Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය
අතුරලියේ රතන හිමි

මනුෂ්‍යත්වය අගයන, කරුණාව පෙරදැරිකරගත්, සොබාදහමේ පැවැත්ම පිළිගන්නා නව චින්තනයක් ලෝක ප්‍රජාවට අවශ්‍යව තිබේ. මිනිස් සිතේ කෑදරකම වැඩි කරන, මිනිසාගේ හිත ආශාවෙන් පුරවන ද්‍රව්‍යමය සංවර්ධනය වෙනුවට මිනිස් සිත් සතන් නිවන, මනුසත්බව වඩවන උතුම් ගුණ දහමින් පිරුණු බෞද්ධ දැක්ම හා එම සංස්කෘතිය ලෝකයට අද අවශ්‍යව තිබේ.

සමස්ත භාරත දේශයම කේන්ද්‍ර කරගනිමින් ආසියාව පුරා අධ්‍යාත්මික ශික්‍ෂණයකින් යුත් සංවිධිත ශිෂ්ටාචාරයක් බිහි කිරීමට බුදුදහම මූල හේතුව වූ බැව් අවිවාදිකය. එහි කේන්ද්‍රීය ස්ථානය ධර්මාශෝක අධිරාජයා ධර්ම විජය ඇරඹූ වකවානුව බැව් සැලකේ. සම්බුදුදහම සමස්ත භාරත දේශය පුරාම රැව්පිළි රැව් දෙමින් මිනිස් ජීවිත ආලෝකවත් කළ කාලය ද එයම විය. භාරත දේශයේම පැතිරී තිබූ ජය රාවයක් වූ බොදු රාවය ක්‍රමයෙන් ගිලිහී මැලවී යාමට ද ඉන්පසු වැඩි කලක් ගත නොවිණි. ඒ සඳහා හේතු සාධක රාශියක්ම බලපාන්නට යෙදිණි.

ඉන්දීය රජය දක්වන ආකාරයට ඉන්දියාවේ බෞද්ධයින් සිටිනුයේ 1% ක් වැනි ප්‍රමාණයකි. භාරත දේශය පුරා පැතිරී පැවැති බෞද්ධ ජනගහණය ඒ ආකාරයට අඩුවීමට බලපෑ සාධක අතුරින් හින්දු පුනර්ජීවනය ප්‍රධානතම ස්ථානයක් ගන්නා බැව් ක්ෂාවියර්පින්තු සහ ඊ.පී. මියාල් යන ඉතිහාසඥයින් විසින් නවදිල්ලියේ දී ප්‍රකාශයට පත් කළ Glimpses of History - I කෘතියේ අන්තර්ගතව පවතී. තවදුරටත් එහි සඳහන් ආකාරයට භික්‍ෂූන් සුඛෝපභෝගී ජීවිතයකට ඇබ්බැහිවීමද එයට බලපා ඇත. තවද කණිෂ්ක අධිරාජයගේ කාලයේ දී පැවැත් වූ හතර වන ධර්ම සංගායනාවෙන් පසු බෞද්ධ උගතුන් විසින් සංස්කෘත භාෂාව ආගමික භාෂාව වශයෙන් යොදා ගැනීම පොදු ජනතාව කෙරෙන් බෞද්ධ ඉගැන්වීම් ඈත්වීමට හේතු වූ තවත් හේතුවක් විය. ඉහත දැක් වූ කෘතියේ දැක්වෙන පරිදි ගුප්ත අධිරාජයන්ගේ යුගයේ දී බුදුදහමට ලැබෙන්නා වූ රාජානුග්‍රහය නොලැබී ගියේ ය. ඔවුන් දෙවිවරු සඳහා දේවාල පමණක් ඉදිකළහ. එයද බෞද්ධයිනට වැදුණු මරු පහරක්ම විය. එසේම රාජ්පුත් යුගයේ දී බුදුදහම බෙහෙවින් ම පරිහානියට පත්විය. රාජ්පුත් ගෝත්‍රි‍්‍රකයෝ යුද්ධයෙන් ජීවත්වන පිරිසක් වූ අතර බුදුදහමේ අවිහිංසාවාදය අනුගමනය කිරීමට ඔවුන් අපොහොසත් විය. මෙහිදී යුද්ධයට අධිපති හා යුධ ජයග්‍රහණය අත්කර දෙන දෙවිවරුන් ජනතාවට හා පාලකයන්ට මවා හින්දු පූජකවරු වෛදික යාඥා කිරීමට ඔවුන් පෙළඹවූහ. මේ නිසා තවදුරටත් මිථ්‍යාව භාරතය පුරා රජ කරන්නට විය.

