Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් අනුමත කළ වෘද්ධාපචායනය

මේ අත්බවෙහි දී දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ලැබීමේ තවත් හේතු දක්වමින් බුදුහිමියෝ, මහණෙනි, පෙර අත්බවල මනුෂ්‍යව උපන් මම මවුපියන් දෙටුවන් ආදී ඇත්තන් ශීලාදී කුසල් දහම්හි යෙදවූ කුසල බලයෙන් මේ මහාපුරුෂ ලක්‍ෂණ මෙන්ම සියලු ගිහිසැපත් ලැබූ අතර, පැවිදිව බුදු වූ පසුත් එම සම්පත් ලබන්නෙමි ද වදාළහ

වැඩිහිටි යන පදයෙන් අදහස් කරන්නේ, වර්ධනයට පත් වූ හෙවත් ‘වැඩී සිටි’ යන තේරුම යි. වද්ධ, වුද්ධ, බුඩ්ඪ, වෘද්ධ, මහල්ලක, ථෙර යන වචන ද මේ අර්ථයම දීම සඳහා පාලි, සංස්කෘත, මිශ්‍ර සිංහල යන භාෂාවල යෙදෙයි. ක්‍රමයෙන් වයසට, ගිය යන අර්ථය දීමට ‘වයෝ අනුප්පත්ත’ යන පද දෙක යෙදෙයි. එයම සිංහලෙන් ‘වැඩී වියපත්’ කියා යෙදෙයි. එහි අර්ථය වැඩි වයසට පැමිණි යන්නයි. කායික අවයවල වැඩීම මෙන්ම ශීලාදි ගුණධර්ම පිළිබඳ වැඩීම ද, මෙයින් අදහස් කැරෙයි. මහල්ලක යන්නෙන් අදහස් කරන්නේ වයසින් මහලු බවට පත් යන්නයි. එනම් ‘වයස්ගත’ යන්නයි. මේ අදහස දෙන තවත් වචනයක් නම් අද්ධගත යන්නයි. එයින් අදහස් කරන්නේ බොහෝ කාලයක් ජීවත් වූ යන්නයි. සොණදණ්ඩ සූත්‍රයට අනුව වයො අනුප්පත්ත යන්න විස්තර කැරෙන්නේ අවසන් වයසට පත් වූ හෙවත් වසර සියයක් ජීවත් වන්නෙක්, අවසන් කාලපරිච්ඡේදයට පත්ව සිටීම යන්නයි.

අංගුත්තර නිකායේ තික නිපාතයෙහි දැක්වෙන සූත්‍රයකට අනුව බුඩ්ඪ පබ්බජිතයා හෙවත් මහලු පැවිද්දා ක්‍රියාවෙහි දක්‍ෂ ආකල්පයන්ගෙන් මැඩුණු, බහුශ්‍රැත, ධර්මකථික, විනධර යන ගුණයන්ගෙන් සමන්විත පුද්ගලයකු විය යුතු යි. එහෙත් සමහර මහලු පැවිද්දන් එම ගුණ නැතිව සිටින බව, එහිම දැක්වෙනවා. සුවච, මනාව උගත්, අවවාද ගරුක, ධර්මකථික, විනයධර යන ගුණවලින් හීන මහලු පැවිද්දන් ද සිටින බවක් අංගුත්තර නිකායේම දක්වල තියෙනව. මහලු පැවිද්දා ඉහත සඳහන් ගුණ වලින් සමන්විත විය යුතු වූවත් සමහරුන් තුළ එම ගුණ නොමැතී බව එයින් හෙළි කැරෙනවා. එහෙත් වෘද්ධයන්ගේ මේ දුබලතා පිළිබඳ බුද්ධිමත් අය දැනගෙන ඔවුන් ඇසුරු කිරීම, දෙපක්‍ෂයේම යහපතට හේතු වෙයි. දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි බුදුරදුන් ලිච්ඡවීන්ට දේශනා කළ සප්ත අපරිහානිය ධර්ම අතර එකක් නම් ‘වජ්ජි මහල්ලකා තෙ සන්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති තෙසඤ්ච සොකබ්බං මඤ්ඤෙන්ති, වුද්ධියෙව පාට්කඩ්ඛා නො පරිහානි’ යන්නයි.බාල අය මහලු වජ්ජීන්ට සත්කාර ගරු සැලකිලි කරනව නම් ඔවුන් පුදනව නම් ඔවුන්ගේ අවවාද පිළිපදිනව නම් වජ්ජීන්ගේ පරිහානියක් නොවන බවත්, ඔවුන්ගේ අභිවෘද්ධියක්ම වන බවත් එහි තේරුමයි. වජ්ජින් ගැන මෙසේ වදාළ බුදු හිමියෝ භික්‍ෂූන්ටත් මෙබඳුම අපරිහානිය ධර්ම හතක් වදාරමින් පැවිදි වී බොහෝ කල් ඉකුත්වුණු සංඝ නේතෘන් වහන්සේට බාල භික්‍ෂූන් සත්කාර, සම්මාන, ගරුකාර පූජා කරමින් වැඩිහිටි තෙරුන්ගේ අවවාද වලට ඇහුම්කන් දෙනවානම් එසේ කිරීම භික්‍ෂූන්ගේ අභිවෘද්ධියට හේතුවන බවත්, එවිට භික්‍ෂූන්ගේ පිරිහීමක් නොවන බවත් වදාළහ. මේ අනුව වැඩිහිටියන්ට ගරු සැලකිලි කිරීම, අවවාද පිළිගැනීම බාල ගිහි පැවිදි දෙපක්‍ෂයේම අභිවෘද්ධියට හේතුවන බව පෙන්වා දී තිබේ.

දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයෙහි දැක්වෙන පරිදි තමන් වහන්සේට මහා පුරුෂ ලක්‍ෂණ ලැබීමට හේතු වූයේ කෙසේදැයි වදාරන බුදුහිමියෝ මහණෙනි, මම පෙර ජාතිවල මනුෂ්‍ය ආත්මවල ඉපදිල බොහෝ දෙනාගේ හිතසුව පිණිස, බොහෝ දෙනාට වැඩ කැමැත්තෙන් බොහෝ දෙනාට හිත කැමැත්තෙන් බොහෝ දෙනාගේ යහපත පිණිස, ඔවුන් තුළ තිබෙන ශ්‍රද්ධාව, ශීලය, උගත්කම, ත්‍යාගශීලීත්වය ආදී ගුණදහම් හා ප්‍රඥාව තව තවත් දියුණුකරලීමත් ධන, ධාන්‍ය වලින් ඔවුන් ආඪ්‍ය කරලීමටත්, අපා දෙපා සිවුපා සත්වයන්ගේ ආරක්‍ෂාව හා පෝෂණය පිණිසත් අඹුදරු දාසි දාස, කම්කරු, ඤාති මිත්‍ර ආදීන්ගේ අභිවෘද්ධිය පිණිසත් මහෝපාකාරීව කටයුතු කිරීමේ කුසල විපාක වශයෙන් මේ අත්බවෙහි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් සමන්විතව උපත ලැබීමට හේතු සම්පත් ලැබුවෙමියි වදාළහ. එසේම සිංහයාගේ පූර්වාර්ධකාය වැනි මහා පුරුෂ ලක්‍ෂණයෙන් සමන්විතව සකල සම්පත්තියෙන් ආඪ්‍යව සම්පත්තී වන්ගෙන් අනූනව ගිහිගෙහි විසූහ යි ද බුද්ධත්වයට පත්වී ද ඒ හැම දෙයින්ම සම්පූර්ණ වූ දිවියක් ගෙවන්නට හැකි වි යැයි ද වදාළහ.

