Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ ලෙසින් ම අවශ්‍ය සහ අර්ථදායක තන්හි දී ජනතාවගේ සිත සහ සිතිවිලි වෙනස් කිරීමේලා ප්‍රබල කාර්ය භාරයක් භික්‍ෂුව සතු ය. තමන් ආධ්‍යාත්මික හා චින්තන පරිවර්තනයක් සඳහා යත්න දැරීමෙන් තොරව, බාහිර සමාජය තුළ එවන් වෙනසක් ඇති කරන්නට උත්සාහ දැරීම, සැබවින් ම කැඩපතක පිළිබිඹු වන වස්තුව වෙනස් නොකර,එහි පිළිබිඹුව වෙනස් කරන්නට දරන මුග්ධ ප්‍රයත්නයක් වැනි ය.

වර්තමාන සමාජය බෙහෙවින් සංකීර්ණ ගැටලු, බාධක, අර්බුද සහ අසහනවලට මුහුණපා සිටී. සමස්ත ලෝකය පුරා බරපතලසමාජික සහ මනෝවිද්‍යාත්මක ගැටලු සමග වෙළී, පැටලී ඇති සේ ය. අපි අද නූතන විද්‍යාව හා තාක්‍ෂණය විසින් සලසා දෙන ලද භෞතික සම්පත් වලින් සමෘද්ධිමත් වී සිටිමු. එහෙත් එය ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක ප්‍රගතියෙන් අත්‍යන්ත පරිහානියට පත්වීමක් බව බලවත් කනස්සල්ලෙන් අවධාරණය කළ යුත්තක්ව තිබේ. එබැවින් වඩා යහපත් ලෝකයක් සඳහා අපේ භූමිකාව හා වගකීම සහතික කරන්නට කාලය එළඹ තිබේ. එයින් මිනිසාගේම කෲරත්වයෙන් ඇතිවිය හැකි විනාශය වළක්වා ගත හැකි වනු ඇත.

මෙකී අරමුණ විෂයයෙහි මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය, මාර්ගෝපදේශයක් ලෙස නොයෙක් අතින් පරිපූර්ණය. බුදුරජාණන් වහන්සේ මෙවන් බරපතළ අවස්ථා වලදී සමාජයේ යහපත පිණිස කටයුතු කල යුතු ආකාරය ගැන භික්‍ෂූන් වහන්සේට අනුදැන වදාරා ඇත. එබැවින් එහිලා භික්‍ෂූන් වහන්සේ මත බරපතළ වගකීමක් පැවරී තිබේ. එහෙයින් ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ නිවැරදි මඟට උන්වහන්සේ මෙහෙයැවීම වැදගත් වගකීමකි. ඒ අනුව සමස්ත සමාජයේ පාරිශුද්ධිය, ස්ථාවරත්වය හා පරිපූර්ණත්වය පිණිස උන්වහන්සේට දැඩි ප්‍රයත්නයක යෙදෙන්නට සිදුවනු ඇත.

මේ අරමුණ සපුරා ගන්නට සදාචාරාත්මක හැසිරීම බෙහෙවින් වැදගත් ය, අත්‍යවශ්‍ය ය. කෙසේ හෝ මූලික පියවර වන්නේ සදාචාරයමය. එය මානසික සංයමය හෙවත් භාවනාව විසින් ම මෙහෙයවනු ලැබිය යුත්තකි. එකී ඉලක්කය වෙත හැම පුද්ගලයකු ම වාගේ ආකර්ෂණය කර ගන්නට භික්‍ෂූන් වහන්සේට ප්‍රබල මෙහෙයුම් ශක්තියක් තිබේ.

