙයි. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් ද, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන සියලුම බාහිර අරමුණුත් බුදුසමයේ ලෝකය වශයෙන් හඳුන්වා ඇති බවද පැහැදිලිය. එසේම සත්ත්වයා හා පුද්ගලයා ද, ලෝකයම බව බුදුහු වදාරති. ‘සංඥාවක් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි මම ලෝකය පණවමි. ලෝකය පෙන්වා දෙමි. එසේම ලෝක සමුදයද ලෝක නිරෝධය ද ලෝක නිරෝධගාමිනී පටිපදාවද පණවමි. පෙන්වමි යනුවෙන් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ දී දේසනා කරති. හේතුප්‍රත්‍ය නිසා හටගන්නා වූ සියලුම සවිඤානික හා අවිඥානික සංඛ්‍යාත ධර්ම සංස්කාර යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම සංස්කාරවල ස්වභාවය අනිත්‍යතාවයි. ‘සබ්බේ සංඛාරා අනිච්චා, අනිච්චාවත සංඛාරා’ යන යෙදුම් වලින්ද මේ බව පැහැදිලි වෙයි.

සියලුම සංස්කාරයන් අනිත්‍යය, වෙනස්වන සුළුය, ඒවා සැපත හෝ සතුට ලබා නොදෙයි. යන අදහසක් බෞද්ධයන් තුළ ඇතිවන බවක් පෙනෙයි’ ‘සියල්ල අනිත්‍යය’ යි කියමින් බෞද්ධයන් තුළ මන්දෝත්සාහී බවක්ද, සර්ව අශුභවාදී බවක්ද ඇතිවෙන බව සමහරු කියාපාති. මානව හිතවාදී, මිනිස්කම අගයන බුදුදහම කෙරෙහි අනිත්‍යතාව බලපාන්නේ කෙසේදැයි සොයාබැලීම අගනේයයි සිතේ.

රූපාදි ස්කන්ධයන් තේරුම් ගැනීම පිළිබඳව තත්ත්ව තුනක් බුදුදහමේ දැක්වෙයි. එනම් අස්සාද, ආදීනව හා නිස්සරණ යන තුනයි. ‘රූපය නිසා යම් සුවයක් හෝ සොම්නසක් උපදීද මේ රූපයේ ආශ්වාස (අස්සාද) යයි. යම් රූපයක් අනිත්‍යද, දුක්ද, විපරිනාම ඇත්තේ ද ඒ රූපයේ ආදිනවය යි. රූපයේ ඡන්දරාග ප්‍රහාණයෙක් (කැමැත්ත හා ඇලීම නැතිකර ගැනීම) ඇත්නම් එය නිස්සරණය යි. (සං. නි. පළමුවන අස්සාද සූත්‍රය) උදාහරණයක් මෙසේ දැක්විය හැකිය. ‘රූමත් කාන්තාවක් දැක ඇතිකරගන්නා සොම්නස රූපයේ ආශ්වාදය යි. ඒ රූමත් අය ජරා ව්‍යාධි මරණාදියට භාජනය වනු දැකීමෙන් ඇතිවෙන දුක් දොම්නස රූපයේ ආදිනවය යි. රූපයේ ආශාව දුරු කිරීම නිස්සරණය යි. (ම.නි. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය)

මෙහිදී ‘රාගාදී අරමුණුවල ආශ්වාදයක් ඇතිබවත්, ඒ ආස්වාදය නිසා සත්ත්වයන් රූපාදී අරමුණුවල ඇලෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරති. (ස.නි. අස්සාද සූත්‍රය) මෙයින් අපට සිතාගත හැක්කේ අරමුණක ආස්වාදයක් ඇති බව බුදුරජාණන් වහන්සේ පිළිගත් බව ය. තවද කාම ලෝකවලට අයත් මිනිස් ලොව හා දෙව්ලොව සැප ඇති බවද දහමේ සඳහන් වෙයි. සැප විඳීම වරදක් යැයි සිතිය නොහැක. රූපාදි අරමුණු මගින් සතුටුවීම වරදක් නොවේ. වරදක් වන්නේ් හෝ දුකට පත්වීමට සිදුවන්නේ අරමුණු උපාදානය කිරීමෙනි. උපාදානය නම් තදින් බැඳ ගැනීම යි.

මේ අදහස් තහවුරු කරන දේශනාවක් සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ න සන්ති සූත්‍රයේ ද එයි.

සංකප්පරාගො පුරිසස්ස කාමො
න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
සංකප්ප රාගො පුරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලො කෙ
අථෙත්‍ථ ධීරා විනයන්ති ඡන්දං

මෙහි අදහස ‘ ලෝකයේ විචිත්‍ර වූ වස්තූ®හු කාම නොවෙති. කාමය නම් මිනිස් සිතේ ඇතිවන රාග සංකල්පය හෙවත් ඇලීමයි. ලෝකයේ ඇති විචිත්‍ර වස්තූ®න් එසේ තිබී යේවා! නුවණැත්තෝ ඒ වස්තූ®න් කෙරෙහි ඡන්දරාගය දුරුකර ගනිත්’ යනුයි.