එසේම භාරත දේශය තුළින් බෞද්ධ ගහණය අඩුවීම කෙරේ බලපෑ සාධක අතර මුස්ලිම් ආක්‍රමණ ද ප්‍රධාන සාධකයක්. මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමේ දී අපට විද්‍යාමාන වේ. බෞද්ධ විහාරාරාම විනාශ කළ මුස්ලිම් ආක්‍රමණිකයින් අහිංසක, නිරායුධ බෞද්ධ භික්‍ෂූන් හා භික්‍ෂුණීන් දහස් ගණන් ඝාතනය කරන්නට යෙදුණි. එසේම බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ස්ථානයේ අශෝක රජතුමා විසින් ස්ථූපයක් ඉදි කළේ ය. 1794 දී ජගත්සිංහ රජතුමා එම ස්ථූපය බිඳවා ගඩොල් ගෙන බරණැස ගෙවල් සෑදීමට ගත්තේ ය. මේ ආකාරයට බුදු දහමට ක්‍රම ක්‍රමයෙන් සිදු වූ හානි සුළුපටු නොවුණි.

ආචාර්ය අම්බෙඩිකාර්තුමා දුරදක්නා නුවණින්, උපායශීලීව ක්‍රියා කළ බෝධිසත්ව ගුණයෙන් යුත් නායකයෙකි. ආදි කල්පිත බ්‍රාහ්මණයින්ගේ මිථ්‍යා මත අනුව හීන යැයි සම්මත කුලයක ඉපදුණු ඔහු, නීතිය හා දේශපාලනය පිළිබඳ හසළ දැනුමත්, කෘතහස්තභාවයත් නිසා ප්‍රභූ සමාජය මැද ආත්මාර්ථකාමීව සැඟවී ජීවත්වන්නට තිබූ අවස්ථාව ඉවතලා ඉන්දියානු නිදහස් සටන අබියස අභිනිෂ්ක්‍රමණය කළේය.

එසේම ‘සංකරාචාර්ය’ වැනි හින්දු දාර්ශනිකයින් විසින් බුදුරජාණන් වහන්සේ විෂ්ණුගේ පුනරාවතාරයක් ලෙස දැක්විය. අදටත් බුදුරදුන් යනු හින්දුන්ගේ නව වැනි උත්පත්තිය ලෙස සළකන ප්‍රබල ඉන්දීය හින්දු ජාතිකයින් බුදුදහම වෙනම ආගමක් ලෙස පිළිගත්තේම නැත. නමුත් මේ අතර හින්දු දහම දිගින් දිගටම කුළහීනයැයි සම්මත ජනතාව දිගින් දිගටම පීඩනයටත්, ගර්හාවටත් පත් කරන්නට විය.

මේ ආකාරයට බුදුදහම ඉන්දීය භූමිය තුළ ක්‍රම ක්‍රමයෙන් යටපත් වෙමින් පවතින විට එය ආපිට හැරවීමට සමත් මහා යුග පුරුෂයකු ඒ උතුම් බුද්ධ භූමිය තුළින්ම ජනිත විය. එනම් 1893 – 1956 තුළ බිහි වූ ආචාර්ය බාබා සහීබ් අමිබෙඩිකාර්තුමා ඉන්දියාවේ බිහි වූ ශ්‍රේෂ්ඨ ජන නායකයෙකි. මීට වසර පනහකට පමණ ඉහතදී ඉන්දීය ව්‍යවස්ථාව සම්පාදනය කළේ ද එතුමා ය. එසේම අශෝක ස්ථම්භ වල යෙදු සිංහ ලාංඡනය (සාරානත් කුළුණු හිස) ඔහු ඉන්දීය රාජ්‍ය ලාංඡනයට යොදා ගත්තේ ය. එසේම එහි ඇති බෞද්ධ ධර්ම චක්‍රය ඉන්දීය ජාතික කොඩියට අන්තර්ගත කළේ ය.

