Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

බුදු හිමියෝ ‘පෙර තිරිසනුන් ළඟ පවා තිබුණු ගුණ දැන් නුඹලා ළඟ නැතැයි කියා, ආධුනික පැවිද්දන් වෘද්ධයන්ට සෙනසුන් නොදීම දුක්කටාපත්තියට පත්වීමට හේතු වේ’ යැයි වදාළහ. කුල වෘද්ධ, ගුරා වෘද්ධ, වයෝ වෘද්ධ යන වෘද්ධයන් තිදෙනාගෙන් ගුණ වෘද්ධයන්ට හා වයෝ වෘද්ධයන්ට යමෙක් සලකනව නම් හේ මෙලොවදී අන්‍යයන්ගේ පැසසුමට ලක්වන බවත්, මියපරලොව ගිය පසු සුගතියෙහි උපදින බවත් වදාළහ

මාතලිය, සිල්වත්, බොහෝ කලක් එකඟ කළ සිත් ඇති, බඹසර වසන යහපත් පැවිද්දන්ටයි. වඳින්නේ කියා. තවද මාතලිය, පින්කරන, සිල්වත් යම් ගෘහස්ථ උපාසක කෙනෙක් වෙත්නම් ඔවුන්ටද එසේම දැහැමින් අඹුදරුවන් පෝෂණය කරන යමෙක් වේ නම් ඔවුන්ටද වඳිමියි කීවා. (සක්ක නමස්සන සූ.) මෙයින් කියන්නෙත් ගුණ ධර්මවලින් වැඩිහිටි සිල්වත් ගුණවත් අයට ශක්‍රයා පවා වඳින බව යි. දේවත්වයට වඩා ගුණධර්ම උතුම් බව නේද මෙයින් කියන්නේ? ඒ නිසා අප ගුණධර්මවලින් පෝසත් වීමයි කළ යුත්තේ.

