Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කථාවට සුදුසු නුසුදුසු පුද්ගලයෝ

බුදුන් වහන්සේ සුවිශේෂව ම පෙන්වා දෙන කාරණයක් වන්නේ යමෙකුට තවත් අයකුගේ ප්‍රශ්නයක් ගැටලුවක්, පිළිබඳ ඉතා හොඳින් සවන් දීමට හැකි ද? එබඳු පුද්ගලයා කථාවට ඉතා සුදුසු කෙනෙකු වන බවයි. බුදුන් වහන්සේ එබඳු අය හඳුන්වා ඇත්තේ “හේතු සම්පත් ඇත්තවුන් “ ලෙස ය. ඒ වගේම කථාවට සුදුසු පුද්ගලයා සුභාෂිත වචන භාවිත කරන්නකු බව ද, යමක් දැන ගැනීම සඳහාත්, පැහැදීම සඳහාත් කතා කරන්නකු බව ද බුදුන් වහන්සේ සඳහන් කරන සේක.

 ලොව ජීවත්වන අනෙකුත් සත්ත්වයන් සමඟ මානව වර්ගයා (Human Race) සන්සන්දනය කිරීමේ දී දැකිය හැකි සුවිශේෂී ලක්ෂණය වන්නේ මානවයා සතුව පවතින කථන හැකියාවයි. මෙය මානවයා නිර්මාණය කරගත් ඉහළම සංස්කෘතික සාධකය ලෙස හඳුන්වා දිය හැකිය. ඒ නිසා මානව සමාජය (Human Society) නිර්මාණය වීමේ දී භාෂාවට ඉතා ඉහළ අගයක් හිමි ව ඇත. මානව සමාජයේ සීග්‍ර දියුණුව පසුපස භාෂාවේ දායකත්වය සුවිශාල කර්යය භාරයක් ඉටුකර ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. විශ්ව ගම්මාන, ගෝලියකරණය ආදි සංකල්ප තුළ අන්තර්ගතව ඇත්තේ භාෂාවෙන් සිදු කළ හැකි සුවිශේෂී මෙහෙවරෙහි කථාන්දරයයි.

බුදු දහම තුළ ද භාෂාවට ඉතා ඉහළ වටිනාකමක් හිමිව ඇත. භාෂාව භාවිතා කරීමේදී යොදා ගන්නා වචන පිළිබඳ දැඩි අවධානයක් එහිදී යොමු කර ඇත. සාමාන්‍ය සමාජයේ භාෂාව සමාජ අන්තර් සබඳතා පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සදහා යොදා ගත්ත ද, බුදු දහම වචන භාවිතය තුළ ඉන් එහා ගැඹූරු බවකින් යුතුව කරුණු සාකච්ඡා කරයි.

එදිනෙදා ජීවිතයේ දී වචන භාවිතය පිළිබඳව දැඩි අවධානයක් අප යොමු නොකළ ද, බෞද්ධයාගේ පරම නිෂ්ටාව වූ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ දී වචන භාවිතයේ සංයම බව, සත්‍ය බව අතිශය වැදගත් වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීල කොටසට අයත් “ සම්මා වාචා “ (යහපත් වචනය ) තුළින් බුදුන් වහන්සේ අවධාරණය කොට ඇත්තේ වචන භාවිතය ලෞකික හා ලෝකෝත්තර කාර්යය සාධනය පිණිස කවර ආකාරයේ කෘත්‍යයයක් ඉටු කරනවාද යන්නයි.

යහපත් වචන භාවිත කරන පුද්ගලයාගේ මනස සංවර මනසක් බවට පත් වේ. භාවිත කළ යුතු වචන කවර ඒවා දැයි යන්න පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඔහු සතු වේ. ඒ නිසා වචන භාවිතයෙන් ඔහු තමාට මෙන්ම, සමාජයටත් හානියක් සිදු නොකරයි. බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ නිවන අරමුණු කරගත් පාරිශුද්ධ දිවියක් ගතකරන පුද්ගලයා වචී සුචිභාවයෙන් හා වචී මුනිභාවයෙන් යුක්ත විය යුතු බවයි . (අංගුත්තර නිකාය - තික නිපාත - අපායික වග්ගය) මේ නිසා වචන වල සුසංවිධිත බව පුද්ගල ජීවිතය ඉහළ ස්ථරයකට යොමු කරන බව වටහා ගත යුතු වේ.

භාෂාවෙහි වචන භාවිත කිරීම තුළින් විවිධ පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අප සමත් වේ. එහිදි ප්‍රභේදයකින් තොරව සුදුසු, නුසුදුසු සෑම දෙනා සමඟ ම භාෂණයෙහි (කථාවෙහි) නිරත වේ. එසේ වුවත් නිවන් සාධන මගට පිළිපන් පුද්ගලයා කථාවෙහි සුදුසු පුද්ගලයන් අවබෝධ කරගෙන ඔවුන් සමග සබඳතා පැවැත්විය යුතු බව බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි.

