Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යම් හිස් පුරුෂයෙක් ධර්මය උගනියි. ඒ ධර්මයේ අර්ථය ප්‍රඥාවෙන් පරීක්ෂා නොකරයි. නුවණින් අදහස මෙනෙහි නොකරන ඔහුට ඒ ධර්මය මැනවින් නොවැටහෙයි. ඔහු පරවාදයන්හි දොස් නැගීමට පෙළඹෙයි. ඔහුට වරදවාගත් ඒ ධර්මය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතී. ඒ, ධර්මය වරදවා ගත් බැවිනි.

ශ්‍රී ලංකාව නිර්මල ථෙරවාදී බුදුදහම පවතින රටක් ලෙස වර්තමානයේ ද පිළිගැනීමට ලක් ව තිබේ. මෙරට ජනගහණයෙන් බහුතරය බෞද්ධයින් වීමද විශේෂයකි. වත්මන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව, බෞද්ධයන් වීමේ ස්වභාවයට අනුව වර්ග දෙකකි. ඇතැම්හු පෙළපතින් බෞද්ධයෝ වෙති. තම මව්පියන් බෞද්ධ වූ විට උපතින් ම මොවුහු බෞද්ධයෝ වෙති. උපතින් අන්‍යගමික පවුලක සාමාජිකයින් වී පසුව බෞද්ධයින් බවට පත් වූවෝ ද වෙති. බෞද්ධ පවුලක සාමාජිකයකු ලෙස ඉපදීමෙන් හෝ බුදුදහම දැනගත් තරමින් කෙනකු බෞද්ධයකු නොවේයි වත්මන් බොහෝ පිරිස මෙය අවබෝධ කරගෙන නැති බවක් පෙනෙයි. කෙනකු බෞද්ධයකු වන්නේ, ධර්මය දැනගත් නිසා නොවේ. බුද්ධ ධර්මය හොඳින් දත්, විශ්වවිද්‍යාල උපාධි ලබාගත් අන්‍යාගමිකයෝ ද සිටිති. ඔවුහු ධර්මය හොඳින් දනිති. එහෙත් බෞද්ධයෝ නොවෙති.

කෙනකු බෞද්ධයකු වන්නේ බෞද්ධ පවුලක සාමාජිකයකු වීමෙන් ද නොවේ. තෙරුවන් විෂයෙහි මනා අවබෝධයක් ලබාගෙන, තෙරුවන් තමාට ඇති එකම ම පිහිට යැයි තෙරුවන් සරණ යෑමෙන් ම කෙනකු බෞද්ධයකු බවට පත්වේ.

බෞද්ධකම මෙන් ම ධර්මය පිළිබඳ ද අද බොහෝ දෙනෙකු තුළ ඇත්තේ වැරැදි අදහසකි. වැරදි භාවිතයකි. එබැවින් බෞද්ධ පිරිස අතරින් බහුතරය. අසරණව අනාථව දුක හා වේදනාව කරපින්නාගෙන ජීවිතය ගත කරති.

යම් හිස් පුරුෂයෙක් ධර්මය උගනියි. ඒ ධර්මයේ අර්ථය ප්‍රඥාවෙන් පරීක්ෂා නොකරයි. නුවණින් අදහස මෙනෙහි නොකරන ඔහුට ඒ ධර්මය මැනවින් නොවැටහෙයි. ඔහු පරවාදයන්හි දොස් නැගීමට පෙළඹෙයි. ඔහුට වරදවාගත් ඒ ධර්මය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතී. ඒ, ධර්මය වරදවා ගත් බැවිනි.

මජ්ඣිම නිකාය අලගද්දුපම සූත්‍රයේ එන පාඨයක සිංහල අදහසයි ඒ. සර්ප උපමාවක් ගෙනහැර දක්වන බුදුරජාණන් වහන්සේ, සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇති සර්පයන් සොයන යම් මිනිසෙක් මහත් සර්පයෙකු දැක උගේ බඳින් හෝ වලිගයෙන් හෝ අල්ලා ගනී. එවිට ඒ සර්පයා ආපසු හැරී ඒ පුරුෂයාට දෂ්ට කරයි. ඒ හේතුවෙන් ඔහු මරණයට හෝ මරණය සමාන දුකකට පත්වෙයි. ඒ කුමක් නිසාද? සර්පයා වරදවා අල්ලා ගත් බැවිනි. තමන් වහන්සේ විසින් දේශීත ධර්මය ද එවැන්නකැයි බුදුන් වහන්සේ දක්වති. බදුරදුන් වදාළ ධර්මය දුක් දොම්නස් දුරු කිරීමටත් සෝකපරිදේව ආදිය ප්‍රහාණය පිණිසත්, ඤාණය ලබා ගැනීම හා සදා සැනසීම වන නිවන් අවබෝධය පිණිසත් දේශනා කර ඇතිමුත්, මෙය වැරදි ලෙස භාවිත කිරීම නිසා ඇතැමුන්ට ජීවිත කාලය පුරාම දුක් දොම්නස් වලින් පීඩිත ව, සෝක පරිදේව ආදියෙන් අඩු නොවූ ජීවිත ගත කිරීමට සිදු වී තිබේ. ඒ ධර්මය නිවැරැදි ලෙස තේරුම් නොගෙන භාවිත කිරීම නිසායි.