අම්බෙඩිකාර් යනු ඉන්දීය අඩුකුළයේ එනම් කුලහීනයැයි (දලිත්යයි) සම්මත ජනතාවගේ නායකයා ය. හය කොටියක් පමණ වූ හරිජන කුලයේ මිනිසුන්ගේ අසහාය විරුවාණන් ය. ඉන්දියාව බෞද්ධ හැඟීම් ඇති දේශපාලන මාවතෙක ගෙන යාමට ඔහු පළමුව බුදුදහම වැළඳ ගත්තේ 1956 දී ය. එනම් බුද්ධජයන්ති වර්ෂයේ දී නාග්පුර්හිදී ලක්‍ෂයකට අධික හරිජනයින් පිරිසක් සමඟ එතුමා බුදුදහම වැළඳ ගත්තේ ය. මෙම සිදුවීම ලොව පුරා ප්‍රසිද්ධ වූ අතර බෞද්ධ රටවල මාධ්‍ය මෙම ප්‍රවෘත්තිය සඳහා එවකට ප්‍රමුඛත්වයක් ලබා දී තිබුණි.

අම්බෙඩිකාර්තුමා ආරම්භ කළ ඒ දැවැන්ත ප්‍රයත්නය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අඛිල භාරතීය බෞද්ධ ධර්ම පර්ෂදය නමින් සමස්ත ඉන්දියානු බෞද්ධයින් නියෝජනය වන පරිදි ශක්තිමත් සංවිධානයක් පිහිටුවා ඇත. 2500 බුද්ධ ජයන්ති දින අමිබෙඩිකාර්තුමා ඇරැඹු ඒ උත්තුංග ක්‍රියාවට අනුව කුලහීන යැයි සම්මත ජනතාව දස දහස් ගණනින් පැමිණ වාර්ෂිකව බුදුදහම පිළි ගන්නට යෙදිණි.

අඛිල භාරතීය බෞද්ධ ධර්ම පර්ෂදය වසර 22 ක කාලයක් පුරා අඛණ්ඩවම මෙය සංවිධානාත්මක ලෙස හා උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි. මෙම වසරේ ජනවාරි 10 හා 11 යන දෙදින මහාරාෂ්ට ප්‍රාන්තයේ නාන්දේඩි දිස්ත්‍රික්කයේ ඩික්සාත් ප්‍රදේශයේ දී එම බෞද්ධ සමුළුව පැවැත්වූයේ 22 වන වරටය. එසේම මෙය ඉතිහාසයේ සිදු වූ දැවැන්තම බෞද්ධ සමුළුවක් ලෙස මේ පිළිබඳව අදහස් දක්වන විදේශීය විචාරකයෝ පෙන්වා දෙනු ලැබූහ. මෙම ඉන්දියානු මහා බෞද්ධ සමුළුව සඳහා ලංකාවද නියෝජනය කරමින් විද්වත් පිරිසක් සහභාගී වූහ. එම ශ්‍රී ලාංකික නියෝජිත පිරිසේ විශේෂ ආරාධිත දේශකයාණන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාස්ත්‍රපති අතුරලියේ රතන හිමිපාණන් වහන්සේ සහභාගී වූහ. තවද මේ සඳහා රාජකීය පණ්ඩිත මුදලක්කුලියේ රතනජෝති නාහිමිපාණන් ද, කිඹුලාපිටියේ සද්ධානන්ද හිමිපාණන් ද, ආචාර්ය කුසුමා මෙහෙණින් වහන්සේ ද එම නියෝජිත පිරිසට අයත් වූහ.

ධජාරෝහන නම් උත්සවයෙන්, එනම් බෞද්ධ ධජ එසවීමේ හා ආගමික වතාවත් ආදියෙන් එම දැවැන්ත බොදු උළෙල ජනවාරි 9 වන දින උදෑසන 9 ට ආරම්භ විය. මෙහිදී ප්‍රධාන බෞද්ධ ධජය එසවීමෙන් ආගමික වතාවත් සිදු කිරීම විශේෂ ආරාධිත දේශකයාණන් වූ ශාස්ත්‍රපති අතුරලියේ රතන හිමිපාණන් විසින් සිදු කරන ලදී. මෙදින දවල් දානය සඳහා ඉන්දීය භික්‍ෂූන් වහන්සේ හැට නමක් සහභාගි වූහ. දහසකට අධික බෞද්ධ ජනතාවක් සහභාගී වූ විචිත්‍රවත් බොදු පෙරහරක් එදින පැවැතවිණි. සියලු දෙනාම එම පෙරහරින් ගොස් ආචාර්ය බාබා සහීබි අමිබෙඩිකාර් තුමාගේ ප්‍රතිමාව අබියස මල් දම් පැළැඳීම සිදු කරන ලද්දේ එතුමාට කරන ගරු කිරීමක් වශයෙනි.