අංගුත්තර නිකායේ තික නිපාතයෙහි මහාවග්ගයෙහි කථාවෙහි යෝග්‍ය, අයෝග්‍ය පුද්ගලයන් පිළිබඳ පැහැදිලි කිරීමක් වේ.එහිදී බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ කථාවෙහි යෙදීමෙන් ම පුද්ගලයා කථාවට සුදුසු නැත් ද යන්න වටහාගත යුතු බවයි. පුද්ගලයෙකුගෙන් යම් කාරණයක් පිළිබඳව විමසීමේ දී ඔහු පිළිතුරු ලබා දෙන හා ක්‍රියා කරන ආකාරය අනුව ඔහු කථාවට සුදුසු ද නැත් ද යන්න දත යුතු බව බුදුන් වහන්සේ පෙන්වා දෙන සේක.

ඒ අනුව පහත අයුරින් ක්‍රියා කරන පුද්ගලයින් කතාවට සුදුසු නොවන බව බුදුන් වහන්සේගේ පැහැදිළි කිරීමයි.

1. විසඳිය හැකි ප්‍රශ්නය ඍජුව නොවිසඳන
2. ප්‍රශ්නය බෙදා වෙන්කර නොගෙන විසඳන
3. ප්‍රශ්නය ප්‍රශ්න කර වැටහීමක් ලබා නොගන්නා
4. ඉවත දැමිය යුතු ප්‍රශ්නය ඉවත නොදමා කිසිදු අවශ්‍යතාවක් නොමැතිව එය විසඳීමට උත්සාහ කරන්නා වූ පුද්ගලයන්ය.

ඊට හේතු වන්නේ මේ අයුරින් ක්‍රියා කරන්නන් සමග යම් ගැටලුවකට සාකච්ඡා මාර්ගයෙන් කිසියම් සමථයකට පැමිණීමට අපහසුවීමයි. ප්‍රශ්නය විසඳනවා වෙනුවට යම් වාද විවාද වල නිරතව කාලය විනාශ කර ගැනීමක් පමණක් සිදුකරන හෙයිනි. ඒ නිසා සාකච්ඡාවකින් සම්මුතියකට එළඹීමට හැකි පුද්ගලයන් සමඟ පමණක් කථා කිරීම සුදුසු බව උන්වහන්සේගේ පැහැදිලි කිරීමයි.

ඒ නිසා ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්න ඒකාන්තයෙන්ම විසඳන , බෙදා විසඳිය යුතු ප්‍රශ්න එසේ විසඳන , ඉවත් කළ යුතු ප්‍රශ්න ඉවත් කරන පුද්ගලයෙකු සමග පමණක් සාකච්ඡා කළ යුතු බවත්, එය ඵලදායි වන බවත් බුද්ධ දේශනාවයි. මේ අනුව මෙහිදී අප වටහාගත යුතු කාරණය වන්නේ ප්‍රශ්න, ගැටලු සෑම දෙනා සමඟ ම සාකච්ඡා නොකළ යුතු බවයි. ඒවා ඊට ගැළපෙන යෝග්‍ය පුද්ගලයෙකු සමඟ පමණක් සාකච්ඡාවට ලක් කළ යුතු බවයි.

කථාවට නුසුදුසු පුද්ගලයින් කථා සම්ප්‍රයෝගයෙන් වටහා ගත යුතු බව ද බුදුන් වහන්සේ පෙන්වා දෙන සේක. එහිදී ද අවධානයට ලක් කළ යුතු කරුණු හතරක් වේ. එනම් යම් පුද්ගලයකු

1. කරුණු පිළිබඳ අවබෝධයෙන් තොරවේ ද
2.පරිකල්පන ශක්තියක් නොමැතිවේ ද
3. ප්‍රතිපත්ති ගරුක නොවේ ද
4. නොදැන වාද කරන්නකු වේ ද

ඔහු කථාවට සුදුසු අයෙකු නොවේ. මෙයින් වියුක්ත වූ අවබෝධයෙන්, පරිකල්පන ශක්තියෙන් හා ප්‍රතිපත්ති ගරුක බවින් යුතු පුද්ගලයා කථාව සදහා සුදුසු බව බුද්ධ නිර්දේශයයි. සාමාන්‍ය ජීවිතයේ දී කථාවට නුසුදුසු පුද්ගලයන් සමඟ මොන තරම් සංවාද සිදු කරනවා ද යන්න මේ අනුව අප වටහා ගත යුතු වේ. ඒ නිසා සංවාදයෙහි සුදුසු ම පුද්ගලයා තෝරා ගැනීමට ශක්තියක් අප ඇති කර ගත යුතු වේ.

