Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


LINK -2009.03.04 පත්‍රය හා සම්බන්ධයි

කුඩා දරුවාට සිසු ජීවිතයට, තරුණ අයට, වැඩිහිටි අයට, ස්ත්‍රී පුරුෂයන්ට, දෙවි මිනිසුන්ට සමාජයේ විවිධ කොටස්වලට, ගුරුවරුන්ට, වෛද්‍යවරුන්ට, අධ්‍යාපන විශේෂඥයන්ට, මනෝ විද්‍යා ඥයන්ට, සත්‍ය ගවේෂකයන්ට, දාර්ශනිකයන්ට, රාජ්‍ය පාලකයන්ට, දේශපාලකයන්ට, කලා කරුවන්ට, මේ ආදී සෑම තරාතිරමකම සිටින අයට බුදු දහමේ එන ඉගැන්වීම් වලින් ගත හැකි ඵල ප්‍රයෝජන අපමණ ය.

බුදුවරයකු පහළ වන්නේ, ප්‍රධාන කරුණු සතරක් අනාවරණය කිරීමට යි. සත්වයා ප්‍රශ්නවලින් හෙවත් දුකෙන් යුක්ත බවත්, එයට හේතු ඇති බවත් (තණ්හාව) ඒ ගැටලුවලින් නිදහස් වීමක් (නිවනක්) සහ එයට ක්‍රමයක් - මාර්ගයක් ඇති බවත් (අරි අට මඟ) පෙන්වාදීම සඳහා ය. මේ තත්ත්වය කිසියම් බලවතෙකුගේ නිර්මාණයක් නොව, බුදුවරයකු පහළ වූවත් නැතත් විශ්වය තුළ පවතින සදාතනික ස්වභාවයකි. මේ යථාර්ථය ඇති සැටියෙන් දැක්වීම ලොව පවතින මෙම යථාර්ථය දැකීම පිළිබඳ විමසා බැලූ කළ බුදුසමය පෙන්වා දෙන්නේ සුබවාදී ක්‍රියාමාර්ගයක් බව පෙනෙයි. දුකත් එයට හේතුවත් පෙන්වා ඉන් නිදහස් වන ආකාරය එළිදැක්වන බැවිනි. ඒ නිසා බුදුදහම සුබ අසුභ අන්ත දෙකටම නොවැටුණත් අසුභවාදයට වඩා සුභවාදී පැත්තක් පෙන්වන බව කිව යුතුය. ලොව දුක මත පිහිටා ඇති බව අවධාරණය කරන අතර, ඉන් නිදහස්වීමට ඒකායන මාර්ගයක් නිර්දේශ කරයි.