වැඩිහිටියන්ට සැලකීම පිළිබඳ හොඳ පුවතක් ජාතක පොතේ ‘තුලාවක’ ජාතකයේ කියැවෙනවා. ‘තිත්තිර’ ජාතකයෙහි සඳහන් පුවත කියන්නෙත් මෙබඳු සිද්ධියක් ගැන. අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය පිළිගන්නට බුදුරදුන්ට ආරාධනා කළ අවස්ථාවේ සංඝයා සමග එහි වැඩම කළ ගමනේදී දිනක් කිසියම් ස්ථානයක රාත්‍රි නවාතැන් ගන්නට උන්වහන්සේ ඇතුළු සංඝයාට සිද්ධ වුණා. මේ අවස්ථාවේ ඡබ්බග්ගිය භික්ෂුහු නවාතැන්පලට කල්තියා ගොස් එහි වූ ආසන ඔවුන්ට වෙන්කර ගත්තා. පසුව වැඩිය සැරියුත් හාමුදුරුවන්ට සැතපෙන්න ආසනයක් ලැබුණේ නැහැ. උන්වහන්සේ බුදුරදුන් වැඩ සිටි කුටිය ඉදිරිපස වූ ගහක් යට සක්මන් කරමින් රාත්‍රිය ගත කළා. අලුයම බුදුරදුන් අවදි වී එළියට පැමිණ උගුර හැඬ වූ විට සැරියුත් හාමුදුරුවන් ද උගුර හැඬෙව්ව ‘ඔය කවුරුදැයි’ බුදුරදුන් ඇසූවිට ස්වාමිනි, මම සාරිපුත්තයැයි සැරියුත් හාමුදුරුවෝ කීවා. ඇයි ඔය ගහ යට කියල ඇසුවාම සැරියුත් හාමුදුරුවන් කීවා ස්වාමිනි, මට සෙනසුනක් ලැබුණේ නැති නිසා මුළු රැයෙහිම මේ ගහමුල සක්මන් කරමින් ගත කළා කියලා. මා සිටිද්දීම මගේ අගසවුවනට භික්ෂූන් නොසලකන්නේ නම් මාගෙන් පසු මොන තත්ත්වයක් උදාවේද? කියල උන්වහන්සේට සංවේගයක් ඇතිවුණා. එවෙලෙම සියලු භික්ෂූන් රැස්කරවල බුදුරදුන් වදාළ මගේ ශාසනයෙහි අග්‍ර ආසන, අග්‍ර උදක, අග්‍ර ආහාර ලැබීමට සුදුස්සො උපසම්පදාවෙන් වැඩිහිටි භික්ෂූන් මිසක් වෙන වෙන උසස්කම් තියෙන ඇත්තන් නොවන බව. ඒ අනුව මාගේ සසුනේ වැඩිහිටියන් වන්නේ මාර්ගඵලලාභීන් හෝ ධ්‍යානාදිය ලැබූවන් හෝ කුල ගෝත්‍රවලින් උසස් අය හෝ වෙන කවර දෙයකින්වත් උසස් අය නොව, උපසම්පදාවෙන් වැඩිහිටි භික්ෂූන් යැයි අනුශාසනා කළහ. තවදුරටත් උන්වහන්සේ මහණෙනි, මේ සසුනෙහි වෘද්ධ පටිපාටිය අනුව වැඩිහිටියන්ට වැඳීම, හුනස්නයෙන් නැගීම, ඇදිලි බැඳීම, ආදර ගෞරව කිරීමාදිය මෙන්ම අග්‍රාසන, අග්‍රෝදක, අග්‍රපිණ්ඩ ද ලැබිය යුත්තන් වන්නේ වැඩිහිටි භික්ෂූහු යැයි වදාළහ. මහණෙනි, මෙකල වැඩිහිටි තෙරුන් සාරිපුත්‍රයෝ ය. උන්වහන්සේ මා අනුව දම්සක් දෙසති. එහෙත් උන්වහන්සේ ඊයේ රාත්‍රි සෙනසුනක් නොලැබ පහන්වන තුරු එළිමහනේ සක්මනින් කල් ගෙවූහ. මා සිටියදී මෙසේනම්, මාගේ පිරිනිවීමෙන් පසු අනාගතයෙහි කවර තත්ත්වයක් ඇති වේ දැයි කියා භික්ෂූන්ට අවවාද කොට, මෙසේ ද වදාළහ.

