Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සේඛ හා අසේඛ ආර්ය උතුමන් පිරිහෙන්නේ ද?

සේඛ හා අසේඛ උතුමන් ස්වකීය අධ්‍යාත්මික කුසීත ස්වභාවය හේතුවෙන් සසර ප්‍රමාද බවකට පත් වන්නේ ද එසේ නැතහොත් තමන් විසින් උපදවා ගනු ලැබූ මාර්ග ඵලය අනුක්‍රමයෙන් ක්ෂයවීමකට බඳුන් වන්නේ ද? ස්ථවිර වාදී කොටසට පරිබාහිර අන්‍ය නිකායාන්තරිකයින් විසින් මෙවැනි මතවාදයන් ද දරන ලද අතර එවන් ඇතැම් මතවාද විභජ්ජවාදය නමින් හැඳින් වූ ථෙරවාදී සම්ප්‍රදාය හෙවත් පාලි භාෂාව මාධ්‍ය කරගත් පිරිසුදු බුද්ධ වචනය සුරැකි පිරිස විසින් ප්‍රතික්‍ෂේප කරන ලද ආකාරය නිකාය සංග්‍රහය වැනි ශාසන ඉතිහාස ග්‍රන්ථ මගින් පැහැදිලිවම පෙන්නුම් කර තිබේ. කෙසේ වූවත් සේඛ උතුමන් පිරිහීමට හේතු වන කරුණු රාශියක් අංගුත්තර නිකායේ 39 හා 40 පඨම සේඛ භික්‍ඛු සූත්‍රවල දක්වා තිබේ

සේඛ යන්නෙන් හැඳින්වෙන්නේ හික්මීමයි. එවිට සේඛ පුද්ගලයා යනු හික්මෙන්නා වූ පුද්ගලයා අදහස් කෙරේ.

අසේඛ බව නම් හික්මවීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතු යි. මේ අනුව අසේඛ නමින් හැඳින්වෙන්නේ අර්හත් ඵලය සාක්ෂාත් කළ උතුමාය.

සමථ විදර්ශනා ධර්මයන් වඩමින් සිතෙහි දියුණුව වර්ධනය කරන්නා වූ උතුමා සේඛ ගණයට ගැනේ.

අධිශීල, අධි චිත්ත හා අධි ප්‍රඥා වශයෙන් ත්‍රිවිධ ශික්‍ෂා පරිපූර්ණ කරමින් එයින් හික්මීම ඇති කරගන්නා වූ සොතාපත්ති මාර්ගස්ථ උතුමාගේ සිට අර්හත් මාර්ගස්ථ උතුමා දක්වා වූ සප්තවිධ ආර්ය පුද්ගලයන් සේඛ යන කොටසට අන්තර්ගත වේ.

අර්හත් ඵලස්ථ උතුමා අසේඛ නමි. මාර්ගය හා එක්ව යෙදී මාර්ග ක්ෂණයෙහිත්,ඵලය හා එක්ව යෙදී ඵල ක්ෂණයෙහිත් හික්මවන ස්වභාවය ප්‍රකට කරවන විශේෂිත සාරධර්ම මෙම සේඛ උතුමන් ස්වකීය ආධ්‍යාත්මය තුළ ගොඩනගා ගෙන ඇත.

සේඛ හා අසේඛ උතුමන් උපදවා ගනු ලැබූ මාර්ගඵලත්වයන් මතු මත්තෙහි නොපිරිහෙන ඒවා ලෙස සඳහන් වේ.

එසේ වන්නේ මාර්ගඵල වනාහී ලෝකොත්තර සමාපත්ති වන හෙයිනි.

මාර්ගඵල වලට අරමුණු වන්නේ නිවනය. නිවන වනාහී හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත්තක් නොවේ.

එබැවින් අනිත්‍ය දුක්ඛාදියට ගෝචර නොවේ. ත්‍රිලක්‍ෂණයන්ට ගෝචර වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගනු ලැබූ දේ ය.