බෞද්ධ දර්ශනය විමුක්ති මාර්ගයක් පමණක් නොව, සදාචාරාත්මක ජීවන දර්ශනයක් ද වෙයි. තුන් ආකාරයක (ත්‍රිවිධ ශික්‍ෂා) හික්මීමේ ක්‍රමයක්ද උගන්වා ඇත. සීල, සමාධි, ප්‍රඥා යනු කය, වචනය හික්මීම තුළින් සදාචාරමය දියුණුවක් සීලයෙන් ද, මනස සන්සුන් කර සිතෙහි සංවර්ධනය සමාධිය මගින්ද නුවන දියුණු කිරීම ප්‍රඥාව මගින්ද සිදු කෙරේ. මේ ත්‍රිවිධ ශික්ෂණයෙහි ප්‍රතිඵල විමර්ශනය කළ කල්හි බුදු දහම පරලොවට වඩා මෙලොවට ප්‍රයෝජනකවත් වන බව පැහැදිලි වනු ඇත. සීලයෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිඵල 5 ක් ගැන සඳහන් වෙයි. භෞතික ධන සම්පත් හා ශ්‍රද්ධාදී උතුම් ධන 7 ක් ලැබීම, 2. කීර්ති ගුණ ඝෝෂාව පැතිරීම, 3. සමාජය වෙත බිය සැකෙන් තොරව එළඹිය හැකි බව, 4. සිහි මුලාවෙන් තොරව කලුරිය කිරීම, 5. මරණයෙන් පසු සුගතිගාමී වීම යන ආනිශංස සිල් රැකීමෙන් ඉබේම ලැබෙන බව දේශනා කර ඇත. මින් 4ක්ම මෙලොවදීම ලැබෙන ප්‍රතිඵල වෙයි. භාවනාවෙන් විශේෂයෙන් සමථ භාවනාවක් වන මෛත්‍රීය වැඩීමෙන් ලැබෙන ආනිශංස 11 ක් ගැන ඉගැන්වෙයි. ඉන් 10ක්ම මේ ජීවිතයේදීම අත්දැකිය හැකි ප්‍රතිඵල ය. මෙත් සිත දියුණු කිරීම නිසා 1. සැපසේ නින්ද යයි, 2. සුවසේ අවදි වෙයි, 3. නපුරු සිහින නෛාදකියි, 4. මිනිසුන්ට හානි නොවෙයි, 5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි, 6. දෙවියන් විසින් රකිනු ලැබේ, 7. ගින්නෙන් විසෙන් ආයුධවලින්, හානි නොවෙයි, 8. වහා සිත සන්සුන් වෙයි (සමාධිගත වෙයි) 9. ප්‍රසන්න සිරුරක් ඇත්තෙකු වෙයි, 10. සිහි මුළා නැතිව කලුරිය කරයි, 11. රහත් බවට පත් නොවුණොත් සමාධිගත සිිතින් බඹලොව උපදියි. ඒ අනුව භාවනාවෙන් මේ ජීවිතයේදිම ආනිශංස 10 ක් ලබාගත හැකි බව පැහැදිලි වනු ඇත. නුවන හෙවත් ප්‍රඥාව මෙම ජීවිතයේ සෑම දෙයකටම ක්‍රියාවකටම අත්‍යවශ්‍ය කාරණයකි. ප්‍රඥාවෙන් තොර සත්ත්වයා පුද්ගලයා ගස් ගල් වැනි ය. මුළුමහත් ජීවන පැවැත්ම ප්‍රඥාව උඩ පවතී. ලෞකික ජීවිතය සම්පූර්ණ කර ගැනීම පමණක් නොව, පුද්ගල විමුක්තිය, පරම සැප ලෙස බුදුදහම නිර්දේශ කරන නිවන අවබෝධ කර ගැනීම ද ප්‍රඥා දියුණුවෙන් තොරව කළ නොහැකි ය. මේ අනුව පැහැදිලිවම බුදුදහම වඩාත් අවධාරණය කරනුයේ මෙලොව සුභසාධනය යි. මේ නිසා බෞද්ධ දර්ශනය පරලොවට දෙසූ අසුභවාදී දහමක් යැයි යමෙක් ප්‍රකාශ කරන්නේ නම් එය ඔහුගේ නොදැනුවත්කම ප්‍රකට කිරීමකි. ඒ හැරුණුවිට නිවන් අවබෝධය යනු පරලොවකදී ලබන තත්ත්වයක්, ස්වභාවයක්, නොවේ, නිවන් දැකීම යනු තමන් ජීවත් වන ජීවිතය තුළදීම ලබන අද්දැකීමක් මිස වෙනත් බාහිර ස්ථානයක දී ලබන්නක් නොෙවි අනාගාමි වී මරණයෙන් පසු වෙනත් ජීවිතයක් (බ්‍රහ්මලෝකයේ උපත) ලබා රහත් බවට පත්වී නිවන් අවබෝධ කර ගැනීම මෙහිදී වරදවා නොගත යුතු ය. එම ජීවිතයේ වූවද නිවන් දකින්නේ පිටස්තර ලෝකයක නොව ඒ දී ජීවිතය තුළ දී බව වටහා ගත යුතු ය. ඒනිසා බුද්ධ ධර්මය පරලොවට දෙසූ දහමක් නොව තමන් ලබන ජීවිතයට ප්‍රයෝජන ලබා ගත හැකි ප්‍රත්‍යක්‍ෂයෙන්ම ලද හැකි අත්දැකීමක් බව කිව යුතු ය.