මෙයින් කියන්නේ් ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගෙන උපාදානයෙන් හෝ මුළාවෙන් තොරව රූපය ආස්වාද කළ හැකි බවයි.

නැවතත් අපි ‘අනිත්‍යය’ සිහිපත් කරමු. අනිත්‍යය නම් වෙනස්වනසුලු විපරිණාමයට හා විනාශයට පත්වන ස්වභාව යයි. මිනිස්කම උසස්කොට සලකනු ලබන මේ මිනිස් ජීවිතයේ වෙනස්වීමට හෝ පරිණාමයට හෝ පමණක් පත්වන අවස්ථා කීපයක්වත් සොයා බැලීම සුදුසුය.

* බිළින්ඳා ළදරු අවස්ථාව, ළමා අවස්ථාව, තරුණ අවස්ථාව හා වැඩිහිටි අවස්ථාවට පත්වන්නේ වෙනස්වීමට හෝ පරිණාමයට පත්වීමට හෝ ඇති හැකියාව නිසයි. මූලින් සිටි අවස්ථාවේම සිටියහොත් තත්ත්වය කෙබඳුවේද?

* එසේ ම, කිසිම උගත්කමක් නැති තත්ත්වයේ සිට ළදරු පෙළ, පළමු වසර, දෙවන වසර ආදි වශයෙන් උපාධි තත්ත්වයට පත්වීමට හැකිකම ලැබෙන්නේ වෙනස්වීමට හෝ පරිණාමයට පත්වීමට ඉඩකඩ ඇති නිසාය.

* එක ම ඉරියව්වෙ සිට පීඩාවට පත්වන විට ඉරියව් මාරු කිරීමෙන් අපි සුවයක් ලබා ගන්නමෝ වෙමු.

* විභාගයෙන් අසමත්වන ශිෂ්‍යයා, ඒ තත්ත්වයේ ම නොසිට නැවත නැවත උත්සාහ කිරීමෙන් අවශ්‍ය ජයග්‍රහණය ලබා ගන්නේ වෙනස්වීමට; පරිණාමයට පත්විමට ඉඩකඩ ලැබී ඇති බැවිනි.

* අසනීපයට පත් රෝගියාට සුවයක් ලබා ගැනීම සඳහා වෛද්‍ය උපදේශ ලබාගැනීමට හැකිකම ලැබෙන්නේ වෙනස්වීමට හෝ පරිණාමයට පත්වීම සඳහා ඉඩකඩ වෙන් වී ඇති බැවිනි.

* නිවසක් නොමැති තැනැත්තා එසේ නොසිට, නිවසක් ගොඩ නගාගෙන සුවසේ වාසය කිරීමට ඉඩ ලබා ගන්නේ වෙනස්වීමට පරිණාමයට පත්වීමට ඇති ඉඩකඩ නිසා ය.

* චුල්ලන්තේ වාසිකයා නැමැති තැනැත්තා මී කුණක් විකිණීමෙන් අවසානයේදී සිටුවරයකු බවට පත්වූයේ වෙනස්වීමට හෙවත් පරිණාමයට පත්වීමට ලැබුණු ඉඩකඩ නිසා ය.

* එසේම ධර්ම දේශනාවක් අසා තමන්ගේ් එක අඩුපාඩුවක් මඟ ඛ්රවා ගැනීමට හෝ එක් අතිරේක උසස් ගුණ දහමක් පුහුණු කර ගැනීමට හෝ මඟ පෑදෙන්නේ අනිත්‍යතාව වටහා ගැනීමෙනි.

* උපන් අකුසල් නැතිකිරීම, නූපන් අකුසල් නො ඉපදවීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් පැවැත්වීම යන සතර සම්‍යක් ප්‍රධාන සඳහා වීර්ය ඇතිකර ගත හැක්කේත් වෙනස්වීමට හෝ පරිණාමයට ඉඩකඩ ඇති බැවිනි.

දැනට අසූඑක්වන වියෙහි සිටින මම බණ මඬුව අසලට අකුලන පුටුවක් රැගෙන යමි. ස්වල්ප වේලාවක් බිම ඉඳගන්නා මම තව ස්වල්ප වේලාවක් නැගිට සිටිමි. අනතුරුව ස්වල්ප වේලාවක් අකුලන පුටුවෙහි වාඩිවෙමි. තව ටික වේලාවක් සක්මන් කරමි. මේ අයුරින් ඉරියව් මාරුකරන මට සවස් වනතුරුම සිල් බිමෙහි සතුටින් රැඳී සිටීමට හැකිකම ලැබී ඇත්තේ අනිත්‍ය සංකල්පයට මා එකඟ වී ඇති බැවිනි.

මේ මනුෂ්‍ය ජීවිතයේ නිත්‍ය ස්වභාවයක් ඇත්නම් එය ඉතාම අපි‍්‍රය එකක් වනු ඇති බව මගේ් වැටහීමයි. නිත්‍ය වුවහොත් අපට සියල්ල එපාවීමට ඉඩ තිබේ. එබැවින් අනිත්‍යය ගැන දුර්මුඛ විය යුතු නැත. අනිත්‍ය ස්වභාවය අපේ යහමඟට යොදාගත යුතු ය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.