පුද්ගලයාට සිය පෞරුෂය හැඩගසා ගන්නා ආකාරය බෞද්ධ ඉගැන්වීම් වලින් පැහැදිලිව අවධාරණය කෙරේ. ඉක්බිති පිළිවෙළින් පරම නිෂ්ටාව හෙවත් නිර්වාණය පිණිස මඟ හෙළි කරනු ලැබේ. මේ අරමුණ සාක්‍ෂාත් කරනු සඳහා ලෝභය, ද්වේෂය, මෝහය සහ එයට සම්බන්ධ අනෙක් සියලු කෙලෙස් මුලිනුපුටා දැමිය යුතු ය. මේ අරමුණ දිනා ගනු පිණිස මඟ පෙන්වන එක ම අර්ථසම්පන්න අත්දැකීම ඇත්තේ සංඝයා වහන්සේ වෙතය. ඉහත දැක්වුණු තත්ත්වය අනුව, සැබෑ ලෙසින් ම අවශ්‍ය සහ අර්ථදායක තන්හි දී ජනතාවගේ සිත සහ සිතිවිලි වෙනස් කිරීමේලා ප්‍රබල කාර්ය භාරයක් භික්‍ෂුව සතු ය. තමන් ආධ්‍යාත්මික හා චින්තන පරිවර්තනයක් සඳහා යත්න දැරීමෙන් තොරව, බාහිර සමාජය තුළ එවන් වෙනසක් ඇති කරන්නට උත්සාහ දැරීම, සැබවින් ම කැඩපතක පිළිබිඹු වන වස්තුව වෙනස් නොකර,එහි පිළිබිඹුව වෙනස් කරන්නට දරන මුග්ධ ප්‍රයත්නයක් වැනි ය.

සිතිවිලි හා ආකල්ප වෙනස් කිරීමේලා බුදුන්වහන්සේගේ ඉගැන්වීම් පාලි මූල ග්‍රන්ථයන්හි ඇතුළත් බොහෝ දේශනාවල මැනවින් සහතික කර ඇත. වරක් එක්තරා දේවතාවෙක් බුදුන් වහන්සේ වෙත එළඹ මෙසේ ඇසී ය.

“අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිකා පජා තං තං ගෝතම පුච්ඡාමි - කෝ ඉම් විජටයේ ජටං”

“ඇතුළත් ගැටය, පිටත් ගැටය, ප්‍රජාව මේ ගැටවලින් ගැටගැසී සිටිත්. ගෞතමයාණන් වහන්ස, ඒ ගැන අසමි. කවරෙක් මේ ගැටය ලිහත්ද?”

එහිලා අපමණක් අවුල්, වියවුල්, අසහනය, සංකීර්ණ ප්‍රශ්න හා ගැටුම් වලින් දරුණු ලෙස වෙහෙසට පත් නූතන ලෝකයට බුදුන් වහන්සේගේ පිළිතුර තරයේ වැදගත් ය. මේ උන්වහන්සේගේ පිළිතුරයි.

“සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ - චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපී නිපකෝ භික්‍ඛු - සෝ ඉමං විජටයේ ජටං”

“ ප්‍රඥාවන්ත පුද්ගලයා සීලයෙහි පිහිටා සිත සහ ප්‍රඥාව වඩයි. කෙලෙස් තවන වෙර ඇති නිපුණ භික්‍ෂුව මේ ගැටය ලිහයි.”

මේ අනුව කෙනෙකුට සදාචාරය, සමාධි භාවනාව සහ ප්‍රඥා භාවනාව ප්‍රගුණ කොට සීලසම්පන්න විය හැකි ය. සිත දමනය කිරීම ප්‍රඥා වර්ධනයට මාර්ගයයි. ප්‍රඥා මාර්ගය වන්නේ ආධ්‍යාත්මික සදාචාර මාර්ගයයි. නානාප්‍රකාර වරදට පෙළඹවීමේ සංකීර්ණත්වයෙන් පිරි ලෝකය තුළ සාමය සාක්ෂාත් කර ගත හැකි වන්නේ සදාචාරයෙන් හෙවත් විරාගී චරණයෙනි.