මහණෙනි, පෙර තිරිසනුන් පවා වැඩිහිටියන්ට ගරු සැලකිලි කළහයි කියා තිත්තිර ජාතකය වදාළහ. පෙර දවස හිමවත් විසූ වටුවෙක්, වඳුරෙක් හා ඇතෙක් යහළු වී සමානයන් වශයෙන් ඇසුරු කරමින් විසූහ. මෙසේ විසීම නුසුදුසු යැයි සිතූ මේ තිදෙනා අප අතරින් වැඩිහිටියා තෝරාගෙන ඔහුට වැඳුම් පිදුම් ගරු සැලකිලි කරමින් වෙසෙමුයි කතිකා කොට, නුග රුකක් මුලට රැස්වූහ. පළමුව වටුවා සහ වඳුරා යන දෙදෙනා එක්ව ඇතාගෙන් මේ නුගරුක ඔබ දන්නේ කොතරම් කාලයක සිට ද? කියා ඇසුවා. එවිට ඇතා යහළුවෙනි, මේ නුගරුක කුඩා පැළයක් අවදියේදී මා මෙතනින් යන කොට මෙහි මුදුන් දළුව මාගේ නාභියෙහි ගෑවුණේ යැයි කීය. අනතුරුව වටුවා සහ ඇතා එක්ව වඳුරාගෙනුත් එසේම ඇසූහ. යහළුවනි, මා කුඩා කල බිම හිඳගෙන හිස නොඔසවාම මෙහි මුදුන් දළුව කෑවෙමියි වඳුරා කීය. අන්තිමට වඳුරා හා ඇතා දෙදෙනා ඔබ මෙය ගැන දන්නේ කවර කලක සිටදැයි වටුවාගෙන් ඇසූහ. යහළුවනි, මම පෙර අසවල් තැන තිබුණු නුගරුකෙන් ගෙඩියක් කා මෙහි පැහැරුවෙමි. එයින් මේ ගස හට ගැනුණියි කීය. අනතුරුව තිදෙනාම එක්ව වටුවා දෙටු බව තීරණය කොට, ඔහුට වැඳුම් පිදුම් ගරු සත්කාර කරමින් ඔහුගේ අවවාද අනුශසානා පිළිපදිමින් පන්සිල් රැක මරණින් පසු දෙව්ලොව උපන්හයි අතීත කථාව දේශනා කළහ. මෙය දෙසූ බුදුහිමියෝ පෙර තිරිසනුන් ළඟ පවා තිබුණු ගුණ දැන් නුඹලා ළඟ නැතැයි කියා ආධුනික පැවිද්දන් වෘද්ධයන්ට සෙනසුන් නොදීම දුක්කටාපත්තියට පත්වීමට හේතුවන බව වදාළහ. කුල වෘද්ධ, ගුරා වෘද්ධ, වයෝ වෘද්ධ යන වෘද්ධයන් තිදෙනාගෙන් ගුණ වෘද්ධයන්ට හා වයෝ වෘද්ධයන්ට යමෙක් සලකනව නම් හේ මෙලොවදී අන්‍යයන්ගේ පැසසුමට ලක්වන බවත්, මියපරලොව ගිය පසු සුගතියෙහි උපදින බවත් වදාළහ. තවදුරටත් කරුණු දැක්වූ බුදුහිමියෝ මහණෙනි, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ වෛශ්‍ය, ශුද්‍ර යන කිසියම් වර්ගයකට අයත් වූ හෝ ගිහි වූ හෝ පැවිදි වූ හෝ යම් කෙනෙක් කුල දෙටුවන් පිදීමේ දක්ෂ නම් එසේම ගුණවෘද්ධයන්ට හා වයෝවෘද්ධයන්ට ආදර කෙරේ නම් ඔවුහු මේ ආත්මයේදීම ජෙට්ඨා පචායන කර්මයෙහි නියුක්ත වූවෝ යැයි පැසසුම් ලබන බවත් මරණින් මතු සුගතියෙහි උපත ලබන බවත් වදාළහ.

දිනක් බුදුරදුන් භික්ෂූන් අමතා මෙහෙම වදාරනවා. (අංගුත්තර නිකාය) මහණෙනි, බුද්ධත්වයට පත් වූ මට අදහසක් ඇතිවුණා. වැඩිහිටියන්ට නොසලකා විසීම නුසුදුසු ය කියලා. එසේ සිතල මා කවර නම් මහණ බමුණකු ඇසුරු කරමින් ඔහුට සත්කාර ගරුකාර කරමින් වසනවද? කියල දිවැසින් බැලුවා. නමුත් මුළු තුන්ලොවම මාගේ ගුරුකමට ගතහැකි කිසිවකු මට දකින්නට ලැබුණේ නැහැ. අන්තිමට මා තීරණය කළා මා අමාරුවෙන් අවබෝධ කරගත් ධර්මයම ගුරු තන්හි තබාගෙන ගරු සත්කාර කරමින් වසන්නට ඕන කියල. මෙයින් අපට පෙනෙනවා ලොවුතුරා බුදුරදුන් පවා තමන්ට වඩා උසස් වූ ධර්මය තම ගුරු තන්හි තබාගෙන එයට ගරු සැලකිලි කරමින් වාද්ධාපචායනයෙහි යෙදුණු බව. එසේ නම් අප වැනි අයට ගුරුවරු කී දෙනෙක් සිටිය යුතු ද? කියල ඔබම හිතන්න. ඒ තරමට වැඩිහිටියන්ගෙන් උගත යුතු පාඩම් අපට තියෙනවා.