බුද්ධ ධර්මය බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 600 කට පමණ පසු ප්‍රථමවරට ශ්‍රී ලංකාවේදී ග්‍රන්ථාරූඪ විය. එතෙක් මේ දහම මුඛ පරම්පරාවෙන් වනපොත් කරගෙන මහත් වෙහෙසකින් රැක ගෙන ආහ. එහි ප්‍රධාන කොටස් 03 කි. ඒවා විනය, සූත්‍ර හා අභිධර්ම යනුවෙන් (නිකාය) තුනකින් හඳුන්වයි. මේ නිකායත්‍රයේම ග්‍රන්ථ 31 කි. මෙම ග්‍රන්ථවල එන කරුණු දහස් ගණනකි. ඒවා මෙලොව ජීවිතයත් විමුක්තිය සඳහාත් අතිශයින් ප්‍රයෝජනවත් වේ. පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වාත් ඉන්පසුව නිවන් හෙවත් විමුක්තිය ලබනතුරු සසර ජීවිතයටත් අතිශයින් වැදගත් වන කරුණු වලින් යුක්ත ය. කුඩා දරුවාට සිසු ජීවිතයට, තරුණ අයට, වැඩිහිටි අය, වෘද්ධ අයට, ස්ත්‍රී පුරුෂ, දෙවි මිනිසුන්ට සමාජයේ විවිධ කොටස්වලට, ගුරුවරුන්ට, වෛද්‍යවරුන්ට, අධ්‍යාපන විශේෂඥයන්ට, මනෝ විද්‍යාඥයන්ට, සත්‍ය ගවේෂකයන්ට, දාර්ශනිකයන්ට, රාජ්‍ය පාලකයන්ට, දේශපාලකයන්ට, කලා කරුවන්ට, මේ ආදී සෑම තරාතිරමකම සිටින අයට බුදු දහමේ එන ඉගැන්වීම් වලින් ගත හැකි ඵල ප්‍රයෝජන අපමණ ය. උදාහරණ ලෙස ගතහොත් ධම්මපදයේ එන ගාථාධර්ම පරලොව ජීවිතයකට වඩා මේ පවතින ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීමෙන් අත්වන යහපත කොපමණදැයි ප්‍රමාණ කළ නොහැකි ය. ධම්මපදය, කථා, ජාතක කථා හා එහි එන ගාථා ආදී උපදෙස්, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය ආදී පෙළ පොත්වල එන දහස් ගණන් කරුණු ලෞකික ජීවිත අතිශයින් යහපත් කර ගැනීමට හැකි වන ධර්ම උපදෙස් වලින් පිරී තිබේ. නිදසුනක් ලෙස මංගල සූත්‍රයේ එන කරුණු 38 ම පාහේ මෙලොව ලෞකික සදාචාරමය ජීවිතයකට බෙහෙවින් ප්‍රයෝජනවත් වන අභිවෘද්ධිදායක ඉගැන්වීම් ය. පරාභව හා වසල සූත්‍ර වල මෙලොව ජීවිත පිරිහීමට වසල බවට පත්වන කරුණු පෙන්වාදී මිනිසා යහමගට ගැනීමට දේශිත ධර්මාවවාද ලෙස සැලකිය හැකි ය. කරණීය මෙත්ත සූත්‍රයේ සිසු ජීවිතවලටත් පුද්ගල සංවර්ධනයටත් ප්‍රයෝජන වන කරුණු 15 ක් සමග මිනිසා ඇතුළු සියලු සත්ව වර්ගයා කෙරෙහි මෛත්‍රීය කරන ආකාරය පැහැදිලි කරයි. එදා බුද්ධ කාලීන භාරතයේ වෛශලියේ (විශාලා මහනුවර) හටගත් දුර්භික්‍ෂ, රෝග, අමනුෂ්‍ය යන තුන් බිය දුරු කොට සුවසෙත සලසාදීමට බුදුරදුන් දේශනා කර වදාළේ රතනසූත්‍ර දේශනාවයි. එම සූත්‍ර දේශනාවල පරලොව නොව අදටත් කවර දේශයක කවර ජනතාවකට වූවද කාල නියමකින් තොරව වලංගු ය. අංගුලිමාල මහරහතන් වහන්සේ මහමගදී දැඩි විලිරුදාවෙන් පෙළෙමින් දුක්වේදනා විඳින ගැබ්බර කතක දැක බුද්ධ නියමෙන් කරුණාවෙන් දේශනා කළ අංගුලිමාල පිරිත එදාට පමණක් නොව කල්පස්ථයීව (කල්පයක් පවතින) අදටත් කාන්තාවන්ට පහසු දරුප්‍රසූතිය සඳහා සෙත් ශාන්ති දේශනාවක් වී ඇති බව ප්‍රකට කරුණකි. මේ ආකාරයෙන් විවිද අංශවලින් මෙලොව ජීවිත වලට බුදු සමයේ එන ධර්ම කොටස්වලින් යහපතක් වන බවට සාධක රාශියක් ඉදිරිපත් කළ හැකි ය.