එසේ වූවත් සේඛ හා අසේඛ උතුමන් ස්වකීය අධ්‍යාත්මික කුසීත ස්වභාවය හේතුවෙන් සසර ප්‍රමාද බවකට පත් වන්නේ ද එසේ නැතහොත් තමන් විසින් උපදවා ගනු ලැබූ මාර්ගඵලය අනුක්‍රමයෙන් ක්ෂයවීමකට බඳුන් වන්නේ ද? ස්ථවිර වාදී කොටසට පරිබාහිර අන්‍ය නිකායාන්තරිකයින් විසින් මෙවැනි මතවාදයන් ද දරන ලද අතර එවන් ඇතැම් මතවාද විභජ්ජවාදය නමින් හැඳින් වූ ථෙරවාදී සම්ප්‍රදාය හෙවත් පාලි භාෂාව මාධ්‍ය කරගත් පිරිසුදු බුද්ධ වචනය සුරැකි පිරිස විසින් ප්‍රතික්‍ෂේප කරන ලද ආකාරය නිකාය සංග්‍රහය වැනි ශාසන ඉතිහාස ග්‍රන්ථ මගින් පැහැදිලිවම පෙන්නුම් කර තිබේ. කෙසේ වූවත් සේඛ උතුමන් පිරිහීමට හේතු වන කරුණු රාශියක් අංගුත්තර නිකායේ 39 හා 40 පථම සේඛ භික්‍ඛු සූත්‍රවල දක්වා තිබේ.

පාලි ත්‍රිපිටක මූලාශ්‍රවල ද මෙවැනි කරුණු අන්තර්ගතව තිබීම අනුව පෙනී යන්නේ සේඛ තත්ත්වය පිරිහීමට පත් වන්නේ යැයි සඳහන් නිකායාන්තරික මතවාද බිහි වීමට මෙවැනි මූලාශ්‍ර මගින් ඉදිරිපත් කරන ලද ධර්ම කරුණු අර්ථ වරදවා හෝ ස්වකීය ලාභ ප්‍රයෝජන තකා වරදවා භාවිතා කිරීම හේතුවක් වී ඇති බවයි.

1. නව කර්මාන්තවල ඇලුණු බව (අ.නි. 3, 39 පධම සේඛ භික්‍ඛු සුත්ත)
2. කථා බස් කිරීමෙහි ඇලුණ බව.
3. නිදා ගැනීමෙහි ඇලුණු බව
4. සමූහයා සමග එක්වීමෙහි ඇලුණු බව.
5. උපදවාගත් මාර්ගඵල සිත (කෙලෙස්වලින් මිදුනු සිත) ප්‍රත්‍යවේක්‍ෂා නොකිරීම.

එහිදී විහාරාරාම, චෛත්‍ය, සේනාසන හා අභිනවයෙන් ආරාමික ඉදිකිරීම් කටයුතු වල දිගින් දිගටම නිමග්න වී ඒවායෙහි ඇලී ගැලී කටයුතු කිරීම නිසා ද, විහාරාරාමයන්හි භික්‍ෂූන් වහන්සේලා සමග භික්‍ෂු දිවියට ඵලදායක නොවන නොයෙක් බාහිර ලෞකික දේ පිළිබඳව දිගින් දිගටම කතාබහ කිරීම, සාකච්ඡා කිරීම හා දේශනා පැවැත්වීම නිසා ද, බුදුරදුන් විසින් පැවිදි දිවියෙහි අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට අහිතකර නොවන ලෙස සාමාන්‍ය භික්‍ෂූන් වහන්සේ නමකට විවේක ගැනීමට නියමකොට ඇති කාලසීමාවට වඩා වැඩි කාල සීමාවක් විවේකයෙහි ඇලී ගැලී විසීම හා මූලික භික්‍ෂු පරමාර්ථ සපුරා ගැනීමට බාධාවන පරිදි දවසින් වැඩි කාලයක් නින්ද සඳහා ගත කිරීම ද, නිරන්තරයෙන් අනවශ්‍ය ලෙස බොහෝ දෙනා එක්රැස් වන ස්ථානවලට යාම ඒම හා පිරිස සමග කාලය ගත කිරීමට රුචිකත්වයක් දැක්වීම ද තමන් විසින් උපදවා ගන්නා ලද මාර්ගඵල සිත හෙවත් කෙලෙසුන්ගෙන් මිදුනු සිත යළි යළිත් සිහිපත් කිරීම් වශයෙන් මතකයට නගා ගැනීමෙන් වැළකී සිටීම ද මතු මත්තෙහි තමන් විසින් උපදවා ගනු ලැබූ මාර්ගඵලයට වඩා වැඩි උසස් මාර්ගඵලයක් උපදවා ගැනීමට බාධාකාරී වන හෙයින් ඒවායින් ඉවත්ව කටයුතු කරන ලෙස බුදුරදුන් විසින් උපදෙස් දී තිබේ. මෙහි දී පැහැදිලි ලෙසම දැක්විය යුතුව ඇත්තේ උපදවා ගනු ලැබූ මාර්ගඵල පිරිහී යෑමට වඩා මතු ඊට වඩා ඉහළ මාර්ගඵලයන් උපදවා ගැනීමේ ඉඩකඩ ඇහිරී යැමයි.