එනම් කෙනෙකුගේ සිතෙහි ආධ්‍යාත්මික ලෝකය තුළ සාමය අත්දකින්නට හැක්කේ භාවනාව මඟිනි. පූර්ණ නිදහස සහ සාමය සහිත සිත, ප්‍රඥාව හෝ අන්තර්ඥානයේ උත්පත්ති ස්ථානයයි. එය පරම නිෂ්ටාව හෙවත් නිර්වාණය හෝ නිරපේක්‍ෂ සාමය සහ සන්තුෂ්ටියයි. අවසාන වශයෙන් මම ඔබේ අවධානය තවත් අතකට යොමු කරමි.

එනම් නූතන මිනිසා විසින් මෙහෙයවනු ලබන ගැටුම් සහ අසහනයයි. මේ අර්බුදවල වෙනසක් දැකිය හැක්කේ කෙසේද? එකී අර්බුදයන්ගේ අවසාන ය පිළිබඳ වගකීම ඇත්තේ කවුරුන් අත ද? මේ සම්බන්ධයෙන් මා තුළ එක්තරා සහතිකයක් ඇත. එනම්, මෙහිලා වඩාත් ප්‍රතිඵලදායක කාර්ය භාරයක් ඉටු කළ හැකි වන්නේ බෞද්ධයන් වන අපට, එනම් විශේෂයෙන් ම භික්‍ෂූන් වහන්සේට ය.

බුදුදහම වනාහි හුදෙක් සජීවී විශ්වාසයක් හෙවත් භක්තියක් පමණක් නොවේ. එය නූතන විද්‍යාව සමඟ අත්‍යන්තයෙන් ගැළපෙන ආගමකි. නූතන සමාජය මගින් මහා පරිමාණ වශයෙන් බලපෑ හැකි හොඳම දායකත්වය වන්නේ චිත්තධර්ම විද්‍යාවයි. එහිලා ජනතාවට උදව් කළ හැක්කා හු පැවිදි සමාජයේ සාමාජිකයන් වන අපි වෙමු. අපට ඉතා පුළුල් ප්‍රමාණයෙන් ජනතාව අමතන්නට පුළුවන.

නව ක්‍රමවේද සහ උපායමර්ග හඳුන්වා දෙමින් මානසික සංවර්ධන කාර්යයෙහි පූර්වාදර්ශයක් වන්නට අපට පුළුවන. දැන් අප විසින් බෞද්ධ භාවනාක්‍රම ව්‍යාප්ත කරන්නට ක්‍රමෝපායයන් සෙවිය යුතු ය. එහිලා බුදුන් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද සුදුසු ක්‍රම හතළිහක් අපට තිබේ. මේ විශිෂ්ට අරමුණ ඉටු කර ගැනීමේ ලා මහා සංඝයා වහන්සේට ඉටු කල හැකි ප්‍රබල හා ගෞරවණීය කාර්ය භාරයක් ඇත. අවසාන වශයෙන් මම යළිත් වරක් බුද්ධ වචනය කෙරෙහි අවධානය යොමු කරන්නට කැමැත්තෙමි.

“අප්පමාදරාත හෝථ - සචිත්තමනුරක්ඛථ දුග්ගා උද්ධරථත්තානං - පංකේ සත්තෝච කුඤ්ජරෝ” (ධම්මපද 327 )

“නොපමා බවෙහි ඇලෙවු. සිත රැක ගනිවු. මඩෙහි එරුණු ඇතකු එයින් ගොඩ නැගෙන්නාක් මෙන් කෙලෙස් මඩ වගුරෙහි එරුණු තමා එයින් ගොඩ ගනිවු.”

(2008.09.28 වනදා බුදුසරණ පුවත්පතේ පළ වූ කණුමුල්දෙණියේ ධර්මාශෝක හිමියන්ගේ The Sangha and Buddhist Meditation මැයින් වූ ලිපියේ පරිවර්තනයකි.)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.