Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාමාන්‍ය නිත්‍ය සීලය පඤ්චසීල ප්‍රතිපදාව වන අතර අටසිල්, දස සිල්, උපසම්පදා සිල්, ආදී වශයෙන් ආරක්‍ෂා කළ යුතු සීල ප්‍රතිපදාවන් රාශියක් ඇත. “කාය වාචානං සමෝදානං සීලං” යනුවෙන් දැක් වූ පරිදි කය වචන දෙක හික්මවා ගැනීමට සීලය උපස්ථම්භක වෙයි. එනම් කයෙන් හා චචනයෙන් සිදුවන වැරැදි වලින් වැළකී සිටීමයි. සීලාචාරකම පුද්ගලයෙකුගේ මනා චරිතවත්භාවය පෙන්නුම් කරන කැඩපතක් බඳු ය. යම් පුද්ගලයෙකු උසස් සිල් මනාව ආරක්‍ෂා කිරීම තුළින් ඔහුගේ හෝ ඇගේ ජීවිතය අර්ථවත් වන්නාක් මෙන්ම සෙසු ලෝකයාට ද මහඟු ආදර්ශයක් සපයයි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“අනූපවාදේ අනූපඝාතෝ
පාතිමොක්ඛෙ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්තං ච සයනාසනං
අධි චිත්තේ ච ආයෝගෝ
ඒතං බුද්ධාන සාසනං”

පින්වත්නි,

මෙ ම ගාථාව සැවැත්නුවර ජේතවනාරාමයේ දී අමාමෑණියන් වහන්සේ ආනන්ද තෙරුන් අරභයා දේශනා කරන ලද්දකි. මෙහි සාමාන්‍ය අදහස නම් අනුන්ට හෙළා තලා කතා නොකළ යුතු ය. අන්‍යන්ට හිංසා නොකළ යුතු ය. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙහි පිහිටිය යුතු ය. ආහාරයෙහි පමණ දැන ගත යුතු ය. ගමට දුර වූ වන සෙනසුන්හි ඇල්ම කළ යුතු ය. රූප අරූප අට සමවත්හි යෙදිය යුතු ය. යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

“අනූපවාදෝ” යන මුල්ම ධර්ම කාරණයෙන් බුදුරදුන් අවධාරණය කර ඇත්තේ වාග් සංවරයෙහි ඇති වටිනාකමයි. තමාගේ වචනය හික්මවා ගැනීමයි. “සාධු වාචාය සංවරෝ” යනුවෙන් දැක් වූ පරිදි වචනය සංවර කර ගැනීම යහපත් ය. යමක් මුවින් ප්‍රකාශ කිරීමට පෙරාතුව දෙවරක් කල්පනා කළ යුතු ය. තමාගේ වදන් තෙපලීම නිසා අන්‍යන්ගේ සිත් රිදේ ද අවැඩක් සිදුවේ ද යන්න මුලින්ම කල්පනා කළ යුතු වේ. කිසිවෙක් අනුන්ගේ දොස් පරොස් බස් අසන්නට අකමැති ය. තමා එයට අකමැති සේම සෙසු ජනයා ද අකමැති බව දැනගෙන ක්‍රියා කිරීම වටින්නේ ය. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම සහ හිස් වචන කීම යන චතුර් වාග් දුෂ්චරිතයෙන් වැලකී යහපත් වචන කථා කිරීම බුදු දහම අගය කර ඇත. “සුභාෂිතා ච යා වාචා” යනුවෙන් යහපත් වචන කථා කිරීම මෙලොව දියුණුවට හේතුවන මංගල කාරණයක් වශයෙන් ද මහා මංගල සූත්‍රයේ සඳහන් වේ. “මිතභාණී” යන්නට අනුව පමණ දැන කථා කිරීමට පුරුදු පුහුණු වීමද මෙහිලා වැදගත් වේ. මෙහි දැක්වෙන “අනූපඝාතො” යන්නට අනුව සත්වයන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකී සිටීම වැදගත් ධර්මතාවයකි.

උසස් සිල් ආරක්‍ෂා කිරීම “පාතිමොක්ඛ සංවරෝ” යන්නෙන් අදහස් කෙරේ. සාමාන්‍ය නිත්‍ය සීලය පඤ්චසීල ප්‍රතිපදාව වන අතර අටසිල්, දස සිල්, උපසම්පදා සිල්, ආදී වශයෙන් ආරක්‍ෂා කළ යුතු සීල ප්‍රතිපදාවන් රාශියක් ඇත. “කායවාචානං සමෝදානං සීලං” යනුවෙන් දැක් වූ පරිදි කය වචන දෙක හික්මවා ගැනීමට සීලය උපස්ථම්භක වෙයි. එනම් කයෙන් හා චචනයෙන් සිදුවන වැරදි වලින් වැළකී සිටීමයි. සීලාචාරකම පුද්ගලයෙකුගේ මනා චරිතවත්භාවය පෙන්නුම් කරන කැඩපතක් බඳු ය. යම් පුද්ගලයෙකු උසස් සිල්් මනාව ආරක්‍ෂා කිරීම තුළින් ඔහුගේ හෝ ඇගේ ජීවිතය අර්ථවත් වන්නාක් මෙන්ම සෙසු ලෝකයාට ද මහඟු ආදර්ශයක් සපයයි.