මේ අත්බවෙහි දී දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ලැබීමේ තවත් හේතු දක්වමින් බුදුහිමියෝ, මහණෙනි, පෙර අත්බවල මනුෂ්‍යව උපන් මම මවුපියන් දෙටුවන් ආදී ඇත්තන් ශීලාදී කුසල් දහම්හි යෙදවූ කුසල බලයෙන් මේ මහාපුරුෂ ලක්‍ෂණ මෙන්ම සියලු ගිහිසැපත් ලැබූ අතර, පැවිදිව බුදු වූ පසුත් එම සම්පත් ලබන්නෙමි ද වදාළහ. (දී.නි. ලක්‍ඛණ සු.) දී.නි. සිඟාලොවාද සූත්‍රයෙහි සඳහන් වන ‘සංගාහතො මිත්තරො වදඤ්ඤු විතමච්ඡරො, නෙකා විනේතා අනුනෙතා තාදිසො ලභතෙ යසං’ යන ගාථාවෙන් කියැවෙන පරිදි මවුපියන්ට, ගුරුවරුන්ට, මිතුරන්ට, මහණ බමුණන් ආදීන්ට සලකන, ඔවුන්ට සංග්‍රහ කරන ඔවුන් හා මිත්‍රත්වයෙන් ක්‍රියා කරන, ඔවුන්ගේ අවවාද අනුශාසනා පිළිපදින, මසුරුමලින් තොර අන්‍යයන්ට නිසි මඟ කියා දෙන කිසියම් පුද්ගලයකු වේ නම් හේ කීර්ති ප්‍රශංසා, සැප සම්පත් ලබන්නෙකු වෙනවා. යහපත් මනුෂ්‍යයකු වන්න නම්, ඔහුගෙන් සමාජයට කවර තරමේ හෝ යහපතක් සිදුවිය යුතු යි. එමෙන්ම එම පුද්ගයාගේ දියුණුවට ද ඔහුගේ එම ක්‍රියා කලාපය අතිශයින් ඉවහල් වේ. සං.නිකාය මහාසාල සූත්‍රයෙහි දැක්වෙන මහාසාල බමුණු පුවත අපට හොඳ පාඩමකි. දවසක් ධනවත් බමුණෙක් ගොරෝසු පොරෝනයක් පොරව ගෙන ජේතවනාරාමයට බුදුරදුන් හමුවන්නට ගියා. සතුටු සාමිචී කථාවෙන් අනතුරුව බමුණාගෙන් බුදුන් වහන්සේ ඇසුවා, ඇයි බමුණ ඔබ ගොරෝසු වස්ත්‍රයක් පොරොව ගෙන ඉන්නෙ? කියලා බමුණ, කියනව, ගෞතමයන් වහන්ස, මට පුත්ත හතර දෙනෙකු ඉන්නව. ඔවුන් සිය භාර්යාවන් සමග එක්වෙලා මා ගෙදරින් පන්නා ගත්තා. එවිට බුදුහාමුදුරුවො බමුණාට ගාථාපහක් උගන්නලා ඔබ මේ ගාථා පාඩම් කරගෙන ගොස් මහජනයා රැස් වූ තැනෙක පුතුන් හතර දෙනා ද සිටින අවස්ථාවක හඬ නඟා කියන්න කීවා.

1. යෙහි ජාතෙහි නන්දිස්සං
සෙසඤ්ච භවම්චිඡිතං
‍තෙ මං දාරෙහි සම්පුච්ඡ
සාව වාරෙන්ති සුකරං

මට දාව උපන් දරුවන් නිසා මම සතුටු වූයෙම් ද එම දරුවෝ බිරින්දන් හා කතිකා කොටගෙන බල්ලන් ඌරෙකු එලවන්නාක් මෙන් මා එළවති.

2. අසන්තා තිර මං ජම්මා කාත කාතාති හාසරෙ
රක්ඛසා පුත්ත රූපෙන පජහන්ති වයෝගතිං

අසත්පුරුෂ, මෝඩ, රකුසන් වැනි දරුවෝ මට පියාණනි, පියාණෙනි යි ආමන්ත්‍රණය කරති.එහෙත් ඔවුහු වසයට ගිය මා නිවසින් එළවා දමති.

3. ‘අස්සොවූ පින්නො නිබ්භොගො ඛාදනා අපනියති - බාලකානං පිතා ථෙරො පරගාරෙසු භික්ඛති’

වැඩගත නොහැකි නාකි අශ්වයකු මෙන්ම ජරාවට පත්ව සිටින, කිසිම ධනයක් නැති දරුවන් නමැති මෝඩයන්ගේ පියා වූ මහලු මට ඔවුහු ආහාර ටිකක් නොදෙති. එහෙයින් මේ මෝඩයන්ගේ පියා වන මහල්ලා අනුන්ගේ ගෙවල්වල හිඟාකයි.

4. ‘දණ්ඩොව තිර මෙ සොය්‍යො - යඤ්චෙ පුත්තා අනස්සවා - චණ්ඩම්හි ගොණං වාරෙන්ති – අථො චණ්ඩම්පි කුක්කුරං’

මාගේ නොකීකරු පුතුන්ට වඩා මේ සැරයටිය මට උතුම්. මේ සැරයටිය සැඬ ගොනුන් ද සැඬ බල්ලන් ද වළක්වයි.

5. අන්ධකාරෙ පුරෙ හොති ගම්භිරෙ ගාධ මෙධති – දණ්ඩස්ස ආනුභාවෙන ඛලිත්වා පටිතිට්ඨති

මේ සැරයටිය අන්ධකාරයෙහි දී මට පෙරටුව යයි. ගැඹුරු දියෙහි දී මට පිහිට වෙයි. පැකිලි වැටුණු විට සැර යටියේ පිහිටෙන් මට නැගී සිටිය හැකි ය.