බෝධින් වහන්සේ ජයග්‍රහණයේ සංකේතයයි. සිදුහත් බෝසතාණන් වහන්සේ ගයාවේ පිහිටි ඇසතු රුක් මුල් හි වාඩි වූයේ චතුරංග සමන්නාගත වීර්යයෙනි. බුදුබව පසක් කරගෙන මිසක නොනැගිටින අදහසිනි. එබැවින් බෞද්ධ ජනතාව, බෝධිය ජයග්‍රහණයේ සංකේතය ලෙස හඳුන්වති. ප්‍රථම බෝධි පූජාව සිදු කළේ ද බුදුරජාණන් වහන්සේයි. ශ්‍රී ලංකාවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ ලැබීමෙන් පසුව, අෂ්ට එලරුහ, දෙතිස් එලරුහ බෝධීන් වහන්සේ දිසා, අනුදිසාවන්හි ව්‍යාප්ත විය. බෝධි ආගමනයත් සමඟ බෝධිය වටා කරන වන්දනා මාන හා පුද පූජා ඇතුළත් සංස්කෘතියක් ගොඩ නැඟිණි. බෝධි පූජාවට, මෙරට බෞද්ධයා එදා මෙන් ම අදත් දක්වන්නේ ඉමහත් උනන්දුවකි. මෙය වරදවා යොදා ගැනීම නිසා, බලාපොරොත්තු සුන් කරගෙන දුක් වේදනාවන්ට හා පසුතැවීමට පත්වන බොහෝ දෙනා ද අපට හමු වෙයි.

රජයේ විභාගයක් පැවැත්වෙන හැම විටකම බොහෝ බෞද්ධ වැඩිහිටියෝ තම දරුවන් ද එක්ව ගොස් බෝධි පූජා පවත්වති. ඒ විභාගය උසස් ලෙස සමත් කර ගැනීමට යි. ඇතැම් උදවිය ගමේ විහාරස්ථානයට නොගොස්, ප්‍රසිද්ධ බෝධීන් වහන්සේ වැඩසිටින ස්ථාන සොයා යති. බොහෝ විට විභාග ප්‍රවේශ පත්‍රය ලැබීමෙන් පසුව හෝ විභාගයට පෙනී සිටීමට පෙර දින, මේ සඳහා යොදාගන්නා බව ද පෙනෙයි. මෙලෙස බෝධි පූජා පවත්වන බොහෝ දෙනකුට සතුටුදායක ප්‍රතිඵල හිමිවන බවක් ද පෙනෙන්නට නැත. අසාර්ථක ප්‍රතිඵල ලබන ඔනුහු බෝධීන් වහන්සේට දොස් කියති.

දෙවියන්ට බැන වඳිති. පූජාවට සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේ කෙරෙහි ද පි‍්‍රය මනාප බවක් ඇතිකර නොගනිති. අපේක්ෂාභංගත්වයට පැමිණ සෝ සුසුම් ලමින් දිවි ගෙවති. මේ අන් කිසිවක් නිසා නොව, ධර්මය වැරැදි ලෙස යොදා ගැනීමේ ආදීනව යි. හේතුව හා ඵලය අතර ඇත්තේ, නොබිඳුණු සම්බන්ධතාවකි. වරෙක හේතුවක් වන දෙයක්, තවත් වරෙක ඵලයක් විය හැකිය. වරෙක ඵලය තවත් වරෙක හේතුවක් වීමට ද හැකිය. යම් ඵලයක් අසුභ නම්, අගෝචර නම්, එය ඉවත් කළ යුතු ය. ඒ සඳහා කළයුතු වන්නේ, ඊට මුල් වූ හේතුව සොයා බලා එය නැති කිරීම යි. රජයේ විභාග හා බෝධි පූජා අතර හේතුඵල වශයෙන් කිසි සබඳතාවක් නැත. එබැවින් බෝධිපූජා පැවැත්වීමෙන් පමණක් විභාග ජයග්‍රහණය කළ හැකි යැයි විශ්වාස කිරීම, මිථ්‍යාවකි. එසේ කීමෙන් බෝධි පූජාවේ අනුසස් නැති බවක්ද අදහස් නොවෙයි.

