Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවන් අවබෝධය තුළින් සිදුවන්නේ මිනිසා තුළ ආකල්පමය වෙනසක් ඇති වීමයි. සෑම මිනිසකුගේම ආකල්පවල ස්වභාවය නම් අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන් ගැනීම යි. දුක දේ සැප වශයෙන් ගැනීමයි. අනාත්ම දේ ආත්ම වශයෙන් ගැනීම යි. නිවන් දුටු විගස මෙම ආකල්ප නිවැරැදි වෙයි. එනම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියටත්, දුක් දේ දුක් හැටියටත් අනාත්ම දේ අනාත්ම හැටියටත් ගෙන මෙතෙක් පැවැති සාවද්‍ය ආකල්ප රටාවෙන් වෙනස් වී නව මිනිසෙකු නිර්මාණය වෙයි.

මිනිසා මුහුණපාන අතිශෝචනීය ගැටලුව මරණය යි. එම නිසා සෑම ආගමක්ම මරණයෙන් නිදහස් වීමේ මඟ සොයා ඇති බව පෙනෙයි. බොහෝ ආගම්වල ඊට ඉදිරිපත් කරන විසඳුම නම් මරණය නැති තැනකට පුද්ගලයාව යැවීමයි. එතැන, සදාකාලික ස්වර්ගය විය හැකි යි. නැතිනම් සදාකාලික නිරය විය හැකි යි. බුදු දහම අමරණීයත්වය සේ දක්වන්නේ, නිර්වාණයයි. බුදු වූ සැණින් උන්වහන්සේ දේශනා කරන්නේ “අමතං අධිගතං” අමරණීයත්වය තේරුම් ගත් බව යි. බරණැස ඉසිපතනයට යන අතරමඟ දී තමන් වහන්සේට මුණ ගැසුණු උපක ආජීවකයාට කියා සිටින්නේ ‘අමතං දුන්දුහිං’ අමරණීයත්වයේ බෙරය හැඩවීමට යන බව යි. එහෙත් බුදු දහම පෙන්වා දෙන නිර්වාණය, අනෙක් ආගම්වල උගන්වන අමරණීයත්වයට වඩා වෙනස් ය.

ප්‍රාග් බෞද්ධ කිසිදු මූලාශ්‍රයක විමුක්තිය හැඳින්වීම සඳහා ‘නිර්වාණ’ යන පදය යොදා නැත. හින්දු සම්ප්‍රදාය තුළ භගවත් ගීතාවේ එය මුල් වරට දක්නට ලැබෙන නමුත් ස්ථිර වශයෙන් එය සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රචිත ග්‍රන්ථයක් සේ සැළකිය හැකි ය. ඒ අනුව විමුක්තිය සඳහා ‘නිර්වාණ’ යන පදය මුලින්ම භාවිත කොට ඇත්තේ බුදුරදුන් විසින් විය යුතු ය. ත්‍රිපිටකයේ පැරැණිතම සූත්‍රවල චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ සඳහන් වන තැන්වල බොහෝ විට යොදාගෙන ඇත්තේ ‘නිර්වාණ’ යන පදයයි. මේ අනුව බුදුන් වහන්සේ මුල සිටම විමුක්තිය හැඳින්වීම සඳහා ‘නිබ්බාණ’ යන පදය යොදාගත් බව පැහැදිලි ය. රතන සූත්‍රයේ දී ‘නිබ්බන්ති ධීරා යථා යම් පදිපො’ යනුවෙන් රහතුන්ගේ ස්වභාවය දක්වා ඇත.

නිබ්බාණ යන පදයට සමාන අර්ථවත් පදයක් ලෙස ‘නිරෝධ’ යන්න සූත්‍රවල යෙදී ඇත. නිර්වාණයේ ස්වරූපය මැනවින් කියැවෙන්නේ නිරෝධ යන පදයෙනි. පුහුදුන් තැනැත්තා ඇතැයි ගන්නා දේ නිරුද්ධ වීම ප්‍රකාශ කිරීමට නිරෝධ යන පදය යොදා ඇත. ‘අවිද්‍යායත්තේව අසේස විරාග නිරෝධො නිබ්බාණං’ ඒ අනුව නිර්වාණය, අවිද්‍යාවගේ නිරෝධය වන්නේ ය.