අඛිල භාරතීය බෞද්ධ ධර්ම පර්ෂදය මගින් බෞද්ධ අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම සඳහා ලබාගත් අක්කර 11 ක භූමිභාගය අසුන් ගැනීමට සුදුසු ආකාරයට මැනවින් ආවණරය කර සකසා තිබුණි. එම රැස්වීම් භූමියට රාත්‍රී 7 පමණ වන විට බෞද්ධ ජනතාව විශාල වශයෙන් රැස් වූහ. ශීත දේශගුණයක් පැවතියද ලක්‍ෂ දෙකකට අධික ඉතා විශාල ජනකායක් පැමිණ බිම අසුන්ගෙන ඊට සහභාගි වී සිටියහ. එහිදී ලක්‍ෂ දෙකකට අධික පිරිසක් බුද්ධං සරණං ගච්ඡාමි යනාදී වශයෙන් බුදුන්, දහම්, සඟුන් වැඳ තෙවරක් ශීර්ෂ ප්‍රණාමය සිදුකරමින් නමස්කාර කළහ. ඉන්පසු සියලු දෙනා පන්සිල් ගැනීමේ වාක්‍යයන් ශබ්දනගා සාමූහිකව භක්තියකින් යුතුව සිදු කළහ. එසේ පැමිණ සිටි ඉන්දීය ජනයා අමතමින්, ඉන්දීය මහා බෞද්ධ සමුළුවේ ආරාධිත ප්‍රධාන දේශනය අතුරලියේ රතන හිමියන් විසින් පවත්වන ලදී. එහිදී උන්වහන්සේ සිය දේශනය අරඹමින් මෙසේ පැවැසූ බව සඳහන් වේ. ආචාර්ය අම්බෙඩිකාර්තුමා දුරදක්නා නුවණින්, උපායශීලීව ක්‍රියා කළ බෝධිසත්ව ගුණයෙන් යුත් නායකයෙකි. ආදි කල්පිත බ්‍රාහ්මණයින්ගේ මිථ්‍යා මත අනුව හීනය’යි සම්මත කුලයලක ඉපදුණු ඔහ ඉන්දියානු නිදහස් සටන අබියස, නීතිය හා දේශපාලනය පිළිබඳ හසළ දැනුමත්, කෘතහස්තභාවයත් නිසා ප්‍රභූ සමාජය මැද ආත්මාර්ථකාමීව සැඟවී ජීවත්වන්නට තිබූ අවස්ථාව ඉවතලා අභිනිෂ්ක්‍රමණය කළේය.

වසර දහස් ගණනක් තිස්සේ පෑගීමට ලක් වූ ජනතාවට විමුක්තිය ලැබිය යුතු බව ඔහු තීන්දු කෙළේ ය. බමුණුකුලවාදී පීඩනයෙන් පීඩිත ජනයා මුදාගැනීම සඳහා ඔහු නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කෙළේ ය. මා අම්බෙඩිකාර්තුමා දකින්නේ මතු බුදුවන බෝධිසත්ත්වයෙකු ලෙසිනි. වර්තමාන ලෝකයේ බෞද්ධ ප්‍රබෝධය නැතහොත් බෞද්ධ පුර්ජීවනයේ ප්‍රධාන පෙරගමන්කරුවන් ලෙස ඉන්දීයාවේ අමිබෙඩිකාර්තුමා සහ ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාලතුමා හැඳින්විය හැකියි.