ප්‍රවේශ පත්‍රය නිවසට පැමිණෙන තුරු බලා නො සිට, විභාග වර්ෂයට දරුවා සමත් වූ පසු, පාසලට යෑමට පෙර, විහාරස්ථානය වෙත කැඳවා ගෙනැවිත්, බෝධි පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ගැනීමට මවුපියන් වගබලා ගත යුතු යි. අධිෂ්ඨානයේ සංකේතය බෝධිය බැවින්, බෝසත් චරිතය ආදර්ශයට ගෙන, වසරකින් හෝ දෙකකින් මුහුණදීමට සිදුවන විභාගය සඳහා වහ වහා සූදානම් විය යුතු බවට දරුවා තුළ ආත්ම ශක්තියක් ගොඩ නැඟීමට එහි දී කටයුතු කිරීම යෙහෙකි. මෙරට පවතින බහුතරයක් පරීක්‍ෂණ, ලිඛිත පරීක්‍ෂණ බැවින්, දරුවන් තුළ කොතරම් දැනුම් සම්භාරයක් තිබුණත් නිවැරැදි ව ප්‍රශ්නයට අදාළ කරුණු සම්පිණ්ඩනය කොට ලියා ගැනීම ගැටලුවකි. විෂය නිර්දේශයට අදාළ පෙළ පොත් භාවිතය, අතිරේක දැනුමෙන් පොහොසත් වීම, අභ්‍යාසවල යෙදීම වැනි මූලික යෝග්‍යතා සපුරා ගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුතු ය. අතිරේක පන්ති සොයා යන සිසුහු ගුරුවරුන්ගේ දැනුම, පත්‍රිකා මගින් මිලට ගන්නා පිරිසක් බවට පත්ව ඇති බැවින්, විභාගයේ දී ඔවුහු අතරමං වෙති. අත්‍යවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ නොකර, බෝධි පූජා පැවැත්වීමෙන් පමණක් විභාග තරණය කළ නොහැකි ය. විභාග ඉලක්කයෙන් බැහැර යන දරුවා, යළි ඉලක්කගත කොට ධෛර්යවත්ව, අනලස්ව අවශ්‍ය ක්‍රියාකාරකම් වල නියුක්ත කිරීම පිණිස ආශිර්වාද ලබා දීම පිණිස, බෝධි පූජාව ප්‍රයෝජනයට යොදා ගැනීමෙන් සාර්ථක ඵල නෙළාගත හැකි ය.

අමනාප ව ගෙදරින් ගිය සැමියා හෝ බිරිය නිවසට ගෙන්වා ගැනීම, වංචා ඤෂණ සිදු කිරීම නිසා අහිමි වූ රැකියාව යළි ලබා ගැනීම, බීමත්කමින් ඇති වූ රෝගාබාධ වලින් මිදී සුවය ලැබීම, නොඉවසිලිමත් බව හා කේලාම් විශ්වාස කිරීමට යෑමෙන් පවුලේ සාමාජිකයන් සමග ඇති කර ගත් අමනාපකම් වලින් නිදහස් වීම වැනි විවිධ ප්‍රශ්න ගැටලුවලින් අත්මිදීම සඳහා බෝධි පූජා පැවැත්වීම සාමාන්‍ය සිරිතක් බවට පත්ව තිබේ. අනුසස් සහිත බෝධි පූජාව, වරදවා යොදා ගැනීම නිසා, බොහෝ දෙනකුට ප්‍රතිඵල ලෙස ලැබී ඇත්තේ, වේදනාව, පසු තැවීම හා බලාපොරොත්තු කඩවීම පමණකි.

බුද්ධ දේශනාව පිළිබඳ අර්ථ දක්වන පැරැණි ආචාර්යවරු “අත්තානං ධාරන්තො චතුසු අපායෙසු වට්ටදුක්ඛෙසු ච අපතමානෙ කත්වා ධාරෙතීති ධම්මො” යැයි “සතර අපායට වැටෙන්නට නොදී, සසර දුක් විඳීමට නොදී රැකීම හෙවත්, දැරීම්” අර්ථයෙන් ධර්මය යනුවෙන් බුද්ධ වචනය හඳුන්වන බව දක්වා තිබේ. අනුමාන වශයෙන් නොව, ප්‍රත්‍යක්‍ෂ ලෙස තමන් අවබෝධ කරගෙන දේශනා කළ බැවින් ස්වාක්ඛාත ය.

මේ මහඟු දහම් මඟ යෙදෙන්නාට ළඟා විය හැකි පරමාර්ථ හතරක් පිළිබඳ මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත වන්නේ මෙලෙසිනි. (සොක පරිදේවානං සමතික්කමාය) සෝක පරිදේව ආදිය දුරු කරලීම (දුක්ඛ දෝමනස්සානං අත්ථංගමා) දුක් දොම්නස් නැතිකරලීම (ඤායස්ස අධිගමාය) ඤාණය උපදවා ගැනීම (නිබ්බාණස්ස සච්ඡිකිරියාය) නිර්වාණය අවබෝධ කර ගැනීම යනු, ඒ හතරයි. වර්තමානයේ බොහෝ බෞද්ධයිනට මේ සියල්ල අහිමි ව ඇත්තේ ධර්මයේ වරදින් නොව, ධර්මය නිවැරැදි ලෙස භාවිතයට නොගැනීම නිසා ය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.