කරුණු මෙසේ හෙයින් බුදු සමය පරලොවට පමණක් යහපතක් වන දහමක් ලෙස හෝ මිනිසා උදාසීන කරන අසුබවාදී ධර්මයක් ලෙස හෝ හැඳින්වීම කිසිසේත් යුක්ති යුක්තක නොවන බවත් සැබවින්ම එහි ඇත්තේ පුද්ගලයා නිවන් දක්නාතුරු යහමගට යොමු කරන සුගතගාමී කරන උදාර සදාචාරමය විමුක්ති දර්ශනයක් බවත් ඒ අනුව එම දහම කවර අන්තයකට වාදයකට පක්‍ෂයකට අයත් නොවූවත් යහපත් සුබවාදී ඉගැන්වීම් සමුදායක් යැයි ප්‍රකාශ කෙරේ නම් එහි එක්තරා සත්‍යයක් ඇතැයි කිව හැකි ය.

බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය සසර සැරිසරණ සත්වයා බහුලව දුක උරුම කොට පවතින බැවින් එය තේරුම් නොගෙන (අවිජ්ජා) ගනන් කළ නොහැකි අනන්ත අප්‍රමාණ කාලයක් සසර ඇලීමේ ආසාවෙන් (තණ්හාවෙන්) මැරෙමින් උපදෙමින් ගමන් කරන බවත් එය මහා දුකක් බවත් ඒ දුකට හේතුව වන තණ්හාවෙන් මිදිය යුතුබවත් එවිට උතුම්ම සුවය හෙවත් නිවීම අවබෝධ වන බවත් ඒ සඳහා ක්‍රමයක් මාර්ගයක් ඇති බවත් පෙන්වාදීමයි. මෙම යථාර්ථය කලින් කළ සත්‍යාවබෝධයෙන් පසු බුදුවරු දේශනා කර ලොවට හෙළි කරති. බුදු දහමේ දැක්වෙන ධර්මෝපදේශ අනුගමනය කරමින් තමන් ගත කරන ජීවිතයත් ඉදිරියේ දී ලබන ජීවිතත් සැපවත් කරගෙන බුදුදහමින් නිර්දිෂ්ට පරම සුවයට ළඟාවිය හැකි බව පෙන්වාදී තිබේ.

මෙසේ බැලූ කළ බුද්ධ ධර්මයෙන් උගන්වන්නේ ජීවිතය අසාර්ථක නොකර ගෙන පවතින ජීවිතය සැපවත් කර ගෙන උතුම් විමුක්තියට යොමු කර ගැනීමට ය. ඒ අනුව බුදු දහම පරලොවට දෙසූ දහමක් නොවන බව තවදුරටත් තහවුරු වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.