උන්වහන්සේ මෙසේ ද පැවැසූහ. “නූතන පරපුරේ සම්පත් උරා ගනිමින්, කෑදර ලෙස දියත් කළ මේ සංවර්ධනයේ අර්බුදය එක ජාතියකට එක රටකට තනිව ජය ගත නොහැකි ය. ඇමෙරිකාවේ පරිසර දූෂණයෙන් ගිනි ගන්නේ බංගලිදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල් ය. ගිලා බසින්නේ මාලදිවයින වැනි දූපත් ය. මේ මහා ව්‍යසනයට යුරෝපා, ඇමෙරිකා සංවර්ධන ආකෘතින්ගෙන් විසඳුමක් ලබාගත නොහැකි ය. සීමාවකින් තොරව මාංශ පරිභෝජනයට ගිජු වූ ගහකොළ සතාසීපාවාට වඩා, කෘත්‍රිම නගර ගැන අහසේ මාළිගා, තැනූ ඒ මංකොල්ලකාරී යුගයට තවත් යා නොහැකි යි. මනුෂ්‍යත්වය අගයන, කරුණාව පෙරදැරිකරගත්, සොබාදහමේ පැවැත්ම පිළිගන්නා නව චින්තනයක් ලෝක ප්‍රජාවට අවශ්‍යව තිබේ. මිනිස් සිතේ කෑදරකම වැඩි කරන, මිනිසාගේ හිත ආශාවෙන් පුරවන ද්‍රව්‍යමය සංවර්ධනය වෙනුවට මිනිස් සිත් සතන් නිවන, මනුසත්බව වඩවන උතුම් ගුණ දහමින් පිරුණු බෞද්ධ දැක්ම හා එම සංස්කෘතිය ලෝකයට අද අවශ්‍යව තිබේ.

ඉන්දියානු ශිෂ්ටාචාරයේ නිර්මාතෘවරුන් හා සැබෑ උරුමකරුවන් වන වසර දහස් ගණනක් පීඩා විඳි ඔබලාට යළිත් අනාගත සෞභාග්‍යයේ හිමිකරුවන් වීමට පුළුවන. යළි ලෝකය නිවා සනසාලිය හැක්කේ බුදුදහම මත ගොඩනැඟෙන ඔබලාටයි.”

එම මහා බෞද්ධ සමුළුව තුළදී ලක්‍ෂ දෙකට අධික බෞද්ධ ජනතාවක් එක්ව එක හඬින් ලංකාවේ කොටි ත්‍රස්තවාදය ඇතුළු සාක් කලාපීය සියලු තස්ත්‍රවාදී ක්‍රියාකාරකම් පිටු දැකිය යුතු යැයි එක හඬින් යුතුව යෝජනාවක් සම්මත කෙළේ ය. එසේම එම සමුළුව තුළ ගනු ලැබූ වැදගත් ඓතිහාසික තීන්දුවක ප්‍රතිඵලක් වශයෙන් භාරත ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදය ස්ථාපනය කරන ලදී.

මෙහි ආරම්භක සභාපතිවරයා වශයෙන් අතුරලියේ රතන හිමිපාණන් ද එහි ලේකම් ලෙස මහාරාෂ්ට්‍රයේ උපගුප්ත හිමිපාණන් ද පත්කරගන්නට යෙදුණි. එහි විධායක සභාව සඳහා ඉන්දියාවේ ප්‍රාන්ත නියෝජනය වන පරිදි 31 දෙනකු ඊට පත්කර ගැනිනි.

ආචාර්ය අම්බෙඩිකාර් තුමා ආරම්භ කරන ලද ඒ උත්තුංග කර්තව්‍ය වත්මනෙහි වඩ වඩාත් ශක්තිමත් වී තිබෙනුයේ ඉන්දියාවේ වැඩිම ජනගහණයක් ජීවත්වන උත්තර ප්‍රදේශයෙනි. උත්තර ප්‍රදේශයෙන් ආරම්භ වූ එම බොදු ගමන අද සමස්ත ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යමින් පවතී.

වත්මනෙහි උත්තර ප්‍රදේශයේ මහ ඇමතිනි ලෙස කටයුතු කරනුයේ මායාවතී කුමාරි මෙනෙවියයි. ඇය බෞද්ධ හැඟීම් ඇති කාන්තාවකි. ඇය බෞෟද්ධයිනට සමාජයේ එක හා සමාන අයිතිවාසිකම් ලබාදෙන බවට පොරොන්දු වී තිබේ. එය ඇය ප්‍රකාශනයක් ලෙස එළිදැක්වීමටද අපේක්‍ෂාවෙන් සිටින්නී ය.

එසේම අතුරලියේ රතනහිමියන් ප්‍රමුඛ ලාංකීය නියෝජිත පිරිස ජනවාරි 16 දින මායාවතී මෙනෙවිය හා ඇය නියෝජනය කරන භාරතීය බහුජන පක්‍ෂය අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුණි.