මාර්ගඵලවලට අරමුණ වන්නේ නිර්වාණ ධාතුවයි.

නිර්වාණ ධාතුව වනාහී සංඛත හෙවත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තක් නොවේ.

හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන ත්‍රිලක්‍ෂණ වලට යටත් වන අතර අසංඛත නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත්තක් නොවන නිසා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරවලට පොදු වේ හිමි වන වෙනස්වීම් ස්වභාවය නිර්වාණ ධාතුවේ නොමැත. නිර්වාණ ධාතුව වෙනස් නොවන නිසා නිර්වාණ ධාතුව අරමුණු කර උපදවා ගනු ලැබූ මාර්ගඵලයන් ද ක්ෂයවීමකට හෝ වෙනසකට බඳුන් වීමට අවකාශ නොමැත.

මේ ලොවෙහි ඇති සියල්ල වෙනස් වෙතත් වෙනස්වීමේ ලක්‍ෂණය වෙනස් නොවන්නාක් මෙනි.

සැබවින්ම මෙහි පිරිහීම ලෙස අර්ථ දක්වා ඇත්තේ මතු ඉහළ මාර්ගඵලවලට ප්‍රවේශවීමේ ස්වකීය ශීඝ්‍ර ගමන් වේගය තමන්ගේ පෞද්ගලික දුර්වලතා නිසා ලඝුවීමේ තත්ත්වයයි.

මෙවැනි කරුණු හුදෙක් පෘථග්ජනයන් අතර පවත්නා පාප හෝ අකුසල් මෙන් ස්ථිර සාරව සසර බැඳ තබා ගන්නා දේ ලෙස නොව හුදෙක් සිහිපත් කිරීම් මාත්‍රයකින් නිවැරැදි කරගත හැකි චර්යාමය දුර්වලතා කොට්ඨාසයක් වේ.

සේඛ උතුමන්ගේ ඉහත සඳහන් කළ පෞද්ගලික දුර්වලතා හටගනු ලබන හේතුවලට අමතරව පහත දැක්වෙන කරුණු නිසා තමන්ට ලැබෙන විවේකය ඵලදායක යමක් නොකර හිස් ලෙස ගත කිරීම හා මතු මත්තෙහි තමන් විසින් උපදවා ගන්නා ලද මාර්ගඵලයට වඩා ඉහළ මාර්ගඵල ලබා ගැනීමට නොහැකිවීමට හා ප්‍රමාදවීමට හේතුවක් වන බව පෙන්වා දී තිබේ. තව ද වීර්ය වඩමින් ඒ සඳහා සුදුසු සමාධි කර්මස්ථානයන්හි නොයෙදීම සේඛ පුද්ගලයන් තුළ විද්‍යාමාන පෞද්ගලික දුර්වලතාවයක් බව බුදුරදුන් විසින් දක්වා තිබේ.