වැඩිහිටියකු වූ එසේම තම පියා වූ බමුණාට නොසළකා ගෙදරින් එළවා ගත් අකෘතඥ දරුවන්ට වඩා සිත් පිත් නැති සැරයටිය පිහිට වූ හැටි මෙයින් කියැවෙයි. මෙබඳු පුතුන් එදා මෙන්ම අදත් මේ බෞද්ධ රටේ සිටින බව අපි දනිමු. පියාගේ මේ අඳෙීනාව ඇසූ පුතුන් සිවු දෙනා ලජ්ජාවෙන් හදවත් උණුව පියා තම නිවෙස්වලට කැඳවාගෙන ගොස් එතැන් පටන් සැලකූ බව, එහි සඳහන් වෙයි. එදා එසේ වූවත් අද නම් මෙබඳු දරුවන්ට මවුපියවරුන්ගේ අඳෝනා ඇසෙන්නේ ම නැත. බුදු දහම අනුවත් සමාජ දහම අනුවත් වැඩිහිටියන් අතර උතුම්ම වැඩිහිටියෝ මවුපියෝ ය. ඔවුන්ට සැලකීමට දරුවෝ බැඳී සිටිති. බුදුරදුන් වදාළ පරිදි මවුපියන්ට මොනතරම් සැලකුවත් මවුපියන්ට ඇති ණයෙන් කිසිම දරුවකුට නිදහස් විය නොහැකියි. අපේ ඇතැම් මිනිසුන් වැඩිහිටියන්ට ගරු සැලකිලි කිරීම මදිපුංචිකමක් සේ සලකනු පෙනෙයි. මේ හැඟීම බුදු දහමේ උගන්වන පරිදි මානයයි. මානය කියන්නේ අන්‍යයාට වඩා තමන් පහත් බව හෝ අන්‍යයා හා තමා සමාන බව හෝ අන්‍යයා තමාට වඩා උසස් බව හෝ සිතීම යි. සං.යු. නි. මානත්ථද්ධ සූත්‍රයෙහි සඳහන් වන පරිදි මානත්ථද්ධ නම් බමුණකු බුදුරදුන් දකින්නට ගිය අවස්ථාවේ පළමුවෙන් ඔහු හා බුදුරදුන් කථා නොකිරීම නිසා උරණ වූ ඒ බමුණා හැරී ආපසු යන්න හදන විට බුදු හිමියෝ ඔහු අමතා බමුණ, කිසියම් කරුණක් අපේක්‍ෂාවෙන් මෙහි පැමිණියේ නම් ඒ පිළිබඳ මානය උපදවා ගැනීම නුසුදුසුයි. කිසිවක් අපේක්‍ෂාවෙන් ආයේ නම් එය ඉටුකරගෙන යන්න යැයි වදාළහ. තමාගේ සිතේ තිබෙන අදහස බුදුරදුන් දත් බව සිතූ බමුණා මානය දුරුකරගෙන බුදුරදුන් පාමුල වැඳ වැටිණි. ඒ අවස්ථාවේ එතැන සිටි මහජනයා මේ බමුණා පුදුම මිනිහෙක්. මොහුගේ හැසිරීම හරිම පුදුමයි. මොහු මවුපියන්, ගුරුවරුන්, දෙටු සොයුරන් ආදී කිසිවකුට වඳින්නකු නොවෙයි. එහෙත් බුදුරදුන් ළඟ වැඳ වැටී සිටිනවා යැයි කීහ.

ඒ අවස්ථාවේ බුදුරදුන් බමුණට නැගිටින්න කීවා. නැගිටල අසුනක හිඳගත් බමුණා බුදුරදුන්ගෙන් අහනව, ‘කෙසු නමානං කයිරාථ - කෙසු චස්ස සගාරවො - ක්‍යස්ස අපචිතා අස්සුකස්ස සාධු සුපුජිතා’ ගෞතමයන් වහන්ස, මානය නොකළ යුත්තේ කවරහුටද? ගෞරව කළ යුත්තේ කවරහුටද? සැලකිය යුත්තේ කවරහුටද? පිදිය යුත්තේ කවරහුටද? එයට පිළිතුරු දුන් බුදු හිමියෝ ‘මාතරී පිතරි චාපි අථො ජෙට්ඨම්හි හාතරි – ආචරියෙ චතුත්ථම්හි කෙසුනමානං කයිරාථ’ තෙසු අස්ස සගාරවො ත්‍යස්සු අපචිතා අස්සු - තෙචස්සු සාධු පූජිතා’ කියා වදාළහ.