ඒ වගේම කථාවට නුසුදුසු පුද්ගලයන් සතු තවත් ලක්ෂන ගණනාවක් ම බුදුන් වහන්සේ අවධාරණය කර ඇත්තාහ. ඒවා නම් :-

1. සංවාදයට එළඹි පුද්ගලයාගේ කථාව වෙනත් කථාවකින් වැළකීම
2. වෙනත් බාහිර කථාවක් ආරම්භ කිරීම
3. කෝපය, ද්වේෂය, නොසතුට පළ කිරීම
4. අනවශ්‍ය කරුණු දක්වා බාධා කිරීම
5. කථාව මර්දනය කිරීමට කරුණු දැක්වීම
6.අත්පුඩි ගසා මහත් වූ ශබ්දයෙන් සිනාසීම
7. අඩුපාඩු සොයමින් බාධා කිරීම

ආදී ලක්‍ෂණ එහිදී පෙන්වා දෙති. මේ අනුව බුදුන් වහන්සේ කථා කළ යුතු වන්නේ කෙබඳු පුද්ගලයන් සමඟ ද යන්න පිළිබඳ මනා වැටහීමක් අපට ලබා දෙන සේක. උන් වහන්සේ අනාවරණය කරන්නේ ඉහත ලක්‍ෂණ ඇති පුද්ගලයන් සමඟ සංවාද නොකළ යුතු බවයි. එබදු ලක්ෂණ වලින් තොර වූ අනුන්ගේ කථාවට බාධා නොකරන, අපවාද නොකරන, උපහාසයෙන් තොර වූ පුද්ගලයන් ම කථාව සදහා සුදුසු වන බවයි.

බුදුන් වහන්සේ සුවිශේෂව ම පෙන්වා දෙන කාරණයක් වන්නේ යමෙකුට තවත් අයකුගේ ප්‍රශ්නයක් ගැටලුවක්, පිළිබඳ ඉතා හොඳින් සවන් දීමට හැකි ද? එබඳු පුද්ගලයා කථාවට ඉතා සුදුසු කෙනෙකු වන බවයි. බුදුන් වහන්සේ එබඳු අය හඳුන්වා ඇත්තේ “හේතු සම්පත් ඇත්තවුන් “ ලෙස ය. ඒ වගේම කථාවට සුදුසු පුද්ගලයා සුභාෂිත වචන භාවිත කරන්නකු බව ද, යමක් දැන ගැනීම සඳහාත්, පැහැදීම සඳහාත් කතා කරන්නකු බව ද බුදුන් වහන්සේ සඳහන් කරන සේක.

කෙනෙකු සමඟ කථා කරන විට මානයෙන් තොරව කථා කළ යුතු බවත්, නිසි වේලාව දැන, සන්සුන් , සිතින් ප්‍රමාද දෝෂ සැලකිල්ලට නොගෙන එකට එක නොකියමින්, ඊර්ෂ්‍යාවෙන් තොරව කථා කළ යුතු බවත් බුදුන් වහන්සේ පෙන්වා දෙන සේක. කථාව සඳහා සුදුසු නොවන අය සමඟ සබඳතා පවත්වන ෂට අප තුළ ඇති වන්නේ මානසික පීඩනයයි. මනසේ ඒකාත්මික බව බිඳ වැටෙන අතර, කෝපය ද්වේෂය ඉස්මතු වේ. එයින් අපගේ මානසික මෙන් ම කායික නිරෝගිභාවයත් බිඳ වැටේ. අනිත් අතට නපුරු වචන, රළු වචන, හිස් වචන හා අසත්‍ය වචන ද භාවිතා කිරීමට ඉඩ ප්‍රස්ථා ඇති විය හැකිය. එය අපගේ දෙලොව ම පරිහානියට පත් කරන්නක් වේ.

මේ නිසා බුදුන් වහන්සේ නිරතුරුව ම අපට පෙන්වා දෙන්නේ සුදුසු අය සමග පමණක් කථා කළ යුතු බවයි. කථා කිරීමට සුදුසු කෙනෙක් නොමැති නම් “ආර්ය තුෂ්ණිම්භාවයෙන් “ යුතුව ක්‍රියා කරන ලෙසත් උන් වහන්සේ අනුශාසනා කරන සේක. උන් වහන්සේ එසේ අනුශාසනා කරන්නේ අයහපත් වචනය හා සුදුසු නොවන්නන් සමඟ කථාව නිවන් ප්‍රත්‍යක්ෂයට දැඩි බාධාවක් ගෙන දෙන හෙයිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.