1. බොහෝ කෘත්‍ය ඇති බව, බොහෝ කටයුතු ඇති බව, පිළිසකර කටයුතුවල දක්‍ෂතාව
2. ස්වල්ප කෘත්‍යයකින් දවස ඉක්මවීම. (අ.ගු.3, 40. පථම සේඛ භික්‍ඛු සුත්ත)
3. ගෘහස්ථ ප්‍රවෘජිතයන් හා එක්වීම, නුසුදුසු වූ ගිහියන් හා එක්වීම ඇතිව වාසය කිරීම.
4. පිණ්ඩපාතය පිණිස ඉතා කලින් ගමට පිවිසීම, ඉතා දවල් වී පෙරලා ඒම.
5. අල්පේච්ඡතා, සන්තුෂ්ටිය, ප්‍රකර්ෂ විවේකය, වීර්යාරම්භය, ශීලය, සමාධිය, ප්‍රඥාව විමුක්තිය හා විමුක්ති ඥාන දර්ශන මෙබඳු කථාව පිළිබඳව කැමති පරිදි ලැබීම ඇත්තෙක් නොවීම, දුකසේ ලැබීම ඇත්තෙක් වීම, අපහසුවෙන් ලැබීම ඇත්තෙක් වීම.

විහාරාරාමවල වැඩ කටයුතුවල නිරතවීම අයෝග්‍ය දෙයක් නොවෙතත්, ස්වකීය පැවිදි දිවියෙහි පරමාර්දර්ශවලට අන්තරායකාරී වන ආකාරයෙන් ඒවායෙහි නිරතවීම නිසා ද, තමන්ට කළ හැකි වැඩ කොටසට වඩා අඩුවෙන් කරමින් නිකරුනේ කාලය ගත කිරීම ද, ප්‍රතිඵලදායක ගිහි පැවිදි සම්බන්ධතාව පිණිස තම මුළු කාලයම කැපකරමින් ආධ්‍යාත්මික සංවර්ධනය අතපසු කිරීම ද, දිවි පැවැත්ම ගෙනයාමට පිණ්ඩපාත ආහාරය අත්‍යවශ්‍ය නමුත්, අසීමාන්තිකව ඒ කෙරෙහි පමණක් උත්සුකවීම ද, සමථ විදර්ශනා කෙරෙහි සිතෙහි ඇල්ම හා වුවමනාව ජනිත කරවන සැහැල්ලු චාම් පැවැත්ම, සතුට, මානසික විවේකය, උත්සාහය, කය වචනය හික්මවීම, සිතෙහි එකඟ බව, නුවණ, නිර්වාණය, නිර්වාණය අරමුණු කරගත් මාර්ගඥාන පිළිබඳ යහපත් උපදෙස් හා අවවාද පහසුවෙන් නොලැබිය හැකි බව ද යන කරුණු තමන් විසින් උපදවා ගන්නා ලද මාර්ගඵලවලට වඩා ඉහළ මාර්ගඵල ලබා ගැනීමට සේඛ උතුමන්හට බාධා පමුණුවන කරුණු ලෙස සඳහන් වේ.

සේඛ පුද්ගලයන් විසින් තමන් උපදවා ගන්නා ලද මාර්ගඵල වලට වඩා ඉහළ මාර්ගඵල ලැබීම ප්‍රමාද කරවන කරුණු ඒ උතුමන්ගේ පිරිහීම ලෙස වරදවා වටහාගන්නා ලද බවක් පශ්චත්කාලීන ධර්ම විග්‍රහයන් වල දී හෙළි වේ. මෙය සේඛ තත්ත්වයට පමණක් සීමා නොවී අසේඛ හෙවත් අර්හත් ඵලය උපදවා ගන්නා ලද උතුමන් පවා පිරිහීමට පත්වන බව පසුකාලීන විවිධ බෞද්ධ සම්ප්‍රදායයන්හි අන්තර්ගත ආගමික අදහස් අතර විද්‍යාමාන වීම තුළින් පැහැදිලි වේ.

ස්ථවිරවාදී පක්‍ෂයෙහි සියලු සංගායනා සඳහා සහභාගී කරගනු ලැබුවේ රහතන් වහන්සේලා වීමත් නිසා, පැවති තත්ත්වය කෙරෙහි කිසියම් අප්‍රසාදයකින් විසූ අන්‍ය බෞද්ධ සම්ප්‍රදායකයින් විසින් අර්හත්ව පරමාදර්ශය පහතට ඇද දමා ගර්හාවට ලක් කිරීම පිණිස හිතාමතාම මෙකී අදහස් සමාජයට ව්‍යාප්ත කරවන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.