“මත්තඤ්ඤුතා ච භත්තස්මිං” පමණ දැන ආහාර ගැනීම, වැළඳීම සුදුසු බව මෙයින් අදහස් කෙරෙයි.වැළඳීමට හෝ අනුභව කිරීමට බෙදා ගත යුත්තේ තමාට පරිභෝජනය කිරීමට හැකි ප්‍රමාණය පමණි. මෙහි එක් අංශයක් නම් තමාට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට ආහාර ගැනීම තුළින් සමබරව ශරීරය පවත්වාගෙන යාමේ අපහසුතාවය ඉස්මතු වේ. මනා මානසික ඒකාග්‍රතාවයක් ඇතිකර ගැනීමට ශරීරයේ සමබරතාවය ද අත්‍යවශ්‍ය සාධකයකි. “පන්තං ච සයනාසනං”ජනයා වැඩි වශයෙන් නො ගැවසෙන විවේක ස්ථානයන්හි වාසය කිරීමට කැමති බව මෙයින් අදහස් කෙරේ. නික්ලේසී උත්තමයෝ ද ජනාකිර්ණ ඝෝෂාකාරී කලබලකාරී පරිසරය අගය නොකරති. එතුමන්ලා අගය කරන්නේ ද විවේකීව කාලය ගත කළ හැකි පරිසරයන් ය.

යෝගාවචර පුද්ගලයන්ට විශේෂයෙන්ම එවැනි සේනාසනයක් භාවනා කටයුතු සිදුකර ගැනීම සඳහා තිබිය යුතුමය. මක් නිසා ද යත් එවැනි නිසල පරිසරයක දී චිත්තේකාග්‍රතාවය ඇතිකර ගැනීමට පහසු වන බැවින් ය.

සම්බුදුපියාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූයේ ද උරුවෙල් දනව්ව නමැති ශාන්ත පරිසරයක් තිබූ ප්‍රදේශයකය.පුද්ගලයෙකුට කායික විවේචකයක් මෙන්ම මානසික විවේකයක් ද අවශ්‍ය ය. මෙවන් ස්වභාවික පරිසරයක් තුළ දී මනසට සැබෑ විවේකයක් ලබා ගැනීම උගහට නොවේ. “අධිචිත්තෝ ච ආයෝගෝ” යන්නෙන් අදහස් කරන්නේ රූපාවචර සහ අරූපාවචර යන සමාපත්තීන්හි නියුක්කව සිටීම ය. නිතර නිතර සමවත් සුවයෙහි යෙදී සිටීම ය. එවන් රූපාවචර සමාපත්ති හතරක් ද අරූපාවචර සමාපත්ති හතරක් ද ඇත.

01. විතක්ක විචාර පී‍්‍රති සුඛ එකග්ගතා සහිත පඨමජ්ඣානය.
02. විචාර පී‍්‍රති සුඛ එකග්ගතා සහිත දුතියජ්ඣානය.
03. පී‍්‍රති සුඛ එකග්ගතා සහිත තතියජ්ඣානය.
04. උපෙක්ඛා එකග්ගතා සහිත චතුත්ථජ්ඣානය.

කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන පඤ්ච නීවරණය ධර්මයන්ගෙන් ඈත්ව කසිණාදියක් අරමුණු කොට ගෙන භාවනා කිරීමෙන් මෙම සමාපත්තිය උපදවා ගත හැකි ය. රූපාවචර තත්ත්වයෙන් දියුණුවක් ලබා ඇති තැනැත්තාට ඉන් අනතුරුව රූප පිළිබඳ ක්‍ෂේත්‍රයෙන් සිත ඉහළට ඔසවා අරූප තත්ත්වයට දියුණු කර ගත හැකි ය.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අරූපාවචර සමාපත්ති උපදවා ගැනීමට අවස්ථාව සැලසේ.එනම්,

01. ආකාසානඤ්චායතනය.
02. ව්ඤ්ඤාණඤ්චායතනය.
03. ආකිංචඤ්ඤායතනය.
04. නෙවසඤ්ඤා නා සඤ්ඤායතනය.

ජීවිත යාත්‍රාව තුළ මෙමධර්ම පද්ධතීන් සක්‍රීය කර ගැනීම තුළින් අර්ථවත් ජීවිතයක් පවත්වාගෙන යාමට මං පෙත් විවර වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.