මෙහිදී බුදුදහම ආර්ථික, සමාජ දැක්මක් ලෙස පෙරට ගෙනයාමට අවකාශය සැලසීම පිළිබඳව මෙම දෙපාර්ශ්වයේ විශේෂ අවධානයට බඳුන් විය. එසේම බුදුදහමේ චිරස්ථිතිය පිණිස ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණි. එම ඉන්දියානු සංචාරයෙන් පසු අතුරලියේ රතනහිමියන් සමග පසුවිපරමක් ලෙස සිදු කළ සාකච්ඡාවකි මේ.

ඔබ වහන්සේ සභාපතිත්වය දරන භාරත ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදයෙන් මෙම දෙරට අතර තවදුරටත් ධර්මය හුවමාරු කර ගනිමින් පෝෂණය කර ගැනීමට අපේක්‍ෂිත වැඩපිළිවෙළ කුමක්ද?

විශේෂයෙන් අප බලාපොරොත්තු වෙනවා පළමුව ඒ රටේ බෞද්ධයිනට අවශ්‍ය මූලික දේවල් සැපයීමට. දහම් පාසල් ආරම්භ කිරීම, දහම් පොත් ඒ ඒ භාෂා වලට පරිවර්තනය කිරීම, ගුරු පුහුණුව ලබාදීම මෙන්ම මෙරටින් දැනුම හා පුහුණුව ලත් භික්‍ෂුන් වහන්සේ එරටට යැවීමටත් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඔවුන්ට ලංකාවට සංචාරකයින් ලෙස පැමිණෙන්න අවශ්‍ය පහසුකම් ලබාදීම දැනුම ලබාගැනීම සඳහා ලංකාවේ විශ්වවිද්‍යාල වලට ඇතුල් වීමට අවශ්‍ය අවකාශය සලසාදීම යනාදිය අප ඉටුකිරීමට උත්සාහ ගන්නවා. එසේම එරට භික්‍ෂූන්ට ලංකාව තුළදී ධර්මය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමටත් අප දැන් ක්‍රියාකරගෙන යනවා.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මහ ඇමැතිනී මායාවතී කුමාරි මෙනෙවිය ඔබවහන්සේ ඉන්දීය සංචාරය තුළ මුණගැසුණා. ඉන්දීය රාජ්‍ය නායකයින් තුළ සිදුවන මෙම බොදු පුබුදුව බුදුදහමට බලපාන්නේ කවර ආකාරයකටද?

මායාවතී කියන්නේ ඉන්දියාවේ වැඩිම ජනගහණයක් ජීවත්වන උත්තර ප්‍රදේශයේ මහ ඇමතිනි, ඇය බෞද්ධ හැඟීම් ඇති කාන්තාවක් ලෙස පිළිගෙන තිබෙනවා. ඒවගේම මායාවතී, ආචාර්ය අම්බෙඩිකාර් ගිය ගමන සාර්ථක කොට අඩුකුලයේ ජාතීන්ට විශේෂ තැනක් දෙන බවට ප්‍රසිද්ධියේ ම කියා තිබෙනවා. ඒ වගේම අද හැම ඉන්දීය මන්ත්‍රීවරයෙකුගේම පාහේ නිවෙසේ කාර්යාලයේ අමිබෙඩිකාර්තුමාගේ පින්තූ®රයක් හා බුදු පිළිමයක් තබා තිබෙනවා.

බුදුදහම ඉන්දියාවේ බලවත් වූ යුගය ඉන්දියාවේ සෞභාග්‍යවත් යුගයයි. එය ඉන්දියාවේ පමණක් නොවෙයි ආසියාවේම බලවත් යුගයයි.

ආසියාවේ පමණක් නොව මුළු මිනිස් ඉතිහාසයේම ප්‍රබුද්ධ යුගයයි. ඉන්දියාව 6, 7, 8, 9 සියවස් වල මුළු ලෝකයටම ආධිපත්‍ය සැපයුවේ දර්ශනයෙන්. ඒ කියන්නේ ලෝකයට අවශ්‍ය චින්තනය ගොඩනැඟීමෙන්.

ඒ කාලයේ හිටියේ බෝධි ධර්මපාද, ශාන්තිදේව, ධර්මකීර්ති වැනි මහා දාර්ශනිකයින් චීනයෙත්, අසල්වාසි වියට්නාමය, කොරියාව යන රටවලත් සංස්කෘතිය සකස්වූයේ ඉන්දියානු දාර්ශනිකයින් දුන් මේ දාර්ශනික පදනමමතයි. ඉන්දියාව ඒ පදනම නැවත ගත්තා කියන්නේ ආසියාවටම අලුත් තත්ත්වයක් ඇත්තවශයෙන්ම.