නිර්වාණය යනු, ස්ථානවාචී පදාර්ථයක් නොවේ. පාලි ත්‍රිපිටකයෙන් පසු රචනා වූ නෙත්තිප්පකරණය, පේටකෝපදේශය, මිලින්දපඤ්හය වැනි ග්‍රන්ථවල පවා නිර්වාණය ස්ථානවාචී පදාර්ථයක් සේ සලකා නැත. මිලින්ද පඤ්හයේ නිර්වාණය ගැන දිගු විස්තරයක් දක්නට ලැබේ. එහිදී නාගසේන මහරහතන් වහන්සේ අවධාරණය කරන්නේ නිර්වාණය කියා හඳුනාගත හැකි ස්ථානයක් හෝ පදාර්ථයක්, කොහෙත්ම නැති බවයි. එහෙත් අටුවා යුගය වන විට මෙය වෙනස් ස, නිර්වාණය ස්ථානයක්, පදාර්ථයක් හැටියට හඳුනා ගැනීමේ උත්සාහයක් පැවැති බව පෙනෙයි.

නිවන් අවබෝධය තුළින් සිදුවන්නේ මිනිසා තුළ ආකල්පමය වෙනසක් ඇති වීමයි. සෑම මිනිසකුගේම ආකල්පවල ස්වභාවය නම් අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන් ගැනීම යි. දුක දේ සැප වශයෙන් ගැනීමයි. අනාත්ම දේ ආත්ම වශයෙන් ගැනීම යි. නිවන් දුටු විගස මෙම ආකල්පය නිවැරැදි වෙයි. එනම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියටත්, දුක් දේ දුක් හැටියටත් අනාත්ම දේ අනාත්ම හැටියටත් ගෙන මෙතෙක් පැවැති සාවද්‍ය ආකල්ප රටාවෙන් වෙනස් වී නව මිනිසෙකු නිර්මාණය වෙයි. ම.නි. අග්ගිවච්චගොත්ත සූත්‍රයේ දී පැහැදිලි කොට ඇත්තේ නිකුත්වන ගිනි සිළුව ක්‍රමයෙන් නිවී ගිය කල්හි එහි ස්වභාවය යම් සේ නොපෙනේ ද, නිවන් දකින රහතන් වහන්සේගේ ස්වභාවය ද එසේම යැයි සඳහන් කරයි. මේ කියන ගිනි උපමාව බුදුරදුන් දක්වා ඇත්තේ මරණයෙන් පසු රහතන් වහන්සේගේ තත්ත්වය ප්‍රකාශ කිරීමට නොව ජීවත්ව සිටින රහතන් වහන්සේගේ ස්වභාවය දැක්වීමට යි. මරණයෙන් පසු රහතන් වහන්සේ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් මුල් බුදු සමයේ දක්නට නැත. පෘතක්ජනයන් තුළ නිතර දැවෙන ගිනි තුනක් ඇත. එනම්,

1. රාග ගින්න
2. දෝස ගින්න
3. මෝහ ගින්න යනු යි.

නිවන් අවබෝධ කරනවා යනු, මේ ගිනි තුන නිවී යෑමයි. එසේ නිවී යන්නේ ජීවත්ව සිටින රහතන් වහන්සේ තුළ ය. වෙසෙසින් උන්වහන්සේ තුළ ආශා පිළිබඳ ගින්න නැත. එම නිසා තණ්හා, මාන, දිට්ඨි යන ගිනි ද නැත. රහතන් වහන්සේ හඳුනා ගැනීමට කිසි සළකුණක් නැත.

එම නිසා ‘නිවුණු පහන් සිල’ යන්න, උන්වහන්සේට දිය හැකි කදිම උපමාව යි. බුදු දහමෙහි උගන්වන නිර්වාණය ගැන කතා කරන විට වෙසෙසින්ම අවධානය යොමුවිය යුතු සූත්‍රයක් ඇත. එනම් ඉතිවුත්තක පාලියේ එන නිබ්බාණ ධාතු සූත්‍රයයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ නිබ්බාණ ධාතු දෙකක් සඳහන් කොට ඇත. එනම්,

1. සෝපදිසේස නිබ්බාණ ධාතුව
2. අනුපදිසේස නිබ්බාණ ධාතුව යනුයි.