බමුණ, මව පියා දෙටු බෑයා ගුරුවරයා යන මොවුන් කෙරෙහි මානය නොකළ යුතුයි. මොවුනට ගරු කළ යුතුයි. සැලකිය යුතුයි. පිදියයුතුයි. තවද රහතන් වහන්සේට මානය දුරුකොට වැඳිය යුතුයි කියල පිළිතුරු දුන් පසු බුදුරදුන් කෙරෙහි පැහැදුණු බමුණා තෙරුවන් සරණ ගියා.

සං.නිකායෙහිම සඳහන් වන පරිදි ‘මාතුපොසක’ නම් බමුණෙක් බුදුරදුන් දකින්න ගොස් අසනවා, ගෞතමයන් වහන්ස, මම දැහැමින් ආහාර පාන සොයාගෙන මවුපියන් පෝෂණය කරන්නෙකු වෙමි. ගෞතමයෙනි මෙය කළ යුත්තක් ද? එසේ ය බමුණැයි වදාළ බුදු හිමියෝ එය කළ යුත්තක් මෙන්ම දැහැමින් ආහාර පාන සොය මවුපියන් පෝෂණය කිරීම පින් අත්වන ක්‍රියාවකි භ ද වදාළහ.

යමෙක් මවට පියාට දැහැමින් සපයා ගත් දෙයින් සංග්‍රහ කරනව නම් එය මෙලොව පැසසුම් ලැබිය යුතු කරුණක් මෙන්ම පරලොව සුගතියෙහි ඉපදීමටත් හේතුවන කරුණක් බව ‘යො මාතරං වා පිතරං මච්චො ධම්මෙන පොසති – තාය නං පාරිචරියාය මාතා පිතුසු පණ්ඩිතා - ඉධචෙච නං පසංසන්ති - පෙච්ච සග්ගෙච මොදති’ යනුවෙන් වදාළහ. එමෙන්ම පිණ්පාතයෙන් ලැබෙන ආහාර පානාදියෙන් මවුපියන් පෝෂණය කළ භික්‍ෂුවකට බුදුහිමියෝ ප්‍රශංසා කළහ. සං.නිකායේ දේවා සූත්‍රයෙහි දැක්වෙන පරිදි ශක්‍ර දිව්‍ය රාජයා පෙර මනුෂ්‍යාත්ම භවයක උපන් අවස්ථාවේ ‘ව්‍රතපද’ රැකීමේ පිනෙන් මරණින් පසු ශක්‍ර සම්පත් ලැබූ බව බුදුරදුන් වදාරල තියෙනවා.

දිවිතෙක් මවුපියන් පෝෂණය කිරීම, කුලදෙටුවන් පිදීම, මිහිරි වදන් දෙසීම, පිසුණු බසින් වැළකීම, මසුරු මලින් වැළකීම, දානපතියෙකු වීම, නිතරම දීමට සූදානම්ව සිටීම, දීමෙහි ඇලුණකු වීම, තමන් ඉල්ලනු ලැබීමට සුදුස්සකු වීම දීමෙහි දී ලබන්නාට අවශ්‍ය දෑ හඳුනාගෙන දීම, දිවි හිමියෙන් සත්‍යය කතා කිරීම, ක්‍රෝධ නොකරන්නකු වීම, ක්‍රෝධයක් ඇති වුවොත් එය වහා දුරුකර ගන්නට සමත් විම යන ප්‍රතිපත්ති ය.

තමන් වහන්සේ පෙර අත් බවෙහි මේ සක්ක වත ආරක්‍ෂා කළ පිනෙන් මරණින් පසු ශක්‍ර සම්පත් ලැබූ අතර ඒ නිසාම ඔහුට ‘සත්පුරුෂයා’ යන නම තව්තිසා වැසි දෙවියන් භාවිතා කළ බවද වදාළහ. මේ ගුණධර්ම රැකීම නිසා ශක්‍රත්වයට පත් වූ පසු ඔහුට සක්ක, පුරින්දද, වාසව ආදී නම් පවා පටබැඳුණු බව වදාළහ. (සං.නි. සන්න සංයුත්ත) එසේම දිනක් ශක්‍රයා ප්‍රාසාදයෙන් බැහැරව සිවු දිසාවට වඳිනව දුටු මාතලි ඇසුව, ස්වාමිනි, හැමගෙන්ම වැඳුම් ලබන ඔබ කාටද මේ වඳින්නේ, කියා එවිට ශක්‍රයා කියනව. ‘අහඤ්ච සිල සම්පන්නො චිරරක්ත සමාහිතො - සම්මා පබ්බජිතෙ වන්දෙ – බ්‍රහ්මචරිය පරායනෙ’ යෙ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තො, උපාසකා - ධම්මෙන දාරං පොසෙන්ති තෙ නමස්සාමි මාතලී..


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.