නමුත් ඉන්දීය රජය තවමත් ප්‍රකාශ කරන්නේ ඉන්දියාවේ සිටින්නේ සියයට එකක් තරම් වූ බෞද්ධයන් පිරිසක් බව නේද?

ඔව් නමුත් ඊට හේතු තිබෙනවා. සියයට එකක් කියන්නෙත් ලොකු ගණනක් කෝටි 1 යි, මිලියන 02 ක් වගේ. නමුත් ඒ 2001 වගේ කරපු පරණ සංගණනයක්.ඉන්පසු සංගණනයක් සිදු වී නෑ. එයයි ප්‍රධාන හේතුව. උත්තර ප්‍රදේශයේ බෞද්ධයින්ගෙන් සියයට හැටක් පමණ දැන් බෞද්ධයින්. ඒවාගේම පහත් යැයි සම්මත කුලවල ජීවත්වන අයගෙන් විශාල පිරිසක් අද බෞද්ධයින්; නමුත් මේවා සංඛ්‍යා ලේඛන වලට ඇවිත් නෑ.

එසේනම් ඔබවහන්සේ සිතන ආකාරයට දළ වශයෙන් කොපමණ බෞද්ධයින් පිරිසක් ඉන්දියාවේ සිටිය හැකිද? කෝටි හයක් පමණ.

ඔබ වහන්සේ ආසියාවේ අනිකුත් රටවල බුදුදහම ව්‍යාප්ත කිරීම පිණිස පැවැත්වීමට අපේක්‍ෂිත වන්නේ කුමන ආකාරයේ වැඩ පිළිවෙළක් ද?

අද ආසියාවටම බුදුදහම අවශ්‍ය වී තිබෙනවා. ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින්නේ ආසියාවේ, එනම් ලෝක ජනගහණයෙන් 2/3 ක් ඉන්නේ ආසියාව හා මැදපෙරදිග බටහිර රටවල් ශීත රටවල්.

ඒ ශිෂ්ටාචාරවල මිනිසුන් අඩුයි. මේ තත්ත්වය තුළ ආසියාවේ ඇතිවන වෙනසක් ලෝකයේම ඇතිවන වෙනසක් බවට පත්වනවා. පළමුව ආසියාවේ සෑම බෞද්ධ රටක් සමඟම අප යම් සබඳතාවයක් ගොඩනඟා ගත යුතුයි. විශේෂයෙන් ආසියාව තුළ මනුෂ්‍යත්වයේ කරුණාවේ, කලාවේ සංගීතයේ, ගෘහනිර්මාණ ශිල්පයේ විශාල දියුණුවක් ඇතිවූයේ බෞද්ධ සංස්කෘතියත් සමග මෙය නැවත ඇති කළ යුත්තක්.

මනුෂ්‍යත්ව සන්තතියේ අලුත් යුගයක් අපිට බුදුදහම තුළින් ඇති කරන්නට පුළුවන්. විශේෂයෙන්ම අද ලෝකයේ ඇතිවී තිබෙන දැවැන්ත පාරිසරික හා සමාජ ගැටලු මනුෂ්‍යත්වයේ බිඳ වැටීම් වලට යහපත් පිළිතුරක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය.

ඒ නිසා අපට අද ආසියාව මුල්කරගෙන ආසියාව තුළින් ලෝකයට අලුත් ආධ්‍යාත්මික නායකත්වයක් ලබා දෙන්න පුළුවන්. අද ආසියාව කළ යුත්තේ අද බටහිර වෙළඳපොළේ ජයග්‍රහකයා වන එකම නොවෙයි. මුළු ලෝකයටම අලුත් ආධ්‍යාත්මික නායකත්වයක් සැපයීම.

මහාරාෂ්ට ප්‍රාන්තයේ ඩික්සාත් ප්‍රදේශයේදී පැවැති අඛිල භාරතීය බෞද්ධ ධර්ම පර්ෂදයේ 22 වන බොදු සමුළුවේ විශේෂ අවස්ථා කීපයක් මෙහි දැක්වෙන ඡායාරූප මගින් පෙන්නුම් කැරේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.