සාම්ප්‍රදායික පිළිගැනීම නම් සෝපදිසේස නිබ්බාණ ධාතුව යනු, රහතන් වහන්සේ ජීවත්ව සිටියදීම ලබන අත්දැකීමයි. අනුපදිසේස නිබ්බාණ ධාතුව යනු, රහතන් වහන්සේ පිරිනිවීමෙන් පසු ලබන අත්දැකීමයි. නිබ්බාණ ධාතු සූත්‍රය ගැන විස්තර කථනයක යෙදුණු සියලු දෙනාගේම විශ්වාසය මෙය යි. එබඳු විශ්වාසයක් ඇති වීමට හේතුව නම් “උපදි” යන පදයෙන් පඤ්චස්ඛන්ධය අදහස් වෙතැයි ගැනීමට තුඩුදෙන කරුණු අදාළ සූත්‍ර අටුවාවේ දක්නට ලැබෙන හෙයිනි. නමුත් මෙය වැරැදි මතයකි. ඊට හේතුව නිර්වාණ යනු වෙනෙකක් නොව ජීවත්ව සිටින රහතන් වහන්සේ විසින් ලබන අත්දැකීමක් වන හෙයිනි. රහතන් වහන්සේ පඤ්චස්කන්ධය හැර ගිය පස් උන්වහන්සේගේ තත්ත්වය ගැන කිසි සාකච්ඡාවක් මුල් බුදු සමය තුළ නැත. එම නිසා සෝපදිසේස හා අනුපදිසේස යන නිබ්බාණධාතු දෙකම ජීවත්ව සිටින රහතන් වහන්සේගේ අත්දැකීම් විය යුතු ය. නිබ්බාණධාතු සූත්‍රය පරික්‍ෂාවෙන් බලන්නකුට මේ බව පැහැදිලි විය යුතු ය.

නිබ්බාණධාතු සූත්‍රයේ එන සෝපදිසේස යන පදයට නිර්වචන සපයා ඇත්තේ මෙසේ ය. එනම්, රහතන් වහන්සේගේ පසිඳුරන් ක්‍රියාත්මක වන බැවින්, උන්වහන්සේ ඒවායින් ලබන මනාප අමනාප අරමුණු, සුඛ දුක්ඛ වශයෙන් අත්දකින බවයි. රහත් වූ පමණට කෙනකුගේ පසිඳුරන්හි ක්‍රියාත්මක වීම නොනවතියි. එම නිසා අන් අයට සේම රහතන් වහන්සේට ද බාහිර අරමුණු ගෝචර වෙයි. උදාහරණ ලෙස දක්වතොත් ඇසට රූප පෙනෙයි. නහයට ගඳ සුවඳ දැනෙයි. රහත් වීම හේතුවෙන් උන්වහන්සේට ඒවා නොදැනෙන්නේ නොවෙයි. ඒවා අක්‍රිය වී නැත.

එකම වෙනස නම් ඒවා උපාදාන වශයෙන් දැඩිව අල්ලා නොගැනීම යි. එනම් සෝපදිසේස නිබ්බාණ ධාතුව නම්, කෙලෙස් ප්‍රහීණ කළ එම රහතන් වහන්සේ මෙම බාහිර අරමුණු වලට ගොදුරු වෙමින් ඒවාහි එල්බ ගැනීමක් නොමැතිව වාසය කිරීම යි. එබඳු රහතන් වහන්සේට වරින් වර මේ ගැටලුවෙන්, එනම් මේ පඤ්චස්කන්ධයට අරමුණු ගැනීමේ ගැටලුවෙන් නිදහස් වීමට සිත් දෙයි. එබඳු අවස්ථාවන්හි දී උන්වහන්සේ ධ්‍යාන සමාපත්ති ආදියට සමවැදි පසිඳුරන්ගේ ක්‍රියාකාරීත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදී නිර්වාණ අත්දැකීම තුළම සිටීමට තීරණය කර සමවදින නිරෝධ සමාපත්තියයි. එම තත්ත්වයට සමවැදී පසිඳුරන්ගේ ක්‍රියාකාරීත්වයෙන් වෙන් වී ලබන සුවය අනුපදිසේස නිර්වාණය යනුවෙන් දක්වා ඇත. ඒ අනුව මෙම නිර්වාණ අත්දැකීම ලබන්නේ ද පිරිනිවන් පෑ රහතන් වහන්සේ නොව, ජීවත්ව සිටින රහතන් වහන්සේ ය.