වයසින් බාල වුවත් අර්ථවත් සත්‍යවාදී වචන කථා කරනව නම් ඒ පණ්ඩිත පුද්ගලයාට ථෙර (වැඩිහිටි) යැයි කියනව. (අං. නි. මහානාම සාක්‍ය සූ.) බුදුරජාණන් වහන්සේ තවක් අවස්ථාවක වදාරනවා මහණෙනි දිනක් මා විශාලා මහනුවර මහා වනයෙහි දානය වළඳා විවේකීව ගහක් යට සිටින කොට ලිච්ඡවි කුමාරවරුන් දුනු හී රැගෙන බල්ලන් සමග වනයේ දඩයමේ ගියා කියා. ඔවුන් මා දකලා ළඟට අවුත් මට වැඳල මා අසල හැසිරෙමින් සිටියා. ඒ අවස්ථාවේ මහානාම ලිච්ඡවිත් ජංඝා විහාණය පිණිස එතනින් යන විට ඔහු දැක්ක ලිච්ඡවි කුමාරවරුන් මා ළඟ සන්සුන්ව වැඳගෙන ඉන්න හැටි. ඔහුත් මා සමීපයට අවුත් වැදළ ඉඳගෙන ‘හවිස්සති වජ්ජි’ ‘හවිස්සති වජ්ජි’ කියල ඒ පිළිබඳ සතුට ප්‍රකාශ කළා. ඒ අස්ථාවෙ මා ඇසුව ඇයි මහනාම, ඔබ උදානයක් ප්‍රකාශ කළේ කියල. මහානාම කියනව ස්වාමිනි, මේ ලිච්ඡවි තරුණයෝ හරිම අකීකරු සැඩඵරුෂ, කාටවත් නොසලකන, කාන්තාවන්ට පවා නිගා කරන පිරිසක්. එ බඳු මොවුන් ඔබ වහන්සේ ළඟ මෙහෙම නිශ්ශබ්දව සිටින එක මහ පුදුමයි. ඒ අවස්ථාවෙ මා කීවා මහානාම පුද්ගලයාගේ දියුණුවට හේතුවන කරුණු පහක් තිබෙනවා. යමෙක් වීර්යයෙන්, බහුශක්තියෙන් දහඩිය වගුරුලා ධර්මිකව උපයා ගත් දෙයින් මවුපියන් පෝෂණය කරනවා නම්, මවුපියෝද කාරුණික සිතින් ඔවුනට අනුකම්පා කරති. දරුවෝ බොහෝ කල් දිනෙත්වා යි පතති. එවිට දරුවන්ගේ දියුණුවක් මිස පිරිහීමක් නොවේ.

එම දැහැමි ධනයෙන් අඹුදරුවන් පෝෂණය කරනවා නම් දාසි කම්කරුවන් පෝෂණය කරනවා නම් ඔවුහුද ස්වාමියාට පෙරළා ආශිර්වාද කෙරෙති. එයත් ඔවුන්ගේ මෙලොව දියුණුවට හේතුවෙයි. තමාගේ කෙත්වතුවල සේවය කරන අයට සලකන විට ඔවුහුද තමාට ආශිර්වාද කරති. දේවතා බලි දෙනව නම් ඒවා ලබන දේවතාවෝද ආශිර්වාද කරති. මහණ බමුණන්ට සලකන විට ඔවුහුද පෙරළා ආශිර්වාද කරති. මහනාම ඒ අනුව මේ පඤ්ච ධර්ම යමෙක් ආරක්ෂා කරනව නම් හේ මෙලොවදීම දියුණුවේ යැයි මම ඔවුනට දේශනා කළා. වැඩිහිටියන් කියන්නෙ ඔබ වගේම කායික ශක්තියෙන් යුක්තව සිටි අය.

ඒ අය ඔබේ දියුණුවට මොනතරම් සේවයක් කරල ද මෙසේ දුබල වී සිටින්නේ කියල හිතන්න. එසේනම් ඔබ වෙනුවෙන් සේවය කොට දුබලව සිටින වැඩිහිටියන් කවර කෙනෙක් වේවා ඔහුට ඇයට සැලකීම ඔබේ පරම යුතුකම බව සිතන්න.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.