දෙදෙනකුට නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි ය. ඉන් එක් අයකු අනාගාමී තැනැත්තා ය. ඔහු නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි විට ආශ්‍රව දුරු නොකරන්නේ නම් සංයෝජන ධර්ම පහක් ඇති පුද්ගලයකුගේ තත්ත්වයට පත් වෙයි. අනෙක් තැනැත්තා නම් රහතන් වහන්සේ ය. උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි විට සියලු කෙලෙස් දුරුව ඇති හෙයින් පසිඳුරන්ගේ ක්‍රියාකාරීත්වය තුළ නිර්වාණ අත්දැකීමෙන් වැඩ වාසය කරයි. පසිඳුරන්ගේ ක්‍රියාකාරීත්වය නැතිව නිරෝධ සමාපත්තියේ සිටින, එමෙන්ම ජීවත්ව සිටින රහතන් වහන්සේගේ ස්වභාවය දැක්වීමට අනුපදිසේස නිර්වාණය ඉදිරිපත් කොට ඇත. මේ අනුව නිබ්බාණධාතු සූත්‍රයේ හෝ වෙනත් කිසිදු සූත්‍රයක රහතන් වහන්සේ පිරිනිවීමෙන් පසු ලබන අත්දැකීමක් පිළිබඳ කොහෙත්ම කතා කොට නැත.

නිර්වාණය ගැන කතා කරන විට, පහත සඳහන් සුත්ත නිපාත ගාථා වෙත අවධානය යොමු කිරීම, සුදුසු යැයි සිතමි.

අච්චි යථා වාතවෙගේන ඛිත්තො
අත්ථං ඵලෙති න උපෙති සඞ්කං
එවං මුනි නාමකායා විමුත්තො
අත්ථං ඵලෙති න උපෙති සඞ්කං

අත්ථං ගතස්ස න පමාණමත්ථි
යෙන නං වජ්ජු තං තස්ස නත්ථි
සබ්බෙසු ධම්මෙසු සමුහතෙසු
සමුහතා වාදපතාපි සබ්බෙති

විඤ්ඤාණං අනිදස්සනං
සමන්තං සබ්බසො පහං
ඵත්ථ ආපො ච පඨවි
තෙජො වායො නා ගාධති
ඵත්ථ දීඝං ච රස්සං ච
අනුං ථුලං සුභාසුහං
ඵත්ථ නාමඤ්ච රූපඤ්ච
අසෙසං උපරුජ්ඣති
විඤ්ඤාණස්ස නිරෝධෙන
ඵත්ථෙතං උපරුජ්ඣති

බොහෝ තැන්වල මෙම ගාථා තුනට අර්ථකථන සපයා ඇත්තේ, රහතන් වහන්සේගේ පිරිනිවනින් පසු පවතින තත්ත්වයක් ගම්‍ය කිරීම සඳහා ය. එහෙත් එම ගාථා පරීක්‍ෂාවෙන් බලන විට පෙනී යන්නේ ඒවායින් ජීවත්ව සිටින රහතන් වහන්සේ පිළිබඳ කරුණු කියැවෙන බවයි. රහතන් වහන්සේට “අත්ථංගත” යන විශේෂණ පදය යෙදෙන්නේ, බොහෝ දෙනා සිතා සිටින අන්දමට “අස්තයට ගිය” යන අර්ථය ගම්‍ය කිරීමට නොව “අර්ථයට පැමිණි” නොයෙසේ නම් “නිවන් දුටු” යන අර්ථය ප්‍රකාශ කිරීම සඳහා ය. මේ තත්ත්වය යටතේ පුහුදුන් තැනැත්තා හඳුනා ගැනීමට ව්‍යවහාර කරන කිසි පදයක් රහතන් වහන්සේට අදාළ නොවේ.

දෙවැනි ගාථාවෙන් කියැවෙන්නේ රහතන් වහන්සේ භාෂා ව්‍යවහාරය ඉක්මවා සිටින බව යි. පුහුදුන් තැනැත්තාගේ භාෂාව තුළ මානය ආදී කෙලෙස් ඇත. නමුත් රහතන් වහන්සේ මානය දුරු කළ බැවින් මානය හා සබැඳි භාෂාවෙන් උන්වහන්සේගේ තත්ත්වය නිවැරැදිව ප්‍රකාශ කළ නොහැකි ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.